ජනාධිපති මුක්තිය ඉවතට ; ඇමති මණ්ඩලයට සීමාවක් ; විගණන කොමිසම යලිත් – 20 ගැන අගමැතිගේ කමිටුව තීරණය කරයි

ආණ්ඩුව ගැසට් කළ 20 වන සංශෝධනයේ ඇති ජනාධිපතිවරයාට මුක්තිය ලබාදීමේ වගන්ති ඉවත් කිරීමටත් , විගණන කොමිසම යලි පිහිටුවීමටත් ,අමාත්‍ය මණ්ඩලය සීමා කිරීමේ වගන්ති යලි ඇතුලත් කිරීමටත් , අගමැති මහින්ද රාජපක්ෂ මහතා පත්කළ සමාලෝචන කමිටුව නිර්දේශ කොට ඇති බව තතුදත් ආරංචි මාර්ග කියයි.

එමෙන් ම ද්විත්ව පුරවැසියන්ට පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් ලෙස පත්වීමට නොහැකි බවට 19 වන සංශෝධනයේ තිබු විධිවිධාන තවත් පුළුල් කරමින් රජයේ ඉහල නිලතල දැරීම ද ඔවුන්ට තහනම් කළ යුතු බව මෙම කමිටුව නිර්දේශ කොට තිබේ.

මෙබඳු බරපතළ වෙනස්කම් ගණනාවක් ඇතුලත් කමිටු නිර්දේශ හෙට කැබිනට් මණ්ඩලයට ඉදිරිපත් කිරීමට නියමිත ය.

20වන  සංශෝධනය සමාලෝචනය සඳහා අගමැති මහින්ද රාජපක්ෂ මහතා පත් කළ කමිටුවේ සභාපති වශයෙන්  අමාත්‍ය මහාචාර්ය ජී එල් පීරිස් මහතා  කටයුතු කළේය . නිමල් සිරිපාල ද සිල්වා, විමල් වීරවංශ, උදය ගම්මන්පිල, අලි ෂබ්රි යන ඇමතිවරු  සෙසු සාමාජිකයෝ වුහ.

ආණ්ඩුව විසින් පසුගිය දා ගැසට් කරන ලද 20 වන සංශෝධනයට විශාල විරෝධයක් එල්ලවීම නිසා මෙම සමාලෝචන කමිටුව පත්කරනු ලැබී ය.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *