විසිවෙනි සංශෝධනය මේ වසරේ ගේන්න බෑ !

ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ සංශෝධිත විසිවෙනි සංශෝධනය පාර්ලිමේන්තුවෙන් සම්මත කරගැනීම ආණ්ඩුව බලාපොරොත්තු වූ පරිදි මෙම වසර තුළ සිදු කළ නොහැකි වනු ඇති බව ආණ්ඩුවේ තතු දත් ආරංචි මාර්ග කියයි.

දැනට ඉදිරිපත් කොට ඇති සංශෝධනයට එල්ල වී ඇති විරෝධය නිසා එය නැවත සංශෝධනය කිරීමට තීරණය කොට ඇත. ඒ සඳහා අගමැති මහින්ද රාජපක්ෂ මහතා පත් කළ කමිටුවේ වාර්තාව හෙට කැබිනට් මණ්ඩලයට ඉදිරිපත් කිරීමට නියමිත ය. ආණ්ඩුව තුලින් හා පිටතින් බොහෝ විවේචන එල්ල වී ඇති නිසා සංශෝධන පිලිබඳ  තිරණය හෙට ම ගැනීම සැක සහිත බව අපගේ ආරංචි මාර්ග කියයි.

කෙසේ හෝ හෙට ම තීරණයක් ගෙන ගැසට් කළ ද , එය පාර්ලිමේන්තුවට ඉදිරිපත් කළ හැකි වන්නේ එලෙස ගැසට් කර සති දෙකකට පසුව ය. එනම් ඔක්තෝබර් මස මුල් සතියේ හෝ ඉන් පසුව ය.

ඉන් පසුව අධිකරණයට පෙත්සම් ඉදිරිපත් කිරීමට සතියක කාලයක් දිය යුතු ය. අධිකරණ ක්‍රියාවලිය සඳහා ද සති තුනක පමණ කාලයක් අඩු තරමින් වෙන්කළ යුතු වෙයි. එවිට නොවැම්බර් මාසය දක්වා කල් ගතවිය හැකි ය.

ලබන වසර සඳහා රජයේ අයවැය ලේඛනය ඉදිරිපත් කිරීම හා විවාද කොට සම්මත කිරීම සඳහා  නොවැම්බර් දෙසැම්බර් මාස දෙකේ දී පාර්ලිමේන්තුවේ කාලය වෙන්කළ යුතු වෙයි.

ඒ අනුව මෙම සංශෝධනය මේ වසරේ සම්මත කිරීම දුෂ්කර බව පෙනෙන්නට තිබේ.

එමෙන් ම සංශෝධනයකට ඉක්මන් නොවී නව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවක් ගෙන ඒමට කටයුතු කළ යුතු බවට ප්‍රබල මතයක් ආණ්ඩුව තුලින් ම ඉදිරිපත් වී තිබේ.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *