කොරෝනා අස්සේ ලොකු ගරානාවක් ; ඩොලර් මිලියන 450ක බලාගාරය ඉදිකිරීම ටෙන්ඩර් නැතිව චීන සමාගමට !!!

නොරච්චෝලේ තවත් මෙගාවොට් 300ක ගල් අගුරු බලාගාරයක් ඉදිකිරීමේ කොන්ත්‍රාත්තුවක් කිසිදු ටෙන්ඩර් කැඳවීමකින් තොරව චීන සමාගමකට ලබාදීමට අමාත්‍ය මණ්ඩල අනුමැතිය ලැබී ඇති බව වාර්තා වෙයි. චයිනා මැෂිනරි ඉංජිනියරින් කොර්පොරේෂන් සමාගමට මෙම කොන්ත්‍රාත්තුව ලබාදීමට තීරණය කර ඇත්තේ කොවිඩ් 19 වසංගත තත්ත්වයෙන් ඇතිවන ආර්ථික ප්‍රශ්නවලට විසදුම් ලබාදීමේ හදිසි ව්‍යාපෘතියක් වශයෙනි.

මෙලෙස ගල් අගුරු බලාගාරයක් ඉදිකිරීමට හදිසි තීරණයක් ගෙන ඇත්තේ මෙගවට් 200කට වැඩි ධාරිතාවක් පද්ධතියට එක් කළ  හැකි කුඩා  පුනර් ජනනීය බලාගාර  සියයකට වැඩි ගණනක් ගැන පසුගිය වසර ගණනාවක් තිස්සේ කිසිදු පියවරක් ගෙන නොතිබිය දී ය.

ඉහත කී බලාගාරයේ ඉදිකිරීම් වියදම ඩොලර් මිලියන 450ක් බව කීව ද වත්මන් මිල ගණන් යටතේ මෙබඳු බලාගාර සඳහා වියදම ගණන් බලන්නේ මෙගාවොට් එකක් සඳහා ඩොලර් මිලියනයක් යන පදනම යටතේ බව විශේෂඥයෝ කියති. ඒ අනුව ගණන් බැලුවහොත් මෙහි ඉදිකිරීම් වියදම ඩොලර් මිලියන 300ක් හෝ ඊට අසන්න විය යුතු ය. මේ ස්ථානයේ දැනටමත් ගල් අඟුරු බලාගාරයක් ඇති  නිසා සැපයුම් මාර්ග, සම්ප්‍රේෂණ මාර්ග ආදිය ඉදිකිරීමේ වියදම් සහ වෙනත් වියදම් ද විශාල ලෙස අඩුවිය යුතු බව කියති. ඒ අනුව මෙම බලාගාර ඉදිකිරීමේ ගනුදෙනුව තුළ අති විශාල අතයට ගනුදෙනුවක් පිළිබඳව සැක පහල වී තිබේ.

මෙම ගනුදෙනුව බරපතළ ලෙස සැක සහිත බව ජවිපෙ හිටපු මන්ත්‍රී සුනිල් හඳුන්නෙත්ති මහතා ද සති අන්තයේ මාතර පැවති රැස්වීමක දී ප්‍රකාශ කොට තිබිණි.

මෙය රජයන් දෙකක් අතර ගනුදෙනුවක් ලෙස පෙන්නුම් කළ ද චීන රජය මෙයට කිසිදු සම්බන්ධයක් නැති බව කියති.

චීන සමාගම සහ ලංකා විදුලිබල මණ්ඩලය අතර හවුල් ව්‍යාපාරයක් ලෙස ක්‍රියාත්මක කිරීමට යයි. එහි  ලං වී ම ට අයත් කොටස සියයට 51 කි. ඒ සඳහා ලං වී ම ය යෙදිය යුතු මුදල චීන එක්සිම් බැංකුවෙන් සියයට 4.5 ක පොලියක් යටතේ ලබාගන්නා  බව කියති.

මෙම ගිවිසුම වහාම අත්සන් කිරීමට ලංකා විදුලි බල මණ්ඩලයට උපදෙස් ලැබී ඇති බව ද වාර්තා වෙයි.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *