මම කීවේ වංචනිකයින්ට ඡන්දය දෙන්න එපා කියලා. පොහොට්ටුව තොප්පිය දාගෙන නම් මට කරන්න දෙයක්නෑ – මැතිවරණ කොමිසමේ සාමාජික රත්නජීවන් හූල්

තමන් ප්‍රකාශ කළේ වංචනිකයින්ට ඡන්දය නොදෙන ලෙස බවත් ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ ඒ තොප්පිය දාගන්නේ නම් තමන්ට කරන්නට දෙයක් නොමැති බවත් මැතිවරණ කොමිසමේ සාමාජික, මහාචාර්ය රත්නජීවන් හූල් මහතා පවසයි. 

ඒ මහතා මේ බව පවසා තිබුණේ ශ්‍රී ලංකා පොදුජන පෙරමුණට ඡන්දය නොදෙන්නැයි හූල් මහතා දෙමළ ජනතාවගෙන් ඉල්ලා ඇති බවට ආණ්ඩුවේ ප්‍රබලයකුට අයත් මාධ්‍ය ආයතනයක් විසින් පළකර තිබුණු වාර්තා පිළිබඳ අදහස් දක්වමිනි. 

ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ මේ සම්බන්ධයෙන් මැතිවරණ කොමිසමේ සභාපති මහින්ද දේශප්‍රිය මහතා වෙත පැමිණිල්ලක් ද කර තිබිණි. 

කෙසේවෙතත් මේ පිළිබඳ මහාචාර්ය හූල් මහතාගෙන් කළ විමසීමකදී ඒ මහතා ලබාදුන් පිළිතුර කලම්බු ටෙලිග්‍රාෆ් වෙබ් අඩවියේ කර්තෘ උවිඳු කුරුකුලසූරිය මහතා ෆේස්බුක් සමාජ මාධ්‍ය ජාලයෙහි පළකර තිබුණේ පහත ආකාරයෙනි. 

මැතිවරණ කොමිසමේ සාමාජික මහාචාර්ය රත්නජීවන් හූල් සම්බන්ධයෙන් ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ අතිශයින්ම දැඩි විරෝධයක් දක්වන බවත් එම පක්ෂයේ අනුගාමිකයින් ඒ මහතා කෙරෙහි වෛරී ප්‍රකාශ සමාජ මාධ්‍ය ජාල තුළ වපුරමින් සිටින බවත් රහසක් නොවේ. මේ තත්වය අද ඊයේක සිට පවතින තත්වයක් ද නොවේ. 2018 ඔක්තෝබර් 26 දේශපාලන කුමන්ත්‍රණයේදී පොහොට්ටුව මෛත්‍රීපාල සිරිසේන මහතා සමඟ එක්ව ආණ්ඩුවක් පිහිටුවා නීතිවිරෝධී ලෙස පාර්ලිමේන්තුව විසුරුවා හැරීමට ගත් උත්සාහයේදී ඊට එරෙහිව ශ්‍රේෂ්ඨාධිකරණය හමුවට යාම නිසා හූල් මහතා පොහොට්ටුවේ දේශපාලන ප්‍රහාරවල අංක එකේ ඉලක්කයක් වී සිටී. 

හූල් මහතාගේ දෙමළ ජාතිකත්වය ද ඈඳා ගනිමින් නින්දිත ලෙස ජාතිවාදය අවුස්සා ඡන්ද ගැරීමේ මෙහෙයුමක් පොහොට්ටු පාර්ශ්වයෙන් ක්‍රියාත්මක වන බව පොහොට්ටු දේශපාලකයින් විසින්ම වරින් වර ඔප්පු කරමින් පවතී. 

LANKANEWSWEB

Leave a Reply

Your email address will not be published. Required fields are marked *