ඉන්දීය විශේෂඥයින් පැමිණිම ගැන තිබෙන කැක්කුමේ රහස !- මහාචාර්ය රොහාන් සමරජීව
ලිපියේ දෙවැනි කොටසින් පෙන්වා දුන් පරිදි මේ හැමදෙනා ම තමන්ගේ වැඩවලට ඉන්දියන්කාරයින් පාවිච්චි කර තිබේ. ඔවුන් එසේකර ඇත්තේ සංචාරක වීසා ගෙන මෙරටට පැමිණීමෙනි. ඇත්ත තත්ත්වය ඒක ය. එය එසේ වූව ද ඒ අයම බොරුවට කෑ ගහති. එතන දි මම තව එක පියවරක් ඉදිරියට ගොස් කථාකරන්නට කැමති ය. ඉන්දියන් විශේෂඥයින් පැමිණිම පිළිබඳ මේ අයට තිබෙන ඇත්ත වේදනාව ද සොයා බැලිය යුතු ය. මේ වේදනාවේ කුහකකම සහ බොරුව මෙන්ම නොදැනුවත්කම් ගැන අපි මේ කොටස තුළ සාකච්ඡා කරමු.
ඒ වේදනාවේ කොටස් දෙකක් තිබේ. මේ කරන දේ ජාත්‍යන්තර, නැත්නම් රටවල් දෙකක් අතර ගිවිසුමකට ඇතුල්කළ විට ඒක වෙනස් කරන්නට නොහැකිය යන හැගීමක් ඒ අයට තිබේ. අපි ඒ නිදහස නිදහස් වෙළඳ කලාපය තුළින් ලබාදුන්විට, ඒක අපිට ඒක පාක්ෂිකව වෙනස් කළ හැක. මෙවැනි ගිවිසුමක් වෙනස් කළ හැක්කේ ද්වීපාර්ශවිකව පමණි. ඒ නිසා අපේ රටේ ස්වෛරී බවට යම් කිසි අඩුවක් වෙනවා යන කැක්කුමක් එතන ඇත. එහි අනික් කාරණය වන්නේ, එහෙම වුනාම අපේ නිළධාරීන්ගේ අභිමතය ඉහළ ය. නිලධාරින්ට පුළුවන් මේ නීති රිති වෙනස්කරන්නට. දැන් ඇමෙරිකාවේ ජනාධිපති අපේක්ෂකයෙකු වන ඩොනල්ඞ් ට්‍රම්ප් වැනි පිස්සෙක් ඇවිල්ලා 45%ක් බදු ගහන බව පැවසුවහොත්, ඒක එයාට ඒක පාක්ෂිකව කරගන්නට පුළුවන. ඩොනල්ඞ් ට්‍රම්ප් කියන්නේ බොරුවකි. මේ ගිවිසුම් අත්සන් කර තිබෙන නිසා එයාට ඒ ආකාරයට බදුවැඩි කළ නොහැක. අද ඇමෙරිකාව සිටින්නේ ඒවාගේ ගිවිසුම් දැළක් මැද ය. එහෙම කළොත් ඒක නීති විරෝධි දෙයක් බවට පත් වේ. මෙසේ ගිවිසුම් තිබෙන විට ආයෝජකයින්ට තිබෙන නිශ්චිත භාවය වැඩිවේ. ආයෝජකයින් ආයොජනය කළ පසු තමන්ට අවාසිවන ලෙස නීති වෙනස්වීමක් සිදුවන්නේ නම් ඒකට ඒ අය කැමති වන්නේ නැත. ඔහු ආයෝජනයක් කරන්නේ ඉදිරි සැළසුමකට අනුව ය. උදාහරණයක් ලෙස තමන්ට අවශ්‍ය දක්ෂ සේවකයින් යම් ප්‍රමාණයක් අවශ්‍ය නම් සහ එය මේ රටෙන් සොයා ගැනීමට නොහැකි නම් ඒ අය කොහෙන් හරි ගෙන ඒමට පුළුවන් කමක් ඒ ආයෝජකයින්ට අවශ්‍ය වේ. ඔහු එනවිට එසේ පුළුවන් කමක් ඒ රටේ තිබෙනේ නම් ඔහුට යහපත් ය. දැන් ආයෝජන මණ්ඩලයේ ව්‍යාපෘතියක් ආරම්භකරන විට ඒ පහසුකම තිබේ. නමුත් සියලු ආයෝජනයන්, කර්මාන්තශාලා යනාදිය ගොඩනැගීමේන් පසුව තමන්ට අවශ්‍ය මිනිසුන් පහසුවට ගෙන්නා ගැනීම සඳහා තමයි මේ ගිවිසුම් ඇතිකරගන්නේ.
සමහරු හිතන ආකාරයට වෙළඳ ගිවිසුමක් කියන්නේ අපනයන වැඩි කිරීම ආනයන අඩු කිරීම කියන, අර පරණ ආරක්ෂණවාදි නැත්නම් වානිජවාදය සංකල්පය මත නොවෙයි අද වෙළඳ ගිවිසුම් ඇතිවෙන්නේ.
මී ළග ප්රශ්නය තමයි, මේ මගින් වෘත්තියවේදීන්ට තිබෙන ප්රශ්නය කුමක් ද යන්න. අනිවාර්යයෙන් මේ සියලුම රැකියාවල් ලංකාවේ අයටම දියයුතුයි කියලා නීතියක් තිබෙනවා යැයි සිතමු. එවිට ලංකාවේ ඒ ඒ ක්ෂේත්රවල වෘත්තීය වේදීන්ගේ වැටුප් වෙළඳපොලේ සැපයුම අඩුකර, ඉල්ලුම තිබුණ තත්වයේ ම හෝ වැඩිවනවා නම් මිල වැඩිවෙනු ඇත. එවිට යමෙක් ඒක හොඳ යැයි පවසන්නට පුළුවන. ඒ නිසා තමයි හැම දොස්තර කෙනෙක්ම විරුද්ධ වන්නේ පිටරට දොස්තරලා එනවාට. මේ රටේ ගණකාධිකාරිවරයෙක් විරුද්ධයි පිටරටින් ගණකාධිකාරි වරයෙක් මෙහාට එනවට. ඕනෑම වෘත්තීය වේදියෙක් ඒ ක්ෂේත්රයේ අයෙක් එනවාට විරුද්ධ ය. හුදු ආත්මාර්තකාමිත්වයෙන් කථා කරන්නේ නම් සැපයුම හැකිතරම් අඩුකර හැකිතරම් බාධා යොදවා ඒ අයගේ මුදල් ඉපැයීමේ නැත්නම් කේවල් කිරීමේ හැකියාව වැඩිකර ගනිති.
දැන් කාර් පර්මිට්වලට තරගයක් ඇත. දොස්තරලා ගේ හිගයක් ඇති හෙයින් කේවල් කිරීමේ හැකියාව මත ඒය දීමට සිදුවී ඇත. එතනදී අපි ඒ අයට කෘතීමව වෙළඳපොල විකෘති කරන්නට ඉඩදෙන්නේ ඇයි ද යන්න ආණ්ඩුව සහ ජනතාව ඒ අයගෙන ඇසිය යුතු ය. අපේ අවශ්‍යතාවය අපේ ජනතාවට හොඳ සේවාවක් අඩු මිලට දීම නම්, අපි මොකටද මේ වෘත්තීයවේදීන්ට විශේෂ ආරක්ෂක වැටවල් ගහලා ඒක නැතිකරන්නට ඉඩ දෙන්නේ.
ආණ්ඩුව නියෝජනය කරන්නේ මුළුමහත් සමාජයම ය. ඕනෑම අවස්ථාවක වෘත්තීයවේදීන්ගේ සංඛ්‍යාවට වැඩිය පාරිභෝගිකයෝ සිටිති. පාරිභෝගිකයෝ නිහඬ ය. ඒ අයගේ සංවිධාන නැත. නමුත් පාරිභෝගිකයා වෙනුවෙන් කවුරු හෝ කථාකළ යුතු ය. උදාහරණයක් හැටියට අදත් වෛද්‍ය වෘත්තීයට යම්කිසි තරගකාරිත්වයක් පැමිණ තිබේ. වෛද්‍ය සේවය තුළ, ආණ්ඩුවේ රෝහල්වලින් වැඩි කොටසක් පෝලිම්වල බෙහෙත් ගනිති. සුළු කොටසක් වැනලින් වලට යති. ඊටත් සුළු කොටසක් පිටරටවලට ගොස් බෙහෙත් රැගෙන එති. ඒකෙත් එක එක ස්ථර ඇත. පළවෙනි ස්ථාරය ඉන්දියාවට යන විට දෙවැනි ස්ථරය සිගප්පූර්වට සහ ඊ ළග ස්ථරය ඇමෙරිකාවට ගිහිල්ලා ප්‍රතිකාරය ගනිති.
ඒ උඩ ස්ථරයට බෙහෙත් කරන ලංකාවේ දොස්තරවරුන්ට මේක අද ප්‍රශ්නයක් වී තිබේ. ඒ අයට මේකේ ඇති තරගය කුමක්ද යන්න වැටහී ඇත. මා ඔයාට බෙහෙත් නොකළේ නම් ඔබ ගුවන් යානයක නැගි සිංගපූර්වට යන බව සමහර වෛද්‍ය විශේෂඥයින් මට පවසා ඇත. මම වත්කම් ඇති මිනිසෙක් බව කල්පනාකර ඒ අය එසේ කියති. මා දැක් වූ ස්ථර අතර දෙවැනි ස්ථරය දැනටමත් බිය වී ඇත. තුන්වෙනි ස්ථරයේ තරගය යම් ප්‍රමාණයකට ලංකාවේ තිබින. ඇපලෝ එක වැනි රෝහළක් උදාහරණයට ගතහැක. ඇපලෝ එකට ඉන්දියන් දොස්තරලා ඇවිත් වෙදකම් කරති. මා ද ඒ අයගෙන් බෙහෙත් අරන් තිබේ. මේ මිනිහා ඉන්දියන් දොස්තර කෙනෙක් නිසා මම මැරෙයි යැයි මට සැකයක් තිබුණේ නැත.
අර පහළ ම ස්ථරය ඔයතරම් කුලප්පු වෙන්නේ තමන්ගේ අර කේවල් කිරීමේ හැකියාවට තර්ජණයක් එන නිසා ය. නමුත් මට දැන් වැඩිපුර ගාණක් ගසාකෑමට ලැබෙන නිසා විරුද්ධවන බව ඔවුන් පවසන්නේ නැත. තව ද මේ තත්ත්වය තුළ ගුණාත්මක බවෙන් අඩු බෙහෙත් දීලා ඔවුන්ට ෂේප් වන්නට ද පුළුවන. අනේ මේ අපේ ජනතාවගේ හොඳට, අපේ ජනතාවගේ ආරක්ෂාව සඳහා, අපේ ප්රමිතීන් රැකගැනීම සඳහා සුදුසුකම් නැති දොස්තරලා ඇවිත් අපිට හානි කරයි යනා දි ප්‍රලාප නගන්නේ ජනතාවට ආදරය නිසා නොවේ. ඒක සාමාන්‍ය ආරක්ෂණවාදයකි. මෙය හදුන්වන්නේ කාටල හදනවා යනුවෙනි.
සැපයුම සීමා කරන්න හදන ඕනෑම කෙනෙක් ඔයවගේ සුරංගනා කථා කියති. ඒ අය කියන්නේ අපි මෙහෙම කරන්නේ ඔයගොල්ලන්ගේ යහපතට බව ය. ඇත්තටම කරන්නේ අර දුප්පත් මිනිසුන්ගේ තුට්ටුවට ගහන එක ය. ඒක තමයි වෘත්තියවේදින්ගේ ඇත්ත ප්රශ්නය. මක්නිසා ද යත් අපේ වෘත්තියවේද්ීන් ගත්විට පුදුම දෙපිටකාට්ටු කථාවක් මේ කථා කරන්නේ. ප්රතිශකයක් ලෙස ලෝකේ කොහේවත් සිටිනවාට ගණකාධිකාරීවරු ලංකාවේ සිටිති. මේ අය සල්ලි හම්බකර ගන්නේ කොහෙන් ද? මේ අය රටරටවල් ගානේ ගිහිල්ලා තමයි ඒක කරන්නේ. ගිහිල්ලා බලන්න සෞදි අරාබියේ. බලන්න ෆීජී රටේ. එහෙ සමාගම්වල එකවුන්ටන්ට් ලා සියල්ලම වාගේ ලාංකීකයෝ ය. ඒ කියන්නේ ඒ අයට හොදයි වෙන රටවලට ගොස් තමන්ගේ ශ්‍රමය විකුණන්න. මම ෆීජිවල දැකලා තිබෙනවා ඔය මෘදුකාංග ඉන්ජිනේරුවො වැඩකරනවා. අපේ විධායක නිලධාරින් හැටියට එහි කොපමණ වැඩ කරන්නේ ද? ඔය ෆ්ජි කියන රටට යන්නට පැය 14ක් පමණ ගතවේ. මේ සියල්ල අපේ අයට කරන්නට හොඳ ය. නමුත් කවුරුහරි මෙහාටවිත් මොනවා හරි සේවයක් කළොත් එයින් ලෝක විනාශයක් වන බව පවසති. ඒක කොහොමවත් විය නොහැකි දෙයකි. ඒහෙන් එන්න නරක නම් මෙහෙන් යන එකත් නරක් වෙන්නට ඕනේ. ඒ අය මැදපෙරදිගට යන එකත් නරක ය.
ඊ ළගට ඒ අය නොකියන දෙයක් ඇත. අගවන දෙයක් ඇත. ඇයි මේ ඉතා කුඩා වෙලඳපොලට එන්නට විශේෂ දෙයක් තිබෙනවා ද? දිල්ලි නගරය වටේට මිලියන 20ක ජනගහනයක් සිටිති. මහා බොම්බායේ ජනගහනය මිලියන 20කි. ඒ කියන්නේ මේ රටේ ඒ තරම් ම ආකාර්ෂණිය ද ඒ අයට. අපේ වැටුප් එහෙ වැටුප් වලට වඩා ටිකක් වැඩි බව ඇත්තකි. නමුත් අපේ ආහාරවලට යන වියදම එහෙ ආහාර වියදමට වඩා වැඩිය. ඒ නිසා ඇත්තෙන්ම අපේ ක්‍රය ශක්තියේ ගුණාත්මක වෙනසක් නැත. ඒ නිසා මෙහෙ පැමිණ ඒ අය කරන ආයෝජනයන් දෙස බලන්නට වෙන්නේ ලාභයක් ලැබෙන්නේ ද යන ඇසෙනි. අපි ඇවිල්ලා ආයෝජනය කරන්නෙ කුමකට ද කියන එක තමයි ඒ අය අහන්නේ. එතකොට අපි අර මීට පෙර කථා කළ ගෝලීය සැපයුම් දාමය කියන සංකල්පයට යන්නට අවශ්‍ය ය. ඒ ගැන සාකච්ඡා කිරීම අපි ඊ ළග කොටසට තබමු.
