අභ්‍යවකාශ යුගයේ අපේ පාරවල්වල පරණ බස් දුවන්නේ ඇයි ? – ධනනාත් ප්‍රනාන්දු

අවුරුදු දෙක තුනකට කලින් මං ආපු බස් එකේ තිබිච්ච රූපවාහිනි තිරය ඇතුලෙ ලොකු සංගීත ප්‍රසංගයක්. නිවේදක මහත්තයා එකපාරටම කියපි “වෙජිටබල් නයිට් සංගීත ප්‍රසංගයට ඔබව ආදරයෙන් පිළිගන්නවා” කියලා. බස් හෝල්ට් හතරක් පහක් එනකම්ම මං කල්පනා කර කර ආවා ඇයි මේ සංගීත සංදර්ශනයට vegetable නයිට් කියලා දැම්මෙ කියලා. ටික වෙලාවකින් ආයෙත් නිවේදක මහත්තයා කිව්වා සංගීත සංදර්ශනයට ප්‍රධාන අනුග්‍රහය බේරුවල (මට මතක විදියට) පොදු වෙළෙඳ පොළේ එලුවලු වෙළඳුන්ගෙන් කියලා. එකපාරටම මට බකස් ගාලා හිනා ගියාට එතකොටයි මට තේරුනේ අපි දකින හැම දේකටම අපි හිතනවට වඩා ගැඹුරක් තියෙනවා කියලා.

ගිය ඉරිදා @Sunday Morning පුවත්පතට මම ලිව්වෙ මේ ගැන.

අපේ ප්‍රවාහන ප්‍රශ්නය හරි සරලයි. ඒ වගේම සංකීර්ණයි. සරලව ප්‍රශ්නය කියනවනම් අපි ප්‍රවාහනය කරන්නෙ වාහන මිසක් මිනිස්සු නෙවෙයි. පොඩි පොඩි වාහන වල එක්කෙනා දෙන්න ගානේ වාහන ගොඩාක් පාරට එනවා. එතකොට පාරෙ ඉඩ නැතිවෙනවා. දේශපාලන දාර්ශනිකයෝ ටික කියනවා අපේ පාරවල් වල වාහන වැඩියි කියලා. එහෙම කියලා ඒගොල්ලෝ වාහන වලට ලොකු තීරු බද්දක් ගහනවා. තව සෙට් එකක් පාරවල්වල ඉඩ මදි කියලා තව පාරවල් ලොකු කරමු කියලා ඒවයෙන් කොමිස් ගහනවා. ඒ දේශපාලන දාර්ශණිකයන්ට හුරේ දාන ඉතුරු දාර්ශනිකයෝ ටික කියනවා පොදු ප්‍රවාහනය දියුණු කරන්න ඕන කියලා. (හරියට කෘෂිකර්මයට තාක්ෂණය හඳුන්වා දෙන්න ඕන කියනවා වගේමයි). කොහොමද පොදු ප්‍රවාහනය දියුණු කරන්නේ කියලා ඇහුවහම කියනවා “ආණ්ඩුව (පවතින, පැවැති සහ පැවතිය හැකි ඕනෑම රාජ්‍ය පාලනයක්) පාරට බස් දාන්න ඕන. ආණ්ඩුව තව කෝච්චි දාන්න ඕන” කියලා. (ආණ්ඩුවට බස් දාන්න සල්ලි කොහෙන්ද කියලා ඇහුවම උන් සෙට් එක අපෙන් අහනව ඇයි ආණ්ඩුවට සල්ලි නැද්ද කියලා.) ලංකාවේ බහුතරයකට ප්‍රවාහන ප්‍රශ්නය ගැන තිබෙන අදහස ඔච්චරයි කියලයි මගේ විශ්ලේෂණ‍ය. අනිත් එක පොදු ප්‍රවාහනය කියලා කියන්නේ නිකන් සේවාවන් සපයන එකවත් ආණ්ඩුව ප්‍රවාහන සේවාවක් සපයන එක වත් නෙවෙයි. අපේ පොදු ප්‍රවාහනය හදන්න කලින් ඒක බිඳ වැටෙන්න හේතු හොයා ගන්න ඕන.

ඉතින් මං පොඩ්ඩක් හොයල බැලුවා ආර්ථික විද්‍යාවෙන් සහ දන්න Managemnet theory එකක් දාලා මේක පැහැදිලි කරන්න පුලුවන්ද කියලා.

පැහැදිලි කරන්න කලින් රථවාහන තදබදය නිසා ලංකාවෙ අවුරුද්දකට නාස්ති වෙන මුදල පොඩ්ඩක් මතක් කරලම පල්ලෙහාට යන්න හිතුවා. හෘදයාබාද තියෙන දේශමාමක ජනතාව මේ ටික කියවන්න එපා. හෘදයාබාද නැති කට්ටිය වුණත් වතුර එකක් ලඟට ගත්තට කමක් නෑ.

වාහන තද බදය නිසා වසරකට නාස්තිවන ඉන්ධන ප්‍රමාණයේ වටිනාකම – LKR බිලියන 350+ ට වැඩියි.
[කලින් සතියේ “වාහන ගෙන්නන එක නතර කිරීම තහනම් කිරීම අසාධාරණයි, තේරුම්ක් නෑ, මිනිසුන්ගේ හීන කුඩු වෙනවා කිව්වම” ඇඟට කඩා පැනපු අය වාහන ආනයනයට වියදම් කරන US$ ප්‍රමාණයයි මේ නාස්ති වන US$ ප්‍රමාණයයි සංසන්දනය කරලා වතුර එකක් බීලා එන්නකෝ තර්ක කරන්න.]

වාහන අමතර කොටස් සඳහා නාස්ති වන මුදල – LKR බිලියන 200+ට වැඩියි

රථවාහන තද තදබදය නිසා කාලය නාස්ති වීමෙන් සිදුවන පාඩුව – LKR බිලියන 300+ට වැඩියි

මාර්ග අනතුරු නිසා නාස්ති වන මුදල – LKR බිලියන 50+ට වැඩියි

රථවාහන තද තදබදය නිසා මාර්ග නඩත්තුවට යන අමතර මුදල – LKR බිලියන 250+ට වැඩියි.

වසරකට වන මුළ නාස්තිය – LKR බිලියන 1150+ට වැඩියි.

මේ මුදල US$ වලින් ගත්තොත් චීනයට හම්බන්තොට වරාය පැවරීමෙන් ගත්ත වගේ 6 ගුණයකට වැඩියි.ඒ එක අවුරුද්දකට. මේකෙන් හතරින් එකක් අඩු කර ගත්ත නං ඛණිජ තෙල් ආනයනයට යන මුදලින් අඩුම තරමේ හතරෙන් එකත්වත් ගේමක් නැතුව ඉතුරු කර ගන්න පුලුවන්.

මේකෙන් වෙන පරිසර හානිය ගැන මං කතා කරන්නවත් යන්නේ නෑ. එච්චරට වැඩියි. දැන් බලමු ප්‍රශ්නෙට හේතුව මොකක්ද කියලා.

ඕනම වෙළඳපලක්, බිස්නස් එකක්, තවත් සරල කරලා තියෙනවා නම් Career එකක් බිඳ වැටෙන්න දේවල් තුනයි වෙන්න ඕන. මම දකින හැටියට ලංකාවේ පොදු ප්‍රවාහනයේ ඒ කාරණා තුනම හරි පදමට අවුරුදු ගාණක් තිස්සේ තියෙනවා. ඒක නිසා තමයි ලෝකෙ අභ්‍යවකාශයට මිනිස්සු යවද්දී අපිට තාම පරණ ලේලන්ඩ් බස් එකේම යන්න වෙලා තියෙන්නෙ. ඕන industry එකක් අප්සට් කරගන්න ඕන නං ෂුවර් එකටම මේ තුන කරන්න

Barriers to enter the market (වෙළඳපොළට ඇතුල් වෙන්න තිබෙන බාධාව)
Lack of competition ( තරගකාරිත්වයක් නැති වීම)
No Incentives (හොඳ සහ ගුණාත්මක සේවාවක් සැපයුවත් සේවාවට සරිලන විදියට ආදායම වැඩි කර ගැනීමට අවස්ථාවක් නොමැති වීම )

1. මුලින්ම තියන ප්‍රශ්නේ තමයි පොදු ප්‍රවාහනය ක්ෂේත්‍රයට ඇතුල් වෙන්න අමාරුයි. අපි සල්ලි දීලා ත්‍රීවිලර් එකක් [කාර් එකක් – කැබ් සර්විස් එකකට දාන්න] ගත්තොත් අපිට ඕනම වෙලාවක පාරට ත්‍රීවිල් එකක් දාලා මිනිස්සුන්ට සේවාවක් සපයල ගානක් අය කරන්න පුළුවන්. ඕනම වෙලාවක Pickme, Uber එකට බැඳිලා සේවා සැපයුම් කරුවෙක් වෙන්න පුළුවන්. ඒත් අපේ පොදු ප්‍රවාහනයට ඇතුල් වෙන්න අමාරුයි. මට සල්ලි තිබිලා බස් එකක් ගත්ත කියල මට route permit එකක් ගන්න බෑ. Route permit දෙන්නේ දේශපාලන බලපෑම් මත. ඒ වගේම පෞද්ගලික බස් හිමියන් නිතරම කියන්නේ අලුතෙන් route permit එකක් දෙනවා නම් දෙන්න ඕනේ දැනට බස් එකක් තියෙන අයට කියලා. අනිත් අයට දුන්නොත් ඒගොල්ලො වර්ජනය කරනවා. ඒක හරියට ක්‍රිකට් ගහන්න නං පවුලෙ දැනට ක්‍රිකට් ගහපු කෙනෙක් ඉන්න ඕන වගේ කතාවක්. ඔය ක්‍රමයට cricket වලට තේරුව නං ජයසූරියට ජීවිතේට cricket ගහන්න වෙන්න නෑ . මොකද එතුමගේ පියා ක්‍රිකට් ගහලා නැති නිසා. ඒ වගේම route permit එකේ ගාන බස් එකක් බදු ගෙවලා, සල්ලි දීලා ගන්න යන ගාන වගේ හතර පස් ගුණයක්. මේ වෙළඳපොලට ඇතුලත් වෙන්න හරිම අමාරුයි. ඉතින් අලුතෙන් කවුරුත් එන්නැති නිසා පරණ සෙට් එක බල්ටි ගහනවා.

(දැන් ඉතින් වාහන එළවන, ත්‍රීවීලර් එහෙන් මෙහෙන් දාන නිසා ඇරියස් තියෙන අය මගේ ඇඟට ගොඩ වෙන්න එපා. සරලවම කිව්වොත් ඕන මධ්‍යම රාත්‍රියක, ඕන හන්දියක ෆෝන් එක බලාගෙන ත්‍රීවිලර්/ කැබ් එකක් ගෙන්න ගන්න පුළුවන්. අපේ පර්ස් එක, වටිනා භාණ්ඩයක්, පොතක්, වාහනයේ අමතක වෙලා දාලා ගියොත් ආයෙත් කතා කරල ඒක හොයා හොයාගන්න උත්සාහයක් දරන්න පුළුවන්. කාඩ් එකෙන් සල්ලි ගෙවන්න පුළුවන්. ලංකාවේ බස් එකක මොනව හරි අමතක වෙලා දාලා ආවොත් ඒක හොයාගන්න පුළුවන් විදියක් දන්න කෙනෙක් හම්බුනොත් නොබෙල් තෑග්ග ගන්න පුළුවන්. ඒකෙ තේරුම three wheeler සහ cab සර්ව සම්පූර්ණයි කියන එක නෙවෙයි. බස් වලට කෝච්චිවලට වඩා සේවාව අතින් ගව් ගානක් ඉස්සරහින් කියලා. හැබැයි අපි අමතක කරන්න හොඳ නෑ mobile app මත කෑම, භාණ්ඩ, ලිපිගොනු පවා ඩිලිවර් කරන්න, පුළුවන් තරමට ක්ෂේත්‍රය උපරිම සේවාවක් සපයන්නේ කිසිම රජයක කිසිම සහයෝගයක් නැතුව. හැම රජයක්ම කරේ three wheeler වලට ගහපු බදු වැඩි කරපු එක විතරයි. රජය එහෙම පහසුකමක් සපයන්න අවශ්‍යත් නැහැ. වෙළඳපලට ඇතුල් වෙන්න රෙගුලාසියක් නොදා හිටිය නං හොඳටම ඇති. ඒකයි මං නිතරම කියන්නෙ ආණ්ඩුව උදව් කරන්න එනවාට වඩා කරදර නොකර ඉන්න එකම අපිට කරන ලොකු උදව්වක් කියලා) පොඩ්ඩක් බර කරලා දණිස්ස නවලා ආර්ථික විද්‍යාවෙන් කියනවනම් ඉල්ලුම වැඩි වුණාට සැපයුම වැඩි කරන්න බෑ. නීති රෙගුලාසි දාලා සැපයුම වැඩි කරන එක නවත්තලා තියෙන්නෙ. ඔන්න පලවෙනි ප්‍රශ්නය.

2. දෙවනි එක තමයි තරගකාරීත්වයක් නැතිකම.

ආණ්ඩුවට අයිති බස්වලින් ධාවන තත්වයෙන් තියෙන්නෙ බස් 5000ක් විතර. පුද්ගලික අංශය නැත්තං, පුද්ගලික බස් රථ තියනවා 20,000ක් විතර. අපි හැමෝටම නිතරම අමතක වෙනවා ආණ්ඩුවට සල්ලි නැහැ කියලා. ඒ වගේම ආණ්ඩුවට සල්ලි දෙන්නේ අපි කියලත් අමතක වෙනවා. ඉතින් ආණ්ඩුවට බස් දාන්න කියලා කියන එක හරිම අසාධාරණයි.

තරගකාරීත්වය කිව්වහම ගොඩක් අය අහනවා ඇයි මේ බස් 20,000ක් තියෙන්නේ, පුද්ගලික බස් රථ රේස් යන විදියට උඹ පිස්සු කියවනවද?, තවත් මොන තරගකාරීත්වයක් ගැනද මේ කතා කරන්නේ කියලා. තරගකාකාරීත්වය කියලා කියන්න බස්රථ රේස් යන එක නෙමෙයි. විවිධ මට්ටමේ සේවාවන් සපයන සේවා ස්තර ප්‍රවාහන ක්ෂේත්‍රයක තියෙන්න ඕන. ඒ විවිධ මට්ටමේ සේවා සපයන ස්තර එකිනෙකට තරග කරන්න ඕන. වාහනය ගෙදර තියලා වාහනේ තියන සුවපහසුවටම, වැඩි මුදලක් ගෙවලා (වාහනයේ කොළඹ ගිහිල්ලා තෙල් පුච්චන ගාණට වඩා අඩු ගානකට) ඉක්මනට යන්න පුලුවන් පොදු ප්‍රවාහන ස්තරයක් තියෙන්නෙ ඕන. එතකොට පාරට එන වාහන ප්‍රමාණයය අඩු වෙනවා. අන්න එතකොට එච්චර වැඩි මුදලක් ගෙවන්න බැරි සාමාන්‍ය මනුස්සයාට යන්න ඊට වඩා අඩු මුදලක් අය කරන තවත් සේවයක් තියෙන්නෙ ඕන ගමන් බිමන් යන්න. වැඩි මුදලක් ගෙවන්න පුළුවන් අය වැඩි මුදලක් ගෙවලා සුඛෝපභෝගී සේවයක යද්දි පාරට එන වාහන ප්‍රමාණය අඩු වෙද්දි දැන් සාමාන්‍ය මනුස්සයාට කලින්ට වඩා ඉක්මනට යන්න පුළුවන්කම ලැබෙනවා. අන්න එතකොට අඩු මුදලක් දීලා යන්න පුලුවන් ස්ථරයයි වැඩි මුදලක් දීලා යන්න පුළුවන් ස්ථරයයි අතර යම් තරගයක් ඇති වෙනවා. ලොරි බොඩි එකට චැසියක් ගහගෙන අඩු මුදලක් අය කරන බස් රථ හිමියන් අලුත් බස් එකක් අරගෙන වැඩි මුදලක් අය කරන ක්‍රමයට පනින්න උත්සාහවන්ත වෙනවා. එහෙම පනින්න තියෙන බාධාව වන route permit බාධාව අපි අයින් කරලා තියෙන්න ඕන. [ඒක හරියට highway එකේ මෝටර් සයිකල් ත්‍රීවිල් වලට යන්න දෙන්න නෑ වගේ. එහෙම කරන්නේ ඒ මිනිස්සුත් එක්ක තියෙන තරහක් නිසාවත්, පන්ති භේදයක් නිසාවත් නෙවෙයි. ඉක්මනට යන්න පුලුවන් වාහන උපරිම ප්‍රමාණයක් highway එකට ගත්තට පස්සේ highway නොවන අනිත් පාරවල් වල ඉඩ ඉතුරු වෙනවා. Three wheeler මෝටර් සයිකල් වලට highway යන්න දුන්නොත් highway යන වාහන වලට යන්න වෙන්නෙ සාමාන්‍ය වේගයෙන්ම තමයි. දැන් අහන්න එපා highway හදලත් ඇයි එහෙනම් පාරේ මෙච්චර වාහන තදබදය කියලා. highway එකක් තිබ්බෙ නැත්තං තත්ත්වේ කොහොමද කියලා හිතාගන්නකෝ]

නිකමට හිතන්න වැඩිපුරම මධ්‍යම පාන්තික ජනතාවව ජීවත් වනවා කියලා සලකන 138 bus route එකේ AC බස් එකක් බෙහෙතකටවත් හොයාගන්න අමාරුයි. ඉතිං maharagama, homagama වගේ විශාල මධ්‍යම පාන්තික ජනතාවක් ඉන්න මිනිස්සු [ඉංග්‍රීසියෙන්ම ගැහුවෙ මධ්‍යම පාන්තික ජනතාව නිසා] ඔක්කොම තමන්ගෙ වාහන ටික හයිලෙවල් පාරට දානවා. ඉතින් උදේ ඔෆිස් පටන් ගන්න වෙලාවටයි, හවස ඔෆිස් ඉවර වෙන වෙලාව ටයි ඔය පාරේ ගොළුබෙල්ලෙක් අපිත් එක්ක රේස් එකක් ගියත් ගොළුබෙල්ල දිනනවා. (කළු දිවියත් එක්ක රේස් යන්න දැන් කොහොමත් උන් නෑනෙ) නිකං හරි හිතුනද ඇයි ඔය පාරට AC බස් දාන්න බැරි ඇයි කියලා. අන්න හේතුව තමයි route permit ක්‍රමය සහ සේවා ස්ථර අතර තරගකාරීත්වයක් නැති වීම. ඕකේ වාහන පදවන ගොඩක් මිනිස්සු වාහනය පාරට දාන්නනෙ කැමැත්තකින් නෙවෙයි. වෙන කරන්න දෙයක් නැති කමට. ඕකේ AC බස් ටිකක් දැම්ම නම් [මොන වගේ AC බස්ද කවුද දාන්න ඕන කියලා කියලා අවසාන හරියට තවත් පැහැදිලි කරනවා.] පාරට එන වාහන ප්‍රමාණය අඩු වෙනවා. වැඩිපුර මිනිස්සු ගානකට පහසුවෙන් වැඩට එන්න පුලුවන් වෙනවා. ඒත් මේ තියෙන රෙගුලාසි අලුතෙන් පොදු ප්‍රවාහන වෙළඳපොළට කාටවත් ඇතුල්වෙන්නවත්, තරගකාරීත්වයක් ඇති කරන්න ඉඩ දෙන්නේ නෑ. දැන් තියෙන බස් සංගම් එහෙම රෙගුලාසි වෙනස් කරන්න ඉඩ දෙන්නෙත් නෑ. බොහෝ මධ්‍යම පාන්තික ජනතාව ජීවත් වෙන මම පදිංචි මොරටුව, බත්තරමුල්ල, මාලඹේ, වත්තල, ජා-ඇල පැතිවලත් තත්ත්වය ඕකමයි.

බොහෝ දෙනෙක් කතා කරනවා දුම්රිය ගැන. දුම්රිය කියලා කියන්නේ රජයට අයිති ඒකාධිකාරයක්. කිසිම තරගයක් නෑ. ඒක නිසා ක්ෂේත්‍රයක් විදියට කිසිම දියුණුවක් නෑ. ඒක නිසා දියුණුවක් ඇතිවෙයි කියලා බොරු බලාපොරොත්තු ඇති කර ගන්නත් එපා. ගොඩක් අය හිතනවා රජය මේකට තවත් සල්ලි දැම්මාම මේක ගොඩ දාන්න පුළුවන් කියලා. නිකමට හිතන්න ලංකාවේ ලියුම් බෙදන්න ඉන්නේ එකම එක මිනිහෙක් නම් මුලින්ම වෙන දේ තමයි ඒ මනුස්සයාට හරියට ලියුම් බෙදන්න ආසාවක් එන්නෑ. මොකද ඒ මනුස්සයා හරියට ලියුම් බෙදුවත් වැරදියිට ලියුම් බෙදුවත් එයාට කිසි අභියෝගයක් නෑ. කොහොමත් සල්ලි හම්බවෙනවා. ඒ වගේම ලියුම් බෙදන්න ඉන්නේ එකම මනුස්සය නිසා ලියුම් ගන්න මිනිස්සුන්ට වෙන කරන්න දෙයක් නෑ, ඒ මනුස්සය මතම යැපෙනවා ඇරෙන්න. ඒ නිසා අර මනුස්සයා රැව්වට ගෙරෙව්වට කරන්න වෙන දෙයක් නෑ. මොකද තරගයක් නැති නිසා. හැබැයි තව කෙනෙක් මාත් එක්ක තරගයට ලියුම් බෙදනවනං අපිට ගෙවන්නේ අපි හරියට බෙදෙන ලියුම් ගාණ අනුව නම් අන්න දැන් හරියට ලියුම් බෙදන එකයි උපයන ආදායමයි, වැඩිපුර ලියුම් හරියට බෙදුවොත් වැඩි පුර ආදායමක් උපයා ගන්නයි අවස්ථාවක් තියෙන නිසා නිතරම හරියට ලියුම් බෙදන්න පුද්ගලයන් පෙළඹෙනවා. තරගකාරීත්වයක් නැති වන තාක්කල් ඉන්දියාවේ නෙමෙයි අඟහරු ලෝකෙන් දුම්රිය පෙට්ටි ගෙනාවත් දුම්රිය දෙපාර්තමේන්තුව ලාභ ලබන්නෙත් නෑ. සේවාව ගුණාත්මක වෙන්නෙත් නෑ. දුම්රිය ප්‍රශ්නයට ලබා දෙන්න පුළුවන් සාර්ථක විසඳුමක් තමයි දුම්රිය දෙපාර්තමේන්තුවේ දුම්රිය පීලි වල අයිතිය රජය තියාගෙන දුම්රිය පීලි වල දුවන්න පුද්ගලික අංශයටත් අවස්ථාව දෙන එක. එතකොට පුද්ගලික අංශයට පුළුවන් වැඩිපුර ගානක් අය කරන උපරිම සේවාවක් සපයන දුම්රිය එන්ජින් සහ දුම්රිය මැදිරි පොදු ප්‍රවාහන වෙළඳපොලට ඉදිරිපත් කරන්න. එතකොට සරල GPS තාක්ෂණයක් මඟින් දුම්රිය කොතනද තියෙන්නෙ, එන වෙලාව මොකක්ද කියලා දුම්රියේ යන අපි වගේ සාමාන්‍ය මිනිස්සුන්ට කලින්ම දැනගන්න පුළුවන්. අපි Pickme එකෙන් දාන three wheeler එක කොතනද තියෙන්නෙ කියලා ෆෝන් එකෙන් බලාගන්න පුළුවන් නම් දුම්රිය කොතනද තියෙන්නේ කොච්චර පරක්කු වෙනවද කියන එක දැනගන්න තියන තාක්ෂණය රොකට් යවන තාක්ෂණයක් වෙන්න බෑනේ. මේවා ඉතින් කියන තරම් ලේසියෙන් කරන්න බෑ. උද්ඝෝෂණ කරනවා වැඩ වර්ජන කරනවා. ප්‍රශ්න ගොඩයි.

ඒත් පවතින ආණ්ඩුවට ප්‍රතිසංස්කරණ කිරීමට ලොකු අවස්ථාවක් සහ හැකියාවක් තියෙනවා. COVID -19 න් පස්සේ සමාජ දුරස්ථභාවය පවත්වා ගන්න නම් බස් රථවල දුම්රියවල කලින් ගියා වගේ තෙරපිලා යන්න බෑ. ඒ නිසා වැඩිපුර මිනිස්සුන්ට යන්න පුළුවන් තරමට බස්රථ කෝච්චි අනිවාර්යයෙන්ම සේවයට එක්තු විය යුතුමයි. ඉතින් ජනතාවගෙන් අඩු විරෝධයක් සහ ආශිර්වාදයත් එක්ක ප්‍රවාහන ක්ෂේත්‍රයේ ප්‍රතිසංස්කරණ කරන්න හොඳම වෙලාව මේක. තැටිය රත් වෙලා තියෙන වෙලාවේ රොටිය පුච්ච ගන්න ඕන.

3. තුන්වැනි කාරණය තමයි හොඳ සහ ගුණාත්මක සේවාවක් සැපයුවත් සේවාවට සරිලන විදියට ආදායම වැඩි කර ගැනීමට සේවා සපයන්නන්ට අවස්ථාවක් නොමැති වීම.

පෞද්ගලික බස් රථ හිමියන්ගේ පැත්තෙන් ඔවුන් කොච්චර හොඳ සේවාවක් සැපයුවත් ඔවුන්ට ඒ සඳහා අමතර මුදලක් අය කරන්න බෑ. සරලව කියනවා නම් තත්වයෙන් උසස් අලුත් බස් එකක් පාරට දැම්මත්, තත්ත්වයෙන් පරණ, ලාභ බස් එකක් පාරට දැම්මත් ගමනාන්තය සඳහා අය කරන්න පුළුවන් එකම ගාන. අපේ බස් ගාස්තුව වෙනස් වෙන්න දුර අනුව විතරයි. සේවාව අනුව අය කරන ගාස්තුව වෙනස් වන ප්‍රමාණය ඉතා සීමිතයි. සුඛෝපභෝගී සහ අර්ධ සුඛෝපභෝගී මිලක් විතරයි තියෙන්නේ ඒකත් නීතියෙන් පාලනය කරලයි තියෙන්නේ. පුද්ගලික බස් රථ හිමියෙක්ට ගාල්ලේ ඉඳන් කොළඹ එන්න බස් එකක උදේට කෑම, wifi, ෆෝන් එක චාර්ජ් කරගන්න power socket එකක් තියෙන, පොඩි ජංගම පිරිසිදු ටොයිලට් එකක් තියන බස් එකක් දැම්මට වැඩක් නෑ. මොකද තියෙන නීති රීති අනුව අය කරන්න වෙන්නේ එකම ගාස්තුව. ඇත්තටම ඉතින් ලාභ පරණ මිල අඩු බස් එකක් අරගෙන පාරට දාලා නීතියෙන් නියම කරල තියෙන ගාස්තු අය කරන එක තමයි. අන්න ඒකයි අවුරුදු විස්සක් තිහක් ගියත් අපේ පාරවල් වලට අලුත් බස් එන්නේ නැත්තේ. ඔය බස් කියලා අපි දකින්නේ ලොරි චැසියකට ගහපු බොඩියක්. ඒ වගේම සෙනග අඩු රාත්‍රී කාලයේ බස් රථය ධාවනය කලත්, සෙනග වැඩි දවල් කාලයේ බස් රථය ධාවනය කලත් අය කරන්න පුළුවන් එකම මුදල.

අපේ බස් බස්රථ වලට වඩා taxi කර්මාන්තය ඉදිරියට ගියේ ඒකයි. Software එක අනුව ඉල්ලුම වැඩි වෙලාවට මිල වැඩියි. ඉල්ලුම අඩු වෙලාවට මිල අඩුයි. රාත්‍රී කාලයේ නිදිමරාගෙන සේවා සපයන මිනිස්සුන්ට වැඩි මුදලක් අය කර ගන්න අවස්ථාව ලබා දීලා තිබෙනවා. ඒකයි රාත්‍රියට uber එකෙන් PickMe එකේ ගාන වැඩි වෙලා දවල් 11 – 12 ට ගියොත් ගාන අඩු. ගුවන් ටිකට් පත් වල මිල ගණන් නිතරම ඉහළ-පහළ යන්නේ ඔය හේතුව නිසාමයි. ලෝක වෙළඳපොලේ තෙල් මිල ඉහළ පහළ යද්දී, නත්තල් කාලවලට, අලුත් අවුරුදු කාලවලට ගුවන් ගමන් සඳහා ඉල්ලුම වැඩි වෙද්දී නිතරම ටිකට් පතේ මිල එහාට මෙහාට වෙනවා. සල්ලි තියෙනවනම් ලොකු ගානක් ගෙවලා business class එකේ යන්න පුළුවන්. සල්ලි ඉතුරු කරගන්න ඕන නං අඩු ගානක් ගෙවලා budget airline එකක් ගන්න පුළුවන්. නිකං හරි හිතන්නකෝ හැම ගුවන් යානාවකම ටිකට් පතක මිල අදාල ගුවන් ගමන් මෙහෙයවන රටවල් වලින් පාලනය කරන්න ගත්තොත් ගුවන් යානා ක්ෂේත්‍රයට ඇතිවෙන තත්ත්වය. බොහෝ දෙනෙක්ට එන ප්‍රශ්නයක් තමයි Route permit ක්‍රමය නැති කරොත් හැමෝම වැඩිපුර සෙනග ඉන්න Route වලට බස් දමාවි. එතකොට දුෂ්කර පළාත්වල ධාවනයට බස් දාන්නෙ කවුද (උඹද) කියලා. අනිවාර්යෙන්ම දුෂ්කර පළාත්වල දුවන බස් වලට සෙනග අඩු නිසා වැඩි මුදලටක් අය කරන්න වෙනවා. එහෙම නැත්තං සරලවම ඒක ව්‍යාපාරයක් විදියට පවතින්න විදිහක් නෑ. ආණ්ඩුවෙන් බස් දැම්මා කියලා අඩු මිලට ගියත් වක්‍රාකාරයෙන් බදු විදිහට අපි නැවත ඒ මුදල ගෙවනවා. ඉතින් ඒ වගේ වෙලාවල් වල දැනට අත්හදා බලල තිබෙන බස්රථ වලට මුදල් ගෙවන කාඩ් ක්‍රමය තුළින් රජයට යම් සහනාධාරයක් ලබාදෙන්න සලකලා බලන්න පුළුවන්. ඒ වගේම වැඩිහිටි පුරවැසියන්ට ආබාධිත පුද්ගලයන්ට එම කාඩ්පත් හරහා යම්කිසි සහනදායී මිලකට ප්‍රවාහන පහසුකම් ලබාදීමට අවස්ථාව තිබෙනවා.

මේ ප්‍රවාහන ප්‍රශ්නය හරිම සංකීර්ණයි. මාර්ග පද්ධතියේ තිබෙන දුර්වලතා සමහර මංසන්ධි පටු වීම සහ ප්‍රමාණවත් තරම් පළල් නොවීම වගේ එකී මෙකී නොකී kiki කතා ගණනාවක් ප්‍රශ්නය පිටිපස්සේ තියනවා. මොරටුව විශ්ව විද්‍යාලයේ මහාචාර්ය අමල් කුමාරගේ මහතා මේ පිළිබඳව ගැඹුරු හැදෑරීම් ගණනාවක් කරලා තියෙනවා. මාත් වීරයා වගේ මේ තොරතුරු ටික දැම්මේ ඒ මහත්මයාගේ ඉදිරිපත් කිරීමක් දැකලා. එතුමා තමයි දක්ෂිණ අධිවේගී මාර්ගයේ ඉඳලා ලංකාවේ ප්‍රවාහන පද්ධතිය පිළිබඳ වාර්තාවන් ගණනාවක් ඉදිරිපත් කරපු මොරටු විශ්ව විද්‍යාලයේ මහාචාර්යතුමා. සම්පූර්ණ විස්තරේම දැනගන්න පත්තරේ සම්පූර්ණ ලිපියම කියවන්න

http://www.themorning.lk/public-transport-reform-covid-is-…/

Similar Posts

Leave a Reply

Your email address will not be published. Required fields are marked *