නෑ කියන ජනපති – අනුර සූරියබණ්ඩාර

ජනාධිපති වරයා දැන් අලුත්නිම කියන්නේ ශ්‍රී ලංකා නිදහස් පක්ෂයෙන් ආණ්ඩුවට එක්වන කිසිවකුට ඇමැතිකම් දෙන්නේ නැත කියාය. ඇමතිකම් යනු ජනාධිපති වරයාගේ සේප්පුවෙන් හෝ සාක්කුවෙන්  හෝ දෙන තෑග්ගක් හෝ දෑවැද්දක් නොවේ. එහෙත් ජනාධිපතිවරයාගේ ප්‍රකාශ වලින් ගම්‍ය වන්නේ ඇමතිකම් යනු ඔහුගේ පෞද්ගලික දේපළක්ය, ඔහුගේ කැමැත්ත අකමැත්ත අනුව කෙනෙකුට දිය හැකි හෝ නොදිය හැකි දෙයක්ය කියා ජනාධිපති වරයා සිතා සිටින බවකි.

මීට සති කිහිපයකට එපිටදී මේ ජනාධිපතිවරයාම එක්සත් ජාතික පක්ෂයෙන් නීති විරෝධී ආණ්ඩුවට එක් වූ දුනේෂ් ගන්කන්ද එස්.බී. නාවින්න ආදීන්ට රාත්‍රී කාලයේ ජනාධිපති කාර්යාලයට කැඳවා නිර්ලෝභීව ඇමැතිකම් නියෝජ්‍ය ඇමතිකම් රාජ්‍ය ඇමතිකම් බෙදාදුන්නේය. එමගින් ඔහු උත්සාහ කළේ මහින්ද රාජපක්ෂ ප්‍රමුඛ නීති විරෝධී ආණ්ඩුවේ ඔළු ගෙඩි ගණන වැඩිකර පාර්ලිමේන්තුවේ දී ඔවුනට බහුතර බලය පෙන්වීමට හැකි පරිසරයක් ගොඩනගා දීමටය. එහෙත් එක්කෙනෙක් දෙ‍න්නෙක් හැර සිතූ තරම් පිරිසක් ඇමැති වරදාන ලබා නීති විරෝධී ආණ්ඩුවට එක් වූයේ නැත

ඒ අතරතුර ජනාධිපතිවරයා කීවේ පාර්ලිමේන්තුවේ සියලුම මන්ත්‍රිවරු අත්සන් කළත් රනිල් වික්‍රමසිංහ ට අගමැති ධුරය දෙ‍න්නේ නැහැ කියාය. එහෙත් අවසානයේ ජන බලය හමුවේ ජනාධිපතිවරයාට පස්සට ගන්නේ නැතැයි පුරාජේරු කියු පය පස්සට ගෙන රනිල් වික්‍රමසිංහ මහතාට අගමැති ධුරය දෙන්නට සිදු විය. එහි දී සිදු වූ හතර විලි ලැජ්ජාව වසා ගන්නට දෝ ජනාධිපතිවරයා රනිල් වික්‍රමසිංහ මහතාට අගමැති ධුරය පිරිනමමින් කීවේ එසේ කරන්නේ ප්‍රජාතන්ත්‍රවාදයත් පාර්ලිමේන්තු සම්ප්‍රදායත් ආරක්ෂා කරන්නටය කියාය.

ප්‍රජාතන්ත්‍රවාදයටත් පාර්ලිමේන්තුවටත් ඒ කියන තරම් ගෞරවයක් තිබුණේ නම්, අවුරුදු හතර හමාරක් ගතවනතුරු පාර්ලිමේන්තුව විසුරුවාහරින්නට ජනාධිපතිවරයාට බලයක් නොමැති බව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ පැහැදිලිව සඳහන්ව තිබියදී ඔහු පාර්ලිමේන්තුව විසුරුවා හැරියේ මන්ද කියා විමසිය යුතුය.

අනෙක් කාරණය වන්නේ, පාර්ලිමේන්තුවේ මන්ත්‍රීවරුන් 225 ම අත්සන් කළත් රනිල් වික්‍රමසිංහ මහතාට අගමැති ධුරය නොදෙමැයි කියා ජනාධිපතිවරයා කළ ප්‍රකාශය, පාර්ලිමේන්තුවේ මන්ත්‍රිවරුන් අතරින් බහුතරයේ විශ්වාසය දිනාගන්නා තැනැත්තාට අග්‍රාමාත්‍ය ධුරය සදහා ජනාධිපතිවරයා විසින් ආරාධනා කළයුතු බව ව්‍යවස්ථාවේ සඳහන්ව තිබෙන බව උසස් පෙළ දේශපාලන විද්‍යා ශිෂ්‍යයන් පවා දන්නා කරුණකි. එසේ තිබියදී පමණක් නොව තමන් රනිල් වික්‍රමසිංහ මහතාව අග්‍රාමාත්‍ය ධුරයට විශ්වාසය පළ කරන බවට පාර්ලිමේන්තුවේ බහුතර මන්ත්‍රින් පිරිසක් ලිඛිතව අත්සන් කොට ප්‍රකාශකොට ජනාධිපතිවරයාට ප්‍රකාශ කර තිබියදීත් ‘රනිල්ට දෙන්නෑ’ කීම ගැලපෙන්නේ කවර පාර්ලිමේන්තු සම්ප්‍රදායකටද දන්නේ ජනාධිපතිවරයා පමණක්ව විය හැකිය. එම ප්‍රකාශයේ ඇති ප්‍රජාතන්ත්‍රවාදයට අනුකූලභාවය ගැන ද කිය යුත්තේ එයමය.

ලැබෙන තොරතුරුවලට අනුව ෆීල්ඩ් පාෂල් සරත් ‍ෆොන්සේකා මහතාට අමැතිධුරයක් ලබා දීමට ද ජනාධිපතිවරයා සූදානම් නැත. හේතුව අනෙකක් නොව පසුගිය කාලයේ සරත් ෆොන්සේකා මහතා විසින් ජනාධිපතිවරයා දැඩි ලෙස විවේචනය කරන්නට යෙදීමය. කෙනෙකුට අමාත්‍ය ධුරයක් ලබා නොදීමට එකම හේතුව අදාළ තැනැත්තා විසින් ජනාධිපතිවරයා විවේචනය කිරීම වන්නේ නම් එවැනි ජනාධිපතිවරයකු පාර්ලිමේන්තු සම්ප්‍රදායට ගරු කරනවා යැයි කියන ප්‍රකාශය පිළිගත හැකි වන්නේ නැත.

මහින්දානන්ද අලුත්ගමගේ, විමල් වීරවංශ, උදය ගම්මන්පිල, ජොන්ස්ටන් ප්‍රනාන්දු වැනි තක්කඩියන්ටත් ඇමතිකම් නිර්ලෝභීව ප්‍රදානය කළ ජනාධිපතිවරයාම සරත් ෆොන්සේකාවැනි නිර්මල දේශපාලන චරිතයක් ඇති තැනැත්තෙකුට ඇමැතිකමක් නොදෙමියි පාරම්බාමින්ම පාර්ලිමේන්තු සම්ප්‍රදායක් ගැන ද කතා කරයි.

මෛත්‍රිපාල සිරිසේන මහතා හඳුන්වා දිය යුතු වන්න, කියන දෙය නොකරන කරනදෙය නොකියන ලොව එකම ජනාධිපතිවරයා වශයෙනි.

2015 ජනවාරියේ ඔහු ජනතාවගේ බලය ඉල්ලුවේ රටේ අවසාන විධායක ජනාධිපතිවරයා වන්නටය. එසේ කියා පැමිණ තමාගේ බලතල තමාම අඩුකර ගත්තායැයි කියමින්  හිටි ඔහු ධුර කාලයේ අවුරුදු ගණන විමසන්නට උසාවි ගියේය. ඉන්ද නොනැවතී ව්‍යවස්ථාවේ පවා නැති විධායක බලයක් අභ්‍යාස කරමින් ජනතා ඡන්දයෙන් පතු වු ආණ්ඩුවක් අකාලයේ විසුරුවා හරින්නට උත්සාහ කළේය.

ව්‍යවස්ථාවේ නැති බලයක් අභ්‍යාස කිරීම යනු පැහැදිලිවම ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව උල්ලංඝනය කිරීමයි. රටේ ප්‍රධාන පුරවැසියාම රටේ මූලික නීතිය වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව උල්ලංඝනය කරන්නේ නම් එය බරපතළ කරුණකි. මේ වනවිට ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතා රටේ මූලික නීතියවන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව උල්ලංඝනය කර ඇත්තේ වරක් දෙවරක් නොවේ.

පළමුකොටම ඔහු ‘පාර්ලිමේන්තුවේ බහුතරයකගේ විශ්වාසය දිනා ගත හැකි යැයි හැ‍ඟෙන තැනැත්තා අගමැතිධුරයට නම් කළ යුතුය’ යන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා නිතිය උල්ලංඝනය කරමින් මහින්ද රාජපක්ෂ මහතා අග්‍රාමාත්‍ය ධුරයට පත්කිරීමෙන් ව්‍යවස්ථාව උල්ලංඝනය කළේය. දෙවනුව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවෙන් නියම කර ඇති කාලය නොතකා පාර්ලිමේන්තුව විසුරුවා හැරීමෙන් ව්‍යවස්ථාව උල්ලංඝනය කළේය. තෙවනුව මහින්ද රාජපක්ෂ මහතාගේ අග්‍රාමාත්‍ය ධුරයට විරුද්ධව පාර්ලිමේන්තුවේ සම්මත වු විශ්වාස භංග යෝජනා නොතකා කටයුතු කිරීමෙන් ව්‍යවස්ථාව උල්ලංඝනය කළේය. ඉන් අනතුරුව, පාරිලිමේන්තුවේ බහුතර මන්ත්‍රි පිරිසක් රනිල් වික්‍රමසිංහ මහතාට විශ්වාසය පළ කොට තිබියදීත් ඒ මහතාට අග්‍රාමාත්‍ය ධුරය නොදීම මගින් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව උල්ලංඝනය කළේය. දැන් පස්වනුව අරයාට ඇමතිකම් නොදෙමි මෙයාට ඇමතිකම් නොදෙමි කියමින් ජනාධිපතිවරයා කරමින් සිටි‍න්නේ ද පාර්ලිමේන්තු සම්ප්‍රදාය ප්‍රජාතන්ත්‍රවාදයේ වූලධර්ම සහ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව උල්ලංඝනය කිරීමයි. මේ සියලු දේ විසින් පෙන්නුම් කෙරෙන්නේ ජනාධිපතිවරයා ව්‍යවස්ථාව, පාර්ලිමේන්තු සම්ප්‍රදාය ප්‍රජාතන්ත්‍රවාදය පමණක් නොව සාධාරණය අසාධාරණය පිළිබඳ සංකල්ප පවා නොතකමින් ඒකාධිපති වෛරී දේශපාලනයක නිරතව සිටින බවයි.

මෙකී ගැටලුවලට එකම විසදුම විධායක ජනාධිපති ධුරය ශ්‍රී ලංකාවෙන් තුරන්කර දැමීමට සියලු පක්ෂ සහ සිවිල් බලවේග එකතු වී කටයුතු කිරීමයි. විධායකයට විරුද්ධව ජනතා විමුක්ති පෙරමුණ, එක්සත් ජාතික පක්ෂය මෙන්ම ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ ප්‍රගතිශීලි කොටස්වල සහයෝගය ඒ සඳහා ලබාගත යුතුය. විධායකය ගැන මෙතෙක් ඇල්මෙන් කතා කී චම්පික රණවක කරුණාරත්න පරණවිතාන වැන්නන්ට මේ මොහොතේ විශේෂ වගකීමක් පැවරේ. ඒ අන්කිසිවක් නොව විධායක ආලය අත්හැරීමය. එසේ නොකරන්නේ නම්, ශ්‍රී ලංකාවට සිදුවනු ඇත්තේ නස්රුදීන්ගේ කතාවක එක පිස්සු වැටෙන වතුර ඇති ළි‍ඳෙන් දිය පානය කළ නුවරුනට සිදු වූ සන්තෑසිය ම ය.

අනුර සූරියබණ්ඩාර

Similar Posts

Leave a Reply

Your email address will not be published. Required fields are marked *