පෙරළියේ බලවේග යළි පෙළ ගැසේ – මහින්ද රත්නායක

 

 වාසුදේව තම වර්ගවාදී නිරුවත වසා ගැනීමට කඩමල්ලක් ලෙස යොදාගන්නා අධිරාජ්‍යවාදය, තමා ඇතුළු වාමාංශිකයන් ආරක්ෂා කළ 13වෙනි ව්‍යවස්ථා සංශෝධනය ගෙනෙන අවස්ථාවේ ද පැවැති බව ඩිව් ගුණසේකර මහතා පුරවැසි සංවිධාන නියෝජිතයින් පිරිසක් හමුවේ පසුගිය දා ප්‍රකාශ කළේ ය. ගුණසේකර මහතාගේ මේ ප්‍රකාශයෙන් පෙනියන්නේ වාසුදේවගේ ජාතිවාදි නිරුවත අධිරාජ්‍යවාදයේ අඹුඩ ලෙන්සුවෙන් වසා ගැනීමට නොහැකි තරමට විශාල බව ය. වචනයෙන් නොකියන නමුත් යෝජිත නව ව්‍යවස්ථාවෙන් රටේ ඒකීය භාවයට තර්ජනයක් එල්ලවන බවට වාසුදේව කර ඇති ප්‍රකාශයට පිළිතුරක් වු ඩිව් ගේ මේ ප්‍රකාශය වාසුදේවට පමණක් නොව ලංකා සමසමාජ පක්ෂයේ නායක තිස්ස විතාරණ මහතාට ද එකසේ අදාළ වේ.

ව්‍යවස්ථා සභාවේ මෙහෙයුම් මණ්ඩලය ගිය සතියේ රැස්වූයේ ඩියූ ගුණසේකර මහතා කළ අර කියන ලද ප්‍රකාශයට දින කිහිපයකට පසුව ය. වැඩි තොරතුරක් දැනගන්නට නැති නමුත්, මාස ගණනකට පසුව රැස් වූ ව්‍යවස්ථා සභාවේ මෙහෙයුම් මණ්ඩලය තුළ සාධනිය සාකච්ඡාවක් පැවැති බව පැවසේ. ඉන්දීය විදේශ ලේකම් ශ්‍රි ලංකාවට පැමිණියේ මෙහෙයුම් මණ්ඩල රැස්වීමට දින කිහිපයකට පෙරාතු ව ය. ජනාධිපතිතුමා, අගමැතිතුමා හා විපක්ෂ නායක මෙන්ම දෙමළ සන්ධානයේ නායක සම්බන්ධන් මහතාව ද හමු වූ ඉන්දියානු විදේශ ලේකම්වරයා උතුරු නැගෙනහිර ප්‍රශ්නය සම්බන්ධයෙන් කිසියම් එකගතාවයකට එන ලෙස නායකයින් තුන්දෙනාටම අවධාරණය කළ බව දැනගන්නට ඇත. ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා මෙහෙයුම් මණ්ඩලය මාස දෙකකට පසුව සාධනීය සාකච්ඡාවක් පැවැත්වීමට ඉන්දිය විදේශ ලේකම්වරයාගේ පැමිණිම ඉවහල් වූ බව ඒ අනුව සිතන්නට පුළුවන. මේ රටේ පුරවැසියන්ගේ හඬට කන්දෙන්නට තරම් අපේ නායකයින් නිහතමානි වන්නේ නම් පිටින් පැමිණ යමෙක් උපදෙසක් දෙන තුරු නිකරුණේ කාලය කා දමන්නට අවශ්‍ය වන්නේ නැත.

නව ව්‍යවස්ථා කෙටුම්පත සැකසීමට බාලගිරි දෝෂය වැළඳි තිබෙන්නේ, ශ්‍රිලනිපයේ ඇතැම් මැති ඇමතිවරුන් නව ව්‍යවස්ථාවකට විරුද්ධ නිසා ය. ව්‍යස්ථා සංශෝධනයකට හැර විධායක ජනාධිපති ක්‍රමය ඉවත් කරනවාට විරුද්ධ බව පමණක් නොව නව ව්‍යවස්ථාවක් වෙනුවෙන් පෙනී සිටින අයට අර කියන ලද ශ්‍රිලනිප ඇතැම් මැති ඇමතිවරු ප්‍රසිද්ධියේ පහර දෙති. එපමණක් නොව 2020 ජනාධිපතිවරණයට වත්මන් ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතාව ශ්‍රි ලංකා නිදහස් පක්ෂයේ අපේක්ෂකයා ලෙස ඉදිරිපත්කරන බව එම පක්ෂයේ මාධ්‍ය ප්‍රකාශක ඩිලාන් පෙරේරා ඇමතිවරයා ප්‍රකාශ කළේ ය. විධායක ජනාධිපති ක්‍රමය තබාගැනීම පමණක් නොව රාජපක්ෂ පවුලට එය සින්නකර ලියාදීමට ඉදිරිපත් වූ මේ මැති ඇමතිවරු එසේ හැසිරීම අරුමයක් නොවේ.

අගමැතිතුමා ගෙනයන ආර්ථික ප්‍රතිසංස්කරණ සම්බන්ධයෙන් ශ්‍රි ලංකා නිදහස් පක්ෂයේ ඇතැම් මැති ඇමතිවරු කරන පදනම් විරහිත විවේචන සම්බන්ධයෙන් ද ජනාධිපතිතුමාගේ මුනිවත රැකීම ගැටලූ සහගත ය. ජනාධිපතිතුමාගේ මුණිවත රැකීම මහින්ද රාජපක්ෂ මහතා ඇතුළු ඒකාබද්ධ විපක්ෂය සමඟ සිටින ශ්‍රි ලංකා නිදහස් පක්ෂයේ මන්ත්‍රිවරුන්ට මුහුණදීම සඳහා ගනු ලබන උපායික පියවරක් වීමට බැරිකමක් නැත. ශ්‍රි ලංකා නිදහස් පක්ෂයේ සභාපතිවරයා ලෙස මෛත්‍රිපාල සිරිසේන මහතාට එවැනි උපායික පියවරක් ගැනීමට ඇති අයිතියට අපට දොස්කිව නොහැකිය. නමුත් තම පක්ෂයේ ඇතැම් මැති ඇමතිවරු මාධ්‍ය තුළින් කරන පදනම් විරහිත විවේචන සම්බන්ධයෙන් රටේ ජනාධිපතිවරයා මුණිවත රැකීම ඓතිහාසික අවශ්‍යතාවයක් බවට පත් වී ඇති දේශපාලන මෙන්ම ආර්ථික ප්‍රතිසංස්කරණවලට එරෙහිවන මහින්ද රාජපක්ෂ ප්‍රමුඛ පසුගාමි බලවේගයන්ගේ අවශ්‍යතාවය ඉටු වීමක් බව පෙනෙන්නට තිබේ. එහි ප්‍රතිඵලය වී ඇත්තේ දේශපාලන හා ආර්ථික ප්‍රතිසංස්කරනවලට එරෙහිව පසුගාමි බලවේග අඛණ්ඩ ලෙස වීදිවලට පැමිණි ම ය. මේ තත්ත්වය දිගින් දිගටම පැවතිම රට අරාජිකත්වයට පත්වීමට හේතු වන අතර අර්බුදය නිර්මාණය කළ ප්‍රතිසංස්කරණ විරෝධි බලවේග වැඩිකල් යන්නට මත්තෙන් ආණ්ඩුව ද අස්ථාවර කරනු ඇත. එබැවින් ජනාධිපතිතුමා කල් නොයවා සෘජු ප්‍රතිපත්තියකට පැමිණිය යුතුව ඇත.

ප්‍රතිගාමි බලවේගයන්ට ආණ්ඩුව අස්ථාවර කිරීමට වඩාත් පහසු වන්නේ රාජ්‍යයේ ඇතැම් බලගතු උපකරණද ප්‍රතිසංස්කරණ විරෝධිවන නිසා ය. රාජපක්ෂ යුගයේ අපරාධ කළ හමුදා බුද්ධි අංශ සාමාජිකයින් නීතියේ රැහැනින් ගැලවී යන සෙයක් දිස්වීම මෙයට එක්තරා ඉඟියකි. ජාතික සමගිය හා සංහිඳියා කාර්යාංශය පැවැත් වූ සාකච්ඡාවක දී හිටපු ජනාධිපතිනි චන්ද්‍රිකා බණ්ඩාරනායක කුමාරණතුංග මැතිනිය හමුදාව අපකීර්තියට පත්කළ ප්‍රකාශයක් කළායැයි මාධ්‍යයේ පලවූ බවට හමුදා මාධ්‍ය අධ්‍යක්ෂකවරයා කිසිදු විමසීමක් නොකර ප්‍රකාශයක් කිරීම මෙයට තවත් ඉඟියකි. නීතිඥ සංගමයේ නිලවරණය කල් දැමීමට සිදුවන්නේ අධිකරණ සේවා සංගමය එකි නිලවරණයට සහයෝගය ලබානොදීම හේතුකොටගෙන ය. මහාධිකරණයේ විනිසුරු ධූරයට රාමනාදන් කන්නන් මහතා පත්කිරීම මේ විරෝධයට හේතුවී තිබේ. මෙහි ජුගුප්සාව උපදවන කරුණ වන්නේ ද්‍රවිඩ ජාතික සන්ධානයේ ඉල්ලීමට ජනාධිපතිතුමා කන්නන් මහතාව පත්කළ බවට කරන ජාතිවාදි ප්‍රලාපය වේ. රාමනාදන් කන්නන් මහතා තිස්ස විතාරණ නායකත්වය දෙන ලංකා සමසමාජ පක්ෂයට සම්බන්ධ වතු වෘත්තිය සමිතියේ නායකයා වූ රාමනාදන් මහතාගේ පුත්‍රයෙකි. වතු ජනතාවගේ සම්භවයක් ඇති අයෙක් මහාධිකරණ විනිසුරු ධූරයට පත් වූ ප්‍රථම අවස්ථාව මෙය විය හැකිය.

කවුරුත් සතුටු වියයුතු මෙවැනි අවස්ථාවක අධිකරණ සේවා සංගමයේ ඇතැම් විනිසුරන් ජාතිවාදින් ලෙස මෙසේ හැසිරීම තම වෘත්තීයට කෙසේවත් ගැලපෙන්නේ නැත. මේ සියලූ කාරණාවලින් පෙනියන්නේ සමාජයේ පහල මට්ටමේ පමණක් නොව රාජ්‍යයේ ඇතැම් බලගතු උපකරණ පවා ඓතිහාසික අවශ්‍යතාවයක්ව පවතින ප්‍රතිසංස්කරණවලට බාධා පමුණුවන බව ය. මේ අනුව ශ්‍රි ලංකා දේශපාලනයේ ප්‍රතිසංස්කරන පිළිබඳ ඓතිහාසික න්‍යාය පත්‍රය විටින්විට මතු- වී පසුබැසීම්වලට ලක්වී නැවත මතුවන බව පෙනේ. රාජ්‍ය ව්‍යුහය ප්‍රතිසංස්කරණ කිරීම වෙනුවෙන් දශක 3ක පමණ කාලක සිට මේ රටේ සමාජ බලවේග විටින් විට ඉදිරියට පැමිණ තිබේ. මෙහි ප්‍රතිඵලයක් වශයෙන් අර කියන ලද ප්‍රතිසංස්කරණ ඉටුකරන බවට සපථකර නායක නායිකවන් බලයට පත් වී ඇත. එහෙත් සමාජයේ පසුගාමි කොටස්වල සහ රාජ්‍ය යාන්ත්‍රණයේ උපකරණවලට අරක්ගත් ඇතැම් බලවේගයන්ගේ විරෝධයන් හමුවේ එකි නායක නායිකාවන් එම දේශපාලන හා ආර්ථික ප්‍රතිසංස්කරණ අතහැර දමා ඇත. මෙවර ද අපේක්ෂිත ප්‍රතිසංස්කරණ එම ඉරණමට ගොදුරුවේද යන්න දැන්ම කිව නොහැකි නමුත් සිද්ධින් දිග හැරෙන්නේ යහපත් අතට නොවේ. මෙය සාර්ථකව ජය ගන්නට නම් ප්‍රතිසංස්කරණ වෙනුවෙන් දිගින් දිගටම පෙනී සිටින බලවේගයක් මෙන්ම දේශපාලන අධිෂ්ඨානයක් සහිත නායකත්වයක් අවශ්‍ය වේ.

ජනවාරි 08 වෙනසට මූලිකත්වය ගෙන කටයුතු කළ පුරවැසි සංවිධාන ඉහත මතුකරන ලද ජනාධිපතිවරයාගේ නිහඬතාවය මෙන්ම රාජ්‍ය යන්ත්‍රණයේ බලගතු ආයතනවල ප්‍රතිසංස්කරණ විරෝධි පිළිවෙත ගැන සිටින්නේ සතුටකින් නොවේ. පුරවැසි සංවිධාන බොහොමයක් සිවිල් ව්‍යාපාර ලෙස තම සීමාවන් පිළිබඳව අවබෝධයක් ඇති බව පැහැදිළිව තේරුම් ගෙන ඇත. තව දුරටත් සිවිල් ව්‍යාපාර මට්ටමෙන් සිට ප්‍රතිසංස්කරණ ඇති කිරීම සඳහා දේශපාලන නායකයින්ට කන්නලව් කිරීම පසෙක තබා එයින් එහා යන්නට ඔවුන් සූදානම්වන බව පෙනෙන්නට ඇත. ඓතිහාසික ලෙස රටට අවශ්‍ය දේශපාලන හා ආර්ථික ප්‍රතිසංස්කරණවලට කැමති දේශපාලනඥයින් ද තම වේදිකාවට කැන්දා ගැනීමට පුරවැසි සංවිධාන මහන්සී ගන්නේ සිවිල් සංවිධාන මට්ටමෙන් ක්‍රියා කිරීමෙන් පමණක් ප්‍රතිසංස්කරණ විරෝධි බාධක ජයගන්නට ප්‍රමාණවත් නොවන නිසා ය. දැනගන්නට ඇති ආකාරයට පුරවැසි හා දේශපාලන නායකයින් සහභාගිවන පලවෙනි සාකච්ඡා සම්මන්ත්‍රණය මාර්තු 14 වෙනිදා ශ්‍රි ලංකා පදනම් ආයතනයේ දී පැවැත්වෙනු ඇත. නව ප්‍රතිසංස්කරණවලට පක්ෂව එම වේදිකාවට ගොඩවෙන දේශපාලනඥයින් කවුද යන්න එදිනට දැකගත හැකිවනු ඇත. දැනගන්නට ඇති ආකාරයට එක්සත් ජාතික පක්ෂයට සම්බන්ධ මැති ඇමතිවරු වැඩි දෙනෙක් මේ සාකච්ඡා සම්මන්ත්‍රණයට සහභාගිවිමට කැමැත්ත පලකර තිබේ. එම පෙළගැසීම ඉදිරියේ දි පැවැත්වෙන මැතිවරණයක දි කෙසේ බලපානු ඇති ද යන්න දැන්ම කීමට කල් වැඩි ය.

මහින්ද රත්නායක 

Similar Posts

Leave a Reply

Your email address will not be published. Required fields are marked *