ගෝලීයකරණය ආපසු හරවන්න බැහැ ; එය සිදුවන දෙයක් නොවෙයි – මහාචාර්ය ප්‍රේමචන්ද්‍ර අතුකෝරල

කොවිඩ් 19 වසංගතය තුළ ලෝක පරිමාණයෙන් ඇතිවී තිබෙන සැපයුම් ජාල බිඳවැටීම තුළ ආර්ථික වශයෙන් ලෝකය ගෝලීයකරණය අවසන් වනු ඇතැයි ඇතැම් පිරිස් තර්ක කළ ද එය කිසිසේත් සිදු නොවන බව හා කළ නොහැකි බව ඕස්ට්‍රේලියානු ජාතික විශ්ව විද්‍යාලයේ ආර්ථික විද්‍යා අංශයේ මහාචාර්ය ප්‍රේමචන්ද්‍ර අතුකෝරල මහතා ප්‍රකාශ කළේ ය.

ගෝලීයකරණය තාවකාලික පසු බැසීමකට ලක්විය හැකි වුව ද , එමගින් හැර වෙනත් ආකාරයකින් ලෝක ආර්ථිකයට ඉදිරියට යා නොහැකි බවත් එය තීරණය වන්නේ ආණ්ඩුවල වුවමනාව අනුව නොව ඒ ඒ රටවල පෞද්ගලික අංශයේ ක්‍රියාකාරීත්වය මත බවද ඒ මහතා වැඩිදුරටත් පැවසී ය.

අද වනවිට ලෝකයේ නිෂ්පාදන සිදුවන්නේ එක් රටක සමස්ත භාණ්ඩය නිෂ්පාදනය කරන අආකරයෙන් නොව ඒ ඒ භාණ්ඩවල කුඩා කොටස් රට රටවල නිපදවා එක් රටක දී එකලස් කිරීම වශයෙන් බවත් නිෂ්පාදනය වඩාත් කාර්යක්ෂම වන්නේ ඒ ආකාරයට බවත් අතුකෝරල මහතා පෙන්වා දුන්නේ ය. ශ්‍රී ලංකාවේ ව්‍යවසායකයන් විශාල පිරිසක් අද වනවිට මෙම ජාත්‍යන්තර අගය දාම ක්‍රියාවලියට සම්බන්ධව සිටින බවත් හෙලිකල අතුකෝරල මහතා අපගේ දේශපාලකයන් එම කරුණු තේරුම් ගෙන නැති බව ද කීය.


මහාචාර්ය අතුකෝරල මහතා මෙම අදහස් ප්‍රකාශ කළේ “COVID-19න් පසු ශ්‍රී ලංකාවේ ආර්ථික ප්‍රතිපත්ති කෙසේ විය යුතුද?” මැයෙන්  සංවිධානය කොට තිබු අන්තර්ජාල සමුළුවකට ඊයේ සහභාගී වෙමිනි.

අඩ්වෝකාටා ආයතනය හා නයිට් වොච් මන් සමාජය එක්ව සංවිධානය කොට තිබු මෙම සමුළුවට මහාචාර්ය ප්‍රේමචන්ද්‍ර අතුකෝරල මහතා ඕස්ට්‍රේලියාවේ සිට අන්තර් ජාල තාක්ෂණයෙන් සම්බන්ධ වීය.

ලර්න් ඒෂියා සභාපති මහාචාර්ය රොහාන් සමරජීව , වෙරිටේ රිසර්ච් සමීක්ෂණ අධ්‍යක්ෂිකා සුභාෂිනී අබේසිංහ , අඩ්වෝකාටා ආයතනයේ අධ්‍යයන වැඩසටහන් සභාපති සරත් රාජපතිරණ ආදීන් සහභාගී වූ වෙබ් සම්මන්ත්‍රණය මෙහෙයවන ලද්දේ අඩ්වෝකාටා ආයතනයේ විධායක අධ්‍යක්ෂ ධනනාත් ප්‍රනාන්දු මහතා විසිනි


Leave a Reply

Your email address will not be published. Required fields are marked *