ආචාර්ය ජයසුන්දරගේ පඩි බාගේ – ශ්‍රී ලංකාවේ රාජ්‍ය මූල්‍ය අර්බුදයේ තරම

රාජ්‍ය සේවකයන්ගේ මැයි මස වටුපෙන් කැමති පරිදි රජයට පරිත්‍යාග කරන ලෙස ජනාධිපති ලේකම් ආචාර්ය පී.බී.ජයසුන්දර මහතාගේ ඉල්ලීම සම්බන්ධයෙන් මේ වන විට සෑම පාර්ශවයකගේම පාහේ අවධානය යොමුව තිබේ.

Covid  19 වෛරසය ව්‍යාප්තිය ප්‍රජාව අතර වළක්වා ගැනීම සඳහා පසුගිය මාස දෙකක පමණ කාලයක් නිරෝධායන ඇඳිරි නීතියට යටත්ව රට වසා දමා පැවති අතර ඒ හේතුවෙන් ආර්ථිකයට විශාල පාඩුවක් දැරීමට සිදුව තිබේ. ආර්ථික වර්ධනය පළමු කාර්තුවෙදීම කඩා වැටුණු අතර මේ වන විට රට යළි ක්‍රමානුකූලව විවෘත වෙමින් සාමාන්‍ය ක්‍රියාවලියට අනුගත වෙමින් තිබේ.

ප්‍රධාන වශයෙන් රාජ්‍ය අදායම්  ඇහිරී තිබෙන අතර රජයේ පාර්ශවයෙන් දිගින් දිගටම අවධාරණය කරමින් සිටින්නේ මෙම තත්ත්වය කළමනාකරණය කර ගැනීම සඳහා ජනතාවගේ සහය අවශ්‍ය බවයි. එම වටපිටාව තුළ ජනාධිපති ලේකම්වරයාගේ යෝජනාව කරළියට පැමිණි අතර දැන් ඊට එරෙහිව දැඩි විවේචන එල්ලවෙමින් තිබේ. විශේෂයෙන් Covid 19 බලපෑමත් සමඟ ආර්ථිකය අර්බුදයට ගොස් තිබීම දැන් කිසිවෙකුට හෝ රහසක් නොවේ. එය මෙරට දේශ සීමාවට පමණක් නොව ගෝලීය අර්බුදයක් දක්වාම වූ දිගුවක් බවට පත්ව හමාරය.

එහෙයින් මෙය කළමනාකරණය කර ගැනීම ජාතික හා ජාත්‍යන්තර වශයෙන් සිදු කරගත යුතු වෙයි. මෙහිදී ජනාධිපති ලේකම් ආචාර්ය පී.බී ජයසුන්දර මහතාගේ යෝජනාව කෙතරම් දුරට යෝග්‍යද? ප්‍රායෝගිකද? යන කාරණය සම්බන්ධයෙන් දේශපාලන කෝණයන්ගෙන් නොව විෂයානුබද්ධව බැලීමේදී අපට එය විග්‍රහ කරගත හැක්කේ කෙසේද යන්න පිළිබඳව මහ බැංකුවේ හිටපු අධ්‍යක්ෂ ප්‍රවීණ ආර්ථික විශ්ලේෂක වින්සන් මර්වින් ප්‍රනාන්දු මහතා කරුණු පැහැදිලි කිරීමක් සිදුකරයි.

ආචාර්ය පී.බී.ජයසුන්දර මහතා ජනාධිපති ලේකම් වශයෙන් ක්‍රියාකරමින්,පෞද්ගලික ඉල්ලීමක් ලෙස රාජ්‍ය සේවකයින්ගේ මැයි මස වැටුප හෝ වැටුපෙන් භාගයක් හෝ දිනක වැටුප හෝ තමන් කැමති නම් පරිත්‍යාග කරන ලෙස ඉල්ලීම මුල්කරගෙන විවිධ පාර්ශව විසින් මේ වන විට නොයෙකුත් දේ ප්‍රකාශ කරමින් සිටින තත්ත්වයක් තුළ ඒ  ප්‍රකාශ කිරීම් හරිද? වැරදිද?යන්න ගැන විග්‍රහ කිරීමට වඩා  අප වැදගත් කොට සලකන්නේ  ඒ ප්‍රකාශය හරහා මතුකරන “ශ්‍රී ලංකාවේ රාජ්‍ය මූල්‍ය” (Public Finance) තත්ත්වය දරුණු අර්බුදයකට ලක් වී තිබීමේ තත්ත්වයයි. ඒ අර්බුදය පිළිබඳව දැනුමක් ලබා ගැනීම කාටත් වැදගත්ය.

සමාජයේ යහපත උදෙසා රටක පවතින හිඟ සම්පත් බෙදා හැරීමට රටේ පවතින වෙළෙඳපොළ යාන්ත්‍රණය අපොහොසත් වන විට ඒ කියන්නේ නිතරම “ලාභයම” අපේක්ෂා කරමින් තීරණ ගන්නා පෞද්ගලික භාණ්ඩ සපයන පෞද්ගලික අංශයක් සිටින ආර්ථිකයක ලාභයක් බලාපොරොත්තු නොවී ජනතාවට අවශ්‍ය දේ කිරීමට එනම් පොදු භාණ්ඩ ශුභසාධන භාණ්ඩ,පොදු සම්පත්,අර්ධ පොදු භාණ්ඩ ලබා දීමට රටකට රජයක් අවශ්‍ය බව මුළු ලෝකයම මේ වන විට පිළිගෙන හමාරය. රජයක් නොසිටියා නම් COVID 19 වැළඳුනු රෝගීන්ට අවශ්‍ය සෞඛ්‍ය සේවා පහසුකම්, එම රෝගයෙන් ජනතාව බේරා ගැනීමට අවශ්‍ය ආරක්ෂක පහසුකම් නොමිලේ ලබා ගැනීමටත් COVID 19 නිසාම ආදායම් උපයා ගැනීමට නොහැකි වූ අයට මූල්‍ය පහසුකම් ලබා ගැනීමටත් වැඩපිළිවෙලක් නොතිබුණා නම් අද වාර්තා වන රෝගීන් ගණනට,අද වාර්තා වන මරණ ගණනට වැඩ විශාල ප්‍රමාණයක් රෝගීන් හා මරණ වාර්තා වීමට ඉඩ තිබුණි. ඒ සඳහා ලාභා නොබලා වියදම් කිරීමට හැකි එකම බලවේගය බවට රජය පත්වෙයි. ඒ සඳහා මෙන්ම අනිකුත් දේ සඳහා රජයට විශාල වියදමක් කිරීමට සිදුවෙයි. එම වියදම් කිරීමට අවශ්‍ය අදායම බදු හා බදු නොවන මාර්ගවලින් උපයා ගැනීමට රජයට සිදුවෙයි. මෙය අප හඳුන්වන්නේ රාජ්‍ය අය – වැය – ණය ලෙස කොටස් තුනක් වශයෙනි. එම අය – වැය – ණය අවශ්‍ය පරිදි අවශ්‍ය ප්‍රමාණයට ඉදිරි වර්ෂයන් සඳහා අවශ්‍ය ප්‍රමාණයට ලබා ගැනීමට ව්‍යවස්ථාදායකයේ අනුමැතිය,එනම් පාර්ලිමේන්තුවේ අනුමැතිය ලබා ගැනීමට පනතක් සම්මත කරගැනීමට සිදු වේ.

එය අප හඳුන්වන්නේ “විසර්ජන පනත”(Appropriation Act ) කියාය. එවැනි පනතක් සම්මත කර ගැනීමට බැරි වන හේතු ඇති වූ විට (රටේ යුද්ධයක්,සුනාමි වැනි විශාල විනාශකාරී තත්ත්වයක්,මැතිවරණයක් ) කෙටි කාලයකට උපරිම වශයෙන් මස 4කට රාජ්‍ය වියදම් කිරීමට පමණක් පාර්ලිමේන්තු අනුමැතිය ලබා ගැනීමට අතුරු සම්මත ගිණුමක් (Vote an  account) සම්මත කර ගැනීමට සිදු වේ. එම අතුරු සම්මත ගිණුමට අදාළ කාලය නිමවීමට පෙර කෙසේ හෝ අයවැයක් සම්මත කරගත යුතුය. එසේ කිරීමටද නොහැකි වුවහොත් ( ඒ වන විට පාර්ලිමේන්තුව විසුරුවා හැර තිබේ නම්)අවශ්‍ය වැය කටයුතු “භාරකාර අරමුදල”(Consolidate Fund) හරහා සිදුකිරීමට රටේ ප්‍රධාන විධායකයා ලෙස ක්‍රියා කරන ජනාධිපතිතුමාට රටේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 150(3) වගන්තිය අනුව බලය ලැබෙයි. එහෙත් අතුරු සම්මත ගිණුමේ කාලයද නිම වී, පාර්ලිමේන්තු මැතිවරණයක් පැවැත්වීමේ කාලය පවා තීරණය කිරීමට නොහැකි ලෙස රටේ යම් අර්බුදකාරී තත්ත්වයක් ඇතිවුවහොත් ( හරියටම මේ වන විට COVID 19 හරහා මතු වූ තත්ත්වයක් තුළ),150(3) යටතේ ජනාධිපතිතුමා සතුව තිබෙන බලයද ව්‍යවස්ථානුකූල නොවේ යැයි ද මේ වන විට හඬක් මතුව තිබේ. ඒ සඳහා ශ්‍රේෂ්ඨාධිකරණයේ පිහිට පැතීමට ද ඇතැම් අය කටයුතු කරමින් සිටියි. ඒ අතර හදිසියේ තවත් අතුරු සම්මත ගිණුමක්  සම්මත කරගත් බවද පැවසේ.

අප මෙතෙක් කතා කළ සියල්ලම එක විට නිදහසින් පසු සිදු වූ කාලපරිච්ජේදයක් ලෙස 2019 අග සිට සාකච්ජාව කරන මොහොත දක්වා වූ කාලය සඳහන් කළ හැකිය. එනම්  මේ වන විට 2020 සඳහා අයවැයක් සම්මත කර ගත්තේ නැත. 2020 අප්‍රේල් මාසයෙන් පසු ක්‍රියාත්මක විය යුතු අතුරු සම්මත ගිණුමක්ද සම්මත කර ගැනීමට නව රජයට හිටපු රජය ඉඩ දුන්නේ නැත. මේ වන විට 150(3) වගන්තිය යටතේ ජනාධිපතිතුමා සතු බලතල ද හදිසියේ කැබිනට්ටුව හරහා සම්මත කරගත් අතුරු සම්මත ගිණුම ප්‍රශ්නාර්ථයක් බවට පත්ව ඇත. මේ සියල්ලටම වඩා 2015-2019 කාලය තුළ වාර්ෂිකව බිඳ වැටුණු ආර්ථික වර්ධන වේගය (2015=5%,2016=4.5%,2017=3.4%,2018=3.2%,2019=2.3%) යළි පණගැන්වීමට රටක ආර්ථික වර්ධනයේ යාන්ත්‍රණය ලෙස සලකන “පෞද්ගලික අංශයට” එනම් ව්‍යාපාරික අංශයට සහය  දීම සඳහා ජනධිපාති ලේකම් පී.බී.ජයසුන්දර මහතා ගෝඨාභය රාජපක්ෂ මැතිදුන් ජනපති වීමත් සමඟ විශාල බදු සහන රැසක් ලබා දීමට 2019 දෙසැම්බර් මස සිට කටයුතු කළේය. අරමුණ එසේ ප්‍රකාශ වුවද එයට විරුද්ධව කතා කරන පිරිස් කියන්නේ ජනාධිපතිවරණයෙන් පසු එළඹෙන මහ මැතිවරණයෙන් 2/3 කට වඩා බලයක් ලබා ගැනීමට ව්‍යාපාරිකයින්ට සහන මල්ලක් ලබා දුන් බවය.

එම අරමුණු දෙකම එකවර ඉටුකර ගන්නට එම බදු සහන ලබා දුන්නා යැයිද තවත් කෙනෙකුට පෙනී යා හැකියි. නමුත් අවාසනාවට, Covid – 19 වසංගතය ද ඉස්මතු වීම නිසා රාජ්‍ය ආදායම තවදුරටත් කඩා වැටීමකට ලක් වූවා මිස ආර්ථික වර්ධනයට එය රුකුලක් වූයේ නැත. (මීට පෙර වර්ෂයේ 2019දී පාස්කු ඉරු දින ප්‍රහාරවලට ප්‍රතිචාර වශයෙන් රාජ්‍ය මූල්‍ය ලිහිල් කිරීම නිසාද රාජ්‍ය ආදායම 13.6% කට අඩු විය.) 2019 අගදී ලබා දුන් බදු සහන නිසා වැට් බදු ආදායම රුපියල් බිලියන 300 ක් පමණ අහිමි වූ නමුත් රාජ්‍ය ආදායම රුපියල් බිලියන 650ක් යැයි ගණන් බලා තිබේ. (එනම් රාජ්‍ය ආදායමින් 30% ක්) ඒ නිසාම ශ්‍රී ලංකාවේ නිදහසින් පසු රාජ්‍ය ආදායම දළ දේශීය නිෂ්පාදනයේ ප්‍රතිශතයක් ලෙස අඩුම අගයක් වාර්තා කරන වසරක් බවට 2020 වර්ෂය වාර්තා වීම වැළැක්විය නොහැකි යැයි අපට පෙනේ. (වගුව බලන්න.)

වර්ෂය        රාජ්‍ය ආදායම (ද.දේ.නි) හා දීමනා
1950         16%
1960          21%
1970          21%
1980          24%
1990          23%
2000          17%
2010          13%
2019          12.6%
2020           9.8%

රාජ්‍ය වියදම දෙස බලන විට එය 1978 විවෘත ආර්ථිකයත් සමග දළ දේශීය නිෂ්පාදනයේ 42% වාර්තා කරමින් නිදහසින් පසු වැඩිම රාජ්‍ය වියදමක් වාර්තා කළ වර්ෂය වේ.  රාජ්‍ය වියදම් 2005 දී 24%කට අඩු වී 2014 වන විට 17%ක් දක්වා අඩු විය. 2019 වන විට යළිත් රාජ්‍ය වියදම් 19%ක්  විය. 2019 මුළු රාජ්‍ය ආදායම රුපියල් බිලියන 1891ක් වූ අතර රජයේ එදිනෙදා වියදම් හෙවත් පුනරාවර්තන වියදම් 2301ක් (වැටුප් හා වේතන 686+ ආරක්ෂක වියදම් 208 + පොලී ගෙවීම් 901 + වර්තන පැවරුම් හා සහනාධාර 506) විය. මෙයින් පෙන්නුම් කරනුයේ 2019 වන විටත් රජයේ එදිනෙදා වියදම් පියවා ගැනීමට රාජ්‍ය ආදායම රුපියල් බිලියන 410ක් මදි බවය. ඒ රුපියල් බිලියන 410 ණයට ලබාගත යුතු බවය. 2020 දී රාජ්‍ය ආදායම බදු සහන දීම නිසා තවත් රුපියල් බිලියන 650ක් ද අඩු වීම නිසා ලබාගත යුතු රාජ්‍ය ණය ප්‍රමාණය තවත් වැඩි වන බවය. ඒ පිළිබඳවද ප්‍රශ්න රැසක් මතු වී ඇත. මේ අනුව රජය ලබා දුන් බදු සහන සහ Covid  19 අවසාන ප්‍රතිඵලය 2020 අග වනවිට මෙසේ වන බව 2019 මහ බැංකු වාර්තාව පෙන්වා දෙයි.

2020 බිඳවැටෙන රාජ්‍ය මූල්‍ය තත්ත්වය

දර්ශකය                                            ද.දේ.නි %
සමස්ත ආදායම හා දීමනා                            9.8%
වියදම හා ශුද්ධ ණය දීම                             17.7%
වර්තන ගිණුමේ හිඟය (1- වර්තන වැය)         -5.1%
ප්‍රාථමික ගිණුමේ හිඟය                                -2.8%
සමස්ත අයවැය හිඟය                                  -7.9%
මධ්‍යම රජයේ ණය                                     92.4%

මේ අර්බුදයෙන් ගොඩ ඒමට රජය ගන්නා ඕනෑම තීරණයක් ජනතාවගේ අප්‍රසාදයට ලක්වීම නම් වැළැක්විය නොහැකි බව අවසාන වශයෙන් සදහන් කරමු.

LANKANEWSWEB

Similar Posts

Leave a Reply

Your email address will not be published. Required fields are marked *