කලාපයේ වඩාත් ම තරගකාරී ආර්ථිකය හදන්න අපට පුළුවන් – අගමැති රනිල් වික්‍රමසිංහ

‘ශ්‍රී ලංකාව ධරණීය හා ඇතුළත් කරගන්නාසුළු සංවර්ධනයක් දෙසට’ යන මැයෙන් පසුගියදා කොළඹදී පවත්වන ලද සංසදයේදී අගමැති රනිල් වික්‍රමසිංහ විසින් පවත්වන ලද කතාව ඔස්සේ ශ්‍රී ලංකාවේ ආර්ථික බලාපොරොත්තු ප්‍රකාශයට පත් වුණා. දැන් දේශපාලනය අවසන් බව ද සිය ධුර කාලයේ ඉතිරි වකවානුව තුළදී ආර්ථිකය පිළිසකර කිරීම කෙරෙහි අවධානය යොමු කරන බව ද ඔහු පැවසුවා.

“මෙය ශ්‍රී ලංකාවට අනගි අවස්ථාවක්. වසරකට පෙර ශ්‍රී ලංකාවේ ජනතාව ජනාධිපති මෛත්‍රීපාල සිරිසේනට ජන වරමක් දුන්නා. ඒ ශ්‍රී ලංකාවේ ප්‍රජාතන්ත්‍රවාදය ස්ථාපිත කිරීමටයි. ජනාධිපති සිරිසේනට දුෂ්කර මාස කීපයක් ගත කිරීමට සිදු වුණා. මම සුළුතර ආණ්ඩුවක අගමැති ලෙස සිටියා. එහෙත් අපි ඉදිරියට ගියා. ජනාධිපතිවරයා ස්වකැමැත්තෙන් ඇතැම් විධායක බලතල අත්හැරියා. මහ මැතිවරණයෙන් අපට ජාතික ආණ්ඩුවක් පිහිටුවීමට අවස්ථාව ලැබුණා. මෙය සුවිශේෂ තත්වයක්. අපට ටිකක් ලොකු ඇමති මණ්ඩලයක් සිටින බව මම පිළි ගන්නවා. අපි දශක ගණනාවක පළපුරුද්ද එක්තැන් කර තිබෙනවා. ජනතාව වෙනුවෙන් වඩා යහපත් අනාගතයක් සහතික කිරීමට එකට එකතු වීමේ සාමූහික ප්‍රඥාව අපට තිබෙනවා. අපට ජනවරම ලබා දී තිබෙන්නේ වඩා යහපත් ජීවිතයක් ගොඩනගන්නයි.

“දිගු කාලීන යුද්ධයකින් පසු අප එකතු වන්නේ කොහොම ද? අප අතීතය සමග ගනුදෙනු කරන්නේ කොහොම ද? අප විසින් දී තිබෙන ජාත්‍යන්තර පොරොන්දු සමග අප කටයුතු කරන්නේ කොහොම ද? එකට ඉදිරියට යන්නට කැමති විවිධ කණ්ඩායම් සමග අප කටයුතු කරන්නේ කෙසේ ද? මා කලින් ද කියූ ලෙස ක්‍රිකට් කියන්නේ ශ්‍රී ලංකාව එක්සත් කළ ක්‍රීඩාවක්. අනාගතය වෙත ගමන් කරන විට අපට එකට බැඳිය හැකි බව මම විශ්වාස කරනවා. සෙනසුරාදා පාර්ලිමේන්තුව රැස් වූ විට අපි දේශපාලන හා ආර්ථික ප්‍රතිසංස්කරණ සිදු කිරීම අපි ආරම්භ කරනවා. දේශපාලන කොටස අවසන්. අපි වසර දහස් ගණනක් බුද්ධිමත්ව ජීවත් වූ ජාතියක්. සර්ව ජන ඡන්ද බලය භුක්ති විඳි පළමු ජාතිය අපයි. ආර්ථිකය විවෘත කළ පළමු දකුණු ආසියාතික රට අපයි. විශ්වීය අධ්‍යාපනය වෙනුවෙන් කැප වූ පළමු රට අපයි. අප ගෝලීය වෙළඳපොළකට හා ගෝලීය නිෂ්පාදන දම්වැලකට සම්බන්ධ වන්නේ කෙසේ ද?”

ආණ්ඩුවට ජනවරමක් නො දුන් සියලු ඡන්ද දායකයන්ට ද සෞඛ්‍යය, අධ්‍යාපනය හා නිවාස සමග යහපත් ජීවිතයක් ලැබිය යුතු බව අගමැතිවරයා පෙන්වා දුන්නා. රජයේ සංවර්ධන සැලසුම්වල වාසි අත්පත් කර ගන්නා පාර්ශ්වකරුවන් වන්නේ ශ්‍රී ලාංකිකයන් බව පෙන්වා දුන් අගමැති රනිල් වික්‍රමසිංහ ලක්ෂ 15ක් ජනතාවට ජනාධිපතිවරයා විසින් ඉඩම් ඔප්පු ලබා දෙනු ඇති බව ද, එමගින් ඔවුන්ට සමාජයේ හා ආර්ථික වර්ධනයේ කොටස්කරුවන් විය හැකි බව ද පෙන්වා දුන්නා.

“එහෙත් අපට මුලින් ම අවදානම්වලින් මිදෙන්නටත්, රාජ්‍ය මුල්‍ය අස්ථාවරත්වයන් නැති කර ගන්නටත් සිදු වෙනවා. ගෝලීය ආර්ථිකයේ අවදානම් තත්වයන් තිබියදීත් අපට ඉදිරියට යන්නට සිදු වෙනවා. අප කලාපයේ වඩාත් ම තරගකාරී ආර්ථිකය, ඇතුළත්කරගන්නාසුළු සමාජය හා ගෝලීය ආර්ථිකය වන්නේ කෙසේ ද? සිංගප්පූරුවත් ඩුබායිත් අතර ප්‍රධාන මෙගාපොලිස් පුරවරයක් නැහැ. අප එය සැලසුම් කරන්නේ කෙසේ ද? අප ගැන විශ්වාසය තැබූ සෝරෝස් මෙහි පැමිණ මෙම සංසදය සංවිධානය කිරීම පිළිබඳ මා ස්තුතිවන්ත වෙනවා. ආර්ථික විද්‍යාඥ ජෝසප් ස්ටිග්ලිට්ස් යනු දෙපැත්තේ ම දේශපාලන පසුබිමක් ඇත්තෙකි. ඇමති මණ්ඩලයේ හා පාර්ලිමේන්තුවේ සාමාජිකයන් වන අප හැම දෙනා ම යොමු වී තිබෙන්නේ අපට දකුණු ආසියාවේ මෙම තත්වය ඇති කිරීමේ හැකියාව ඇති බව විශ්වාස කරන්නටයි.”

 

 

 

Similar Posts

Leave a Reply

Your email address will not be published. Required fields are marked *