ශ්‍රී ලංකාවේ ආර්ථිකය යථා තත්ත්වයට පත්වන බව ජාත්‍යන්තර මූල්‍ය අරමුදල පවසයි

පාස්කු ඉරුදින ත්‍රස්ත ප්‍රහාරයෙන් පසුව ශ්‍රී ලංකාවේ ආර්ථිකය යථා තත්ත්වයට පත්වෙමින් පවතින බව ජාත්‍යන්තර මූල්‍ය අරමුදල නිවේදනය කරයි.

ඔවුන් පෙන්වාදෙන්නේ 2020 වසරේදී දළ දේශීය නිෂ්පාදනයේ 3.7%ක වර්ධනයක් අපේක්ෂා කළ හැකි බවයි.

මැනුවෙලා ගොරෙට්ටිගේ නායකත්වයෙන් යුත් ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ කාර්ය මණ්ඩලය ජනවාරි 29 සිට පෙබරවාරි 7 දක්වා කාලය තුළ ශ්‍රී ලංකාවේ කළ නිරීක්ෂණ චාරිකාවකින් අනතුරුව මෙම නිවේදනය නිකුත් කර ඇත.

පාස්කු ඉරුදින ත්‍රස්ත ප්‍රහාරයෙන් අනතුරුව මෙරට ආර්ථිකය ප්‍රකෘතිමත් වෙමින් පවතින බව පෙන්වාදෙන ජාත්‍යන්තර මූල්‍ය අරමුදල 2019 වසරේදී 2.6 %ක් ලෙස ඇස්තමේන්තු කර තිබූ දළ දේශීය නිෂ්පාදිතයේ වර්ධනය 2020 වසරේදී 3.7 %ක් දක්වා ඉහළ යනු ඇතැයි අපේක්ෂා කරයි.

ඊට නිෂ්පාදන අංශයේ ශක්තිමත් ක්‍රියාකාරිත්වය සහ සංචාරක කර්මාන්තයේ වර්ධනය දායක වනු ඇති බව මූල්‍ය අරමුදලේ අදහසයි.

කෙසේවෙතත් කොරෝනා වෛරසය සංචාරක පැමිණීම් සහ අනෙකුත් ආර්ථික ක්‍රියාකාරකම් කෙරෙහි යම් බලපෑමක් ඇති කරනු ඇතැයි ද උපකල්පනය කරන ජාත්‍යන්තර මූල්‍ය අරමුදල උද්ධමනය  4.5 % ක අගයක් ගනු ඇතැයි අපේක්ෂා කරයි.

රජය සතු ව්‍යාපාරවල කාර්යක්ෂමතාව ඉහළ නැංවීම පිළිබඳව බලධාරීන්ගේ සැලසුම් මෙම කණ්ඩායමේ ඇගයීමට ලක්ව ඇති අතර  එමඟින් හොඳ වාණිජ පදනමක් මත ක්‍රියාත්මක වීමට හැකි බව ඔවුන් පෙන්වා දෙයි.

එමෙන්ම ආර්ථික වර්ධනය උපරිම ලෙස අත්කරගැනීමට නම් ආයතනික සහ ව්‍යුහාත්මක ප්‍රතිසංස්කරණ කළ යුතු බව පෙන්වාදෙන ඔවුන් කාන්තා ශ්‍රම සහභාගීත්වය වැඩි කිරීම, සමාජ ආරක්ෂණ වැඩි දියුණු කිරීම් සහ අධ්‍යාපනය හා කුසලතා සඳහා තවදුරටත් ආයෝජනය කිරීමෙන් ආර්ථිකය වර්ධනය ඉහළ නැංවිය හැකි බව පෙන්වා දෙයි.

අද දෙරණ

Leave a Reply

Your email address will not be published. Required fields are marked *