වැට් බදු කැපීමට රාජ්‍ය මුදල් කාරක සභාවේ අනුමැතිය නෑ

ජනාධිපති ගොටාභය රාජපක්ෂ මහතා ජනාධිපති තනතුර ට පත්වීමෙන් පසුව ක්‍රියාත්මක කළ වැට් බදු සංශෝධයට අනුමැතිය ලබා දීම පාර්ලිමේන්තුවේ රාජ්‍ය මුදල් කාරක සභාව ඊයේ ප්‍රතික්ෂේප කළේ ය . එම කමිටුව නියෝග කළේ වැට් බදු කපා හැරීම සාධාරණීකරණය කිරීමට හේතු මීලග කමිටුවට ඉදිරිපත් කළ යුතු බවයි. බදු කපා හැරීමෙන් අහිමි වන ආදායම් උපයන ක්‍රමය පිලිබදව ද කරුණු ඉදිරිපත් කරන ලෙස කමිටුව දැනුම් දී තිබේ .
දුම්කොළ හා මධ්‍යසාර සම්බන්ධ බදු අනුමත කිරීම ද ප්‍රතික්ෂේප කළ කමිටුව මුදල් අමාත්‍යංශයේ අදාල නිලධාරීන්ට නියම කළේ මෙම කරුණු පිලිබදව ජාතික දුම්කොළ හා මධ්‍යසාර අධිකාරියේ උපදෙස් ලබාගෙන ඉදිරි කමිටුවට ඉදිරිපත් කරන ලෙස යි . අදාළ සියලු නිලධාරීන් පාර්ලිමේන්තුවේ රාජ්‍ය මුදල් කාරක සභාව මීලගට රැස්වන දිනයේ කමිටුව ඉදිරියේ පෙනී සිටිය යුතු බව ද කමිටුව දැනුම් දී ඇත .
ශ්‍රී ලංකාවේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට අනුව රජයේ මුදල් පාලනය පාර්ලිමේන්තුවට අයත් කට යුත්තකි . පාර්ලිමේන්තුවේ අනුමැතියකින් තොරව කිසිදු මුදලක් වියදම් කිරීමට හෝ ආදායමක් අතහැර දැමීමට අවසර නැත .
