රාජිතට වරෙන්තු
හිටපු ඇමැති රාජිත සේනාරත්න මහතා අත්අඩංගුවට ගන්නැයි කොළඹ මහේස්ත්‍රාත් අධිකරණය ඊයේ (24) වරෙන්තුවක් නිකුත් කෙළේය.
1985 අංක 15 දරණ ජනාධිපතිවරණ පනත අනුව ජනාධිපති අපේක්ෂකයකුට අපහාස කරමින් බොරු සාක්කි ගෙතීම ඊට ආධාර අනුබල ලබාදීම හා දණ්ඩ නීති සංග්රය යටතේ වරදක් කිරීම චෝදනා යටතේ රාජිත සේනාරත්න මහතා අත්අඩංගුවට ගත යුතු බවට නීතිපතිවරයා උපදෙස් ලබාදී ඇති බැවින් වරෙන්තුවක් නිකුත් කරන ලෙසට නියෝජ්‍ය සොලිසිටර් ජෙනරල් දිලීප පීරිස් මහතා කළ ඉල්ලීමක් සලකා බැලීමෙන් පසුව මෙම වරෙන්තුව නිකුත් කෙළේය.
රාජිත සේනාරත්න මහතා අපේක්ෂිත ඇප අයැදුම් පත්‍රයක් අධිකරණයට ගොනු කළ ඇති බැවින් මෙම වරෙන්තුව ලබාගන්නා බවද සේනාරත්න මහතා ඇප අයදුම්කර ඇත්තේ වෙනත් වරදවල් සම්බන්ධයෙන් බවද දිලීප පීරිස් මහතා වැඩිදුරටත් අධිකරණය කරුණු ඉදිරිපත් කරමින් පැවසීය.
සුදු වෑන් මඟින් පැහැර ගැනීම, මනුෂ්‍ය ඝාතනය, හා බොරු සාක්කි මහජනතාව අතර පැතිරවීම සම්බන්ධයෙන් අපරාධකරුවන් දෙදෙනකුට මාධ්‍ය සාකච්ඡාවක් පැවැත්වීම සඳහා ඍජුව ආධාර උපකාර කිරීම ඇතුළු වරදවල්වල් සම්බන්ධයෙන් ඉදිරි විමර්ශන කටයුතු කිරීම සඳහා රාජිත සේනාරත්න මහතා අවශ්‍ය වන බවට මහේස්ත්‍රාත් අධිකරණයට කරුණු ඉදිරිපත් කිරීමෙන් අනතුරුව කොළඹ අතිරේක මහේස්ත්‍රාත් නෙළුම්දෙණිය මහතා මෙම වරෙන්තුව නිකුත් කෙළේය.
නීතිපතිවරයාගේ උපදෙස් පරිදි නියෝජ්‍ය සොලිසිටර් ජෙනරල් දලීප පීරිස් මහතා රහස් පොලිසිය වෙනුවෙන් කළ ඉල්ලීම සලකා බැලීමෙන් පසුව මෙම වරෙන්තුව නිකුත් කෙළේය.
රාජිත සේනාරත්න මහතා පසුගිය නොවැම්බර් මස 10 වැනි දින තවත් පුද්ගලයින් දෙදෙනකු සමඟ කළ මාධ්‍ය සකච්ඡාව සම්බන්ධයෙන් ඉදිරි විමර්ශනය කිරීමට මෙම අත්අඩංගුවට ගැනීම සිදු කළ යුතු බව එහිදී වැඩිදුරටත් කරුණු ඉදිරිපත් කෙරිණි .
රෝෂන් තුෂාර
දිනමිණ
