හිටපු ඇමති පාඨලී චම්පිකට ඇප – පොදු දේපළ පනත යටතේ චෝදනා ඉවතට !

2016 වසරේ රාජගිරිය ප්‍රදේශයේ ඇතිවූ රිය අනතුරු සිද්ධිය සම්බන්ධයෙන් අත්අඩංගුවට ගෙන රක්ෂිත බන්ධනාගාර ගත කර සිටින හිටපු අමාත්‍ය පාඨලී චම්පික රණවක මහතා ඇප මත මුදා හරින ලෙස කොළඹ අතිරේක මහේස්ත්‍රාත් කාංචනා නෙරංජනා ද සිල්වා මහත්මිය අද(24) නියම කළාය. හිටපු ඇමතිවරයාට එරෙහිව පොදු දේපළ පනත යටතේ නඩු දැමීමට නීතිපතිවරයා උපදෙස් දී නැති බවද මහේස්ත්‍රාත්තුමිය පෙන්වා දුන්නාය .

ඒ අනුව සැකකාර චම්පික රණවක මහතා රුපියල් 25000 ක මුදල් ඇප සහ රුපියල් ලක්ෂ 05 බැගින් වූ ශරීර ඇප දෙකක් මත මුදා හරින ලෙස නියම කළ මහෙස්ත්‍රාත් වරිය සෑම මසකම අවසන් ඉරු දින පෙරවරු 9ත් 12ත් අතර කොළඹ අපරාධ කොට්ඨාසයට වාර්තා කළ යුතු බවටද නියම කළාය.

  ඇප නියෝගය ප්‍රකාශයට පත් කරමින් මහේස්ත්‍රාත්වරිය සඳහන් කර තිබුණේ එම සැකකරු අත්අඩංගුවට ගැනීමේදී නීතිපතිවරයා විසින් පොදු දේපොළ පනත යටතේ අත්අඩංගුවට ගතයුතු බවට උපදෙස් ලබාදී නොමැති බවයි.

  සැකකරු විසින් සිදුකළ රිය අනතුර තුළින් රජයේ දෙපළක් වන ජීප් රථයකට රුපියල් 917244/- ක අලාභයක් සිදුව ඇති බවට සඳහන් කරමින් පොදු දේපළ පනත යටතේ අධිකරණයට කරුණු වාර්තාකර තිබුණද නීතිපතිවරයාගේ උපදෙස් වලින් තොරව පොලිසිය විසින් මෙම නඩුවට අදාළ බී වාර්තාවට පොදු දේපල පනත ඇතුලත් කර ඇති බවද මහේස්ත්‍රාත්වරිය සිය  නියෝගයෙන්  පෙන්වා දුන්නාය.  

ඒ අනුව ඇප ප්‍රතික්ෂේප කිරීමට තරම් කිසිදු කරුණක් අනාවරණය නොවන හෙයින් සැකකාර චම්පික රණවක මහතා ඇප මත මුදා හරින බවයි මහේස්ත්‍රාත්වරිය ගේ නියෝගයේ සඳහන් කළාය.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *