ජනතාව කැපවීමෙන් ඉදිරියට එන්නේ ළඟ එන අනතුර හඳුනාගෙන ඇති නිසා – වික්‍රමභාහු කරුණාරත්න

අපේ පක්ෂයෙනුත් ජනාධිපවරණයට අපේක්ෂකයෙක් ඉදිරිපත් කරල තියෙනව නන්දිමිත්‍ර කියල කෙනක්. එහෙම තියෙද්දිත් අපි වැඩකරන්නෙ ගෝඨාභය පරාජය කරල, ඉස්සරටහ යන්න. ඒ නිසා අපිට ඡන්දය දිය යුතුයි කියන්න සිද්ධ වෙලා තියෙනව එක්සත් ජාතික පක්ෂය නැත්නම් නව ප්‍රජාතන්ත්‍රවාදී සංවිධානයෙන් ඉදිරිපත් වෙලා ඉන්න සජිත් ප්‍රේමදාස මැතිතුමාට. අපි ඔක්කොම විවිධ අදහස් තිබුණත් අනිවාර්යෙන්ම මේ සටනෙදි සජිත්ට ඡන්දය දීලා ගෝඨාභය පරාජය කළ යුතුයි කියන මතයෙ ඉන්නව. නව සමසමාජ පක්ෂයේ නායක වික්‍රමභාහු කරුණාරත්න මහතා එසේ ප්‍රකාශකළේ. ඊයේ (18) රාජගිරියේ දී පැවැති මාධ්‍ය හමුවක් අමතමිනි. තවදුරටත් කතා කළ වික්‍රමභාහු මහතා මෙසේද කීවේය.

මොකද ඒ විදිහට පමණයි ජාතිවාදී බලවේග පරාජය කරන්න පුළුවන්. භයානක පිළිලයක් වගේ තියෙන මේ ජාතිවාදි බලවේගය නතර කරන්න අපිට සිද්ධ වෙලා තියෙනව. එක පෙරමුණක් හැටියට සටන් කරල. ඡන්දය සජිත් ප්‍රේමදාසට දීලා ඒ මගින් ඔහුව පළවා හැරීමට කටයුතු කරන්න ඕන නිසා තමයි අපි එකතුවෙලා වැඩ කරගෙන යන්නෙ.

මේ රට ඉතාම කනගාටුදායක තත්ත්වයකට පත්වෙලා තියෙනව. අපි පසුගිය වසර හතරේම ජාතිවාදී, ආගම්වාදී පැසිස්ට්වාදී බලවේගයකට විරුද්ධව අපි සටන කරල ඉදිරියට ඇවිල්ලා, ජනාධිපතිවරයෙක් පත්කරගෙන අපි වැඩකරගන ආවා. අපිට කරන්න විශාල වැඩකොටසක් තිබුණා. නිදහස හා ප්‍රජාතන්ත්‍රවාදය සඳහා සටන. ඒ වගේම යුක්තිය සාධාරණය වෙනුවෙන් සටන. මේ විදිහට මුළු ‍රටේම ප්‍රජාතන්ත්‍රවාදී නිදහස් ආලෝකයක් ඇති කිරීම සඳහායි පළමුවෙන්ම සටන් කරන්න ඕනැ. මොකද, මේ රට එක්සත්වෙලා, නිදහස්වෙලා, ප්‍රජාතන්ත්‍රවාදී වෙලා නැත්නම්, සමාජවාදයට තියා මොන වාදයටවත් යන්න බැහැ.

මුළු ලෝකේම අපි දිහා බලාගෙන හිටියා කොහොමද මෙ රට යන්නෙ කියල. මේ පැසිසිට් තාලේ මෘග පාළකයො තවදුරටත් ඉදිරියටත් යයිද? ඒක ඉවත් කරල වෙන මාර්ගයක් ගනීද කියල. අපි ගත්තා මාර්ගයක්. දිගටම අපිට තිබුණ අභියෝගයක් තමයි ඒ. ඒ අය කඩාකප්පල් කරන්න පටන් ගත්තා, ඒ අයට මුහුණ දෙමින් සටන්කාමී විදිහට තමයි අපිට යන්න තිබුණේ. අපි පත්කරගත්ත අගමැතිවරයව අයින් කරල දවස් පණස් තුනක් පාරට දාලා ඒ ගොල්ල ලෝකයටම කෑගහල කිව්වා අපි දිණුවා අපි දිණුව කියල. ජනතාව මැදිහත් වෙලා, අපි විශාල සටනක් කරල සියලු ප්‍රජාතන්ත්‍රවාදී ජන කොටස් එකතුවෙලා ලක්ෂ ගණනින් පාරට බැහැලා තමයි අධිකරණය පවා හරවගෙන අපි ජයගත්තා.

ඒ තත්ත්වය සමනය වෙනකොට තමයි අපිට ඊළඟ බාධකය ඇවිල්ලා තියෙන්නේ මේ ඡන්දය සඳහා. දැන් ජාතිවාදී ආගම්වාදී පැසිස්ට්තාලේ බලවේග ඉතාම දරුණු විදිහට ජනතාව දෙකට බෙදල, ආගම් වශයෙන් ජාතීන් වශයෙන් බෙදලා, ඒ අයව අන්ධ කරල මේ රටම විනාශ මුඛයට ගෙනයමින් තමයි තමන් සටන ඉදිරියට ගෙනියන්න හදන්නෙ.

අන්න ඒ නිසා තමයි අපි විවිධ හදවත් අරගෙන, විවිධ දේශපාලන පක්ෂවල නායකයො අපි එකතුවෙලා, එක්සත්වෙලා, අපි අතර තියෙන ගැටුම් අමතක කරල එක්සත් වියයුතු යුගයක් ඇවිල්ලා කියල අපිට කියන්න සිද්ධවෙලා තියෙනව. ගෝඨාභයගෙ පාළනයක් මේ රටේ අති වුණොත් ඒ මගින් මහා විනාශයක් වෙනව කියල ලෝකයේ හැම තැනින්ම අහන්න ලැබෙනව. ප්‍රජාතන්ත්‍රවාදයට ගරුකරන, නිදහස ගරුකරන අයට මම කියනව, මේ රටට මේ විපත සිද්ධ වෙන්න දෙන්න එපා කියල.

ජනතාව රැව් පිළිරැව් දෙන හඬින් කතා කරන්න පටන් අරගෙන තියෙනව. අපිට පේනවා දැන් අපේ ජයග්‍රහණය ළඟයි කියල. මම පහුගිය දවස්වල අපේ ජනාධිපති අපේක්ෂක සජිත් ප්‍රේමදාස මැතිතුමත් එක්ක වයඹ පළාතෙ රැස්වීම් වලට ගියා. මහ වැස්සේ ලක්ෂ ගණන් ජනතාව ඔවුන්ගේ නායකයා ඔවුන්ව අමතන හැටි බලාගෙන හිටියා. ඔහුට ආශිර්වාද කරන්න ඇවිත් හිටියා. රෑ දොළහ වෙනකල් සෙනග ඒ විදිහම හිටියා. මේ ජනතාව මෙසේ කැපවෙමින් එන්නේ ඒ ගොල්ලන්ට පැමිණෙන විපත ඒ ගොල්ලන් අවබෝධ කරගෙන තිබෙන බව පේනවා.

ජාතිවාදය අවුස්සලා, ආගම්වාදය අවුස්සලා ජනතාව ප්‍රපාතයට ඇදලා දාලා, ජනතාවට හිංසාව වැඩිකරල තියෙන නිසා, මේ තියෙන ජාතිවාදී දේශපාලනය කොතනදි හරි නවත්වන්න ඕන කියල මේ ජනතාව පාරට ඇවිල්ලා තියෙන්නෙ. අපි දන්නව. අපිට ලොකු විපත්ති සිද්ධවෙලා තියෙනව පහුගියකාලේ කඩාවැටිච්චා. නොයෙකුත් ත්‍රස්ත කණ්ඩායම් පල්ලි වලට ගහල, ඒකෙනුත් මේ රට අවුලකට පත්වෙන සිද්ධියක් ඇති වුණා.

කවුද මේවට ඉඩ දුන්නේ? කොහොමද මේ ගොල්ල රිංගගෙන ආවේ මේ රටට? මේ විපත ක්‍රියාකිරීමට උඩ ඉඳන් කණ්ඩායමක් වැඩ කරල  තියෙනව කියල හැමෝම දන්නව. පවාදෙන්නෝ ඉන්නව. පාවාදෙන අය තමයි බුද්ධි අංශය මෙහෙම විපතක් එනව ‍ඒකට මුහුණ දෙන්න කියල තියෙද්දිත් ඒ මතය ඉදිරියට ගෙනියන්නෙ නැතුව, ඒ මතය යට කරල තියල, අගමැතිතුමාටත් යටකරල, අමාත්‍යාංශය‍ටත් යටකරල, අපේ ආරක්ෂ අංශවලටත් යටකරල කටයුතු කළේ කවුද කියල සොයලා බලලා ඉදිරියට යන්න අපිට සිද්ධ වෙලා තියෙනව. ඒ බලවේග තමයි දැන් මේ එකතුවෙලා ඉන්න ජාතිවාදී, අගම්වාදී බලවේග. දැන් ලොකුවට කෑගහනව ආරක්ෂාව ගැන.

අපි හැමට ආරාධනා කරල කියන්නෙ, පැහැදිලිවම මේ ජාතිවාදී, ආගම්වාදී බලවේගය පරාජය කිරීම සඳහා තමුන්නාන්සේලා ‍එක් රොක් වෙලා සජිත් ප්‍රේමදාස මැතිතුමාට ඡන්දය දීලා ජයග්‍රහණය කරවන්න කියලයි අපි ඉල්ලන්නේ. ‍ඒකෙන් තමයි මේ බලවේගය පරාජය කරවන්න පුළුවන් වෙන්නෙ.

මනෝජ් රූපසිංහ  

Leave a Reply

Your email address will not be published. Required fields are marked *