පීඩිත පංතියේ ගැලවුම්කාරයා සජිත් 51%ට වඩා වැඩි ඡන්දයෙන් ජයග්‍රහණය කරනවා – රංජන් රාමනායක

‍ධනපති නියෝජිත ගෝඨාභය රාජපක්ෂ මහතා පරදවා පීඩිත පංතියේ ගැලවුම්කාර වීරයා වන සජිත් ප්‍රේමදාස මහතා ඉදිරි ජනාධිපතිවරණයේදී සියයට පනස් එකකට (51%) වැඩියෙන් ඡන්දය ලබා මේ රටේ හත්වැනි ජනාධිපතිවරයා වශයෙන් පත්වීම කිසිම කෙනෙකුට වැළැක්වීමට නොහැකි යැයි මහාමාර්ග හා මාර්ග සංවර්ධන රාජ්‍ය අමාත්‍ය රන්ජන් රාමනායක මහතා ඊයේ (18දා) අරලිය ගහ මන්දිර පරිශ්‍රයේදී පැවැසීය.

රාජ්‍ය අමාත්‍යවරයා එසේ පැවසුවේ මාධ්‍යවේදීන් නැගූ ප්‍රශ්න වලට පිළිතුරු දෙමිනි.

රන්ජන් රාමනායක රාජ්‍ය ඇමැතිවරයා මාධ්‍යවේදීන්ගේ ප්‍රශ්නවලට පිළිතුරු දෙමින් මෙසේද කීය.

පීඩිත පංතියේ ගැලවුම්කාර වීරයා වශයෙන් ගම් දනව්වල මහජනතාව පිළිගෙන ඇති නිසාත් ඒ ඡන්ද සංඛ්‍යාවත්, එතුමාගේ පියාට කළ ගුණ සැලකීමට නොහැකිව බලා සිටින මහජනතාවගේ ඡන්ද ප්‍රමාණයත් එක්සත් ජාතික පක්ෂයේ සහ හිටපු ජනාධිපති ප්‍රේමදාස මැතිතුමාගේ ෆික්ස් ඩිපොසිට් එකේ ඡන්ද ප්‍රමාණයත් නොවැරදිම සජිත් ප්‍රේමදාස මහතාට ලැබෙනවා.

ඒ සමග දමිළ සහ මුස්ලිම් ජනතාවගේ ඡන්ද ටිකත් සජිත් මහතාට ලැබෙනවා. මේ රටේ පීඩිත පංතිය සියයට හැත්තෑවක් (70%) සිටිනවා. ඒ ඡන්ද සංඛ්‍යාවත් සජිත් ප්‍රේමදාස මහතාට ලැබෙන විට ඒ මහතා සියයට පනස් එකකට (51%) වැඩි ප්‍රමාණයක් ලබා ජයගන්නවා.

මේ රටේ ධනපති පංතිය සිටින්නේ සියයට තිහක (30%) තරම් ප්‍රමාණයක් විතරයි. ඒ අනුව සජිත් ප්‍රේමදාස මහතාට ගෝඨාභය රාජපක්ෂ මහතා පරාජය කරන එක කජු කනවා වාගෙ පහසු දෙයක්.

ගෝඨාභය මහත්තයත් එක්ක සජිත්ට හැප්පෙන්න බෑ කියල ඒ අය කියනවා. මේ ගැන ඔබ කියන්නේ කුමක්දැයි මාධ්‍යවේදියකු ඇසූ ප්‍රශනයකට පිලිතුරු දුන් රන්ජන් රාමනායක මහතා මෙසේ කීය.

සුදු වෑන්, හොරකම්, මිනී මැරුම් ආදිය ගැන කියන චෝදනා අනුව බලන කලනම් සජිත් මහත්තයට ඒවත් එක්ක හැප්පෙන්න බෑ කියන එක ඇත්ත.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *