යාපනයේ සිංහල භාෂාව දෙවැනි තැනට පත්වීම හා ජඩ මාධ්‍ය භූමිකාව

බොහෝ පෞද්ගලික මාධ්‍යවල ඊයේ සිට උණුසුම් පුවත වුයේ යාපනයේ දී සිංහල භාෂාව දෙවැනි තැනට පත්වීම සම්බන්ධව ය. ශ්‍රී ලංකාවේ තවත් ජාත්‍යන්තර මට්ටමේ ගුවන් තොටුපලක් යාපනයේ විවෘත කිරීම ඔවුන්ට මාතෘකාවක් වුයේ නැත. මේ ශ්‍රී ලංකාවේ බොහෝ මාධ්‍ය කාලයක සිට ක්‍රියාත්මක වන ආකාරයයි. කිසියම්ම හෝ අසුචිවලක් අවුස්සා, ජාතිවාදී හැඟීම් උත්සන්න කර තමුන්ගේ මඩි තර කර ගැනීම අපේ රටේ නවතම මාධ්‍ය සංස්කෘතිය වී ඇත.

දොස්තර සාපිගේ සිංහල මව්වරුන් වඳ කිරීමේ කතාව නැමති අසූචි වලේ බැස එහි පීනමින් සිටි මේ ජාතිවාදීන් ඒ වල සිඳී යන විට තවත් එවැනි වලකට පැනීමට මාන බලමින් සිටියේය. ඔවුන්ට අනුව යාපනයේ ගුවන්තොටුපල නාම පුවරුව එසේ කාලයක් බුක්ති වි‍‍‍‍‍‍ඳිය හැකි තවත් අසූචි වලකි.

මෙම නාමපුවරු නිර්මාණය වී ඇත්තේ රටේ නීතියට හා ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට අනුව බව මේ ගොබ්බ‌යෝ නොදනිති. නැති නම් නොදන්නා ලෙස සිටිති.

ඒ සම්බන්ධව ඇති නීති සම්බන්ධව නීතිඥ දුලාන් දසනායක මහතා මෙසේ පවසයි.

අප ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට 13 වන සංශෝධනය ගෙන එමින් සිංහල හා දෙමළ යන භාෂා ද්විත්වයටම සමතැනක් දීමට කටයුතු කරන ලදී.

ඒ අනුව භාෂාව පිළිබඳ විධිවිධාන ඇතුළත් ආණ්ඩු ක්‍රම ව්‍යවස්ථාවේ සිව්වන පරිච්ඡේදයේ රාජ්‍ය භාෂාවක් ලෙස සිංහල සමග දෙමළ භාෂාවද ඇතුළත් කරනු ලැබීය. එම සංශෝධනයෙන් පසුව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 18 වන වගන්තිය දැක්වුනේ මෙලෙසයි.

“18 (1) ශ්‍රී ලංකාවේ රාජ්‍ය භාෂාව සිංහල භාෂාව වන්නේය.
(2) දෙමළ භාෂාවද රාජ්‍ය භාෂාවක් වන්නේය
(3) ඉංග්‍රීසි භාෂාව සන්ධාන භාෂාව වන්නේය”

දෙමළ භාෂාව හා සිංහල භාෂාව ශ්‍රී ලංකාවේ ජාතික භාෂා වන බව 19 වන ව්‍යවස්ථාවේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව බිහි වන අවස්ථාවේ සිටම ඇතුළත් වී තිබුණි.

මේ අනුව රාජ්‍යය විසින් කරන ජාතික කටයුතු වලදී සිංහල හා දෙමළ භාෂාව සමාන තත්වයකින් යොදා ගැනීම රටේ මූලික නීතියට ගරු කිරීමක් මෙන්ම දෙමළ ප්‍රජාවට ඔවුනුත් ශ්‍රී ලංකාවේ පුරවැසියන් බවට හැඟීමක් ඇති කරවන්නකි.

මෙම ප්‍රස්තුත කාරණයට වඩාම වැදගත් ව්‍යවස්ථාව වන්නේ

ආණ්ඩු ක්‍රම ව්‍යවස්ථාවේ 22 වන ව්‍යවස්ථාවයි. ශ්‍රී ලංකාවේ පරිපාලන භාෂා විය යුත්තේ මොනවාද යන්න හා එම පරිපාලන භාෂා භාවිතා කළ යුතු ආකාරය එහි දැක්වේ. මෙම ව්‍යවස්ථාව 16 වන සංශෝධනය මගින් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට එක් වූවකි.

ඒ අනුව ශ්‍රී ලංකාවේ පරිපාලන භාෂාව සිංහල හා දෙමළ භාෂා විය යුතු බවත් උතුරු නැගෙනහිර පළාත්වල හැර අනෙක් සියලුම පළාත්වල පරිපාලන භාෂාව සිංහල විය යුතු බවත් එහි දැක්වේ. ඒ අනුව උතුරු නැගෙනහිර පළාත්වලදී දෙමළ භාෂාව පරිපාලන භාෂාව ලෙස සලකා කටයුතු කිරීමට ආණ්ඩු ක්‍රම ව්‍යවස්ථාවේ කටයුතු සලසා තිබේ. මෙම විධිවිධානය මගින් උතුරු නැගෙනහිර පළාත් වලදී දෙමළ භාෂාවට යම් ප්‍රමුඛතාවයක් සලසා දී තිබේ. එපමණක් නොව මෙම 22 වන ව්‍යවස්ථාව මගින් එම පළාත්වල සිංහල භාෂාවෙන් පරිපාලන කටයුතු කර ගැනීමට අවශ්‍ය පුද්ගලයන්ට එය ඉල්ලීමක් මගින් හෝ සන්ධාන භාෂාව වන ඉංග්‍රීසි භාෂාව මගින් ඉටු කරවා ගැනීමට අවශ්‍ය පසුබිමද සකසා තිබේ.

එසේ නම් යාපනය ගුවන් තොටුපොළේ නාම පුවරුව තුළ දෙමළ සිංහල ඉංග්‍රීසි යන අනුපිළීවෙලට නම් යෙදීම ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ විධිවිධානයන්ට ගරු කිරීමකි. මෙහිදී කිසිසේත් සිංහල භාෂාව දෙවන තැනට ඇද දැමීමක් සිදු නොකරන අතර මේ මගින් දෙමළ ජනයාට ශ්‍රී ලංකාව අපටත් අයිති බවට හැඟීමක් ඇති කරවන්නකි.

ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට හා මෙරට පුරවැසියන් වන දෙමළ ජනයාට ගරු කිරීමක් කරමින් යොදා ඇති මෙම නාම පුවරුව පිළිබඳ ශ්‍රී ලාංකිකයන් ලෙස අප සතුටු විය යුතු අතර අප උත්සාහ කළ යුත්තේ දෙමළ ජනයාට දෙමළ වීම නිසාම ප්‍රශ්නයක් නොමැති බවට ක්‍රියාවෙන් ඔප්පු කර පෙන්වීමට ය.

Similar Posts

Leave a Reply

Your email address will not be published. Required fields are marked *