අධිකරණයට අපහාස කැළැයි නීතිපතිට එරෙහිව පැමිණිල්ලක්

නීතිපති දප්පුල ද ලිවේරා මහතා අධිකරණයට අපහාස කළ බවට පැමිණිල්ලක් අග විනිසුරුතුමා වෙත හා අභියාචනාඅධිකරණයේ සභාපති විනිසුරු තුමා වෙත ඉදිරිපත් වී ඇති බව වාර්තා වෙයි. කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් ලංකා ජයරත්න විනිසුරුතුමියගේ තීන්දුවක් විවේචනය කරමින් ජුලි 18 වැනිදා නිකුත් කළ නිවේදනයක් මගින් මෙම අපහාස කිරීම සිදුව ඇති බව පැමිණිල්ලේ සඳහන්ය. නාවල පදිංචිකරුවකු වන පී.ඩී.වී.කේ. සේනපාල නමැත්තා විසින් ජුලි 28 දාතමින් මෙම පැමිණිල්ල ඉදිරිපත් කොට ඇත.

නීතිපතිගේ සම්බන්ධීකරණ නිලධාරිනිය වන රජයේ නීතිඥ නිෂාරා ජයරත්න මහත්මිය ගැන ද පැමිණිල්ලේ සඳහන්ව ඇත.

නීතිපතිවරයා විසින් ඉහත කී නිවේදනය නිකුත් කර ඇත්තේ හිටපු ආරක්ෂක ලේකම් හේමසිරි ප්‍රනාන්දු හා වැඩ තහනම් කළ පොලිස්පති පූජිත් ජයසුන්දර යන මහත්වරුන් ඇප පිට නිදහස් කිරීමට ජුලි 9වැනිදා කොටුව ප්‍රධාන මහේස්ත්‍රාත් වරයා දුන් නියෝගයක් විවේචනය කරමිනි. පාස්කු ඉරිදා සිදුවීම් වළක්වා ගැනීමට කටයුතු නොකිරීමෙන් මොවුන් දෙදෙනා සාපරාධි වරදක් කොට ඇති බවට චෝදනාකොට බන්ධනාගාර ගත කොට තිබිණි. එම දෙදෙනා අපමත මුදාහැරීමට තීන්දු කරමින් මහේස්ත්‍රාත්තුමිය කීවේ කාගෙවත් වුවමනාවට හෝ කාව හෝ සතුටු කරවන්න කිසිවකු රක්ෂිත බන්ධානාගාර ගත කළ නොහැකි බවයි. ඉහත චූදිතයන් දෙදෙනාට එරෙහිව ප්‍රමාණවත් සාක්ෂි ඉදිරිපත් කොට නැති බවද එම තීන්දුවේ සඳහන් විය.  

එය විවේචනය කරමින් නීතිපතිවරයා නිකුත් කළ නිවේදනයේ කොටුව ප්‍රධාන මහේස්ත්‍රාත්තුමියගේ තීන්දුව “නීතිවිරෝධී, අසාධාරණ, හේතු රහිත හා හිතුවක්කාර” තීරණයක් ලෙස විවේචනය කොට ඇති බවත් එය පැහැදිලිවම අධිකරණයට අපහාස කිරීමක් බවත් අගවිනිසුරුතුමන්ට හා අභියාචනා අධිකරණයේ සභාපති විනිසුරුතුමාට යවා ඇති පැමිණිලලේ සඳහන්ය.

නීතිපතිතුමාගේ මෙම ක්‍රියාව ගැන පියවර නොගතහොත් රටේ තවත් නීති නිලධාරින් අධිකරණය විවේචනය කිරීමට පෙළඹෙනු ඇති බවත් එමගින් අධිකරණයට ඇති පිළිගැනීම හා කීර්තිය පළුදු විය හැකි බවත් පැමිණිල්ලේ සඳහන්ය.

අගවිනිසුරුතුමා මෙබඳු පැමිණිල්ලක් භාරගතහොත් සාමාන්‍ය ක්‍රියාවලිය වන්නේ ඒ ගැන පරීක්ෂණයක් කොට අධිකරණයට වාර්තාකරන ලෙස නීතිපතිවරයාට උපදෙස් දීමයි. කෙසේ වෙතත් මෙම පැමිණිල්ල ඉදිරිපත් වී ඇත්තේ නීතිපතිතුමාට එරෙහිවය.    

Leave a Reply

Your email address will not be published. Required fields are marked *