ගෝඨා – බය – අකුරැස්සේ වින්සන් ප්‍රනාන්දු
පසුගිය 11 දා පොහොට්ටු පක්ෂයේ ජනාධිපති අපේක්ෂකත්වය භාරගනිමින් ගෝඨාභය රාජපක්ෂ මහතා කළ කථාව කාගේත් අවධානයට ලක් විය යුතුයි. විශේෂයෙන්ම එම කතාව රටේ ප්රජාතන්ත්රවාදයේ යහ පැවැත්ම අපේක්ෂා කරන අයගේ අවධානයට ලක් විය යුතුයි.
ගෝඨාභය මහතා එදින කළ කථාවෙන් ඉතා අපූරුවට ප්‍රදර්ශනය වන්නේ ඔහුගේ ඒකාධිපති ස්වරූපය බව කියන්නට පුළුවන්. එහිදී විශේෂයෙන්ම ඔහු සඳහන් කරන්නේ තමා සීමාව ඉක්මවා කටයුතු කළ බව සහ එසේ කරන්නට ඉදිරියේදීත් සූදානම් බවයි.
නමුත් ජනතාව තේරුම් ගතයුතු වන්නේ අතීතයේ එනම්, තම සහෝදරයා ජනාධිපති ධුරය දරද්දී සහ තමා ආරක්ෂක අමාත්‍යංශයේ ලේකම්වරයා සහ නාගරික සංවර්ධන අමාත්‍යාංශයේ ලේකම්වරයා වශයෙන් කටයුතු කරද්දී සීමාව කටයුතු කිරීමෙන් සිදු වූයේ කුමක් ද? යන්න ය.
ආරක්ෂක අමාත්‍යාංශයේ ලේකම්වරයා වශයෙන් උතුරු නැගෙනහිර යුද්ධය අවසන් කරන්නට හිටපු ජනාධිපතිවරයාට උපාය මාර්ගික සහ පරිපාලනමය සහාය ලබාදුන් බව ගෝඨාභය මහතා කියනවා. එහිදී එක් කරුණක් අප පිළිගත යුතුයි. එය නම් ජනාධිපතිවරයාගේ බාල සහෝදරයා වීම හේතුවෙන් පරිපාලන කටයුතුවලදී ත්‍රිවිධ හමුදාවේ අණදෙන නිලධාරියා වන ජනාධිපතිවරයාට සමීප ව කටයුතු කරන්නට ගෝඨාභය මහතාට වැඩි ඉඩක් ලැබුණ බව ය. එය වෙනත් ආරක්ෂක ලේකම්වරයෙකුට නොලැබෙන විශේෂ වරප්‍රසාදයක් . එය යුද සමයේ පරිපාලන කටයුතු වලට විශේෂ සහනයක් වූ බවක් හිතන්න පුළුවනි.
නමුත් ඒ හැකියාවම යොදා ගනිමින් ගෝඨාභය මහතා රටට කල විනාශයකුත් තිබෙන බව ඔහු කියන්නෙ හෝ පිළිගන්නේ නැහැ. උදාහරණයක් වශයෙන් ජනාධිපතිවරයාගේ සහෝදරයා නොවුනානම් ගෝඨාභය මහතාට මිග් ගුවන් යානා වංචාව එතරම් පහසුවෙන් කරන්නට හැකියාව ලැබෙන්නේ නැහැ. එසේම ආරක්ෂක ලේකම් වශයෙන් එතෙක් නාවුක හමුදාව විසින් කරගෙන ගිය සාගර ආරක්ෂක කටයුතු හිතවතෙකුට පවරා ඔහුට කෝටි ගණනින් මුදල් උපයන්න ඉඩ සලසා දෙන්නට ජනාධිපතිගේ සහෝදරයා නොවුණා නම් ඔහුට එතරම් පහසු වෙන්නේ නැහැ.
මිග් ගනු ගණුදෙනුව හෙළිදරව් කළ ලසන්ත වික්‍රමතුංග ඝාතනයත් ගෝඨාභය රාජපක්ෂ මහතාට පහසු වූයේ සහෝදරයා ජනාධිපති වූ නිසයි. තාජුදින් ඝාතනය,එක්නැලිගොඩ අතුරුදහන් කිරීම, ශිෂ්‍යන් පස්දෙනෙකු ඇතුළු එකොළොස් දෙනෙකු අතුරුදන් කිරීම, රතුපස්වල ඝාතනය ආදී සියල්ල තම සහෝදරයාගේ බලය අයුතු ලෙස භාවිතා කරමින් සහ සීමාව ඉක්මවා කටයුතු කිරීමේ ප්රතිඵලයි.
ඊළඟට ගෝඨාභය රාජපක්ෂ මහතා කියන්නේ යුද්ධය අවසන් කිරීමට සේනාධිනායක ජනාධිපතිවරයාට උපායමාර්ගික සහාය තමා ලබාදුන් බවයි. එම ප්‍රකාශයෙන් ගෝඨාභය මහතා උත්සාහ කරන්නේ ක්‍රියාකාරීව යුද්ධයේ නියැළුණු ත්‍රිවිධ හමුදා ප්‍රධානීන් ඉටු කල සේවය තමාගේ අයිතියට ලියාගන්නටයි. කවුරුත් දන්නා පරිදි යුද්ධයේ උපායමාර්ගික සැලසුම් යනු ආරක්ෂක අමාත්‍යාංශයේ ලේකම්වරයා විසින් තනිවම සකස් කරන්නක් නොවේ. එසේනම් ත්‍රිවිධ හමුදාපතිවරු ආරක්ෂක මණ්ඩලය පවත්වාගෙන ගියේ කුමක් සඳහාද?
නාගරික සංවර්ධන අමාත්‍යාංශයේ ලේකම්වරයා වශයෙනුත් තමා සීමාවෙන් පිට පැන කටයුතු කළ බව ගෝඨාභය රාජපක්ෂ මහතා කියනවා. කොළඹ නගරය අලංකාර කිරීමේ දී ගෝඨාභය මහතා අනුගමනය කළ පිළිවෙත ධනපතීන්ට සුර සැප, දුප්පතුන්ට මර බියක් ඇති කරවන්නක් බව ජනතාවට අමතක වී නැතැයි සිතන්නට බැහැ. උදාහරණයක් වශයෙන් කොළඹ කුණු ඉවත් කළත්, ගෝඨාභය මීතොටමුල්ලේ කුණු කන්ද නිර්මානය කළා. ඒ කුණු කන්දේ වන්දිය ජනතාවට ගෙවන්න වූයේ ජීවිතවලින්, අන්තිමට මීතොටමුල්ලේ කුණු කන්දේ ප්රශ්නය විසඳන්න සිදු වූයේ වත්මන් යහපාලන ආණ්ඩුවවටයි. ඊළඟට ගෝඨාභය මහතා කොම්පඤ්ඤ වීදියෙ වැනි ප්‍රදේශවල පැල්පත් සහ වතු ජනතාව එළවා දමා ඉඩම් පවරා ගන්නට ක්‍රියා කළේත් සීමා දැන කටයුතු කරන යහපත් රාජ්‍ය නිලධාරියෙක් වශයෙන් නොවේ. නාගරික සංවර්ධන අමාත්‍යාංශයේ ලේකම් වුවත් ඔහු එහිදී කටයුතු කළේ ආරක්ෂක අමාත්‍යාංශයේ ලේකම්වරයාගේ බලතලත් ඉක්මවා ගොස් හමුදා පාලකයෙකුගේ ස්වරූපයෙන්. නාගරික සංවර්ධන අමාත්‍යාංශයේ ලේකම් වරයා වශයෙන් සිටියදී කොළඹ හමුදා මූලස්ථාන භූමියේ ෂැන්ගීලා හෝටලයට පවරා දුන්නේ ගෝඨාභය රාජපක්ෂ මහතා විසිනි.
අවම වශයෙන් එම ඉඩම නොරටට විකුණනු ලැබුවේ විනිවිද පෙනෙන ආකාරය ටෙන්ඩර් කැඳවීම්ක් හෝ නොමැති නැතිවයි. එම ඉඩම විකිණීමෙන් ලැබුණු මුදලෙන් අපහරණය කරන්නට ගෝඨාභය මහතා කටයුතු කළ බව රහසක් නෙමෙයි. එසේම නාගරික සංවර්ධනය ගැන කතා කරන ගෝඨාභය මහතා නාගරික සංවර්ධනය මුදල් වැයකර මවුපියන්ට ස්මාරක තැනූ බව කීමට අමතක කිරීම ඔහුගේ වංචනික බව පෙන්වන සාධකයක්.
ගෝඨාභය මහතාගේ කතාවේ තවත් හාස්‍යජනක කොටසක් වන්නේ කාන්තාවකට බිය නැතිව රටේ ඕනෑම තැනක ඕනෑම වෙලාවක තනිවම ගමන් කළ හැකි ආකාරය රටක් ගැන කරන ප්‍රකාශයයි. ගෝඨාභය මහතා රටේ ආරක්ෂාව සම්බන්ධව වගේකීම් දරද්දී රටේ කාන්තාවන් දූෂණය කර බාල් නැටු අය හිටියේ ඔවුන්ගේ ඔඩොක්කුවේ බව ජනතාවට අමතක නැතිව ඇති. එසේම පාරක නොව හෝටලයක විදේශ තරුණියකට වත් ඉන්නට පුළුවන් වටපිටාවක් එකල තිබුණේ නැහැ. ආරක්ෂක ලේකම් ධුරය ගැන අද පම්පෝරි ගහන ගෝඨාභය මහතා පෙම්වතා ඝාතනය කර විදේශ තරුණිය සමූහ දූෂණයකට ලක් කල තමාගේ හිතවාදී පෝරිසාදයා අත්අඩංගුවට ගන්නට වත් වුවමනාවක් තිබුණා ද? අවසානයේ එම තැනැත්තා අත්අඩංගුවට ගැනුණේ බ්‍රිතාන්‍ය රජයේ බලපෑම නිසයි.
විනයගරුක රටක් ගැන අද කතා කරන ගෝඨාභයට තමන්ගේ පාලන කාලයේ ඒ විනය අනුන් තුළ ගොඩ නැගීමට පවා තමන්ගේ කණ්ඩායම තුළ වත් ගොඩනඟා ගන්න පුළුවන් වුණාද ? හම්බන්තොට පිස්තෝල සභාපති අද හිරබත් කන්නෙත්, අතකොටා නමින් ප්‍රසිද්ධ මහින්දවාදියා හිරබත් කන්නනෙත් ඔහුගේ පාලන කාලයේ විනය ආරක්ෂා වූ ආකාරය නිසයි. මීට දින කිහිපයකට ඉහත දී පොහොට්ටුකාර පළාත් පාලන ආයතන නියෝජිතයන් කිහිප දෙනෙක්ම විනය හොඳකම නිසා අත්අඩංගුවට පත්වූ බව ජනතාවට අමතක වන්නට හේතුවක් නැහැ.
එකල ගෝඨාභය මහතා ජාතික ආරක්ෂාවේ නාමයෙන් කළ මිනිස් ඝාතන අමතක කළ හැකිද ? ලසන්ත වික්‍රමතුංග ඝාතනය පිළිබඳව විමසන විට ඔහු නැගු වියරු සිනහව අමතක කළ හැකිද? තමාට සහයෝගය දෙන මාධ්‍යවේදීන්ට ගෝඨාභය මහතා ස්තුති කරන විට සන්ඩේ ලීඩර් මාධ්‍යවේදිනියට ඔහු එකල බැල්ලිය කියා බැණ වැදුණු ආකාරය අනෙකුත් මාධ්‍යවේදීන්ට සිහියට නැගෙන්නේ නැද්ද? ආරක්ෂක ලේකම්, නාගරික සංවර්ධන අමාත්‍යංශයේ ලේකම් ගේ හැසිරීම එසේනම් යම් හෙයකින් ඔහු සේනාධිනායක වුවහොත් රටටත්, ජනතාවටත් කවර විනාශයක් සිදු කරනව ඇද්ද? අපට බිය සිතෙන්නේ ඒ ගැන සිතන විටය.
