අන්තවාදියකුගේ ඛේදවාචකය – නිශාන්ත කමලදාස

සිය දිවිනසා ගත් එක් බෝම්බකරුවකු පිළිබඳව ඔහුගේ බිරිය තම හිතවතකු සමග කළ ප්‍රකාශයකට අනුව ඔහු ඕස්ට්‍රේලියාවේ සිට පැමිණි පසු වෙනස් පුද්ගලයකු බවට පත් ව ඇත. ගෙදර රූපවාහිනිය බැලීමට තහංචි පැනවීමෙන් නොනැවතුණු ඔහු විදුලි පහන් නිවා දැමීමට ද අණ කොට තිබේ. නව ශිෂ්ටාචාරය සමග ගනුදෙනු වසා දැමීම අභිප්‍රාය වූ බව ඒ හැසිරීමෙන් පෙනෙන්නට තිබේ.

මා දන්නා දැඩි බෞද්ධයකු ද සිය පවුලේ අයට අවසර දී තිබුණේ රූප පෙට්ටියෙන් බණ අහන්නට පමණ ය.

බොහෝ අන්තවාදී සංවිධාන තම අනුගාමිකයන්ගෙන් ඉල්ලා සිටින්නේ ඉතිරි සියල්ලෙන් වෙන්ව තමන්ගේ අරමුණට පමණක් කැප වන ලෙස ය.

හැත්තෑ එකේ කැරැල්ල සමයේ ජනතා විමුක්ති පෙරමුණ සිය සාමාජියකයන්ට කියා තිබුණේ පෙම් පටලැවිලි හදා නො ගන්නා ලෙස ය. ඔවුන්ට මත් පැන් ද තහනම් විය. විස්තීරණ කිසිවක් පැළඳීම ද පරිභෝජනය ද අකැප විය. ඒවා ධනපති පංතියට පනින ඉණිමං ලෙස දැක්වුණේ ය. බත් හැරුනු විට ආහාරය වඩේ එකකට ප්ලේන්ටියකට පමණක් සීමා කර ගැනීමේ බොහෝ දෙනකුගේ චාරිත්‍රය එක්තරා ආකාරයක පනවා ගත් ස්වයං වාරණයක් වූයේ ය.

නච්ච ගීත වාදන විසූක දස්සන සියල්ලෙන් වැළකෙන ලෙස තහංචි පනවන්නේ බෞද්ධාගමේ සිල් ඇත්තන්ට පමණක් නොවේ. මුස්ලිම් ආගමේ ඇතැම් නිකායක ඒවා ගිහියන්ට ද තහනම් ය.

ඕස්ට්‍රේලියාවේ භාවනා පන්ති එමට ය. ඒවාට යන ඇතැමෙක් මස් මාළු කෑමෙන් නොනැවතී මාල වළලු පැළඳීමෙන් ද වළකිති, චිත්‍රපටියක් බැලීම, ගීතයක් රස විඳීම පමණක් නොව සිය හිතෛෂීන් හා අල්ලාප සල්ලාපයේ යෙදීමෙන් වැළකීම ද ඇතුළත් ය.

සමාජයෙන් වෙන් කිරීම

ලංකාවේ එක් “අසපු“ පන්සලක මහණ වෙන අයට උපදෙස් ලැබෙනුයේ තමන් බැහැ දැකීමට එන මාපියන් අධෛර්යවත් කරන්නට කියා ය. ඔවුන්ට තමන් හමුවට එන්නට එපා යැයි දන්වන්නට කියා ය. ඊට අමතරව තමන්ගේ දේපළ ද ඇත්නම් පන්සලට පරිත්‍යාග කරන ලෙස ය.

ඔහු මුලින් සමාජයෙන් වෙන් වන්නේ ය. නැතහොත් වෙන්කරනු ලබන්නේ ය. දෙවනුව ඔහු හිතෛෂීගෙන් වෙන් වන්නේ ය. නැතිනම් වෙන්කරනු ලබන්නේ ය. අවසානයේ ඔහු පවුලේ අයගෙන් ද වෙන් වන්නේ ය. නැතිනම් වෙන් කරනු ලබන්නේ ය.

එසේ වෙන් වෙනු පිණිස ගනු ලබන හැම පියවරක් පාසාම ඔහුට නායකයාගෙන් ප්‍රශංසා හිමිවන්නේ ය. භාවනා පන්තියෙන් සෝවාන් තනතුරු ලැබෙන්නේ ය. විමුක්ති හමුදාවෙන් ජෙනරල් පට්ටම් ලැබෙන්නේ ය. පදක්කම් පිරිනැමෙන්නේ ය.

මෙසේ සියල්ලෙන් වෙන් කරනු ලැබූ පසු ඉතිරි වන්නේ මේ මූලධර්මවාදී දර්ශනය පමණ ය. වෙන කිසි ම සංවේදනයක් නැතිව මෙසේ අසරණ කරනු ලැබූ මනුස්ස ප්‍රාණයකට උරුම වන්නේ දැඩි අනුගාමිකයකු වී එහි ම අන්තයට යෑමට පමණකි.

සියල්ල අහිමිව ගිය ද ඉතිරි වන කීර්ති කදම්බය ඔහු ජීවත් කරවන්නේ ය. එහි අන්තය සොයා ඔහු යන්නේ ය. එය සිය දිවිනසාගෙන අවසාන හිමිකම ද අත්හැරීම කරා යොමු කරවාගත හැකි අපූර්ව තත්වයකි.

බැරි වෙලාවත් ඔහුට මෙහි නිස්සාරත්වය අහිමි වී ඉවත් වන්නට තැත් කළොත්, නීති විරෝධී සංවිධානයක දී නම්, හිමිවනු ඇත්තේ අනපේක්ෂිත මරණයකි. එය ඕනෑ ම ද්‍රෝහියකුට අත්වන්නා වූ ඉරණම ය.

නීත්‍යානුකූල සංවිධානයක නම් බ්‍රහ්ම දණ්ඩනය හා ඇනුම් බැණුම් ය. ජාතකය පිළිබඳ ප්‍රශ්න ය. පළවා හැරීම් ය. අදාළ කිසි තැනකට වැද්ද නොගැනීම ය. හරියට ම සරිලන්නේ නැති වුව ද සමීප උදාහරණයක් අවශ්‍ය නම් පසුගිය දිනක ශ්‍රී ලංකාව සිංහල බෞද්ධ රටක් නොවේ යැයි කියූ මංගල සමරවීර ඇමතිතුමාට අද අත්ව ඇති ඉරණම පෙන්විය හැකි ය.

එල්ටීටීය ද ජවිපෙ ද අන්තවාදී නීති විරෝධී සංවිධාන ලෙස වැඩ කරන සමයේ වගබලා ගත්තේ තමන්ගෙන් ඉවත් ව ගිය අය ලෝකයෙන් ද ඉවත් කර දැමීමට ය. ඒ සඳහා ඔවුන් යොදා ගත්තේ තමන්ගේ ම අනෙකුත් අනුගාමිකයන් ය. එය ඔවුන් සංවිධානයට ඇති කැප කිරීම පරීක්ෂා කෙරෙන ලිට්මස් පරීක්ෂාවක් ලෙස ද යොදා ගනු ලැබී ය. මෙය හිංසනය සිය පදනම කරගත් මාෆියා සංවිධානවල උපාය ද වෙයි. ඒ නිසා ම මෙවන් සංවිධානයක කලක් වැඩ කළ කෙනකුට ගැලවීමක් නැත.

ඒ නිසා ම කෙනකු මෙවැනි අගාධයකට තල්ලු වෙමින් යනවා නම් ඔහු හෝ ඇය ඉන් මුදාගත හැක්කේ එසේ ඇදී යන මුල් අවදියේ පමණ ය. ඊට පසු නැවත ඇද ගැනීම බොරු ය. එවන් කෙනෙක් ජීවත් ව සිටියත් මැරුණා හා සමාන නිසා පහසුවෙන් ඉවත් වන්නේ නැත.

මේ සිද්ධියෙන් පසු රූපවාහිනි විද්වත් සාකච්ඡාවක පල වූ මතයක් වූයේ නව තාක්ෂණය විසින් සමාජ ඇසුර අහිමි කරනු ලබන නිසා ම, ඒ ඔස්සේ මෙවැනි මතවාදයක හිරකරුවකු වීමේ පහසු මාවතක් විවෘතව ඇති බව ය. අප කිසියම් මතවාදයක් ගැන සෙවීමක් කරන විට අන්තර්ජාලය අපව දිගින් දිගට යොමු කරන්නේ ද සමාන අඩවිවලට ය. සමාජ ඇසුර අහිමි කරනු ලැබීමට අමතරව මේ කාරණය ද යම් මාවතක් තුළ කෙනකු හිර කිරීමට හේතුවක් වන්නේ ය.

වෙනදා එකිනෙකා අභිමුඛව ක්‍රීඩා කළ තරුණ තරුණියන් අද ක්‍රීඩා කරන්නේ තිරයක් අභිමුඛව මිනිස් ඇසුරක් නොමැති ව ය. මේ නිසා සමාජ ඇසුර අහිමි වීමට අමතරව එකිනෙකා අතර අදහස් හුවමාරුවලට ද වැට බැඳ තිබේ. අපට අදහස් හුවමාරු කර ගැනීමට නව මාවත් සැදී ඇති බව ඇත්ත ය. එහෙත් ඒ තුළ සමීප මිතුරන්ට වඩා ආගන්තුකයන් මුණ ගැසීමට ඇති ඉඩ වැඩි ය. අප යන මග පිළිබඳ හිෂෛියකුගේ සෝදිසියක් නැතිව අමාරුවේ වැටෙනතුරු යාමට ඒ නිසා ද කටයුතු යෙදී තිබේ.

මේ වටපිටාව විසින් අපට අහිමි කරනු ලබන්නේ සමබර පෞරුෂයක් ගොඩ නගා ගැනීමට ඇති ඉඩ ය. මනුස්සයකු ලෙස සෙසු මිනිසුන් කෙරෙහි දයානුකම්පාවෙන් බැලීමට ඇති හැකියාව ය.

ක්‍රීඩාවෙන් ද කලාවෙන් ද සෞන්දර්යය විඳීමෙන් ද තොර, ආදරයට විලංගු දැමූ, මිනිසුන්ට සංවේදී වීමට නොහැකි, කෙනකු පහසුවෙන් අන්තවාදය කරා යොමු විය හැකි ය. එවැන්නකු අන්තවාදීන්ට පහසුවෙන් බිලි බාගත හැකි ය.

අනෙත් අතට විචාරශීලී වීමට උගන්වා නැති, ප්‍රශ්න කිරීමට උගන්වා නැති, අන්ධ භක්තියම උත්කර්ෂයට නංවා ඇති, වටපිටාවක එවැනි මාවතකට වැටුණු කෙනකුට තනියම ගොඩ ඒමටත් බැරි ය. ඒ නිසා ම අපේ හිතෛෂීන්ගේ අසාමාන්‍ය හැසිරීම් නිරීක්ෂණය කරමින් ඔවුන් කිසියම් ආගාධයකට තල්ලුවෙමින් සිටින්නේ දැයි බැලීමේ වගකීම අපට පැවරෙන්නේ ය.

මේ අන්තවාදී සංවිධානවල මුහුණුවර එකකි. ඒත් ඔවුන් සැබෑ ලෙස සේවය කරන්නේ කවරකුට දැයි සිතා ගැනීම පවා අපහසු ය. සමහර තැනක ආගමික හෝ දේශපාලන මතවාදයක වෙස්මුහුණ සහිතව පැවතිය ද කරන්නේ වෙනත් කෙනකුගේ කොන්ත්‍රාත්තුවක් විය හැකි ය. ඒ අතිවිශාල මුදලක් වෙනුවෙන් වීමේ ඉඩකඩ ද තිබේ.

විවෘත සංවාදයක්

පාස්කු ඉරිදා ප්‍රහාරය සඳහා සංවිධාන කටයුතුවලට අතිවිශාල මුදලක් වැය වන්නට ඇත. විදෙස් සබඳතා හරහා අවශ්‍ය රසායනික ද්‍රව්‍යය ද වෙනත් උපාංග ද ලැබෙන්නට ඇත. ඊට අමතරව මේ කටයුතු සංවිධානය කළ අයට ද විශාල පාරිතෝෂිකයන් පිරිනමන්නට ඇත (ජාතික තවුහිද් ජමාද් සංවිධානය සතුව රු බිලියන 7 ක වත්කම් ඇතැයි ආරක්ෂක අංශ විසින් සොයා ගෙන තිබේ). ඒ සියදිවිනසා ගැනීමට කැමති අය සූදානම් කර එම දුෂ්කර කටයුත්තට මග පාදා ගැනීම වෙනුවෙනි. ඒත් ඔවුන් ඉටු කළේ කාගේ කොන්ත්‍රාත්තුවක් ද යන්න කිසි දා එලි නොවනු ඇත.

එහි වගකීම අයිසිස් සංවිධානය බාර ගත් බව කියතත් ඒ සඳහා යොදා ගන්නා ලද වීඩියෝවේ තිබෙන්නේ ප්‍රහාරය දියත් කිරීම සම්බන්ධයෙන් ඔවුන් සිය ලාංකීය සහෝදරයන්ට ආචාර කරන බව මිසක තමන් එහි වගකීම බාර ගන්නා බව නොවේ. ඒ මදිවාට එය එහි පෙනී සිටින්නා කියන්නක් ද යන්න ගැන ද කුකුසක් තිබේ. එය ඔහුගේ ප්‍රකාශයක් නොව වෙනත් වීඩියෝවකට හඩ කැවූ ෆේක් වීඩියෝවක් බවට කතාවක් ද තිබෙන නිසා ය. ඒ නිසා ම පැළඳ ගෙන ඇත්තේ ඉස්ලාමීය මුහුණක් වුව ද පිටුපස තිබෙන්නේ කුමක් දැයි නිශ්චය ලෙස කියන්නට අප දන්නේ නැත.

බොහෝ අය මෙන් මේ අහවලා ය -අහවල් සංවිධානය ය -අහවල් රට ය – කියා කියන්නට අප සූදානම් නැත. ඒ අප හරිහැටි නොදන්නා නිසා පමණක් නොවේ. තොරතුරු කරුණු නොමැතිව බැස ගන්නා අනුමානයන් සත්‍යය ලෙස සමාජය ඉදිරියේ ඇද බෑමෙන් සැබෑ සතුරාට සැඟවීමට අවකාශ ලැබෙන නිසා ය.

බිල්ලට දෙනු ලබන අය, සදිසි හස්තයට යටින් අදිසි හස්තයක් ඇති බවක් බොහෝ විට දන්නේ නැත. එයට එක් හේතුවක් වන්නේ මේ සංවිධානවල රහස්‍යභාවය නිසා ඔවුන්ගේ සබඳකම් එලිවීමට ඇති ඉඩ ද අවම වීම ය. ඒ බව මෙවැනි සංවිධානවලට ගොනු වෙතැයි අනුමාන කරන අයට දැන්විය යුතු ය.

ප්‍රධාන දෙය සමාජය තුළ විවෘත සංවාදයන් ඇති කිරීම ය. විරුද්ධ වීමට ඉඩ ඇති සංවාදයන් ඇති කිරීම ය.

මේ සම්බන්ධයෙන් වඩාත් වැඩි වගකීමක් ඇත්තේ අන්තවාදී නොවන ආගමික ආයතනවලට ය. ඒ ආගමික ඉගැන්වීම් ප්‍රශ්න කිරීමට ඉඩ සලසා දීමෙනි. ඒවා පිළිබඳ සංවාදයන් ගොඩ නැගීමෙනි. ඒ ඉගැන්වීම් කළ පසුබිම තුළ පිහිටුවමින් ඒවා තේරුම් ගැනීම අවශ්‍ය බව කියා සිටීමෙනි. වර්තමාන සන්දර්භයට සරිලන ලෙස ඒ ඉගැන්වීම් නැවත අර්ථ ගන්වා ගැනීමෙනි.

එහෙත් ඒ සඳහා අවශ්‍ය නිර්භීතභාවය කිසිදු ආගමක නායකයකුගේ හැසිරීමෙන් හෝ වචනයෙන් මෙතෙක් නම් ප්‍රකාශයට පත් වී නැත. සංවාදයට සෑම ආගමික නායකයෙක් ම බිය ය. හේතුව අරටුව ඉතිරිව පිට පොත්ත ගැලවෙතැයි යන සැකය නිසා ය. ධර්මය බැබළුන ද ලොවට සාමය උදා වුව ද ඉන් ආගම විනාශ වෙතැයි යන බය නිසා ය. ඒ හේතුවෙන් තමන් ආගමට ද්‍රෝහී වූයේය යන චෝදනාවට ලක් වෙතැයි යන බිය නිසා ය. මංගල සමරවීර නම් දේශපාලනඥයාට නොදැනුණු බිය ඔවුන්ට දැනෙන නිසා ය.

එල්ටීටීඊය බිහි වූයේ ද්‍රවිඩ එක්සත් පෙරමුණ තම අරමුණ පාවා දුන්නේ යැයි ද ඒ වෙනුවෙන් නිභයව පෙනී සිටින්නේ නැතැයි ද ඇති වූ මතය පෙරදැරි කරගෙන ය. ජනතා විමුක්ති පෙරමුණ බිහිවන්නේ පැරණි වම විප්ලවය පාවා දුන්නේ යන අදහස ඉදිරියට දමාගෙන ය. අන්තවාදී ආගමික හා වාර්ගික කණ්ඩායම් ඇති වන්නේ ආගමික නායකයන් ද ජාතියේ ආරක්ෂකයන් ද ආගමේ ජාතියේ ආරක්ෂාව වෙනුවෙන් කිසිවක් නොකරන්නේ යැයි කියාගෙන ය. ඒ සියල්ලෙන් පෙනෙන්නේ අන්තවාදය ඇතිවන්නේ හිඩැසක් පිරවීම උදෙසා පෙනී සිටිමින් බව ය. ඒ නිසා ම අන්තවාදය පිටුදැකීමට නම් ආගමේ ජාතියේ රටේ නායකයන් පව් කාරයන් නොවිය යුතු ය. තමන් මේ එක් එක් ක්ෂේත්‍රයේ සැබෑ භාරකරුවන් බව පෙන්විය යුතු ය. ඒ ක්ෂේත්‍රයන් තුළ හිඩැස් ඇති නොවීමට ඔවුන් වග බලා ගත යුතු ය.

සිංහල අන්තවාදීන් සති දෙකකට පසුව සංවිධානය වී මුස්ලිම් ජනයාට පහර දුන්නේ ආණ්ඩුව ත්‍රස්ත මර්දනයට ප්‍රමාණවත් යමක් නොකරන්නේය යන විපක්ෂ සටන් පාඨයේ සැඟවීගෙන ය. ඔවුන් කුපිත කිරීමට තුඩු දුන් එක් තොරතුරක් වූයේ පල්ලිවල කඩු තිබීම ය. ඊටත් වඩා හේතු වූයේ ඒවා තණකොළ කපන්නට තබාගෙන ඇති බව කීම ය. කිතුලට ගිය මිනිහාගේ තණකොළ කතාවට බොහෝ සෙයින් කිට්ටු ඒ කතාව සම්බන්ධයෙන් ප්‍රමාණවත් හේතු පැහැදිලි කිරීමක් නැති තැන මිනිසුන් අනුමාන කළේ අයිසිස්කාරයන් මෙන් කඩුවෙන් විරුද්ධවාදීන්ගේ හා අන්‍යාගමිකයන්ගේ බෙල්ල කපන්නට දේශීය අන්තවාදීන් ද සූදානම් වන බව ය. උන් සුද්ද කරන්නට මුස්ලිම් නායකත්වය ද සැදී පැහැදී සිටින බව ය.

කඩු තිබෙන්නේ මුස්ලිම් පල්ලිවල පමණක් නොවේ. කඩු තිබෙන්නේ අන්තවාදීන් අත පමණක් නොවේ. වෙනත් ගෙවල්වල ද කඩු තිබේ. අපරාධකරුවන් ළඟ ද කඩු තිබේ. ඇතැම් දේශපාලන නායකයින් කියා සිටියේ තම ගමේ මිනිසුන් ළඟ කඩු පිහි තිබීම සාමාන්‍ය කරුණක් බව ය. ඒ ආත්මාරක්ෂාවට ය. තමන්ට නිරන්තරයෙන් එල්ල වන ප්‍රහාරයන් නිසා ම මුස්ලිම් මිනිසුන් ආත්මාරක්ෂාවට ඒ කඩු තබා ගත්තා වන්නට පුළුවන. එහෙත් කඩු තබා ගැනීම නීති විරෝධී ය. ඒ සම්බන්ධයෙන් නීති ප්‍රකාරව කටයුතු කළ යුතු ය. ඒ සම්බන්ධයෙන් ගන්නා ක්‍රියාමාර්ග ගැන ද කඩු තබා ගැනීම පිළිබඳ සත්‍යය තත්වය ගැන ද ජනතාවට පැහැදිලි කළ යුතු ව තිබුණේ ය. එසේ නොකළ විට ඇති වන්නේ හිඩැසකි.

එවැනි හිඩැස් තිබීම හේතුවෙන් අන්තවාදය සාධාරණීකරණය කළ නොහැක්කේ ය. එහෙත් එවැනි හිඩැස් අන්තවාදයට උඩ ගෙඩි දෙන හෙයින් පුරවා දැමිය යුතු ය. ඇති නොවීමට වග බලා ගත යුතු ය.

අන්තවාදීන් ඔවුන් විශ්වාස කරන ස්වර්ගයට ගියේ යැයි සැලකුවේ වුව ද රටට පමණක් නොව තමන්ගේ ම ජනතාවට ද ඉතිරි කර ගියේ දුක, කනගාටුව, ලජ්ජාව, වේදනාව, මරණය හා අහිමිකිරීම් පමණ ය.

එකම හැන්ද

මෙරට ස්ත්‍රීන් පරදන රූ සිරියෙන් යුත් ස්වර්ගයක් තිබේ ද නැද්ද යන්න දන්නේ උඩ ඉන්නා දෙවියන් පමණ ය. එයට ඔය කියන අපරාධ කිරීමෙන් සැබෑ ලෙසම යා හැකි ද දන්නේත් දෙවියන් පමණකි. අපට ඒ ගැන දැන ගන්නට විදිහක් නැත. ඒවා නරුමයකු විසින් ආගමික සාහිත්‍යයට එක් කළ වගාලාපයක් විය හැකි ය. එහෙත් මේ ලොව තුළ ඉතිරි වූ සෑම මිනිසකුටම, මේ අන්තවාදය නිසා, සැනසීමෙන් ජීවත් වීමේ ඉඩ අහිමිව තිබේ. ඒ මිනිසුන් ගොඩට තමන්ගේ ම හිතෛෂීන් ද යහළු යෙහෙළියන් ද තමන්ගේ ම මිනිසුන් ද ඇතුළත් බව පසක් කර ගැනීමට බැරිවීම අන්තවාදියාගේ ඛේදවාචකය ය.

ඒ සියල්ල අන්තවාදියා විසින් උරුම කර දී ඇත්තේ තම ජීවිතය ද ශෝචනීය මරණයකට පත් කරවමිනි. අන්තවාදීන්ගේ ඛේදවාචකය තුළ පළල ද ගැඹුර ද එක විට දැකිය හැක්කේ මේ නිසා ය. පළල අනෙකාට අත් කර දෙන ව්‍යසනය ය. ගැඹුර තමන් අත් කර ගන්නා ඉරණම ය.

අන්තවාදීන්ට නිසි දඩුවම් ලබා දිය යුතු ය. ඒ ගැන කතා දෙකක් නැත. එහෙත් අන්තවාදයට යොමු වී සිටින තවමත් අන්තවාදී ක්‍රියාවකට සම්බන්ධ නොවූ අයට අප ඒ හැන්දෙන් ම බෙදිය යුතු ද යන්න ගැන තීරණයක් ගැනීමේ දී දෙවරක් සිතිය යුතු ය. මිනිසකු අපරාධකාරයකු කර දඩුවම් දීම පහසු ය. අමාරු එහෙත් ශ්‍රේෂ්ඨ කාර්යය වන්නේ මිනිසුන් අපරාධකරුවන් වීම වැළැක්වීම ය. ඔවුන් ඒ නරාවලෙන් ගලවා ගැනීම ය. එසේ ගලවා ගත් අය හරහා අසු වී සිටින සෙස්සන් ගැන ද දැන ගැනීම ය. ඔවුන් ව ද හැකි නම් ඒ වළෙන් ගොඩ ගැනීම ය.

අප ඉන්නේ අහිංසක සහ අංගුලිමාල ද පසුව අංගුලිමාල තෙරණුවන් ද පිළිබඳ විස්මය දනවන කතා කියන, අසන, වටපිටාවක ය. ඒත් අපේ ආවේගයන් විසින් අපව ප්‍රලය කරනු ලැබූ විට ඒ කතා අපට අමතක වන්නේ ය. ඒවා නැවත මතක් වීමට අපේ ම හිතෛෂියකු මේ අන්තවාදීන්ගේ ඇමට අසු වනතුරු ඉන්නට අපට සිදු ව තිබෙන්නේ ය.

අන්තවාදියකුගේ ඛේදවාකය දරුණු ය. අපේ ඛේදවාචකය ද සොඳුරු නැත. ඒ අප විසින් ම අන්තවාදීන්ගේ ගොඩට තල්ලු කරනු ලබන මිනිසුන් අපට වින කරන්නට ඉඩ ඇති බව දැන ජීවත් වීමට සිදු ව තිබීම නිසා ය. ඒ අතින් අප සියල්ලන් අසරණ ය.

නිශාන්ත කමලදාස

Similar Posts

Leave a Reply

Your email address will not be published. Required fields are marked *