දෙවන ස්ථිර ත්‍රි පුද්ගල මහාධිකරණය විවෘත වේ

දෙවන ස්ථිර ත්‍රි පුද්ගල මහාධිකරණය අධිකරණ හා බන්ධනාගාර ප්‍රතිසංස්කරණ අමාත්‍ය තලතා අතුකෝරල මහත්මිය විසින් ඊයේ  (14) උදෑසන විවෘත කරන ලදී. කොළඹ මහාධිකරණ අංක 1 ශාලාවේ එම අධිකරණ ස්ථාපිත කරන ලදී.

බරපතල දූෂණ හා වංචා පිළිබඳ නඩු කඩිනමින් විසඳීම සඳහා ස්ථිර ත්‍රි පුද්ගල මහාධිකරණ තුනක් ස්ථාපිත කරන බව ආණ්ඩුව සඳහන් කර තිබුණි. එහි පළමු අධිකරණය මේ වන විට ක්‍රියාත්මක අතර අද විවෘත වුයේ දෙවන අධිකරණයයි.

මහාධිකරණ විනිසුරුවරුන්වන ආර්. ගුණසිංහ(සභාපති), ශෂී මහෙන්ද්‍ර, අමල් රණරාජා යන මහත්වරුන් එම ත්‍රිපුද්ගල මහාධිකරණ විනිසුරුවන් වේ.

විවෘත කිරීමෙන් අනතුරුව අමාත්‍ය තලතා අතුකෝරල මහත්මිය මාධ්‍යවේදීන් හමුවේ මෙසේ ප්‍රකාශකරන ලදී.

වංචා දූෂණ නාස්තිය සම්බන්ධයෙන් ඕනැම නඩුවක් ඕනැම කෙනෙකුට විරුද්ධව නඩු ගොනු කරන්න පුළුවන්. නීතිපති තුමාත්, අල්ලස් කොමිසමේ අධ්‍යක්ෂක තුමාටත් නඩු පැවරීමේ අයිති තියනවා.

මාධ්‍ය – මහබැංකු බැඳුම්කර සිද්ධියේ ප්‍රධාන චූදිතයා වශයෙන් නම් කරල තියන අර්ජූන මහේන්ද්‍රන් තවමත් ලංකාවට ගෙනැල්ලා නීතිය හමුවට ඉදිරිපත් කරන්න බැරිවෙලා තියෙනව. ඉතිං මේ මහඅධිකරණ දැමීමෙන් ඒවා කඩිනම් වෙයිද?

පිළිතුර – කඩිනම් කරන්න ඕනැ. බැඳුම්කරය ද වෙනත් වංචාවක්ද කියන එක මෙතන විශේෂත්වයක් නැහැ. අපේ වගකීම තියෙන්නෙ මේ අධිකරණය පිහිටුවලා අවශ්‍ය පහසුකම් සැපයීමයි. පරීක්ෂණ කටයුතු කරන එක අදාල දෙපාර්ථමේන්තුවලත්, අල්ලස් කොමිසමේත්, නීතිපති දෙපාර්තමේන්තුවෙත් වගකීමක්. බැඳුම්කරයට අදාල චූදිතයා මෙහාට ගෙනවද නැද්ද කියන එක මට තීරණය කරන්න බැහැ. ඒක කරන්න ඕනැ ඒ සම්බන්ධව පරීක්ෂණ කරන උදවිය.

මාධ්‍ය – රජයක් විදිහට වගකීමක් නැද්ද?

පිළිතුර – ඒ පුද්ගලයා මේ රටට එවන්න කියල ඉල්ලීමක් කරල තියෙනව. මහ බැංකු හිටපු අධිපතිවරය විතරක් නෙමෙයි මිග් ගනුදෙනුවලට අත්‍යාවශ්‍ය වෙලා තියෙන උදයංග වීරතුංග පවා එවන්න කියල තියෙන්නෙ. වැඩේ එවන නොඑවන එක ඒ රටවල්වල වැඩක්.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *