|

පරාජය කලයුතු සරදියල්වාදය – සී ජේ අමරතුංග

වත්මන් ආණ්ඩුව ගොඩනැඟීමට දරදිය ඇද්ද සිවිල් සමාජ ක‍්‍රියාකාරීන් දැන් සිටින්නේ බරපතළ ලෙස කලකිරී බව පෙනෙන්නට තිබේ. පූජ්‍ය මාදුළුවාවේ සෝභිත හිමියන් මෙන්ම ධර්මසිරි බණ්ඩාරනායක වැනි සිවිල් සමාජ ක‍්‍රියාකාරීන් ද කළ ප‍්‍රකාශවලින් ඒ බව පැහැදිලි විය.

නව ඇමැති මණ්ඩලය පත්කළ ආකාරය පිළිබඳව තමන් බලවත් සේ කලකිරීමට පත්ව සිටින බව මාදුළුවාවේ සෝභිත ස්වාමීන් වහන්සේ ප‍්‍රකාශ කළහ. මෙතරම් විශාල ඇමැති මණ්ඩලයක් අවශ්‍ය නොවන බවත්, පසුගිය කාලයේ දූෂණ ක‍්‍රියාවල යෙදුණු බවට චෝදනා ලැබුවන්ට ද ඇමැති ධුර ලබාදී ඇති බවත් උන්වහන්සේ වැඩිදුරටත් පැවසූහ. ආණ්ඩුව දැන් එය බලයට පත්කළ බලවේග නොතකා ක‍්‍රියාකරන බව සෝභිත හිමියන්ගේ චෝදනාව විය.

විලි ලජ්ජා නැති ආණ්ඩුව

ධර්මසිරි බණ්ඩාරනායක මහතා ප‍්‍රකාශකොට තිබුණේ නව ඇමැති මණ්ඩලය පත්කළ ආකාරය දෙස බලනවිට තමන්ට ඇතිවන්නේ ‘‘හතර විලි ලැජ්ජාවේ බැරි’’ තත්ත්වයක් බවයි. රටේ මහජනයා මේවා ගැන ප‍්‍රශ්න කරන්නේ නිතර හමුවන තමන් වැනි සමාජ ක‍්‍රියාකාරීන්ගෙන් බව ඒ මහතා පෙන්වා දී තිබිණි. පසුගිය කාලයේ රාජ්‍ය පාලනය පෙරළා දමමින් නව පාලනයක් ගොඩනඟන්නටත් පෙරමුණ ගත් සිවිල් සමාජ ක‍්‍රියාකාරීන් බොහෝ දෙනකු ප‍්‍රකාශ කළේ මීට සමාන අදහස් උදහස්ය. ආණ්ඩුවට යම් කාලයක් දිය යුතු බව කියා සිටියේ ඉතා සුළු පිරිසකි.

සිවිල් සමාජයෙන් ආණ්ඩුවට එල්ලවන මෙම චෝදනාවල පදනම පවතින්නේ රාජපක්‍ෂ පාලනයට එරෙහිව ගෙනගිය මතවාදී දේශපාලන අරගලය තුළමය. එම අරගලයේ ප‍්‍රධාන තේමාව වූයේ භීෂණයටත්, දූෂණයටත් එරෙහිවීමයි. විශාල ඇමැති මණ්ඩලයක් පවත්වාගෙන යමින් මහජන මුදලින් වරප‍්‍රසාද ලබාදී තිබීම එහිදී දැඩි විවේචනයට ලක්විය. එමෙන්ම එම ඇමැති මණ්ඩලයේ සිටි හා එයට ඉහළින් සිටි පිරිසක් ජාතික ධනය කොල්ලකමින් සිටීම ද විරෝධයට හේතුවක් විය. මහජන බලවේග නැඟී සිටියේ මේවා නවත්වන්නටය. දූෂිතයන් බලයෙන් නෙරපා දමන්නටය. ඔවුන්ට දඬුවම් කරන්නටය. පිරිසුදු පාලනයක් ඇති කරන්නටය.

එසේ පෙළ ගැසුණු ජනතා බලවේග රාජපක්‍ෂ පාලනය පෙරළා දැමීය. තවදුරටත් පෙරළන්නට නොහැකි යැයි සිතූ එම පාලනය පෙරළා දැමීමම විශාල ජයග‍්‍රහණයකි. ඒ සමගම මහජනයා බලාපොරොත්තු වූයේ එම පාලනය ගෙනයමින් හා එයට සහභාගිවෙමින් මහජන දේපළ කොල්ල කෑ පිරිසට ද හොඳ පාඩමක් උගන්වන්නට හැකිවනු ඇතැයි කියාය. ඔවුන් සියලූදෙනා  බලයෙන් නෙරපනවාට අමතරව දූෂණ චෝදනා විමර්ශනය කොට දඬුවම් කිරීම ද මහජන අපේක්‍ෂාව වී තිබිණි. ජනවාරි අටවැනිදා විප්ලවය ලෙස හඳුන්වන බල පෙරැුළියේ මහජන අභිලාෂය වූයේ එයයි. අගෝස්තු දහහත් වැනිදා තහවුරු කළේ ද එම තීන්දුවයි.

මහජනයා තම අභිලාෂ ඉටුකර ගැනීමට තෝරාගත් නායකයන් වූයේ ජනාධිපති මෛත‍්‍රීපාල සිරිසේන මහතා සහ අගමැති රනිල් වික‍්‍රමසිංහ මහතාය. ඔවුන්ගෙන් මහජනයා බලාපොරොත්තු වූයේ ඉහත කී ලෙස භීෂණය හා දූෂණය මේ මොහොතේ පරාජය කිරීම පමණක් නොවේ. යළිත් එවැනි තත්ත්වයක් ඇති නොවන ලෙස සමාජ ප‍්‍රතිසංස්කරණය ක‍්‍රියාත්මක කිරීම ද ඔවුන්ගෙන් මහජනයා ඉල්ලා සිටි කාර්යභාරය බව පැහැදිලිය. විධායක ජනාධිපති ක‍්‍රමය අහෝසි කිරීම, ස්වාධීන කොමිෂන් සභා පත්කිරීම, නව මැතිවරණ ක‍්‍රමයක් හඳුන්වාදීම ආදී මෙකී නොකී බොහෝ කාර්යයන් න්‍යාය පත‍්‍රයට ඇතුළු වන්නේ එහි ප‍්‍රතිඵලයක් වශයෙනි.

ආණ්ඩුව පෙරලුවේ මේකටද ?

එසේ වුවද දැන් මහජනයාට දකින්නට ඇත්තේ මොනවාද? දූෂිතයන් පලවා හැර ඔවුනට එරෙහිව නීතිය ක‍්‍රියාත්මක කරන්නට තෝරාගත් නායකයන් විසින් දූෂිතයන් ලෙස පන්නා දැමූ උදවිය හුරතල් කරන්නට පටන්ගෙන ඇති ආකාරයත් වේදිකාවේ මෙන්ම දේශපාලන පොර පිටියේදී ද දකින්නට ලැබිණි. පන්නා දැමිය යුතු යයි මහජනයා විශ්වාස කළ ඇතැම් දේශපාලනඥයන් දැන් මහජනයා තෝරාගත් නායකයන්ගේ සෙවණේ සිටිනු දැකිය හැකිය. සිරගෙවල්වල සිටිය යුතු උදවිය රජ ගෙවල්වලදී දක්නට ලැබෙන්නේ වේදනා දෙන ආකාරයෙනි. මේ සියල්ල  යුග පෙරළියකට සහාය දුන් මහජනයාගේ පිළිකුලට හා කලකිරීමට හේතුවන බවට සැකයක් නැත.

මහින්ද රාජපක්‍ෂ මහතාගේ ‘ජම්බෝ කැබිනට්ටුවට’ එරෙහිව නැඟීසිටි ජනයාට දැන් ලැබී තිබෙන්නේ ‘මෙගා ජම්බෝ’ කැබිනට්ටුවකි. එම කැබිනට්ටුවට පත්වන්නේ පිරිසුදු චරිත ඇති උදවිය නම් එය කමක් නැත. පසුගිය කාලයේ දූෂණ භීෂණ චෝදනා ලැබූවන් පමණක් නොව දූෂිත පාලනය යළි ගොඩන`ගන්නට විවිධාකාරයෙන් කුමන්ත‍්‍රණය කළ උදවිය ද දැන් කැබිනට් ඇමැතිවරු වී සිටිති. කුඩුකාරයන්, එතනෝල්කාරයන් හා වෙනත් සමාජ විරෝධී චෝදනා ලැබුවන්ගෙන් ද අඩුවක් නැත. ‘හතර විලි ලැජ්ජාවේ බැරි’ යැයි ධර්මසිරි බණ්ඩාරනායකගෙන් කියන්නේ එම තත්ත්වය පිළිබඳවය. සෝභිත හිමියන් කලකිරීමට පත්ව දේශපාලනය ද පිළිකුල් කරන්නට පටන්ගෙන ඇත්තේ මෙම තත්ත්වය නිසාය.

ගමේ ගොඩේ බොලද තර්ක

විශාල ඇමැති මණ්ඩලයක් පත්කිරීම ගැන කියන නිදහසට කරුණ නම් ජාතික ආණ්ඩුවක් හැදීමට දෙපාර්ශ්වය එකතු වන නිසා ඇමැති මණ්ඩලය වැඩි කිරීමට සිදු වූ බවයි. දූෂිතයන් පත්කිරීම ගැන කියන්නේ කිසිවකු තවම චෝදනාවකට වැරැුදිකරු වී නැති බවයි. මේවා වැදගත් දේශපාලන තර්ක නොව ගමේ ගොඬේ තර්ක බව බැලූ බැල්මටම පෙනෙන්නට ඇත.

ජාතික ආණ්ඩුවක් ඇති කළ පමණින් ආණ්ඩුවකට කරන්නට තිබෙන කාර්යයන් වැඩිවන්නේ නැත. එහෙම වන්නට හේතුවක් ද නැත. ආණ්ඩුවේ වැඩ ප‍්‍රමාණය වැඩි වී ඇතැයි යන තර්කය  පිළිගන්නේ නම්  ඕනෑම මොහොතක  ඕනෑම ආණ්ඩුවකට විශාල ඇමැති මණ්ඩලයක් පත්කරගෙන ‘‘අපට වැඩ වැඩි නිසා පත්කර ගත්තා’’ කියන්නට හැකියාව ලැබෙනු ඇත. එසේනම් ඇමැති මණ්ඩලය තිහට සීමා කිරීමට පසුගිය කාලයේ නීති ගෙනඒම වරදකි.

එමෙන්ම චෝදනා ඔප්පු වී නැති නම් දූෂිතයන් යැයි පිළිගත නොහැකි යැයි කියන්නේ නම් රාජපක්‍ෂ ආණ්ඩුව පෙරළා දැමීම ද වැරැුද්දකි. ඒ වනවිට ඔවුන්ගේ එකම දූෂණයක්වත් ඔප්පු වී තිබුණේ නැත. ඔවුන් බලයේ සිටියානම් ඔප්පු වන්නේ ද නැත. ඔප්පු වනතෙක් බලයෙන් පෙරළා දැමීම ද වැරැුදි ලෙස තර්ක කළ හැකිය. ගමේ තර්ක පිළිගන්නේ නම් කතන්දරය තීරණය වන්නේ එහෙමය.

කොලේ වහන්නේ කාටද ?

එසේ වුවද ජනතාව එහෙම හිතන්නේ නැත. නීතියෙන් ඔප්පු වී නැතත් දූෂිතයන් කවුද යන්න ජනතාවට රහසක් නොවේ. ගමේ කෙහෙල් කැන් කපන්නේ, කසිප්පු විකුණන්නේ කවුදැයි ජනතාව හොඳින් දනිති. එය දැනගැනීමට ඔවුනට පොලිස් වාර්තා හෝ අධිකරණ තීන්දු අවශ්‍ය වන්නේ නැත. එලෙසම දූෂිත දේශපාලනඥයන් ගැන ද මහජනයා දන්නා බව නිසැකය. චෝදනා ඔප්පු වනතෙක් නිවැරැුදිකරුයි යන උසාවි තර්කය මෙතනට වංලගු වන්නේ නැත.

පසුගියදා ජනාධිපතිතුමා කීවේ දේශපාලනඥයකු රහසේ පව් කළ ද එය රහසක් නොවන බවයි, මහජනයා ඒ බව දැනගන්නා බවයි. එය සම්පූර්ණ ඇත්තකි. එමෙන්ම කවරකු හෝ දූෂිතයන් රකිනවා නම් ඒ බවද මහජනයා ඉක්මනින්ම දැනගන්නා බවද තේරුම් ගැනීම යහපත්ය.

ජාතික ආණ්ඩුවක් ගොඩනැඟීමේ දී ඇමැතිකම් වැඩිකිරීමට සිදුවන්නේ කාර්යයන් වැඩිවන නිසා නොවන බව පැහැදිලිය. ආණ්ඩුවේ ඇමැතිකම් යනු වරප‍්‍රසාදයකි. ආණ්ඩුව හදන්න එකතුවන ප‍්‍රධාන පක්‍ෂ දෙකට වරප‍්‍රසාද බෙදාදීම මෙහි ඇති ඇත්ත වුවමනාවයි.
එය සිදුවන්නේ මෙහෙමය. වැඩිම ඡුන්ද ලැබූ පක්‍ෂය තම වරප‍්‍රසාදවලින් සැලකිය යුතු කොටසක් අනෙක් පක්‍ෂයට දෙන්නට කැමැතිවන්නේ නැත. නීතියෙන් නියම කොට ඇති ඇමැති ධුර තිහෙන් දහයක් පහළොවක් දුන්නොත් වන්නේ තම පක්‍ෂයේ පිරිසකට එම වරප‍්‍රසාද අහිමිවීමයි. ඒ නිසා එම පක්‍ෂය බලන්නේ හැකිනම් තිහම තියාගන්නටය.

දෙවැනියට මන්ත‍්‍රී ධුර හිමිකර ගන්නා පක්‍ෂය ද නිකම් ආණ්ඩුවට එකතුවන්නට කැමැතිවන්නේ නැත. ඔවුන්ට ද අවශ්‍යවන්නේ අඩු වශයෙන් අඩක් හෝ කිට්ටු ප‍්‍රමාණයක් ලබාගන්නටය.

වැඩිපුර ඇමතිකම් බෙදාගන්නටයි

ඇමැතිකම් වැඩි කරගන්නට සිදුවන්නේ දෙගොල්ලන්ට මෙලෙස බෙදාගන්නට මිස වෙනත් හේතුවක් නිසා නොවන බව පැහැදිලිව තේරුම් ගත යුතුව ඇත. ජාතික ආණ්ඩුවක දී ඇමැතිකම් වැඩිවන්නේ එහෙමය.

දැන් ආණ්ඩුවේ කැබිනට් ඇමැතිකම් බෙදාගෙන ඇති ආකාරය හොඳම නිදසුනකි. ප‍්‍රධාන පක්‍ෂය වන එක්සත් ජාතික පෙරමුණට තිස් දෙකකි. ඉන් විසි හයක් එක්සත් ජාතික පක්‍ෂයටය. ඉතිරිය එහ හවුල්කරුවන්ටය. ජනාධිපති මෛත‍්‍රීපාල සිරිසේන මහතාගේ කිට්ටුවන්තයන්ට ද ඉන් කිහිපයක් හිමි වී ඇත. එක්සත් ජනතා නිදහස් සන්ධානයට කැබිනට් ඇමැති ධුර දහසයකි. තිස් දෙකෙන් අඩකි. රාජ්‍ය ඇමැති, නියෝජ්‍ය ඇමැති ධුර ද බෙදාගෙන ඇත්තේ මේ ආකාරයෙනි. මෙය නිරුවතින් කළ වරප‍්‍රසාද බෙදාගැනීමකි. ඊට වඩා සියුම් තර්ක මෙහි ඇත්තේ නැත.

එසේ නම් දැන් ප‍්‍රශ්නය වන්නේ මෙබඳු තත්ත්වයක් ඇතිවූයේ ඇයි ද යන්නයි. කෙසේ හෝ දූෂිතයන් රැුකගත යුතු යැයි මෛත‍්‍රීපාල සිරිසේන ජනාධිපතිවරයා හෝ රනිල් වික‍්‍රමසිංහ අගමැතිවරයා හෝ සිතන නිසා මෙසේ සිදුවූවා විය නොහැකිය. ඇත්ත කතාව නම් බල දේශපාලනයේ වුවමනාවන් සඳහා ඔවුනට එසේ කරන්නට සිදුවී තිබීමයි.

අශුද්ධ  ගිවිසුම්

මෙයින් ඇතැම් ප‍්‍රශ්නවල ආරම්භය ද රාජපක්‍ෂ පාලනය පෙරළා දැමීමට කළ සටනයි. එය පැහැදිලිවම ඉතා තීරණාත්මක සටනක්ව තිබිණ. ඒ මොහොතේ පෙනීගියේ රාජපක්‍ෂ පාලනය පෙරැුළීම නොකළ හැකි තරම් දුෂ්කර බවයි. එයට සියලූ ශක්තිය ගොනුකළ යුතුව තිබිණි. ඒ සඳහා කැමැති අකමැති බොහෝ බලවේග සමඟ ගිවිසුම් ගහන්නට සිදුවිය. එමෙන්ම අතරමැදි සමාදානයන් අවශ්‍ය විය. අකැමැති දේටත් අනාගතයේ ප‍්‍රශ්න ඇතිවිය හැකි දේටත් එකඟවීමට බොහෝදෙනාට සිදුවිය. එසේ සිදුකළේ රාජපක්‍ෂ පාලනයට එරෙහිව උපරිම ශක්්තිය ගොනු කිරීමට මිස අන් කිසි හේතුවක් නිසා නොවේ.

වසර දෙකකට ජාතික ආණ්ඩුවක් බිහිකිරීම ද ඒ මොහොතේ ඇති කරගත් ගිවිසුමේ කොටසකි. ඒ බව ‘‘මෛත‍්‍රී පාලනයක්’’ ප‍්‍රතිපත්ති ප‍්‍රකාශනයේ දී සඳහන්ය.

හරි වැරැුද්ද කුමක් වුවත් මෙබඳු පොරොන්දුවක් දීමේ අරමුණ වූයේ සන්ධාන ආණ්ඩුවේ සිටි පිරිසකට මානසික අල්ලස් ලබා දීමයි. එක අතෙකින් එමගින් ප‍්‍රකාශ කරන ලද්දේ රාජපක්‍ෂ පාලනය අවසන් වීම එක්සත් ජාතික පක්‍ෂ පාලනයට පාර නොකපන බවයි. දෙවැන්න නම් රාජපක්‍ෂ පාලනය පෙරැුළීමට පෙර එන පිරිසට අනාගත ආණ්ඩුවක ඇමැතිකම් සහතික බව පෙන්වා දීමයි.

මෙම පොරොන්දුවේ අරමුණ වූයේ එක්සත් ජනතා නිදහස් සන්ධානයේ සැලකිය යුතු පිරිසක් පොදු අපේක්‍ෂක සිරිසේන මහතාගේ සහායට එළියට ගැනීම බව පැහැදිලිය. එසේ වුවද එය ඒ ආකාරයෙන් සිදුවූයේ නැත. විශේෂයෙන්ම ශ්‍රී ලංකා නිදහස් පක්‍ෂයෙන් පිරිස් ඉවත් කරගැනීම දුෂ්කර විය.

ඉන් පසුව සිදුවූ ඇතැම් වර්ධනයන් ගැන බොහෝදෙනාට ප‍්‍රශ්න තිබිය හැකිය. කෙසේ වෙතත් පොරොන්දු වූ පරිදි ජාතික ආණ්ඩුවක් බිහිකිරීමට සිදුවී තිබේ. එය යථාර්ථයයි. එහිදි සිදුවී ඇත්තේ ඉතා පිරිසුදු තත්ත්වයක් ඇතිවීම නොවේ. එසේ වුවද මෙම යථාර්ථයට මුහුණදීමට ද අපට සිදු වී තිබේ.

මෙහිදී ප‍්‍රධාන වරදකරුවකු ලෙස පෙනීයන්නේ නායකයන් නොව මහජනතාවයි. මහජනතාව දූෂණයටත් භීෂණයටත් එරෙහිව ස්ථිරසාර හා පැහැදිලි තීන්දුවක් දී නැත. යහපාලනය ජයගෙන ඇත්තේ යන්තමිනි. එම යන්තම් ජයගත් යහපාලන ආණ්ඩුවට කොන්ද කෙළින් තියාගෙන වැඩකිරීමේ හැකියාවක් නැත. එම තත්ත්වයේ වගකීම  ද අපගේ මහජනයාගේ කොටසකට හිමිවන බවද අමතක කළ නොහැකිය.

සරදියල් වාදී ජනතාව

මහජනයාගේ බහුතරය දූෂණ විරෝධී වන අතර තවත් විශාල පිරිසක් සිටින්නේ සරදියෙල්වාදී මතවාදයක බව පෙනෙන්නට ඇත. සරදියෙල් සොරකම් කොට ජනතාවට බෙදනවිට එම ජනතාවට සරදියෙල් වීරයෙකි. සරදියෙල් සොරකම් කළේ ජනතාව සඳහා නොවේ. තමන් සඳහාය. එයින් කොටසක් මහජනයාට බෙදුවේ ද තමන්ගේ ආරක්‍ෂාව සඳහාය. එවිට ඒ මහජනයා තමන්ගේ සරදියෙල් වීරයා රැුකගත් බව පෙනෙන්නට ඇත.

අපගේ දේශපාලනඥයන් ද සරදියෙල්ලාගේ ගෝලයෝ වෙති. තමන්ට ඇති තරම් ධනය හම්බකරගන්නා අතර ඔවුහු යම්යම් දෑ මහජනයාට බෙදාදෙති. මෝටර් සයිකල්, වතුර පොම්ප, උදලූ, සෙවිලි තහඩු පමණක් නොව සිල් රෙදි පවා බෙදා දුන්හ. ඔවුන් සොරකම් කරන්නේත් බෙදාදෙන්නේත් මහජනයාගේම මුදලිනි. ඒ බවත් තේරුම් නොගන්නා ජන කොටස් මේ වර්ගයේ සරදියෙල්ලා දේවත්වයෙන් අදහන බව පෙනෙන්නට තිබේ. පසුගිය මැතිවරණ ප‍්‍රතිඵලය පෙන්නුම් කරන්නේ එම තත්ත්වයයි.

රටේ බහුතර ජනයා මේ සරදියෙල්වාදය පිටුදැක්ක ද විශේෂයෙන්ම ශ්‍රීලනිපයේ හා සන්ධානයේ ආධාරකරුවන් විශාල පිරිසක් දේශපාලක සරදියෙල්ලාට සහාය දී ඇත. සන්ධානය තුළ ශක්තිමත් කොට ඇත්තේ ජනාධිපතිවරයාගේ දෑත නොවේ, රාජපක්‍ෂවරුන්ගේ පාලනයයි. දැන් එය සුළුතරය වුවද ඔවුන් දේශපාලනයට කළ බලපෑම සුළුපටු නැත. දූෂිතයන් ඉහළ මනාප දී මැතිසබයට එවා ඇත්තේ එම ජන කොටස විසිනි.

නොනවතින අරගලය

අඩු තරමින් මහජනයා එක්සත් ජාතික පෙරමුණට පැහැදිලි බහුතරයක් ලබාදුන්නේ නම් ප‍්‍රශ්නය වෙනස් වන්නට තිබිණි. එවිට ද ජාතික රජයක් බිහිවූවද ඒ තුළ කේවල් කරන්නට දූෂිත දේශපාලකයන්ට තිබෙන ඉඩකඩ අඩුවන්නට තිබිණ.

දැන් අපට කරන්නට තිබෙන්නේ සිදුවන නස්පැත්තිය දැක හිසේ අත ගසා ගැනීම නොවේ. රටටත් සමස්ත ජනතාවටත් විනකරන සරදියෙල්වාදී මතවාද සම්පූර්ණයෙන් පරාජය කිරීමට සටන් වැදීමය. දූෂිත දේශපාලනඥයන් මෙන්ම දූෂණය ද සදහට තුරන් කිරීමට සටන් වැදීමයි. එක සටනකින් බැරිනම් සටන් දහයක් හෝ කර එම ඉලක්කය ජයගත යුතුය. අපටත් මතු පරපුරටත් යහපත් රටක් උරුම කරන්නට අපට හැකිවන්නේ එවිටය.

සී ජේ අමරතුංග

Similar Posts

Leave a Reply

Your email address will not be published. Required fields are marked *