වතු කම්කරු වැටුප් ප්‍රශ්න – ක්ලෝඩියා ජෙගනාදන්

පස්ස පෙන්වීම්, මත් සාද සංවිධානය කිරීම් ආදියට ප්‍රකටව තිබුණු මුහුණු පොත හෙවත් ෆේස් බුක් පසුගියදා නැවත කතාබහට ලක් වුයේ කොළඹ දී පැවැත් වුණු උද්ඝෝෂණයක් හේතුවෙනි.

වතුකම්කරුවන්ගේ දෛනික වැටුප රුපියල් දහස දක්වා වැඩි කරන ලෙස ඉල්ලා කෙරුණු එම උත්ඝෝෂණය හේතුවෙන් කොළඹ ගාලු පාර පැය නමයක් පමණ අවහිරවී පැවති බව සඳහන් වේ උද්ඝෝෂණය පැවැත්වුණේ පොහොය නිවාඩු දිනයක බැවින් පොදු ජනතාවට එය එතරම් නොදැනුණු නමුත් එහි බලපෑම සැහැල්ලුවෙන් සිතිය හැකි වන්නේ නැත. හේතුව, විරෝධතාවේ නියැලුණු පිරිස් අතරින් සමහරුන් පවසා තිබුණු ආකාරයට පිරිස් එසේ ‍රැස්ව ඇත්තේ ෆේස් බුක් හරහා කෙරුණු කෙටි දැනුම් දීමකින් වන බැවිනි.

කම්කරු උද්ඝෝෂණ විරෝධතා සාමාන්‍යයෙන් සිදුවන්නේ කල්තියා කෙරෙන මනා සැලුමකින් සහ සංවිධානයකින් පසුව වුවද මෙවර වතුකම්කරු විරෝධතාවෙහි එවැනි පරිපූර්ණ බවක් වෙනුවට දක්නට ලැබුණේ කඩිමුඩි අසංවිධාත්මක බවකි. නමුත් එවැනි වටපිටාවක වුව ඒ සඳහා සැලකිය යුතු ජන සහභාගිත්වයක් පැවති බව පිළිගත යුතුය. විශේෂයෙන්ම කොළඹ ආශ්‍රිතව වෙනත් රැකියාවල නියුතු වතුකම්කරුවන්ගේ තරුණ දරුවන්ගේ සහභාගිත්වය ඒ සඳහා ලැබී තිබුණි. එය එක් අතකින් මවුපියන් වෙනුවෙන් දරුවන් කළ උද්ඝෝෂණයකි.

ශ්‍රමිකයන් විදේශගත වීම ඇඟලුම් කම්හල් ආදිය ආරම්භවන්නට පෙර මෙරට අපනයන ආදායමෙන් මූලික පංගුව උපයා ගැනුණේ තේ පොල් රබර් හෙවත් වතු වගා ආශ්‍රයෙනි. තේ, පොල්, රබර් යනු ඒ අනුව වතුකම්කරුවන්ගේ ශ්‍රම දායකත්වයයි. එසේ ජාතික ධනයෙන් වැඩි පංගුව ඉපැයු වතුකම්කරුවන්ගේ ජීවන තත්ත්වය සෑහීමකට පත්විය හැකි මට්ටමකට මෙතෙක් දියුණු වී නොතිබීම බලවත් අසාධාරණයක් බව අමුතුවෙන් කිවයුතු නැත.

වතුකම්කරු දෛනික වැටුප රුපියල් දහසක් කළ යුතුය යන ඉල්ලීම දැනට වසර තුනක් පැරණි ඉල්ලීමකි. මීට වසර දෙකකට පමණ පෙර එනම් 2016 වසරේ නවීන් දිසානායක අමාත්‍යවරයා පවසා තිබුණේ වතු කම්කරු දිනික වැටුප රුපියල් හත්සිය හැත්තෑව දක්වා වැඩිකිරීමට වතු පරිපාලනය එකඟවු බවයි. නමුත් වතුකම්කරුවන් ඊට ප්‍රතිචාර දැක්වුයේ රු.770/-ක් ප්‍රමාණවත් නොවන බවයි. රුපියල් 770/-ක මුදලින් දරුවන්ට  උගන්වන්නේ, ඔවුනට ඇඳුම් ගන්නේ, කෑම බීම සපයන්නේ කෙසේදැයි එහිදි වතුකම්කරුවෝ ප්‍රශ්න කළහ.

ගැටලුව අමුතුවෙන් පැහැදිලි කළ යුතු නැත. රුපියල් 770/-ක් යනු පවතින ජීවන මිල අනුව සලකා බැලුවත් වෙනත් අකාරයෙන් ගත්තත් ජීවත් වන්නට සරිලන වැටුපක්‍ නොවේ. 2000 වර්ෂයේදි මෙරට වතුකම්කරු පිරිස ලක්ෂ 05ක් වු නමුත් 2015 පමණ වන විට ඉන් ලක්ෂ දෙකක පමණ පිරිසක් වෙනත් රැකියා සොයා වතු කම්කරු රැකියාවෙන් බැහැර වී සිටියහ. හේතුව වතු රැකියාවට වඩා වැඩි දෛනික අදායමක් පිටත රැකියාවලින් එදිනෙදා උපයා ගැතහැකි වීමයි. එහෙත්, දිනපතා වැඩි මුදලක් පිටත රැකියාවලින් උපයාගත හැකි වුවද එහිදි කම්කරුවාට ලැබෙන රැකියා සුරක්ෂිතතාව සහ සමාජ ආරක්ෂණය පිළිබද ගැටලු මතුවේ. හේතුව බාහිර රැකියාවලදි වතු රැකියාවේදි මෙන් අර්ථසාධක ආදිය ලැබීමක් සිදු නොවන බැවිනි.

වතුජන ජීවිතය සම්බන්ධයෙන් ගත් කල වැටුප් ප්‍රශ්නයට අමතර තවත් ප්‍රශ්න රැසක් තිබේ. ඉන් ප්‍රමුඛ වන්නේ නිවාස ගැටලුවයි. බී.බී.සී ලෝක සේවය වරෙක පවසා තිබුණේ වතු කම්කරු නිවාස සමාන වන්නේ බැරැක්ක වලට කියාය. මතුකම්කරුවන් වාසය කරන ඇතැම් නිවෙසක් 1920 තරම් ඈත යුගයක බ්‍රිතාන්‍යයන් අතින් ඉදිකෙරුණු ඒවා බව පවසතොත් යමකු පුදුමයට පත්විය හැකි වුව සත්‍යය එයයි. විශේෂයෙන්ම වතු කම්කරු ජනගහනයේ වර්ධනයේ තරමට වතු නිවාස පද්ධතිය ප්‍රමාණාත්මක වර්ධනයට ලක්ව නොමැතිවීම හේතුවෙන් එක් කුඩා නිවෙසක පවුල් දෙක තුනක් එක්ව වාසය කරති. එසේ හෙයින් ඒ ආශ්‍රිත සමාජ ප්‍රශ්නද පැන නැගී තිබේ.

ඊළඟ කාරණය වන්නේ ඔවුන්ගේ නිවාස හෙවත් ලැයින් කාමර වල ප්‍රමිතිය පිළිබද ප්‍රශ්නයයි. එකී නිවාස බොහොමයට නිසි වාතාශ්‍රය පවා නොමැත. නිසි පරිදි ආලෝකය හෝ ඒවාට ලැබෙන්නේ නැත. ජල පහසුකම් ද බොහෝවිට නැත. මෙවැනි තත්ත්වයක සෞඛ්‍ය ගැටලු මතුවනුයේ නිරාශයෙනි.

අඩු වැටුප් මට්ටම සමග ඊළඟට ගැට‍ගැසෙන ප්‍රශ්නය ආහාර හිගය හා මන්ද පෝෂණයයි. විශේෂයෙන්ම බාල වයසේ දරුවන්ට මේ තත්ත්වය බරපතල අකාරයෙන් බලපානු ලැබේ. දරුවන් ලැබී කෙටි කලකින්  මවුවරුන් රැකියාවට යන බැවින් අත දරුවන් රඳවා තැබෙන්නේ පුල්ලේ කාමර යනුවෙන් හැඳින් වෙන දිවා සුරැකුම් කුටිවලය. ඒවායේ තත්ත්වය අතිශය බයංකාර බව නොකියා සිටීම වරදකි. විශේෂයෙන් නිතර සීතල කාලගුණයෙන් යුතු උඩරට වතු මවුවරුන්ට තම දරුවන් තබා යාමට ඇත්තේ බොහෝවිට තිර රෙදි බිත්ති පවා නැති ගොඩනැගිලිවලය. ඒවාහි අධික ශීතල මිස උණුසුමක් ඇත්තේ නැත. කඳුරට වතු ආශ්‍රිත අත්දැකීම් ඇත්තකුට අධික ශීතලයේ දරුවන් සාරි තොටිලිවල එළිමහන් කුටිවල එල්ලා සිටින ආකාරය අරුමැසි දසුනක් නොවනවා ඇත.

අධ්‍යාපනය සම්බන්ධයෙන් ද තත්ත්වය ඊට දෙවැනි නැත. වතු ආශ්‍රිත නගරවල අධ්‍යාපනය යම් තරමක දියුණුවක් පෙන්නුම් කළ ද වතු පාසල් වශයෙන් හැඳින්වෙන වතු අභ්‍යන්තරයේ පාසල්වලට සම්පත්ද පහසුකම් ද ඇත්තේ නැත. එහෙයින් එම පාසල් වලින් අධ්‍යාපනය ලබා වතු ජීවිතයෙන් එතෙර වන්නට වාසනාව ලබන්නන්ද අතිශය දුලබය. ඇතැම් වතුයායයක වසන ජනතාවට ප්‍රධාන පාරක එන්නට කිලෝ මීටර් දෙක තුනක් වතුයාය අභ්‍යන්තරයේ පයින් ඒමට සිදුවේ.

සෞඛ්‍ය සම්බන්ධයෙන් ද ඊට දෙවැනි නැත. ඇතැම් වතුයායක සිට රෝහලකට දුර කිලෝමීටර් හත අටක් හෝ ඊටත් වැඩි වන්නටත් පුළුවන. හදිසි අසනීපයකට  ගිලන් රථය වන්නේ දළු පටවන ලොරියයි. දරු උපතක් වැනි තත්ත්වයකදී නම් දළු ලොරියේ ප්‍රවාහනය කෙරෙන ගැබිනි මවගේ ඉරණම සිතාගත හැකිය. ඇතැම් වතු ආශ්‍රිත ගිලන්හල් තිබුණද ඒවා බොහෝ විට නිසි පරිදි ක්‍රියාත්මක වන්නේ නැත. සුදුසුකම් ලත් වෛද්‍යවරු ඒවාට නැත. ඖෂධ හිගය. බොහෝවිට එවැන්නක සේවය කරනුයේ පවුල් සෞඛ්‍ය සේවිකාවකි.

ඉහත කරුණු ඉස්මතු කිරීමෙන් බලාපොරොත්තු වුයේ වැටුප් ප්‍රශ්නයට අමතර තවත් බොහෝ ප්‍රශ්න වතු කම්කරු ජීවිත සමග බැඳී පවතින බව පෙන්වා දීමටය. එහෙත් ඔවුන්ගේ ඉල්ලීම වන්නේ රුපියල් දහසක දෛනික වැටුපකි. රුපියල් දහසක් යනු වර්තමානයේ කවර හෝ රැකියවකින් ඉපයිය හැකි මුදලකි. එනම් අතිශය සාධාරණ අවම වැටුපකි. ඒ සඳහා වසර ගණන් හෙට්ටු කරන්නේනම් කිව හැක්කේ කුමක් ද?

වතු වගාවන්හි ලාබදායිත්වය පිළිබද ගැටලුව මෙහිදි මුලික වන බව පෙනෙන්නට තිබේ. එසේ වුව මෙරට වැවිලි කර්මාන්තය සම්ප්‍රදායික රාමුවෙන් පිටතට නොයෑම පිළිබඳ ගැටලුවක් ද පවතී. විශේෂයෙන් නිෂ්පාදන විවිධාංගිකරණය වැනි සංකල්ප අපට තවමත් ආගන්තුකය.

ජ.න.ව.ස.ම සහ රාජ්‍ය වැවිලි සංස්ථාව බිහිවුණු මුල් අවදියේ එම රාමුවෙන් වතු වගාව යම් පමණකට බැහැර වීමේ ප්‍රවණතාවක් දක්නට ලැබුණි. නිදසුනක් වශයෙන් ජනතා වතු සංවර්ධන මණ්ඩලය යටතේ පාලනය වුණු පොල් වතු ආශ්‍රිත එළු කුකුළු ගව ඌරු ආදි සත්ත්ව පාලන ව්‍යපෘති සහ අතුරු භෝග වගාවන්ද ආරම්භ කෙරුණි.

ඒ ඔස්සේ අමතර රැකියා අවස්ථා ද ඇති විය. එසේම අමතර ආදායම් මාර්ගද වතු වගාවට පෑදිණ. එහෙත් පසු කලෙක වැවිලි කර්මාන්තය සමාගම් අතට පත්වෙද්දි පොල් ගසෙනුත් රබර් ගසෙනුත් පමණක් ලාබ උපයන්නට උත්සාහ දරන තත්ත්වයක් උද්ගත විය. දැන් ඔවුන් යොමු වී සිටින්නේ තේ පොල් රබර් ගලවා කටු පොල් වගාකරන තැනකටය. එවැනි වටාපිටාවක තවත් මෙවැනි විරෝධතා බලාපොරොත්තු විය යුතුය.

ඊළග කරුණ වන්නේ ඉහත උද්ඝෝෂණය හරහා මෙරට සාම්ප්‍රදායක වෘත්තිය සමිති සහ වෘත්තිය අරගල විදිහ ප්‍රශ්න කර තිබීමයි. වෘත්තිය අරගල මෙතෙක් පැවතියේ කම්කරු පන්තියේ සංවිධානාත්මක පිරිසක අත පවතින යතු‍රක් වශයෙනි. එහෙත් ඉහත සමාජ ජාලා වතු කම්කරු විරෝධය විසින් වෘත්තිය සටන් වඩා ලිහිල් තැනකට ගෙන ගොස් තිබේ.

ශ්‍රී ලංකාවේ උඩරට දෙමළ ජනතාවගේ ඉතිහාසය (History of the Upcountry Ttamils of Sri Lanke) කෘතියෙන් පෙන්වා දෙන්නේ, වෘත්තිය සමිති වලට අවසර දීමට ඉංග්‍රිසි පාලකයන් පෙළඹෙන්නේ අසංවිධිත කම්කරු සටන් සමග ගනු දෙනු කිරීම අසීරු බැවින් හා සංවිධානාත්මක වෘත්තිය සමිති සමග ගනුදෙනු පහසු වන නිසාය.

හුදු ආවේග මත සංවිධානය වු පිරිසකගේ ඉරණම ෆේස් බුක් වතු කම්කරු සටනේදී කැපි පෙනුණි. ඒ බලධාරින් සමග සාකච්ඡා කරන්නට සංවිධායකයින් නොමැති වීමෙනි.

අනෙක් අතින් එකී උද්ඝෝෂණය විසින් මෙරට පවතින වෘත්තිය සමිති යාන්ත්‍රණය යම්ආකාරයකට ප්‍රශ්න කිරීමට ලක්කර ඇති බවද පෙනේ.

කාලයක් තිස්සේ සංවිධානය කෙරෙන කම්කරු අරගල වෙනුවට එස්.එම්.එස්. අරගලයක් එයින් එළි දුටු ‍බැවිනි. එවැනි සටන් තවදුරටත් ව්‍යාප්ත වන්නේ නම්, ඒවා සන්සිදුවීමත්, පාලනය කිරීමත් අසීරු වනු ඇත. එවැනි හිටිවන සටන් රටේ ආර්ථිකයට ද යහපත් වන්නේ නැත.

ක්ලෝඩියා ජෙගනාදන්

 

Similar Posts

Leave a Reply

Your email address will not be published. Required fields are marked *