තෙල් බේත් දේශපාලනය – සම්පත් රණසිංහ
සැප්තැම්බර් 10 දා මධ්‍යම රාත්‍රියේ සිට ඉන්ධන මිල යළිත් ඉහළ නංවා ඇත. ඒ අනුව ඔටෝ ඩීසල් ලීටරයක මිල රුපියල් 05කින් ඉහළ නංවා ඇති අතර මේ වන විට ඔටෝ ඩිසල් ලීටරයක නව මිල රුපියල් 123කි. සුපර් ඩිසල් ලීටරයක මිල රුපියල් 03කින් ඉහළ නංවා එම ඩීසල් ලීටරයක නව මිල රුපියල් 133 බවට පත්ව තිබේ. පෙට්ට්‍රල් මිල සම්බන්ධයෙන් ගත් කළ, ඔක්ටේන් 92 සහ 95 ඉන්ධන රුපියල් 04 කින් ඉහළ නැංවු අතර දැන් නව මිල ඔක්ටේන් 92 ලීටරය රුපියල් 149 ක් හා ඔක්ටේන් 95 ලීටරයක මිල රුපියල් 161 ක් වශයෙන් පවතී.
ඉන්ධන මිල මෙසේ ඉහළ නංවනු ලැබුණේ සති කිහිපයක් ඇතුළත තුන්වන අවස්ථාවට වීම කැපී පෙනෙන්නේ යහපාලන ආණ්ඩුව බලයට පත්වී ඉදිරිපත් කළ පළමු ඇයවැයෙන් ඉන්ධන ගෑස් ඇතුළු අත්‍යාවශ්‍ය භාණ්ඩ රැසක මිල සැලකිය යුතු ප්‍රමාණයකින් පහළ හෙළූ බව පිළිගත යුතුය. ඒ සියලුම භාණ්ඩවල මිල යහපාලන ආණ්ඩුව විසින් අඩු කරන්නට යෙදුණේ රාජ්‍ය සේවකයනට රුපියල් 10000ක වැටුප් වැඩීවීමක් ද ලබා දෙන අතර බව ද අමතක කළ යුතුද නැත.
කෙසේ වුව, යහපාලන ආණ්ඩුව සිය පළමු අයවැයෙන් කළ ඉන්ධන මිල අඩුකිරීමේ වාසිය ඍජුව ඉන්ධන පාරිභෝජනය කරන වාහන හිමියන්, වෙළෙන්දන් වැන්නන්ට මිස පොදු ජනතාවට ලැබුණේද යන්න ගැටලුවකි. නිදසුනක් ලෙස එකී ඉන්දන මිල අඩුකිරීමට සාපේක්ෂව ප්‍රවාහන ගාස්තු අඩුකරන්නට බස්රථ හිමියන් හෝ ත්‍රිරෝද රථ, ලොරි රථ, පාසල් වෑන් රථ හිමිකරුවන් කිසිවකු කටයුතු කළේ නැත. ඒ මොහොතේ ඔවුන් කියන්නට යෙදුණේ, ඉන්ධන මිල පහළ ගියද වාහන අමතර කොටස්, ටයර්, ලිහිසිතෙල් ආදියෙහි මිල පහත නොවැටුණු බැවින් ප්‍රවාහන ගාස්තු පහත හෙළිය නොහැකිය කියාය.
යහපාලන ආණ්ඩුවේ පළමු අයවැයෙන් සිදු කළ ඉන්ධන ඇතුළු අත්‍යාවශ්‍ය භාන්ඩ රැසක මිල අඩුකිරීම සැලකිය හැක්කේ මැතිවරණ පොරොන්දුවක් ඉටුකිරීමක් වශයෙනි. එමෙන්ම යහපාලන ආණ්ඩුව ඊළඟ මැතිවරණයට සූදානම් වීම සඳහා ජනතාවගේ හිත දිනාගැනීමට කළ උපායක් වශයෙන් ද එම මිල අඩුකිරීම සැලකිය හැකිය.
2015 මැතිවරණයේ දී ආණ්ඩුව බඩු මිල අඩුකිරීමට පොරොන්දුවක් දුන්නේ ද මැතිවරණයේදී වාසි සලසාගැනීමේ අරමුණෙන් බව සිතන්නට පුළුවන. එහෙත් යහපාලන කණ්ඩායමෙන් මෙරට ජනතාව බලාපොරොත්තු වුයේ හුදු බඩු මිල පහත හෙළීම වැනි ජනප්‍රිය ක්‍රියාමාර්ග නොවේ. ඒ වෙනුවට ඔවුන් අලුත් ආණ්ඩුවක් පත්කර ගැනීම ඔස්සේ බලාපොරොත්තු වූයේ, පැවති මර්දනකාරී, ඒකාධිපති වියරුව වෙනුවට නිදහසේ හුස්මගත හැකි වටපිටාවක්, ප්රජාතන්ත්රවාදය තහවුරු වීමත් ආදියය. බඩු මිල පහළ හෙළීමට ආණ්ඩුව මැතිවරණයට පෙර දුන් පොරොන්දුව නොතිබුණි නම් කිසිවකු ජීවන විය දම පහත හෙළුවේ නැතැයි යන චෝදනාවක් ආණ්ඩුවට එරෙහිව එල්ල කරනු ඇතැයි උපකල්පනය කරන්නට ද හැකියාවක් නැත.
යහපාලන ආණ්ඩුව බලයට පත්වන විට රට මුහුණ දී තිබුණු ආර්ථික පරිහානියේ තරම අනුව, බඩු මිල පහත හෙළීම, රාජ්‍ය සේවකයන්ගේ වැටුප් වැඩි කිරීම, වැනි ජනප්‍රියවාදී පියවරකට යාමේ හැකියාවක් ද තිබුණේ නැත. පැවති ආර්ථික තත්ත්වය මත යහපාලන ආණ්ඩුව බලයට පත් වුවද වැටුප් වැඩිකිරීම, බඩු මිල අඩු කිරීම වැනි ක්‍රියාමාර්ග ගන්නේ කෙසේද යන වග පවා මැතිවරණයට පෙර ඇතැමුන් ප්‍රශ්න කළේද එකී හේතුව නිසාය.
ආණ්ඩුව මුල් වතාවේ ඉන්ධන මිල අඩු කළේ, කළ හැකි නිසා නොව කළ යුතු ව තිබූ නිසා බව ඒ අනුව කල්පනා කළ හැකිය. එසේම එකී ජනප්‍රිය තීරණය ක්‍රියාවට නැඟීම හේතුවෙන් ආණ්ඩුව තමන්ට මුහුණදීමට තිබුණු ආර්ථික දුෂ්කරතා තවත් ඉහළ නංවා ගත්තායැයි කියන්නට පුළුවන.
එසේ තිබිය දීත් ආණ්ඩුව මුල්වරට ඉන්ධන මිල ඉහළ නැංවූ අවස්ථාවේ ඊට එරෙහිව විරෝධතා රැල්ලක් පැනනැගිණි. ධීවර උද්ඝෝෂණය එහි දී ඉහළින්ම කැපී පෙනුණි. එකී විරෝධතාව පිටුපස සිටියේ ආණ්ඩුව අපහසුතාවටත්, අපකීර්තියටත් ලක්කිරීමේ අපේක්ෂාවෙන් පෙළුණු ඒකාබද්ධ විපක්ෂය ඇතුළු ආණ්ඩු විරෝධී කණ්ඩියම් බව ද පිළිගත යුතුය.
රාජපක්ෂ පාලන සමයේ ඔටෝ ඩීසල් ලීටරයක මිල පැවතියේ රුපියල් 111ක් වශයෙනි. ඒ සමයේ සුපර් ඩීසල් ලීටරයක මිල රුපියල් 133ක් වූ අතර ඔක්ටේන් 92 පෙට්ට්‍රල් ලීටරයක මිල රුපියල් 157ක් ද ඔක්ටේන් 95 පෙට්ට්‍රල් ලීටරයක මිල රුපියල් 158 වශයෙන් තිබිය දී කිසිදු කලබලයකින් විරෝධයකින් තොරව සිටි ජනතාව, වසර තුනකට පසුව, එක්ටේන් 92 පෙට්ට්‍රල් ලීටරයක මිල රුපියල් 137, ඔක්ටේන් 95 පෙට්ට්‍රල් ලීටරයක් රුපියල් 148, ඔටෝ ඩීසල් ලිටරය රුපියල් 109 සුපර් ඩීසල් ලීටරයක මිල රුපියල් 119 වශයෙන් වැඩි කළ කල්හි සහ තවමත් රාජපක්ෂ යුගයට වඩා ඒ සියලු ඉන්ධන වර්ගවල මිල අඩුවෙන් පවතිද්දී පාරවල් හරස් කරමින් උද්ඝෝෂණ කළහ. එහි දී හඬ ජනතාවගේ වුව ද ඒ හඬ මෙහෙය වූ අත් තිබුණේ ඒකාබද්ධ විපක්ෂයේ ය.
එහෙත් මෙවර ඉන්ධන මිල ඉහළ යාමත් සමඟ රාජපක්ෂ සමයේ රුපියල් 111 වශයෙන් පැවති ඔටෝ ඩීසල් ලීටරයක මිල රුපියල් 123 දක්වා ද එකල රුපියල් 133 වශයෙන් පැවති සුපර් ඩීසල් ලීටරයක මිල රුපියල් 133 දක්වා ද වැඩි වී ඇත. එසේම, එකල ලීටරයක මිල රුපියල් 157ක් ව පැවති ඔක්ටේන් 92 පෙට්ට්‍රල් ලීටරයක මිල අද 149කි. එකල රුපියල් 158ක් වූ ඔක්ටේන් 95 ලීටරය අද රුපියල් 161කි. එසේ හෙයින් මෙවර ඉන්ධන මිල හරහා ආණ්ඩු විරෝධය අවුලන්නට බලාපොරොත්තුවෙන් හා නොඉවසිල්ලෙන් සිටි ඒකාබද්ධය ඇතුළු පිරිසට ඒ සඳහා හොඳ පසුබිමක් සැකසී ඇතැයි සිතන්නට පුළුවන. බස් ගාස්තු10%කින් නැංවීමට බස් හිමියන් කරන ඉල්ලීම එහි ඇරඹුම විය හැකිය.
යහපාළනය තම පළමු අය වැයෙන් ඉන්දන මිල අඩුනොකළේ නම් මේ වන තුරුත් රාජපක්ෂ ආණ්ඩුව සමයේ තිබුණු මට්ටමේම ඉන්ධන මිල පවත්වාගෙන යාමට ආණ්ඩුවට හැකියාව ලැබෙනු ඇත. එපමණක් නොව ඉන්දන මිල අඩුකිරීම හේතුවෙන් ආණ්ඩුවටත් ඛනිජතෙල් සංස්ථාවටත් දරන්නට සිදු වූ පිරිවැය දරන්නට සිදු නොවීම හේතුවෙන් ආර්ථික ශක්තිය ද ඉහළ නංවා ගැනීමේ හැකියාව ලැබෙනු ඇත.
මෙරට අත්‍යාවශ්‍ය භාණ්ඩ රැසකම මිල තවමත් පවතින්නේ රාජපක්ෂ යුගයේ පැවති මිලට වඩා අඩු මට්ටමකය. එහෙත් ජනතාවට ඒ පිළිබඳ මතක නැත. ඒකාබද්ධය ජීවන මිල ගැන කතා කරනවා පමණි. ජනතාවට ලැබුණු සහන ඔවුන්ට අදාළම නැත.
ඖෂධ සම්බන්ධයෙන් වත්මන් ආණ්ඩුව කළ මිල අඩුකිරීම් ද ඉතිහාසයේ කවර කලෙකවත් නොතිබූ තරමේ එකකි. හෘද රෝග, දියවැඩියාව, පිළිකා ආදී රෝග සඳහා නිතර අවශ්‍ය වන එමෙන්ම මෙතෙක් අධික මිල මට්ටම් වල පැවති අත්‍යාවශ්‍ය ඖෂධ රැසක මිල වත්මන් ආණ්ඩුව විසින් සැලකිය යුතු ප්‍රමාණවලින් අඩුකර තිබේ. එසේම අක්ෂිකාච නොමිලයේ ලබා දීම, හෘද සැත්කම් සඳහා ස්ටෙන් ලබාදීම ආදියද ඒ අතර තිබේ.
ගටලුව වන්නේ ඖෂධ ඉන්දන වලට සාපේක්ෂව එදිනෙදා ජීවිතයට කරන බලපෑම අඩු වීමය. එනම් ඖෂධ අඩු මිලට ගන්නා රෝගියාට වුව ද ඉන්ධන මිල ඉහළ යාම වැඩියෙන් පසුම්බියට දැනේ. හේතුව ඉන්ධන මිලත් සමග තවත් බොහෝ දේ හි මිල ගැටගැසෙන බැවිනි. ඔසු මිල වැඩිය කියා රෝගීන් පාරට බැස්සවීමට වඩා තෙල් මිල වැඩියි කියා ධීවරයන් පාරට බැස්සවීම පහසුය. රජයේ අඩු කළ මිලට හෘද රෝග හෝ දියාවැඩියා ඖෂධ ලබා ගන්නා තැනැත්තන් ද එසේ පාරට බහින ධීවරයන් අතර සිටිනවා විය හැකිය. අණ්ඩුව ගනු ලබන ක්‍රියාමාර්ග වල දී වඩාත් කල්පනා කාරි විය යුත්තේ එහෙයිනි.
සම්පත් රණසිංහ
