දේශපාලන වතගොත

නිලමෙහෙවර වැඩසටහන මගින් රජය මහජනයා ළඟට ගොස් ප්‍රශ්න විසඳීමට ක්‍රියාකිරීම ගැන ජනාධිපතිතුමාත්, අගමැතිතුමාත් වජිර අබේවර්ධන ඇමැතිවරයා හමුවූ හැම අවස්ථාවකම එතුමාට ප්‍රශංසා කළා. මෙම වැඩසටහන ඉදිරිකාලයේ රට පුරා ක්‍රියාත්මක කිරීමට ජනාධිපතිතුමා උපදෙස් දී තිබෙනවා.

ජාතික රජයේ සංවර්ධන ව්‍යාපෘති රැසක් ආරම්භ වන මේ වසර රජයට ඉතාමත් කාර්යබහුල වසරක් වන බව අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා ප්‍රකාශ කළේ වසර ආරම්භයත් සමගමයි.

හම්බන්තොට ආර්ථික පුරවරය ආරම්භ කිරීම රටේ දැවැන්ත සංවර්ධන ක්‍රියාදාමයේ ඉතා වැදගත් කේන්ද්‍රස්ථානයක්. පසුගිය 07 දා අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතාගේ ප්‍රධානත්වයෙන් ආර්ථික පුරවරයේ සමාරම්භය සනිටුහන් කිරීමට නියමිතව තිබුණු අතර කඩාකප්පල්කාරී පිරිසක් උද්ඝෝෂණය කිරීමට සුදානමක් පවතින බව බුද්ධි අංශවලට වාර්තා වී තිබුණා. ඒ අනුව පොලිසිය වාරණ නියෝගයක් ගත් අතර 06 දා දකුණු ලකට ගිය අගමැති වික්‍රමසිංහ මහතා අම්බලන්තොට වලව ජයවර්ධනාරාමයට ගොස් තිස්සමහාරාම රජමහා විහාරාධිපති දේවාලගම ධම්ම සේන හිමියන් ප්‍රමුඛ මහා සංඝරත්නය හමුවී හම්බන්තොට ආර්ථික පුරවරයේ සැබෑ තොරතුරු දන්වා සිටියා. මහින්ද රාජපක්ෂ මහතාගේ වැඩිමහල් සොහොයුරු හිටපු කතානායක චමල් රාජපක්ෂ මහතාද මේ අවස්ථාවට සහභාගි වීම විශේෂත්වයක්.

පසුවදා අග්‍රාමාත්‍ය වික්‍රමසිංහ මහතා හම්බන්තොට සමාරම්භක උත්සවයට සහභාගි වන අවස්ථාවේදී උද්ඝෝෂකයෝ කලහකාරී ලෙස හැසිරෙමින් ඝෝෂා කළේ අපේ ඉඩම් පවරා නොගව් සටන් පාඨය බවට පත් කර ගනිමින්. මේ පිරිස පිටුපස උසි ගන්වන කණ්ඩායමක් සිටින බව පෙනී ගියේ හම්බන්තොට ආර්ථික කලාපයට පවරා ගන්නා ඉඩම් අක්කර 1235 න් සියයට 95ක්ම රජයේ ප්‍රයෝජනයට නොගන්නා මුඩු ඉඩම් බව අගමැති වික්‍රමසිංහ මහතා තහවුරු කර තිබියදීත් සිය බූදලයම අහිමි වන අයුරින් එම පිරිස හැසිරුණු ආකාරය දෙස බලද්දීය.

හම්බන්තොට උද්ඝෝෂකයින් එසේ කෑ ගැසුවත් චමල් රාජපක්ෂ මහතා 09 දා පාර්ලිමේන්තුව අමතමින් කියා සිටියේ හම්බන්තොට ඇතුළු ආසන්න ප්‍රදේශවල සංවර්ධනය සඳහා කර්මාන්ත ශාලා ඇති විය යුතු බවයි. හම්බන්තොටට ආර්ථික පුරවරය එපා නම් පොලොන්නරුව දිස්ත්‍රික්කයට එය ලබා දෙන්නැයි ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතා අගමැති වික්‍රමසිංහ මහතාගෙන් ඉල්ලා සිටියේ බණ්ඩාරනායක සම්මන්ත්‍රණ ශාලාවේ පැවති තිරසර යුගයක ඇරඹුම උත්සවයේදී දෙනෝ දාහක් ඉදිරිපිටදිය.

මොරගහ කන්ද ජලාශයේ දියවර රැඳවුම් මංගල්‍ය යෙදී තිබුණේ පසුගිය 11දා උදෑසන 9.27ට යෙදුණූ සුබ මොහොතේ.

ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා උත්සව කටයුත්ත සඳහා පැමිණියේ එදින උදෑසනයි. ඒ වන විටද උදෑසන ආහාරය නොගෙන සිටි ජනාධිපතිවරයා ආහාර ලබා ගැනීම සඳහා අසල පිහිටි මහවැලි සංචාරක නිකේතනය වෙත ළඟා වුණා.

එහි කාර්ය මණ්ඩලය ආහාර ලබා දීම සදහා වහ වහා අවශ්‍ය කටයුතු සූදානම් කළා.

භෝජනාගාරය වෙත පැමිණි ජනාධිපතිවරයා ආහාර ගැනීමට අසුන්ගන්නවාත් සමඟම ආරක්ෂක නිලධාරීයෙක් පැමිණ ජනාධිපතිවරයා අසලින් ගමන් බෑගය තැබුවා. අසල සිටි කවුරුත් විමතියෙන් බලා සිටියදී ජනාධිපතිවරයා බෑගයෙන් කෙසෙල් කොළයක ඔතන ලද බත් පාර්සලයක් එළියට ගත්තා.

සිදු වන්නේ කුමක්දැයි යන්න තේරුම් ගත නොහැකිව අසල සිටි පිරිස පුදුමයෙන් බලා සිටියදී ජනාධිපතිරයාගේ මුවෙන් පිටවුණේමෙවැනි අදහසක්.

“මොන රස මසවුළු ලැබුණත් ගෙදර හදන කෑම වේල වගේ මට මොනවත් රස නැතැයි“ අසලින් සිටි දුමින්ද දිසානායක මහතා සමඟ පැවසූ ජනාධිපතිතුමා “මේ කෑම හදන්නේ මගේ බිරිදයි. මොන තනතුර දැරුවත් මා තවමත් ඇයට ඒ වැඩ කටයුතුවලට උදව් කරනවා යැයි පැවසුවේ සිනා මුසුවයි.

එය ඇසූ සියලු දෙනාට එය ප්‍රිය උපදවන කතාවක් බව ඔවුන්ගේ මුහුණූවලින් දිස් වුණා…

මොරගහ කන්ද උත්සවයේ කටයුතු නිමා වීමත් සමඟින් පැමිණ සිටි විවිධ පිරිස් අවට විසිතුරු නරඹමින් ඡායාරූප ගනිමින් විනෝද වුණා.

ඒ අතර සිටි තරුණ පිරිසක් සෙල්ෆි ඡායරූපයක් ගැනීමට දුමින්ද දිසානායක ඇමැතිවරයාට ආරාධනා කළා. සිනහමුසු මුහුණින් එම ආරාධනාව පිළිගත් ඇමැතිවරයා ඡායාරූප ගැනීමෙන් පසුව එම තරුණයන් අමතා පැවසුවේ අපූර්ව කතාවක්. රටේ සිටින බහුතර බුද්ධිමතුන් සහ තරුණ පිරිස් යහපාලන රජයේ සැබෑ වෙනස ඉදිරියේ එහි නියම ළුල ලබා ගනිමින් සතුටින් සිටින බවත් එම වෙනස ළුල ලබා ගත නොහැකි සුළු පිරිසක් උත්ඝෝෂණ කරමින් ආණ්ඩුවට බැණ වදිමින් මංමාවත්වල දුක් විදින බවත් ඇමැතිවරයා කීවා.

සජීත් ප්‍රේමදාස අමාත්‍යවරයාගේ 50 වැනි උපන් දිනය යෙදී තිබුණේ 12 වැනි බ්‍රහස්පතින්දා ඒ වෙනුවෙන් විශේෂ සමාජ සත්කාරක වැඩසටහන් ගණනාවක්ම සංවිධානය වී තිබුණා. ප්‍රධාන වැඩසටහන වූයේ රනිල් වික්‍රමසිංහ අග්‍රාමාත්‍යවරයා අතින් වීරවිල, තුරුසෙවණ ‘ගජසමරගම’ ජනතා අයිතියට පැවරීමේ උත්සවයයි. අගමැතිවරයා සජිත්ට සුබ පතමින් කිවේ’ඔයාගේ උපන් දිනයට සුබ පතනවා වගේම මේ සමාජ සත්කාරක වැඩසටහන් ගැනත් මගේ සතුට පළ කරනවා. තව තවත් ජනතාවට සේවය කිරීමට ඔයාට ශක්තිය ධෛර්යය ලැබේවා කියලා මම ප්‍රාර්ථනා කරනවා’ කියාය. සජිත් පිළිතුරු දෙමින් කිවේ ‘ නිවාස 70කින් සමන්විත මේ ගම විවෘත කරන්නේ මගේ උපන් දිනය නිසාම නෙවෙයි සර්. එක්සත් ජාතික පක්ෂයට වසර 70ක් සපිරීම සංකේතවත් කරන්නත් එක්කයි’ කියාය.

අලුයම සිට උපන් දිනයට සුභ පතමින් වැල නොකැඩි දුරකථන සහ එස්. එම්.එස්. පණිවුඩ ලැබීම නිසා සජිත් මදක් ව්‍යාකූලතාවයට පත්ව සිටියා. වෙනදා මෙන් ඒ සියල්ලට ප්‍රතිචාර දක්වන්නට කාලයක් නොවූයේ පෙරවරුවේ අගමැතිවරයා සහභාගී වන විශේෂ උත්සවයේ වැඩකටයුතු ගැන සොයා බැලීමට සිදුවී තිබුණු නිසාය. කෙසේ හෝ සජිත් දුරකථනයට සම්බන්ධ කර ගත් අශෝක් අබේසිංහ නියෝජ්‍ය ඇමැතිවරයා ඇසුවේ ‘මේ අවුරුද්දේවත් පාටියක් දානවද?” කියායි. ‘මොන පාටිද, මෙහේ ඇවිත් බලන්නකෝ අද අපි කරන සමාජ සත්කාරක සේවාවන් දිහා ‘සජිත්ගේ පිළිතුර වුණා. රුපියල් ලක්ෂ 5ක වියදමින් තිස්සමහාරාම රජමහා විහාරස්ථානය සහ සීමා මාලකය පින්තාරු කිරීමටත්, අම්බලන්තොට රජමහා විහාරයේ දුරුතු පෝය මංගල්‍යයයේ අලි-ඇතුන් සඳහා රුපියල් 140,000/-ක්, විදුලිය සඳහා රුපියල් 214,523/-ක් හා පෞද්ගලිකව රුපියල් 500,000/-ක මුදල් පරිත්‍යාගයක් ඇතුළුව 845,535/-ක පිරිවැයක් දැරුණේ මේ සත්කාරක වැඩසටන් යටතේයි.

ස්වදේශ කටයුතු ඇමැති වජිර අබේවර්ධන මහතා මේ දිනවල සිටින්නේ කාර්ය බහුල තත්ත්වයකය. පසුගිය මාස තුනක් තිස්සේ ගාලු දිස්ත්‍රික්කයේ ක්‍රියාත්මක කළ ‘නිල මෙනුවර’ ජංගම සේවයේ අවසන් අදියරේ වැඩකටයුතු මෙහෙයැවීමේ යෙදී සිටීම එයට හේතුවයි. එහි අවසන් උත්සවය සෙනසුරාදා ලබුදූවේ සිරිධම්ම මහ විදුහලේදී පැවැත්වෙන්නේ ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාගේ හා අගමැති රනිල් වික්‍රමසිංහ මහතාගේ ප්‍රධානත්වයෙන්.

ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාගේ ප්‍රධානත්වයෙන් සැප්තැම්බර් මාසයේදී ආරම්භ කළ නිල මෙහෙවර වැඩ සටහනේ ප්‍රධාන කාර්යය වූයේ මහජනයා ළගට ගොස් ඔවුන්ගේ ප්‍රශ්න විසඳා දීමයි. එයට මුල් අවස්ථාවේදීම ජනතා ප්‍රශ්න දෙලක්ෂ හතලිස් නව දහසක් ලැබී තිබුණා. එයින් ප්‍රශ්න එක්ලක්ෂ පනස්දාහකට පමණ මේ වන විට විසඳුම් ලබාදී තිබෙනවා.

දිස්ත්‍රික්කයේ ප්‍රාදේශීය ලේකම් කොට්ඨාස විසි එකේ ජංගම සේවා පැවැත්වූයේ ප්‍රදේශයේ මැති ඇමැතිවරුන්ගේ හා රාජ්‍ය නිලධාරීන්ගේ සහභාගීත්වයෙන්. එම නිල මෙහෙවර ජංගම සේවයට මහජනයා ඉදිරිපත් කළ ප්‍රශ්න සංඛ්‍යාව එක්ලක්ෂ තිස් හතර දහසක්. එයින්අසූපන් දහසකට විසඳුම් දීමට ජංගම සේවාවලදී කටයුතු කොට තිබෙනවා. ඉතිරි ප්‍රශ්නවලට විසඳුම් ලබාදීම සෙනසුරාදා පැවැත්වෙන නිල මෙහෙවර අවසන් වැඩසටහනේදී සිදුකරන්නට නියමිතයි.

වජිර අබේවර්ධනඇමැතිවරයා ගාල්ලේ ක්‍රියාත්මක කළ නිලමෙහෙවර වැඩසටහන මගින් රජය මහජනයා ළඟට ගොස් ප්‍රශ්න විසඳීමට ක්‍රියාකිරීම ගැන ජනාධිපතිතුමාත්, අගමැතිතුමාත් ඇමැතිවරයා හමුවූ හැම අවස්ථාවකම එතුමාට ප්‍රශංසා කළා. මෙම වැඩසටහන ඉදිරිකාලයේ රට පුරා ක්‍රියාත්මක කිරීමට ජනාධිපතිතුමා උපදෙස් දී තිබෙනවා.

පළාත් පාලන මැතිවරණය කල්යෑම පිළිබඳවත් සීමා නීර්ණ කමිටුවේ වාර්තාව පිළිබඳවත් මේ දිනවල උණුසුම් සංවාද විවාද පැවැත්වෙමින් තිබෙනවා. මේ අතර පසුගිය සඳුදා දිනයේදී පළාත් පාලන මැතිවරණය පිළිබඳව පාර්ලිමේන්තුවේදී විශේෂ සාකච්ඡාවක් පැවැත්වුණා අගමැති රනිල් වික්‍රමසිංහ, ආර්. සම්බන්දන්, අනුර දිසානායක, දිනේෂ් ගුණවර්ධන, නිමල් සිරිපාලද සිල්වා, රිෂාද් බදුර්දීන්, රාහුෆ් හකීම්, ෆයිසර් මුස්තාපා ඇතුළු පක්ෂ නියෝජිතයින්ද සීමා නීර්ණ කමිටුවේ සභාපති අශෝක පීරිස් මහතා ඇතුළු කමිටු නියෝජිතයින්ද මේ අවස්ථාවට සහභාගි වී සිටියා. මෙහිදී විශේෂයෙන් කතාබහට ලක්වුණේ පළාත් පාලන මැතිවරණ ක්‍රමයේ ඇති විකෘති තත්වය පිළිබඳවයි. ”මේ හදලා තිබෙන කොට්ඨාශ නීර්ණය මගින් සුළු ජාතික පක්ෂවලට අසාධාරණයක් වෙනවා.” රාහුෆ් හකීම්, රිෂාද් බදුර්දීන් යන ඇමතිවරුන් පෙන්වා දුන්නා. ”ඔව්, මේ ක‍්‍රමය ද්වි පක්ෂ ක්‍රමයකට මග පාදන ක්‍රමයක්. කුමන හෝ ඡන්ද ක්‍රමයකින් පක්ෂයක් දේශපාලනයෙන් පිටමන් කරන්න දෙන්න බැහැ. ඡන්දයකින් ජනතාව ප්‍රතික්ෂේප කළොත් ඒක පිළිගන්න පුළුවන්. මේ හදලා තියෙන ඡන්ද ක්‍රමය විශාල විකෘතියක්. පහුගිය පාලනය කාලේ ශ්‍රීලනිප ඇමැතිලගේ ගෙවල්වල, සංවිධායකයින්ගේ ගෙවල්වල හදපු කොට්ඨාස නීර්ණ ක්‍රමයක්. ඒ නිසා මේකට ඡන්දය තියන්න බැහැ. පනතක් ගෙනත් මේ ඡන්දය විතරක් පැරැණි ක්‍රමයට තියමු.” අනුර දිසානායක යෝජනා කළා.

”අපිට නැවතත් පැරැණි ක්‍රමයට යන්න පුළුවන්කමක් නැහැ. අපි වැඩ කරන්නේ ජනවරමට අනුවයි.” නිමල් සිරිපාල කියා සිටියේය. ”ඔබතුමාලට කොහෙන්ද ජනවරමක් තියෙන්නේ. ජනතාවගේ කැමැත්ත නිවැරැදි ලෙස ඡන්දයකින් ප්‍රකාශයට පත්වෙන්නේ නැත්නම් ඒක කොහොමද සාධාරණ මැතිවරණ ක්‍රමයක් වෙන්නේ. බැසිල්ගේ අමාත්‍යංශයේ හදලා මේක පාර්ලිමේන්තුවට දැම්මා. ඒ වෙලාවේ පළාත් පාලන ඇමතිටත් මේ ගැන අවබෝධයක් තිබුණේ නැහැ. අලූත් ක්‍රමයට කැමති කවුරු හරි පුළුවන්නම් පැහැදිලි කරනවද මන්ත්‍රීවරයෙක් පත්වෙන්නේ කොහොමද කියලා” අනුර දිසානායක ඉතා උණුසුම් වාදවිවාද මැද අනෙක් මන්ත්‍රීවරුන්ට අභියෝගයක් කළා. එහෙත් නව මැතිවරණ ක්‍රමය වෙනුවෙන් පෙනී සිටි කිසිම මන්ත්‍රීවරයෙකුට එය පැහැදිලි කරන්නට ඉදිරිපත් වුෙණ් නැහැ. ”මහින්ද රාජපක්ෂලා කැමතියි කියලා හරි අකමැතියි කියලා ඡන්ද ක්‍රමය මොකක්ද කියලා තීරණය කරන්න බැහැ. ඔබතුමාලාගේ පක්ෂය කැඩෙන එක මැතිවරණ ක්‍රමයකින් නතර කරන්න හදන්න එපා. ඒක කරන්න පුළුවන් දෙයක් නෙවෙයි. මැතිවරණ කොමිසමේ සභාපතිවරයාම කියනවා මේ නව මැතිවරණ ක්‍රමයට ඡන්දය තියන්න නම් සංශෝධන 58ක් කළ යුතුයි කියලා. සංශෝධන 58ක් කරනවා කියන්නේ එතන පනතක් නැහැ කියන එකයි. කලින් බැසිල්ගේ ක්‍රමයට මැතිවරණ ක්‍රමය ගෙනාවා. දැන් ෆයිසර්ගේ ක්‍රමයට මැතිවරණ ක්‍රමය ගේන්න හදනවා.” අනුර දිසානායක කීවා. කෙසේ වෙතත් අවසානයේදී පක්ෂ නායකයින්ගේ රැස්වීම අවසන් වූයේ සීමා නීර්ණ කොමිසමේ වාර්තාවට අනුව සීමා නීර්ණයන් ගැසට් කිරීමට සහ ඉන්පසුව නැවතත් මැතිවරණ ක්‍රමය ගැන සාකච්ඡා කිරීමට තීරණය කරමින්.

මහ බැංකු බැඳුම්කර කෝප් කමිටු වාර්තාව පිළිබඳව පාර්ලිමේන්තුවේ කල් තැබීමේ විවාදයක් පැවැත්විය යුතු බවට ජනතා විමුක්ති පෙරමුණ කතානායකවරයාගෙන් ඉල්ලීමක් කළා. ඒ අනුව ලබන 24වෙනිදා පැවැත්වෙන පාර්ලිමේන්තු සභාවාරයේදී විවාදය පැවැත්වීමට තීරණය වුණා. ”කෝප් වාර්තාව ඉදිරිපත් කරලා දැන් මාස ගානක් වෙනවා. නමුත් ඒ ගැන කිසිම ක්‍රියාමාර්ගයක් ගන්න ආණ්ඩුව කටයුතු කරලා නැහැ. අඩුම තරමේ මහ බැංකුව ප්‍රාථමික ගැනුම්කරුවන්ගේ ලැයිස්තුවෙන් පර්පර්චුවල් සමාගම ඉවත් කරලා නැහැ. අගමැතිවරයාට ඕන විදියට තමයි ක්‍රියාමාර්ග ගන්නේ” සුනිල් හඳුන්නෙත්ති කීවාය. ”ඔව්, හිටපු මහබැංකු අධිපතිවරයා ආණ්ඩුවේ තනතුරුවල තවමත් ඉන්නවා. වත්මන් මහබැංකු අධිපතිවරයාත් හිරවෙලා ඉන්නේ. වංචාවට එරෙහිව ක්‍රියාමාර්ග ගන්න ඔහුටත් පුළුවන්කමක් නැහැ. දැන් ආණ්ඩුවේ සමහර එජාප ඇමතිවරු වත්මන් මහබැංකු අධිපතිවරයාත් විවේචනය කරන්න පටන් අරගෙන. ඒකෙන් තේරෙනවා ආණ්ඩුවේ එජාප ඇමතිවරු කොයිතරම් හිටපු මහබැංකු අධිපතිවරයා රකිනවද කියලා.” විජිත හේරත් කීවා.

දෙමළ ජාතික සන්ධානයේ මධ්‍යම කාරක සභාවේ විශේෂ රැස්වීමක් පසුගිය සිකුරාදා සවස පැවැතියේ පක්ෂ නායක ආර්. සම්බන්ධන් මහතාගේ ප්‍රධානත්වයෙනි. එහිදී සාකච්ඡා වූයේ දැනට කෙරීගෙන යන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධන ක්‍රියාවලිය හා එමගින් දෙමළ ජනතාවගේ ප්‍රශ්නවලට විසඳුම් ලබාගැනීමේ හැකියාව පිළිබඳවයි. එහිදී දැඩි මතධාරී සුරේෂ් ප්‍රේමචන්ද්‍රන් මහතාගේ කණ්ඩායම කරුණු දැක්වූයේ වත්මන් ව්‍යවස්ථා සංශෝධන ක්‍රියාවලියෙන් දෙමළ ජනතාවගේ ප්‍රශ්නවලට විසඳුම් නොලැබෙන බවටයි. විසඳුම් ලබාගැනීමට බලපෑම් කිරීමේ ක්‍රියාමාර්ගවලට යා යුතුය යනු එම කණ්ඩායමේ අදහසයි.

කෙසේ වෙතත් ආර්. සම්බන්ධන් මහතා ඇතුළු බහුතරයේ මතය වූයේ ව්‍යවස්ථා සම්පාදන ක්‍රියාවලියේ අඩුපාඩු ඇතත් එයට සහය දී ප්‍රධාන පක්ෂ සමඟ සම්මුතියකින් දෙමළ ජනයාගේ ප්‍රශ්න විසඳාගත යුතු බවටයි. ඒ අනුව ව්‍යවස්ථා සභාවේ අනුකමිටු මගින් දැනට ඉදිරිපත්කොට ඇති යෝජනා පිළිබඳව සෑහීමට පත්වන බවටත් නව ව්‍යවස්ථා සංශෝධනයට දිග‍ටම සහය දිය යුතු බවටත් පක්ෂයේ ස්ථාවරය විය යුතු බවට යෝජනා සම්මත කරගනු ලැබුවා.

දෙමළ ජාතික සන්ධානයේ පාර්ලිමේන්තු කණ්ඩායමද ජනවාරි 8 දා ඉරිදා කැඳවා තිබුණා. පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ට පක්ෂයේ ස්ථාවරය දැනුම් දී ඉදිරි කටයුතු ගැන සාකච්ඡා කිරීම එහිදී සිදු වුණා. පක්ෂයේ මතය ප්‍රකාශයට පත්කිරීමේ වගකීම එම්. ඒ. සුමන්දිරන් මන්ත්‍රීවරයාට පැවරුණා. ඒ අනුව ප්‍රවෘත්ති සාකච්ඡාවක් කැඳවා සුමන්දිරන් මන්ත්‍රීවරයා කීවේ ආණ්ඩුවේ ව්‍යවස්ථා සම්පාදන ක්‍රියාවලියට දෙමළ ජාතික සන්ධානයේ සහය දිගටම හිමිවන බවයි. ඒ අතර දෙමළ ජාතික සන්ධානයේ සාමාජික පක්ෂයක් වන ඊ.පී.ආර්.එල්.එෆ්. නායක සුරේෂ් ප්‍රේමචන්ද්‍රන් මහතා යාපනයේදී ප්‍රකාශ කළේ වත්මන් පාලකයන්ගෙන් දෙමළ ජනයාගේ ප්‍රශ්නයට විසඳුම් ලැබීම ගැන විශ්වාසයක් නැති බවයි. මේ ගැන සුමන්දිරන් මන්ත්‍රීවරයාගෙන් විමසූවිට කීවේ සුරේෂ් ප්‍රේමචන්ද්‍රන් වැනි අන්තවාදීන් දෙමළ ජනයා විසින් ප්‍රතිකෂේප කොට ඇති බවයි. ඔහු මැතිවරණයෙන් පැරදුණේ ඒ නිසා බවද ඔහු කීවා. දෙමළ ජනයාට අවශ්‍ය සාකච්ඡාවෙන් සම්මුතියෙන් ප්‍රශ්න විසඳා ගැනීමට බවද සුමන්දිරන් මන්ත්‍රීවරයා කීවා.

හම්බන්තොට ඇතිවූ ගැටුම්වලින් පසුව ඒකාබද්ධ විපක්ෂයට මුලින් දැනගන්නට ලැබුණේ ඒ සම්බන්ධයෙන් නාමල් රාජපක්ෂ මන්ත්‍රීවරයා ඇතුළු පිරිසක් පොලිසිය විසින් අත්අඩංගුවට ගන්නට සූදානම් වන බවයි. ඒ ගැන කතාබහ කරමින් සිටියදී ඔවුන්ට ආරංචි වුණේ විමල් වීරවංශ මහතා අත්අඩංගුවට ගන්නා බවයි. සඳුදා වනවිට එම තොරතුරු ඔවුන්ට ලැබී තිබුණා. ඒ අනුව අත්අඩංගුවට ගන්නා මොහොතේ විරෝධය දැක්වීමට පිරිස් කැඳවා ගැනීම ලහි ලහියේ සිදු වුණා.

ඉන්පසුව ඒකාබද්ධ විපක්ෂයේ නායකයින් අඟහරුවාදා රාත්‍රී හමුවී ඉදිරි කටයුතු පිළිබඳව කතා කළා. නව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට එරෙහිව 24 දා නුගේගොඩදී පැවැත්වීමට තීරණය කොට තිබූ රැස්වීම 27දා දක්වා කල් දැමීමට එහිදි තීරණය වුණා. විමල් වීරවංශ මහතාගේ පක්ෂය වන ජාතික නිදහස් පෙරමුණේ සම්මේලනය මෙම 22 දාට කැඳවා තිබෙනවා. ඒකාබද්ධ විපක්ෂයේ නායකයන් තීරණය කළේ තමන්ද සහභාගි වෙමින් එම සම්මේලනය මහ ඉහළින් පවත්වන්නයි. එමගින් ආණ්ඩුවට බලපෑමක් කිරීම එහි අරමුණයි.

ඒ අතර මහජන සහභාගිත්වයෙන් විමල් වීරවංශ මහතා වෙනුවෙන් බෝධි පූජාවක් පැවැත්වීමටද ඒකාබද්ධ විපක්ෂය තීරණය කළා. එය ජනවාරි විසිතුන් වැනිදා පැවැත්වීමට තීරණය වුණා.

මේ අතර විමල් වීරවංශ මහතාගේ ජාතික නිදහස් පෙරමුණ පවත්වාගෙන යන ලංකා සී. නිව්ස් වෙබ් අඩවියේ වාර්තාවක සඳහන් වූයේ විමල් වීරවංශ පවුල දැන් මහින්ද රාජපක්ෂ පවුලට සමාන තත්ත්වයට පත්ව ඇති බවයි. එම සමානත්වය හිමිව ඇත්තේ පවුලෙන් රිමාන්ඩ් භාරයට පත්වූවන්ගේ සංඛ්‍යාවෙන් බවත් එහි සඳහන් වුණා. මහින්ද රාජපක්ෂ පවුලෙන් බැසිල් රාජපක්ෂ, නාමල් රාජපක්ෂ හා යෝෂිත රාජපක්ෂ යන තිදෙනා රිමාන්ඩ් භාරයට පත්වී තිබෙනවා. දැන් වීරවංශ පවුලේ විමල් වීරවංශ, ශෂී වීරවංශ හා සරත් වීරවංශ යන තිදෙනා රිමාන්ඩ් භාරයට පත්වී තිබෙනවා. වෙබ් අඩවිය කියන්නේ මෙය පවුල් දෙක සමාන මට්ටමට පැමිණීමක් බවයි.

මේ අතර ආචාර්ය නිර්මාල් රංජිත් දේවසිරි අන්තර්ජාලය වෙත මුදාහැර ඇති ලිපියක් මගින් තවත් කැළඹීමක් හටගෙන තිබෙනවා. වාමාංශික ක්‍රියාකාරිකයකුගෙන් ලැබුණු එම ලිපියෙන් ඔක්තෝබර් විප්ලවය සැමරීමේ වැඩසටහනකට නිර්මාල් රංජිත්ට ආරාධනා කොට තිබෙනවා. එම ආරාධනය සිදුවන්නේ අගමැති රනිල් වික්‍රමසිංහ මහතාගේ ආරාධනයකට අනුව පැවැති මුල් සාකච්ඡාවක ප්‍රතිඵල වශයෙන් බවද ලිපියේ සඳහන්. ඔක්තෝබර් විප්ලවය සැමරීමට අවශ්‍ය සම්පත් මෙන්ම වියට්නාමය වැනි රටවල කොමියුනිස්ට් පක්ෂ නායකයන් ගෙන්වාදීමටද මැදිහත්වීමට අගමැතිතුමා එකඟත්වය පළ කළ බවද එහි සඳහන්.

ආචාර්ය නිර්මාල් රංජිත් එම ලිපිය අන්තර්ජාලයට මුදාහැර සටහනක්ද තබා තිබුණා. එය නම් මෙය අගමැති රනිල් වික්‍රමසිංහ මහතාටවත් එයට සම්බන්ධ වූ වාමාංශිකයන්ටවත් සිදුවූ වැරදීමක් නොවන බවයි. ඔහු කියන්නේ මෙය වටිනාකම්වල සිදුවී තිබෙන වෙනසක් බවයි.

කෙසේ වෙතත් එම ලිපියෙන් කැඳවා තිබූ රැස්වීම ජනවාරි 4 දා අග්‍රාමාත්‍ය කාර්යාලයේදී පැවැත්වුණා. වාමාංශික ක්‍රියාකාරීන්, කලාකරුවන් හා වෘත්තීය සමිති නායකයන් පිරිසක් පැමිණ සිටි අතර එහිදී තීරණය වූයේ රුසියාවේ පෙබරවාරි විප්ලවය සිදුවූ මාර්තු මාසයේ සිට ඔක්තෝබර් විප්ලවය සිදුවූ නොවැම්බර් දක්වා විප්ලව සමරා වැඩසටහන් මාලාවක් පැවැත්වීමටය. එහි පළමු වැඩසටහන මාර්තු 10 දින පැවැත්වීමට තීරණය වී ඇත්තේ ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාගේ හා අගමැති රනිල් වික්‍රමසිංහ මහතාගේ නායකත්වයෙන්. එදින ප්‍රධාන දේශනය පැවැත්වීම සඳහා මහාචාර්ය ජයදේව උයන්ගොඩ මහතාට මේ වනවිටත් ආරාධනා කොට තිබෙනවා. දැනට විදේශගතව සිටින උයන්ගොඩ මහතා මේ සඳහාම මාර්තුවේ ශ්‍රී ලංකාවට පැමිණීමටත් එකඟත්වය පළකොට තිබෙනවා.

මේ අතර දේශපාලනය උණුසුම් කළ තවත් සිදුවීමක් නම් ජනාධිපති ක්‍රමය අහෝසි නොකර ලබන ජනාධිපතිවරණයට මෛත්‍රීපාල සිරිසේන මහතා ඉදිරිපත් කිරීමට ශ්‍රීලනිපයේ ප්‍රබල මැති ඇමැතිවරුන්ගේ තීරණයක් ප්‍රකාශයට පත්වීමයි. පසුගියදා කොළඹදී පැවැති රැස්වීමකදී දුමින්ද දිසානායක ඇමැතිවරයා යෝජනා කළේ ලබන ජනාධිපතිවරණයට එක එක අපේක්ෂකයන් ගේන්න යෝජනා කරමින් ඒකාබද්ධ විපක්ෂය ඔවුන් වටා ජනතාව එක්රැස් කිරීම වැළැක්වීමට ජනාධිපතිවරණයට මෛත්‍රීපාල සිරිසේන මහතා ඉදිරිපත් කරන බව ශ්‍රීලනිපය ප්‍රකාශ කළ යුතු බවයි.

ජනාධිපතිවරයා ඒ ගැන කිසිවක් කීවේ නැහැ. පසුව දුමින්ද දිසානායක ඇමැතිවරයා අනුරාධපුරයේදීත් එස්. බී. දිසානායක ඇමැතිවරයා කොළඹ පුවත්පත් සාකච්ඡාවකදීත් මේ බව ප්‍රකාශ කළා. එස්. බී. ඇමැතිතුමා කීවේ ජනාධිපතිතුමා මෙයට එකඟ වී නැතත් පක්ෂය කියන දේට එකඟවීමට එතුමාට සිදුවන බවයි.

කෙසේ වෙතත් හිටපු ජනාධිපති චන්ද්‍රිකා කුමාරතුංග මැතිනිය පුවත්පත් සාකච්ඡාවකදී ප්‍රකාශ කළේ ජනාධිපති ක්‍රමය තබාගන්න හෝ එයට වත්මන් ජනාධිපතිවරයා ඉදිරිපත් කරන්නට ශ්‍රී ලංකා නිදහස් පක්ෂය තීරණයක් ගෙන නැති බවයි.කෙසේ වෙතත් ආණ්ඩුවේ සම කැබිනට් ප්‍රකාශක රාජිත සේනාරත්න ඇමැතිවරයා මාධ්‍ය හමුවේ ප්‍රකාශ කළේ2020 දි විධායක ජනාධිපතිවරයක් නැති බවයි. එයින් අදහස් කළේ විධායක ජනාධිපති ක්‍රමය අහෝසි කරන බවයි.එබැවින් වත්මන් ජනපතිට නැවත ජනාධිපතිවරණයකට ඉදිරිපත් කිරීමේ ප්‍රශ්නයක් පැන නොනගින බව රාජිත සේනාරත්න අැමැතිවරයා මාධ්‍යයට ප්‍රකාශ කළා. මෙයින් පෙනෙන්නේ ආණ්ඩුව මෙම ප්‍රශ්නය සම්බන්ධයෙන් ආණ්ඩුව තුළම විවිධ මත තිබෙන බවයි.

Similar Posts

Leave a Reply

Your email address will not be published. Required fields are marked *