වර්ජකයන්හට දැඩි ජනතා විරෝධයක්

අප රට වැඩවර්ජන පිළිබඳ ඉතියාසයේ වෙන කෙ‍දිනකවත් නොවූ තරමේ ජනතා විරෝධයක් මේ වන එල්ල වී තිබේ. වර්ජනකයන් කෙරේ එල්ලවන ජනතා විරෝධය 8 වන බදාදා කොටුව දුම්රියපොල ඉදිරියේදී පුපුරා ගියහ.

එදින සුපුරු ලෙස රාජකාරි හා විවිධ කටයුතු සඳහා අගනගරය වෙත පැමිණි ජනතාව කොළඹ කොටුව දුම්රියපලට පැමිණියේ ආපසු ගෙවල් දොරවල් බලා සුපුරුදු පරිදි දුම්රියෙන් ගමන් කිරීමටය. එහෙත් ඔවුන්ට දැන ගැනීමට ලැබුණේ වර්ජන හේතුවක් නිසා දුම්රිය කිසිවක් දාවනය නොවන බවයි.

දුම්රියෙන් ගමන් කරන බොහෝ දෙනෙකු ගමන් කරන්නේ වාර ප්‍රවේශපත්‍ර වලිනි. ඔවුන් වැඩ නිම වී දුම්රිය පළට එන්නේ දුම්රිය ප්‍රවාහනය ගැන විශ්වාසය තබමිණි. ඒ ඔවුන් අත තිබෙන වාර ප්‍රවේශ පත්‍රයෙන් ගමන් කිරීමට හැකි බව විශ්වාස නිසාය. විකල්ප ප්‍රවාහනයක ගමන් කිරීමට අමතර මුදලක් බොහෝ දෙනෙක් අත නොමැති වීමටත් පුළුවන. අනෙක දිනපතා රාජකාරි සඳහා බොහෝ දෙනෙකු දුම්රිය තෝරාගන්නේ ඇතැම් ප්‍රදේශවලට විකල්ප ප්‍රවාහන පහසුකම් නොමැති නිසාය. එසේ නැත්නම් විකල්ප ගමනාගමනය දුෂ්කර නිසාය. උදාහරණයක් වශයෙන් දෙමටගොඩ සිට මහව දක්වාත්, රඹුක්කන දක්වාත් ඇති දුම්රිය ස්ථාන හැඳින්විය හැකිය.

කොටුවේ සිට වේයනගොඩ දුම්රියෙන් යන මගියකුට ඒ සඳහා ගතවන කාලය පැය එක හමාරකටත් වඩා අඩු වුවත්, බස් රථයකින් ඒ ගමනාන්තය ගෙවා දැමීමට ඒ කාලය මෙන් දෙගුණයක් ගත වෙනු ඇත. එනම් පැය හතරක පමණ කාලයකි. ගමන් ගාස්තුව ද එසේමය. දෙගුණයකටත් වඩා වැඩි වේ. ඒ මන්ද තනි බස්රථයකින් ඇතැම් ප්‍රදේශ කරා ළඟා විය නොහැකි බැවිනි. එම නිසා විශේෂයෙන් රාජකාරි සඳහා අගනුවරට කරා පැමිණෙන, දුම්රිය මාර්ග ආසන්නයේ පදිංචි ජනතාව ගමනාගමනය සඳහා තෝරාගන්නේ දුම්රියයි. එම දුම්රිය හඳුන්වන්නේ ද ‘කාරයාල දුම්රිය’ නමිනි.

මේ තත්ත්වය යටතේ පසුගිය 8 වන බදාදා සවස කොළඹ කොටුව දුම්රිය ස්ථානයට පැමිණි දහස් සංඛ්‍යාත ජනතාවකට සිදුවූයේ බලාපොරොත්තු නොවූ අකරතැබ්බයකට මුහුණ දෙන්නටය. එදින දුම්රිය වර්ජනයක් ඇති බවට ඔවුන්ට සන්නිවේදනය වී නොතිබුණි. මෙහිදී ප්‍රකෝප වූ තරුණ පිරිස ඕල්කට් මාවතට බැස සිය විරෝධය දක්වන ලදී. එයින් සිදුවූයේ බස් රථවලින් යන ජනතාවට අවහිරයක් විමය.

බස් රථ වල ගමන් කිරීමට සිටි ජනතාව‍ගේ විරෝධය එල්ල වූයේ ද විරෝධතාවයේ යෙදී සිටි දුම්රිය මගීන් වෙත නොව වැඩ වර්ජනය කර ඇති දුම්රිය සේවකයන් වෙතය. දුම්රිය මගීන් ද සිය ඍජු විරෝධය එල්ල කළේ වර්ජකයන් වෙත මිස ප්‍රවාහන අමාත්‍යංශය වෙත හෝ රජය වෙත නොවේ. ඔවුන් වරෙක කළහකාරී ලෙස හැසිරුණහ. මගී ජනතාව කොළඹ කොටුව දුම්රිය ස්ථානය වෙත බලහත් කාරයෙන් ඇතුල් වීමට උත්සාහ කළේ වර්ජකයන්ට පහර දීමටය. එය නොහැකි වූ කළ වර්ජකයන්ට බැන වැදුනේ පරුෂ වචනයෙනි. එය මෙහිලා පළ කළ නොහැකිය.

එක් මගියකු ප්‍රකාශකර සිටියේ ‘හ‍රක් උනත් උදේට දක්කන් ගියහම හවසට ගාලට ගෙනත් දානවා. මුං අපිට සලකන්නේ හරකුන්ටත් ‍සලකන විදිහටත් අන්ත විදිහට’ ‘මුනුත් එකයි දොස්තරලත් එකයි. මුන් දෙගොල්ලන් ස්ට්‍රයික් කරන්නෙ කිසිම හිතක් පපුවක් නැති විදිහට’, ‘යුනියන් ලීඩර්ලා අහුනොත් ආයෙ වැඩක් කරන්න බැරිවිදිහට අතපය කඩල දාන්න ඕනෑ’ ‘මුන්ට කරන්න ඕනෑ ජේ.ආර්. කරපු දේ’ ආදී වශයෙන් ජනතාව සිය කෝපය මුදා හැර විරෝධය දක්වන ලදි.

මාධ්‍ය මගින් ජනතාවට පෙනුනේ විරෝධා කරුවන් පමණි. වඩාත්ම සංවේදි දර්ශනය තිබුණේ දුම්රිය ස්ථානය තුළය. දුම්රිය තුළට ගොඩ වූ වේදිකාවේ සිටි ගැබිණි මවුවරුන්, කාන්තාවන්, පාසැල් සිසු සිසුවියන්, දරුවන් වඩාගත් මවුවරුන් ඊළඟට කුමක් වන්නේ දැයි සිතාගැනීමට නොහැකි බියෙන් තැති ගත් අයුරින් සිටින අයුරු දැකීම සානුකම්පිත දසුනක් විය.

එහෙත් විශේෂම තත්ත්වය වූයේ වෙනදා වැඩ වර්ජනයකින් ජනතාව පීඩාවට පත් වූ විට, රජය වෙත එල්ලවන ජනතා විරෝධය මෙවර එල්ල වූයේ වර්ජකයන් වෙතය. එයට හේතුව දැන් දැන් කෙරෙන වැඩවර්ජන පසුපස වෘත්තීය ඉල්ලීම්වල වැඩියෙන් ඇත්තේ දේශපාලන වුවමනාවන් බව මේ වන විට ජනතාව දැනුම්වත් වී සිටින නිසාය.

මනෝජ් රූපසිංහ.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *