එල්ලුම් ගහෙන් චූන්වන අය – සම්පත් අමරසිංහ
ශ්‍රී ලංකාවේ මත්ද්‍රව්‍ය ප්රශ්නය ඉක්මනින් අවසන් වීමට නියමිතය. ඒ මත්ද්‍රව්‍ය ජවාරමට සම්බන්ධ වී ජීවිතාන්තය දක්වා සිර දඬුවම් නියම වී සිටියදීත් මත්ද්‍රව්‍ය ජාවාරම්වල යෙදෙනු තැනැත්තන් එල්ලා මැරීමට ආණ්ඩුව තීරණයක් ගෙන ඇති බැවිනි. පුදුමය වන්නේ මවගේ ජීවිතය බේරාගැනීමට හෝ උපදින්නට සිටින දරුවාගේ දුර්වලතාවන් නිසා හෝ දරු ගැබක් ගබ්සා කිරීමට විරෝධය පාන කතෝලික සභාවේ ඇතැමුන් ද ගව ඝාතනයට සියදිවි නසාගන්නට තැත් කරන සංඝ සමාජයේ ඇතැමුන් ද එල්ලා මැරීමේ දඬුවමට එක හඬින් සාදුකාර දීමට ඉදිරිපත් වීමය.
ඔවුනට අනුව මත්ද්‍රව්‍ය ජාවාරම මෙරටින් තුරන් කිරීමට ඇති එකම අඩුව මරණීය දණ්ඩනය ය. ලෝකයේ මරණ දඬුවම ක්‍රියාත්මක කරන රටවල් ඇත්තේ අත ලොස්සකි. එම රටවල් පවා සිටිනනේ මරණ දඬුවමට ලක්කරන්නාට අවම වේදනාවක් ඇති වන සේ එම දඬුවම ක්‍රියාත්මක කරන්නේ කෙසේද යන කරුණ පිළිබඳ විවාද කරමිනි. ඒ අතර ලංකාවේ ක්‍රියාත්මක කරන්න උත්සාහ කරන්නේ මරණ දඬුවමට ලක් වන්නාට උපරිම වේදනා දෙන ක්‍රමයක් වන හුස්ම හිරවන තුරු කඹයකින් එල්ලා තැබීමය. එය සැලකෙන්නේ මරණ දඬුවම ලබා දෙන ක්‍රම අතරින් බලවත් වේදනාවක් ඇති කරන මිලේච්ඡ ක්‍රමයක් වශයෙනි.
1976 ජුනි 23 දායින් පසුව මෙරට මරණ දඬුවම ක්‍රියාත්මක වී නැත. පසුගිය සමයේ සිදුවුණු නොයෙක් ආකාර මිනිස් ඝාතන නොයෙක් වධහිංසා කිරීම් මැද වුව මානව හිමිකම් සුරැකෙන රාජ්‍යයක් වශයෙන් ලෝකය හමුවේ කෙළින් හිටගන්නට මෙරටට එකී හේතුව නිසා හැකියාවක් ලැබුණි. පිවිතුරු බුදු දහම පවතින රටක් වශයෙන් උදම් අනමින් අප දැන් සූදානම් වන්නේ එකී කිර්ති නාමය මකාහැර ගන්නටය. ශිෂ්ට සම්පන්න රටක් වශයෙන් ලෝකය හමුවේ තිබුණු ශ්‍රී ලංකා නාමය ලෝකය ඉදිරියේ කිළිටිකර ගන්නටය.
පසුගිය දිනවල මහත් ආන්දෝළනයකට තුඩුදුන් විජයකලා මහේෂ්වරන් මහත්මියගේ ප්‍රකාශයේ එක් තැනක සඳහන් වූයේ යුද්ධය නිමා වූ පසුව දේශපාලකයන්ගේ වාහන වලින් උතුරට මත්ද්‍රව්‍ය ප්‍රවාහනය කෙරුණු බවය. එකී හේතුව සහ වෙනත් සමාජ ප්‍රශ්න හේතුවෙන් උතුරේ තරුණයන් මේ වන විට මත්ද්‍රව්‍ය වලට ඇබ්බැහිවී සිටින බවය.
මත්ද්‍රව්‍ය හා දේශපානය අතර සම්බන්ධතාව බොරුවක් නොවේ. මත්ද්‍රව්‍ය ජාවාරම මැඩ පවත්වන්නට මෙරට ආණ්ඩු අසමත් වී තිබේ. එයට බලපාන එක් හේතුවක් වන්නේ මත් ජවාරම සහ දේශපාලනය අතර සම්බන්ධතාවයි. පසුගිය ආණ්ඩුසමයේ මත්ද්‍රව්‍ය ජවාරම්කාරයන් ආණ්ඩුවේ සුරතලුන් වූ බව ප්‍රසිද්ධ රහසකි. එකල රූපවාහිනියට පැන යකා නැටූ ආචාර්ය ඇමතිවරයා සමග හිටි තැනැත්තකුගේ නම මුලට කුඩු යන අකුරු දෙක ඈඳී තිබුණේ නිකමට නොවේ. එසේම එකල මත්ද්‍රව්‍ය ජාවාරම් කාරයනට අධීක්ෂක මන්ත්‍රීධුර ද හිමිව තිබූ බව දන්නෝ දනිති. පාරේ වෙඩි පහරකින් තුවාල ලැබූ මත් ජාවාරම්කාරයකු බලන්නට රෝහලට ගියේ ආරක්ෂක අමාත්‍යාංශයේ හිටපු ලේකම් වරයාය. මීගමුවේ කුඩු ජාවාරම්කාරයකුගේ නිවස විශේෂ කාර්ය බලකාය විසින් පරීක්ෂා කළ විට අදාළ තැනැත්තා හමුවීමට රටේ විධායක ජනාධිපතිවරයා ඔහුගේ නිවසටම ගියේය.
මරණ දඬුවම දෙන්නට සූදානම් වන්නේ මත්ද්‍රව්‍ය ජාවාරම්වලට සම්බන්ධව ජීවිතාන්තය දක්වා සිරදඬුවම් නියම වී සිටියදීත් මත්ද්‍රව්‍ය ජවාරමේ යෙදෙන තැනැත්තන්ට බව කියැවේ. එවැන්නන් සිටින බවද බොරුවක් නොවේ. ගැටලුව වන්නේ එවැනි තැනැත්තනට මරණ දඬුවම දීමෙන් පමණක් ගැටලුව නිරාකරණය වේද යන්නයි.
මෙහිදී විමසා බැලිය යුතු වන්නේ සිරගතව සිටියදීත් මත්ද්‍රව්‍ය ජවාරම්වල යෙදෙන්නට අදාළ තැනැත්තන්ට හැකියාව ලැබී ඇත්තේ කෙසේද යන්නයි. එවැන්නකට ඔවුන්ට ඉඩ ලැබී ඇත්තේ අදාළ තැනැත්තන්ගේ දක්ෂකමකට වඩා බන්ධනාගාරයේ ආරක්ෂාවේ දුර්වලතා නිසාය. මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවන්ගේ අතකොලු බවට පත් වූ බන්ධනාගාර නිලධාරින් වෙසෙන රටක මත්ද්‍රව්‍ය ජාවාරම්කාරයනට මරණ දඬුවම දීමෙන් පමණක් ප්රශ්නය නිරාකරණය නොවනු ඇත. බන්ධනාගාරය තුළ ආරක්ෂාව හරිහැටි ක්‍රියාත්මක වන්නේ නම් කුඩු හෝ කුඩු ජාවාරමට දුරකතන හෝ බන්ධනාගාර තුළට ලැබෙන්නේ නැත. එසේ නම් කුඩු ජාවාරම්කාරයන්ට දැන හෝ නොදැන පහසුකම් සපයන බන්ධනාගාර නිලධාරින්ට ගන්නා ක්‍රියාමාර්ගය කුමක්ද? මත්ද්‍රව්‍ය ජාවාරම් කාරයන් සමග ඔවුනුත් පොරකයට යවනවාද? මත්ද්‍රව්‍ය ජාවාරම්කාරයකුට හා ඔවුන්ගේ පවුලේ අයට බන්ධනාගාරයට සම්බන්ධ නිවාඩු නිකේතනයක දොරහැර දී තිබුණු බව වාර්තා වූයේ ඊයේ පෙරේදාය.
ඊළඟ කාරණය මත්ද්‍රව්‍ය සහ පොලීසිය අතර පවතින සම්බන්ධතාවයි. කුඩුකාරයන්ගේ උත්සව වලට සහභාගි වූ පොලිස් නිලධාරින් පිළිබඳ කතා මෙන්ම කුඩුකාරයන්ගෙන් සන්තෝසම් ලබාගන්නා පොලිස් නිලධාරින්ද පොරකයට යවන්නට අනාගතයේදී යමකු යෝජනා කළහොත් පුදුම විය යුතු නැත.
අවුරුදු හතලිහක් තිස්සේ අකර්මණ්‍ය කර තිබුණු පොරකයට නැවත පණ දීමට යාමෙන් ආණ්ඩුව මේ වන විට මත්ද්‍රව්‍ය ජාවාරමටත් වඩා බරපතළ අර්බුදයකට ලක්ව තිබේ. ජාත්‍යන්තර ක්ෂමා සංවිධානය පවසන්නේ වසර 40 කට වැඩි කාලයක් වැලකී සිටි, කෲර සහ වෙනස් කළ නොහැකි දඬවමක් වන මරණීය දණ්ඩනය යළි ක්‍රියාත්මක කරන්නට යාම රටේ කීර්ති නාමයට කැලලක් වියහැකි බවයි. යුරෝපා සංගමයද ඒ පිළිබද සිය කනසල්ල මේවන විටත් පළකර තිබේ. සැප්තැම්බරයේ පැවැත්වෙන එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කොමිසමේ දී ද මරණ දඬුවම පිළිබද කාරණය ශ්‍රී ලංකාවට ගැටලුවක් වීමට ඉඩ තිබේ.
මරණ දඬුවම ක්‍රියාත්මක කිරීමට දරණ උත්සාහයෙන් පෙනී යන්නේ ආණ්ඩවේ වැඩි කැමැත්ත අපරාධ තුරන් කිරීමට නොව අපරාධකාරයන් තුරන් කොට අත සොදා ගැනීමට බවයි. අපරාධකාරයන් තුරන් කරනවා තරමට අපරාධ තුරන් කිරීම ලෙහෙසි පහසු නැත.මෙරට බන්ධනාගාර ක්‍රියාත්මක වන්නේ අපරාධකරුවන් කොටුකරගෙන සිට එළියට දමන හෝ මරණය තෙක් රඳවා ගන්නා ස්ථාන ලෙස මිස අපරාධකාරයන් පුනරුත්තාපනය කර සමාජගත කරන ආයතන වශයෙන් නොවේ. එකී හේතුව නිසා මත්කුඩු පානය කර හෝ සුළු ප්‍රමාණයක් ළඟ තබාගෙන සිරගතවන අයකු නැවත පැමිණෙන්නේ මත් ජාවාරම සමඟ වඩාත් ශක්තිමත් සම්බන්ධතා ජාලයක් ඇතිව වන්නට පුළුවන.
මත් ද්‍රව්‍ය ජාවාරම මැඩලන්නට අවශ්‍ය නම් මුලින්ම කළ යුත්තේ මරණ දඬුවම ක්‍රියාත්මක කිරීම නොව නීතිය පොලීසිය හා බන්ධනාගාරය ශක්තිමත් කිරීමය. නීතිය හා සාමය අමාත්‍ය ධුරය සරත් ෆොන්සේකා මහතාට ලැබෙන්නට යන්නේය යන පුවත මෙරට ජනතාවට මහත් ආශ්වාදයක් වූ බව කවුරුත් දන්නා කරුණකි. ඊට හේතු වූයේ එම අමාත්‍යාංශය ඒ මහතා අතට පත් වූයේ නම් නීතිය හා පොලීසිය හරිහැටි ක්‍රියාත්මක වී අපරාධ නවතිනු ඇතැයි යන බලාපොරොත්තුවක් ජනතාව තුළ පැවතීමය. දැන් ආණ්ඩුව සැරසෙන්නේ නීතිය පොලීසිය ක්‍රියාත්මක කරන්නට ඔවුනට ඇති නොහැකියාව එල්ලුම් ගසෙන් බේරා ගන්නටය. එහෙත් ඒ හරහා ශ්‍රී ලංකාවේ කීර්ති නාමය ලෝකය හමුවේ හෑල්ලුවට ලක් කරන්නට නම් ආණ්ඩුවට අයිතියක් නැත.
