චක්රාකාර ප්‍රවාහය – එම් ඕ ඒ ද සොයිසා
කිසිදු ආණ්ඩුක්‍රමයක් එක විධියකට හෝ එකම ආකාරයට එක දිගට පවතින්නේ නැත. වෙනස් වෙමින් ඉදිරියට යාම ආණ්ඩුක්‍රම හා සම්බන්ධයෙන් දැකිය හැකි විශේෂ ලක්ෂණය වේ. ග්‍රීක දේශපාලන දාර්ශනිකයකු වූ ඇරිස්ටෝටල් පෙන්වා දුන්නේ ආණ්ඩුක්‍රම ඉදිරියට ගමන්කරන්නේ චක්රාකාර ප්රවාහයකට අනුව බවය. මේ මතය ඔහු ඉදිරිපත් කළේ මෙයට අවරුදු තුන් දහසකට පමණ පෙරදීය. සමකාලීන ග්‍රීසිය තුළ පැවැති ආණ්ඩුක්‍රම ඇරිස්ටෝටල් විසින් වර්ග හයකට කොටස් කලේය. ඒ රජාණ්ඩු, කෲර ආඥාදායක රාජාණ්ඩු, රදල ආණ්ඩු, කථිපයාධි ආණ්ඩු, ප්රජාතන්ත්රවාදී ආණ්ඩු සහ දුෂිත ප්රජාතන්ත්රවාදී ආණ්ඩු වශයෙනි. ඇරිස්ටෝටල් පෙන්වා දෙන ආකාරයට මෙම ආණ්ඩුක්‍රම කිසිවක් ස්ථාවර ඒවා නොවේ. සෑම ආණ්ඩුක්රමයක්ම වෙනස් වෙමින් වෙනත් ආණ්ඩුක්රමයකට පරිවර්තනය වේ. වෙනස් වන්නේ හොඳ ආණ්ඩුක්රමයක සිට නරක ආණ්ඩුක්රමයකටත් නරක ආණ්ඩුක්රමයක සිට හොඳ ආන්ඩුක්රමයකටත් යන රටාවට අනුවය.
මේ අනුව රාජාණ්ඩු පාලන ක්‍රමයක් කාලයක් ගතවීමේ දී කෲර ආඥාදායක රාජාණ්ඩු පාලන ක්‍රමයක් බවට පරිවර්තනය වියහැක. ඉන් අනතුරුව රදල ආණ්ඩුක්රමයකටද, කථිපයාධිකාරී ආණ්ඩුක්රමයකටද, ප්රජාතන්ත්රවාදී ආණ්ඩුක්රමයකටද එයිනුත් අනතුරුව දුෂිත ප්රජාතන්ත්රවාදී ආණ්ඩුක්රමයකටද පරිවර්තනය වියහැක. ඇරිස්ටෝටල් දක්වන ආකාරයට දුෂිත ප්රජාතන්ත්රවාදී ආණ්ඩුක්රමය කෙළවර වන්නේ යළිත් වරක් රාජාණ්ඩු පාලන ක්‍රමයක් ඇති වීමෙනි. මෙම චක්රාකාර ප්‍රවාහය ඉහත දැක්වූ ආකාරයට නොනැවතී ඉදිරියට ගමන් කරනු ඇත. ආණ්ඩුක්‍රම වෙනස් වන්නේ ඇයි? හේතුව ආණ්ඩුක්‍රමයක් කාලයක් ගත වීමේ දී පාලකයින් සහ පාලිතයින් අතර ඇතිවන නොගැලපිය හැකි ආකාරයේ ප්රතිවිරෝධතාවන්ය.
මෙම ප්රතිවිරෝධතාවන් අවසාන වන්නේ පාලකයින් සහ පාලිතයන් අතර ඇතිවන ගැටුමකින් වන අතර එම ගැටුමේ අවසාන ප්‍රතිඵලය වන්නේ පවතින ආණ්ඩුව වෙනස් වී වෙනත් පාලක පංතියක් පෙරටු කොටගත් වෙනත් ආණ්ඩුක්‍රමයක් ඇතිවීමය. මෙය එක්කෝ පවතින හොඳ ආණ්ඩුක්රමය නරක ආණ්ඩුක්‍රමයක් බවට පරිවර්තනය වීමෙන් සිදුවිය හැක. නැතිනම් පවතින නරක ආණ්ඩුක්‍රමයක් හොඳ ආණ්ඩුක්‍රමයක් බවට පරිවර්තනය වීමෙන් සිදුවිය හැක. එසේම මෙම පරිවර්තනය එක්කෝ ඉක්මණින් සිදුවිය හැක. නැතිනම් යම් කාල ප්‍රමාණයක් ගත වී සිදුවිය හැක. කුමන ආකාරයකට පරිවර්තනය සිදුවූවද හා කුමන කාල පරාසයක් තුළ එය සිදුවූවද එමගින් පෙන්නුම් කරන්නේ ආණ්ඩුක්‍රම හා බැඳී පවතින නෛසර්ගික ගුණාංගයක්ය. එනම් වෙනස් වීමේ ධර්මතාවයයි.
ඇරිස්ටෝටල් දක්වන ආකාරයට ආණ්ඩුක්‍රම අතුරින් හොඳම ආණ්ඩුක්රමය වන්නේ රාජාණ්ඩුක්රමයයි. එම ආණ්ඩුක්රමය ගොඩනැඟී තිබෙන්නේ ඉහළම යුක්තිය සහ සාධාරණත්වය යන මූලධර්ම දෙක පදනම් කර ගෙනය. රාජ්‍ය පාලන බලතල මෙහෙයවන්නේ සත්ගුණවත්භාවයෙන් සහ ප්‍රඥාවන්තභාවයෙන් අගතැන්පත් තනි පුද්ගලයකු විසිනි. නමුත් එවැනි ගුණාංග සහිත පාලකයින් නිරන්තරයෙන්ම බිහි නොවන බැවින් යහපත් රාජාණ්ඩු පාලන ක්‍රමය දිගු කාලයක් පවත්වා ගෙන යා නොහැක. ඉහත දැක්වූ ආකාර සත්ගුණවත්භාවයෙන් සහ ප්‍රඥාවන්තභාවයෙන් තොර පුද්ගලයෙක් රජකමට පත් වූ විට රාජ්‍ය පාලනය දුෂිත වී අවසානයේ දී නරක ආණ්ඩු අතුරින් නරකම ආණ්ඩුක්රමය ලෙස සළකන කෲර ආඥාදායක රාජාණ්ඩු පාලන ක්‍රමයක් බිහිවිය හැක.
මෙම ආණ්ඩුක්රමය ජනතා යහපත සඳහා නොව හුදෙක්ම පාලකයාගේ සහ ඔහුගේ පවුලේ යහපත සඳහාම ක්‍රියාත්මක වන්නක් වේ. නමුත් මෙම ආණුඩුක්රමයටද දිගු කාලයක් බලය බවත්වා ගෙන යා නොහැක. හේතුව එයින් පීඩාවට පත්වන පාලිත කොටස් විශේෂයෙන්ම රදලයින් එම ආණ්ඩුක්රමයට එරෙහිව නැඟී සිට රාජ්‍ය බලය අල්ලා ගැනීමය. මෙම ආණ්ඩුක්රමයේ නායකත්වය ගන්නේ සත්ගුණවත්භාවය පෙරටු කරගත් ධනවත් රදලයින්ය. හොඳ ආණ්ඩුක්‍රම අතුරින් දෙවන ආණ්ඩුක්රමය හැටියට ඇරිස්ටෝටල් මෙය හඳුන්වයි. හේතුව එම ආණ්ඩුක්රමය ජනතා හිතවාදී ආණ්ඩුක්‍රම අතුරින් රාජාණ්ඩුක්‍රමය ළඟට පවතින ඊළඟ යහපත් ආණ්ඩුක්රමය වීමය. නමුත් මෙම ආණ්ඩුක්රමයද ප්‍රායෝගික වශයෙන් දිගු කාලයක් පවත්වා ගෙන යා හැකි ආණ්ඩුක්‍රමයක් නොවේ. හේතුව ටික කාලයක් ගතවීමේ දී වැඩි වැඩියෙන් ධනය අයත් කර ගැනීම සඳහා පාලක රදලයින් අතර ඇතිවන තරඟය නිසාවෙන් ආණ්ඩුක්රමයේ පදනම් මූලධර්මය වශයෙන් පැවැති සත්ගුණවත්භාවය විනාශ වී ගොස් ආණ්ඩුක්රමය දුෂිත එකක් බවට පත්වීමය.
මෙම අරගලයේ අවසාන ප්‍රතිඵලය වන්නේ රදල ආණ්ඩුක්රමය එහි නරක පැත්ත වන කථිපයාධි ආණ්ඩුක්‍රමයක් බවට පරිවර්තනය වීමය. එනම් දුෂිත රදලයින් කිහිප දෙනෙක් මෙහෙයවන හිතුවක්කාරී ආණ්ඩුක්‍රමයක් බවට පත්වීමය. මෙම ආණ්ඩුක්රමය ක්‍රියාත්මක වන්නේ පොදුජන යහපත සඳහා නොව රාජ්‍ය බලය මෙහෙයවන රදලයින් කිහිප දෙනාගේ යහපත සඳහාය. කථිපයාධිකාරී ආණ්ඩුව අවසාන වන්නේ එයට එරෙහිව පැන නගින පොදු ජන විරෝධය ජයග්‍රහණය කරමින් ප්රජාතන්ත්රවාදී පාලන ක්‍රමයක් බිහිවීමෙන්ය. මෙම ආණ්ඩුක්රමය නීත්‍යානුකූල ආණ්ඩුක්‍රමයක් වේ. හේතුව සියලූ දෙනාගේම යහපත සඳහා සියලූ දෙනාම විසින් පාලන බලතල ක්‍රියාවට නැංවීමය.
ආණ්ඩුක්රමයට නායකත්වය සපයන්නේ ධනයට ඇති ආශාව සහ මධ්‍යම ප්‍රමාණයේ සත්ගුණවත්භාවය යන ගුණාංග සහිත මධ්‍යම පාංතිකයින්ය. නමුත් මෙම ආණුඩුක්රමයද දිගු කාලයක් පවතින්නේ නැත. හේතුව මෙම ආණ්ඩුක්රමය දුප්පත් බහුතරයේ ආණ්ඩුක්‍රමයක් වීමත් කාලයක් පවතින විට ධනය සහ බලය සඳහා දුප්පතුන් අතර ඇතිවන අරගලය හේතුවෙන් ප්රජාතන්ත්රවාදී මූලධර්ම ආණ්ඩුක්රමයෙන් නැති වී ගොස් අවසානයේ දී එය දුප්පතුන්ගේ ආඥාදායක්තවය යටතේ ක්‍රියාත්මක වන දුෂිත ප්රජාතන්ත්රවාදී ආණ්ඩුක්‍රමයක් බවට පරිවර්තනය වීමත්ය. මෙහි ප්‍රතිඵලය වන්නේ එම ආණ්ඩුක්රමයෙන් පීඩාවට පත්වන ධනපති පංතිය සහ මධ්‍යම පංතිය ආණ්ඩුවට එරෙහිව කැරලි ගැසීමට පටන් ගැනීමය. මෙම ක්රියාදාමයේ අවසාන ප්‍රතිඵලය වන්නේ යළිත් වරක් රාජාණ්ඩු පාලන ක්‍රමයක් කරා දේශපාලන සමාජය ගමන් කිරීමය. ආණ්ඩු වෙනස් වීමේ චක්‍රීය ප්‍රවාහය ලෙස හඳුන්වන්නේ මෙයයි.
ඇරිස්ටෝටල් ඉදිරිපත් කළ ආණ්ඩුක්‍රම වෙනස්වීමේ චක්රාකාර ප්‍රවාහය පිළිබඳ න්‍යාය යළි මතකයට ආවේ මේ දිනවල ශ්‍රී ලංකාවේ දේශපාලන ක්ෂේත්රය තුළ පවතින බොහෝ සිදුවීම් එම න්‍යාය මගින් දක්වන කරුණුවලට යම් සමාන ආකාරයක් දක්වන බැවිනි. මෙයට අවුරුදු තුන් දහසකට පමණ පෙර ඉදිරිපත් කරන ලද දේශපාලන විග්‍රහයක් විසිඑක් වන සියවසේ අද පවතින දේශපාලන තත්ත්වයන් විෂ්ලේශනය කිරීමට එයාකාරයෙන්ම යොදාගත නොහැකි වූවද ප්රජාතන්ත්රවාදී ආණ්ඩුක්‍රමයකින් ඒකාධිපති ආණ්ඩුක්රමයකට පරිවර්තනය වීම සම්බන්ධයෙන් ඇරිස්ටෝටල් ඉදිරිපත් කරන අදහස් නොසලකා හැරිය නොහැකි තත්ත්වයකුයි අද ලංකාවේ සිදුවන දේශපාලන සිදුවීම් දෙස බලනවිට පෙනී යන්නේ. මේ තත්ත්වය විශේෂයෙන්ම පෙනී යන්නේ රටට ඒකාධිපති පාලන ක්‍රමයක් අවශ්‍ය බවට අවධාරණය කරමින් මේ දිනවල රටේ දේශපාලන සමාජයෙන් මෙන්ම සිවිල් සමාජයෙන්ද මතුවන අදහස් දෙස බලන විටය.
මේ අදහස ප්‍රසිද්ධියේම දේශපාලන ක්ෂේත්රයට ගෙන ආවේ අස්ගිරි පාර්ශ්වයේ අනූනායක වෙඩරුවේ උපාලි හාමුදුරුවන් සහ එක්සත් ජාතික පක්ෂයේ පාර්ලිමේන්තු මන්ත්‍රීවරියක වන විජයකලා මහේශ්වරන් විසින් ය. රට හැදීම සඳහා මේ දෙදෙනාගෙන් එක් අයෙක් ඉල්ලා සිටින්නේ හිට්ලර් පන්නයේ පාලන ක්‍රමයක්ය. අනෙක් තැනැත්තිය ඉල්ලා සිටින්නේ ප්රභාකරන් පන්නයේ පාලන ක්‍රමයක්ය. නම් දෙක වෙනස් වූවද මේ දෙදෙනාම මිනිස් වර්ගයාගේ ඉතිහාසය තුළ බිහි වූ මිනීමරු ආඥාදායකයින්ය. ප්රභාකරන් හිට්ලර්ගෙන් වෙනස් වනවා නම් එකම එක කරුණකින් පමණි. එනම් ඝාතනය කරන ලද මිනිසුන්ගේ සංඛ්‍යාවෙනි.
මෙම කුරිරු ආඥාදායක ඝාතකයින් දෙදෙනා ක්‍රියාවට නැංවූ ආඥාදායක පාලන ක්‍රම ආදර්ශයට ගනිමින් එවැනි පාලන ක්‍රමයක් මේ රටට අවශ්‍යයැයි යන මෘග අදහස සමාජය තුළ පැන නැඟීම දේශපාලන වශයෙන් සළකා බලන විට සැබැවින්ම බරපතළ ඛේදවාචකයක් බව අමුතුවෙන් කිවයුතු නොවේ. විශේෂයෙන්ම මෙහි බරපතළකම පෙනී යන්නේ ප්රජාතන්ත්රවාදී පාලන ක්‍රමයක් රට තුළ ක්‍රියාත්මක වෙමින් පවතින විටක දී එම පාලන ක්‍රමය ප්‍රතික්ෂේප කරමින් ආඥාදායක පාලන ක්රමයක අවශ්‍යතාවය අවධාරණය කිරීම යන කරුණ සළකා බලන විටය. මෙසේ වීමට හේතුව කුමක්ද? ඇරිස්ටෝටල් ගේ ඉහත දැක්වූ මතය අනුව සලකා බලනවා නම් ප්රජාතන්ත්රවාදී ආණ්ඩුක්‍රමයක් ප්‍රතික්ෂේප කරමින් ඒ වෙනුවට ඒකාධිපති ආණ්ඩුක්‍රමයක් ඉල්ලා සිටින්නේ නම් ඒ කෙරෙහි බලපාන හේතුව පවතින ප්රජාතන්ත්රවාදී ආණ්ඩුක්රමය දුෂිත වී ප්රජාපීඩක තත්ත්වයට පත්වීමය.
මෙම න්‍යාය වර්තමාන යහපාලන ආණ්ඩුවට ගලපනවා නම් එයින් කියවෙන්නේ පවතින යහපාලන ආණ්ඩුව දුෂිත ප්රජාපීඩක ආණ්ඩුවක් බවට පත් වී තිබෙන බවද? මෙම ප්‍රශ්නයට එක එල්ලේ පිළිතුරක් සැපයීම පහසු කාර්යයක් නොවේ. නමුත් උපාලි හාමුදුරුවන්ගේ සහ විජයකලා මන්ත්‍රීවරියගේ ප්‍රකාශවලින් පෙන්නුම් කරන්නේ යහපාලන ආණ්ඩුව එවැනි අර්බුදයකට මුහුණ දී තිබෙන බව සහ එම හේතුවෙන් යහපාලන ආණ්ඩුව තවදුරටත් රට පාලනය කිරීමට නුසුදුසු බවය.
උපාලි හාමුදුරුවන්ගේ සහ විජයකලා මහේශ්වරන් මන්ත්‍රීවරිය ඉදරිපත් කරන ආඥාදායක පාලන ක්‍රමයක් යන අදහස කුමන හේතුවක් නිසාවත් අනුමත කළ නොහැකි බව අමුතුවෙන් කිවයුතු නැත. නමුත් එම අදහස මුළුමනින්ම නොසළකා හැරීමේ හැකියාවක්ද නැත. හේතුව බලයට පත් වී ගතවුණ වසර තුනක කාලය තුළ දී රාජ්‍ය පාලනය සම්බන්ධයෙන් යහපාලන ආණ්ඩුව දක්වා තිබෙන බරපතළ අසමත්භාවයයි. රට මුහුණ දී තිබෙන මූලික දේශපාලන, ආර්ථික හා සමාජ ප්‍රශ්න විසඳීමට යහපාලන ආණ්ඩුව අසමත් වී තිබෙනවා පමණක් නොව අඩුම වශයෙන් රට තුළ නීතිය හා සාමය පවත්වා ගෙනයාම සම්බන්ධයෙන්ද යහපාලන ආණ්ඩුව අසමත් වී ඇති තත්ත්වයකුයි දැකිය හැකි වන්නේ. මෙවැනි තත්ත්වයක් තුළ ප්රජාතන්ත්රවාදී පාලන ක්‍රමය කෙරෙහි විශ්වාසය බිඳ වැටීම පුදුමයට හේතුවක් නොවේ.
පුදුමයට හේතුව පුරා දශකයකට ආසන්න කාලයක් ආඥාදායක පාලන ක්‍රමයකට එරෙහිව කරන ලද අරගලයකින් පසුව දිනාගත් ප්රජාතන්ත්රවාදී පාලන ක්‍රමය එම අරගලය කරන ලද ජනතාව විසින්ම ප්‍රතික්ෂේප කොට අවුරුදු තුනක් ගතවීමටත් ප්‍රථමයෙන් යළි ආඥාදායක පාලන ක්‍රමයක් ඉල්ලා සිටීමට තරම් පෙළඹීමය. මෙයට වගකිව යුත්තේ කවුරුන්ද? ජනතාවද නැතිනම් ප්‍රජාතන්ත්‍රවාදයද? එසේත් නැතිනම් ප්රජාතන්ත්රවාදය ජනතාවට එපා කරවූ යහපාලන ආණ්ඩුකරුවන්ද?

