පොහොට්ටුවේ නියම උරුමකරුවෝ එලියට යති

තමන් නිවැරදි ලෙස දේශපාලන අනාවැකි කියූ ආකාරය පිළිබඳව රහස එක්සත් ජාතික පක්ෂයේ සභාපති වජිර අබේවර්ධන මහතා පසුගිය දා හෙළිදරව් කළේය. සති අන්තයේ ගාල්ලේ පැවති එක්සත් ජාතික පාක්ෂිකයින්ගේ රැස්වීමක දී අබේවර්ධන මහතා ප්‍රකාශ කළේ පාර්ලිමේන්තුවේ එක ආසනයක් තියාගෙන රනිල් වික්‍රමසිංහ මහතා අගමැති වන බව සහ අගමැති වී ජනාධිපති වන බව කියන විට එදා ජනතාව තමන්ට පිස්සු කියා සිතූ බව යි. එසේ වුවත්, අද වනවිට ඒ අනාවැකි සියල්ල නිවැරදි බව තහවුරු වී ඇතැයි කියූ ඒ මහතා එලෙස නිවැරදි ලෙස ආනාවකි කීමට තමාට හැකි වීමේ රහස ද හෙළිදරව් කළේය.
වජිර අබේවර්ධන මහතා කීවේ රට දරුණු ආර්ථික අර්බුදයකට ගමන් කරමින් තිබෙන බව එජාප නායක රනිල් වික්‍රමසිංහ මහතා වසර දෙකකට පෙර තමා සමග පැවසු බව යි. 2022 මැද 2023 වනවිට එය ඉතා දරුණු වන බව රනිල් වික්‍රමසිංහ මහතා එදා තමාට පැවසු බව වජිර අබේවර්ධන මහතා කී ය.
“එතකොට මේක පාලනය කරන්නේ කවුද ? “ යි තමන් රනිල් වික්‍රමසිංහ මහතාගෙන් විමසු බවත්, “ වජිර එදාට රට පාලනය කරන්න වෙන්නේ අපට “ කියා වික්‍රමසිංහ මහතා කියූ බවත්, වජිර කියයි. ඒ අනුව තමන් තම අනාවැකි කී බව ඒ මහතා පවසයි.
වජිරගේ නොවරදින රහස
වජිර අබේවර්ධන මහතාගේ කතාවෙන් කියවුණේ වත්මන් ආර්ථික අර්බුදයට මුහුණ දීමට රනිල් වික්‍රමසිංහ මහතාට හැර වෙනත් දේශපාලඥයකුට නොහැකි බව එදා සිට ම දැන සිටි බව සහ ඒ අනුව අනාවැකි කීම සහ සැලසුම් කිරීම ද සිදු කළ බව යි.
එජාප සභාපති වජිර අබේවර්ධන මහතාගේ නොවරදින අනාවැකි කීමේ රහස එය යි. එනම් එළඹෙන ආර්ථික අර්බුදයේ දරුණු බව කල්තියා තේරුම් ගැනීම සහ එයට මුහුණ දීමේ දැනුම සහ පරිනතභාවය සහිතව ක්‍රියා කිරීම යි.
කෙසේ වෙතත්, අර්බුදයට මුහුණ දීමේ දී රාජ්‍ය යන්ත්‍රයේ ක්‍රියාත්මක වීමේ අභ්‍යන්තර ගැටුමක් ද වජිර අබේවර්ධන මහත්ගෙන් එදින ප්‍රකාශ වී ය. ඔහු කීවේ රට බංකොළොත් බව අප්‍රේල් 12 දා ප්‍රකාශයට පත්කිරීම ව්‍යවස්ථා විරෝධී ක්‍රියාවක් බව යි. ඔහු කීවේ ව්‍යවස්ථාවට අනුව මුදල් බලය ඇත්තේ පාර්ලිමේන්තුවට බව සහ පාර්ලිමේන්තුවට නොදන්වා බංකොළොත් භාවය ප්‍රකාශ කිරීම ව්‍යවස්ථා විරෝධී ක්‍රියාවක් බව යි.
ඇතුළේ ගැටුමක් එළියට
මෙයින් ප්‍රකාශයට පත්වුයේ මහ බැංකුව, මුදල් අමාත්‍යාංශය සහ දේශපාලන බලධාරීන් අතර ඇතිව තිබෙන ගැටුම්කාරී තත්ත්වයකි.
ණය නොගෙවන බව ප්‍රකාශ කළේ ශ්‍රී ලංකා මහ බැංකුව යි. එයට පක්ෂව කියවුණේ ණය ගෙවීමට බැරි වනවාට වඩා නොගෙවන බව ප්‍රකාශ කිරීම ණය ප්‍රතිව්‍යුහගත කිරීමේ සාකච්ඡා සඳහා පහසු වන බව යි. කෙසේ වෙතත්, එයට ඇතැම් දේශපාලඥයන්ගෙන් විවේචන එල්ල වුයේ එම තීරණය නිසා මෙරට රජයට කිසිදු රටකින් ණය ගැනීමට නොහැකි තත්ත්වයක් උද්ගත වූ බව කියමිණි . එජාප සභාපතිවරයාගේ ප්‍රකාශයෙන් හෙළි වුයේ එම ගැටුම යි.
මහ බැංකුවේ මෙබඳු තීරණ ගැන දේශපාලඥයන්ගේ ප්‍රසාදයක් නැති බව විවෘත ගිණුම් ක්‍රමය යටතේ භාණ්ඩ ආනයන ප්රශ්නයේ දී ද, පෙනෙන්නට තිබිණි. එම ක්‍රමය මහ බැංකුව විසින් තහනම් කොට තිබිණි. පසුව වෙළෙඳ ඇමතිගේ ඉල්ලීම මත ඇතැම් භාණ්ඩ සඳහා තහනම ඉවත් කරනු ලැබී ය. එම භාන්ඩ මිල පහළ යමක් දක්නට ලැබුණු අතර වෙළෙඳ ඇමති කීවේ විවෘත ගිණුම් ක්‍රමයට ඉඩ දීම නිසා මිල පහත වැටුණු බව යි. කෙසේ වෙතත්. මහ බැංකු අධිපති නන්දලාල් වීරසිංහ මහතා පසුගිය දා පැවති මාධ්‍ය හමුවක දී කීවේ මිල පහත ගියේ විවෘත ගිණුම් ක්‍රමයට ඉඩ දීම නිසා නොව මහ බැංකුව ගත් වෙනත් ක්‍රියාමාර්ග සාර්ථක වීම නිසා බව යි.
මේ අතර විවෘත ගිණුම් ක්‍රමය සම්පුර්ණයෙන් තහනම් කිරීමේ නියෝගයක් මහ බැංකුව විසින් කෙටුම්පත් කොට මුදල් අමාත්‍යංශයට ඒවා ඇති අතර අමාත්‍යාංශය තවමත් එය ගැසට් කොට නැත.
මහ බැංකුවේ ඉල්ලීම මත භාණ්ඩ 305 ක් ආනයනය තහනම් කිරීම සන්බන්ධයෙන් ද විවේචන ඇති බව වාර්තා වෙයි.
දේශපාලඥයන් සහ නිලධාරීන් අතර පවතින මෙම මත ගැටුම මේ වනවිට දේශපාලන ලෝකයේ රහසක් නොවේ. දේශපාලඥයන්ගේ ප්‍රකාශ මගින් එම ගැටුම ප්‍රකාශයට පත්වීම ද වැළක්විය නොහැකි වී තිබේ.
සර්ව පාක්ෂික නොකෙරන වෙදකම
මෙරට දේශපාලන සමාජය තුළ මාස ගණනක් තිස්සේ කතාබහට ලක්ව තිබෙන සර්ව පාක්ෂික ආණ්ඩුව ද තවමත් පිහිටුවා ගැනීමට නොහැකි වී තිබේ. එයට ප්‍රධාන හේතුවක් වී ඇත්තේ විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතාගේ දැඩි විරෝධය යි. එබැවින් මේ වනවිට ප්‍රකාශ වන්නේ එය නොකෙරෙන වෙදකමක් බවට පත් වී ඇති බව කි.
ඒ අතර ආරංචි පැතිර තිබුණේ සමගි ජන බලවේගයේ ඇතැම් ප්‍රබලයින් ඇමති තනතුරු ලබාගෙන ආණ්ඩුවට එක්වීමට සුදානමින් සිටින බවට යි. එලෙස ආණ්ඩුවට එක් වනු ඇතැයි ආරංචි පැතිර තිබු ආචාර්ය හර්ෂ ද සිල්වා මන්ත්‍රීවරයා පසුගිය දා පැවති රුපවාහිනී වැඩ සටහනකට සහභාගී වෙමින් කීවේ සර්ව පාක්ෂික ආණ්ඩුවක් බිහිවන්නේ නම් එය රටට යහපතක් බව යි. කෙසේ වෙතත්, තනිව ආණ්ඩුවට ගොස් ඇමති ධුර භාර නොගන්න බව ද ඒ මහතා කී ය.
සඳුදා කොළඹ පැවති රැස්වීමක දී හිටපු ජනාධිපති, ශ්‍රීලනිප සභාපති මෛත්‍රීපාල සිරිසේන මහතා ද කීවේ සර්ව පාක්ෂික ආණ්ඩුවක් බිහි නොවීම කණගාටුවට කරුණක් බව යි. ‘වෙනසකට මගක්’ ලෙස මෙම සමුළුව සංවිධානය කොට තිබුණේ ‘පැෆරල් ‘ සංවිධානය විසිනි. දේශපාලනයේ ස්ත්‍රීන් බලසතු කිරීම තේමා කොටගෙන සමුළුව සංවිධානය කොට තිබිණී.
සමුළුව ඇමතු මෛත්‍රීපාල සිරිසේන හිටපු ජනාධිපතිවරයා කීවේ, රාජ්‍ය පාලනයේ දී සහ ජාතික සම්පත් සම්බන්ධ කරුණුවල දී, විවිධාකාර විදේශ බලපෑම්වලට මුහුණ දීමට සිදුවන බව තම අත්දැකීම බව යි. එවැනි කරුණුවල දී, දේශපාලන පක්ෂ සියල්ල රටක් ලෙස එකට සිටීමෙන් ජාත්‍යන්තරයට ශක්තිමත් ලෙස මුහුණ දීමට හැකි වන බව කී හිටපු ජනාධිපතිවරයා කීවේ ඒ සඳහා මේ අවස්ථාවේ සර්ව පාක්ෂික ආණ්ඩුවක් බිහි නොවන තත්ත්වයක් පැන නැගීම කණගාටුවට කරුණක් බව යි. සර්ව පාක්ෂික ආණ්ඩුවක් බිහි නොවන්නේ පාර්ලිමේන්තුවේ බහුතරය විරුද්ධ නිසා බව ද , එය ඉතා කණගාටුදායක තත්ත්වයක් බව ද ඒ මහතා කී ය.
මෛත්‍රී සජිත්ගේ මුහුණට ම කියයි
මෛත්‍රීපාල සිරිසේන මහතා සර්ව පාක්ෂික ආණ්ඩුවට පාර්ලිමේන්තුවෙන් එල්ල වන විරෝධය ගැන තම කණගාටුව ප්‍රකාශ කළේ එම විරෝධයේ ප්‍රධාන ප්‍රකාශකයා වන විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා ද ආරාධිතයකු ලෙස සහභාගී වී සිටි සමුළුවක දී වීම ද වැදගත් කරුණකි.
කුමාර වෙල්ගම මහතාගේ නායකත්වයෙන් යුතු නව ලංකා නිදහස් පක්ෂය ද සර්ව පාක්ෂික ආණ්ඩුවක් වෙනුවෙන් දිගින් දිගට පෙනී සිටියේ ය. එම පක්ෂය ජනාධිපතිවරයා වෙත පසුගිය සඳුදා යවන ලද ලිපියක් මගින් විශේෂ ඉල්ලීමක් කොට තිබිණි. එනම් දුෂණ චෝදනා එල්ලවුවන්ට ආණ්ඩුවේ ඇමති තනතුරු නොදෙන ලෙස යි.
මෙබඳු ඉල්ලීමක් කිරීමේ හේතුව වුයේ තම පක්ෂයේ ඇමති ධුර ලැබිය යුත්තන් ලෙස, ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාට ඉදිරිපත් කළ නම් ලැයිස්තුවකි. එහි සඳහන්ව තිබු ජොන්ස්ටන් ප්‍රනාන්දු, සනත් නිශාන්ත, රෝහිත අබේගුණවර්ධන, මහින්දානන්ද අලුත්ගමගේ, සහ නාමල් රාජපක්ෂ වැනි ඇතැම් නම් ගැන ජනාධිපතිතුමා ද තම නොසතුට පළ කොට තිබිණි.
කුමාර වෙල්ගම මහතාගේ විරෝධයෙන් පෙනී ගියේ, විපක්ෂයෙන් එකතුවීමට සුදානම් පිරිස ද ඉහත කී පිරිස සමග ආණ්ඩුවකට එකතු වීමට අකමැති වනු ඇති බව යි.
සර්ව පාක්ෂික පාලනයක් සම්බන්ධයෙන් තවත් වැදගත් පියවරක් වන්නේ පාර්ලිමේන්තුවේ සියලු පක්ෂ නායකයින්ගේ ජාතික සභාවක් පිහිටුවීමේ යෝජනාව යි. ඒ සඳහා යෝජනා කෙටුම්පතක් අග්‍රාමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මහතා විසින් පසුගිය සඳුදා පාර්ලිමේන්තුවේ පක්ෂ නායකයින් වෙත ලබාදෙනු ලැබී ය. ඒ පිළිබඳව පක්ෂවල අදහස් ගැන සාකච්ඡාවක් සිකුරාදාට යොදාගෙන තිබිණි.
මෙම වර්ෂයේ ඉදිරි මාස කිහිපය සඳහා ආණ්ඩුවේ අතුරු අයවැය ලේඛනය පාර්ලිමේන්තුවට අඟහරුවාදා ඉදිරිපත් කළ මුදල් ඇමති, ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා තම කතාව අවසන් කළේ සර්ව පාක්ෂික ආණ්ඩුවක් සඳහා සියලු පක්ෂවලට කරන ආරාධනය අලුත් කරමිනි. ආණ්ඩුවේ යම් යම් ක්‍රියාවන්ට එකඟ විය නොහැකිය කියමින් සර්ව පාක්ෂික ආණ්ඩුවකට එක් විය නොහැකි බව කියන අයට ජනාධිපතිතුමා කීවේ සර්ව පාක්ෂික ආණ්ඩුවක් හදන්නේ කිසිදු තනි පුද්ගලයකුගේ හෝ පක්ෂයක හෝ ප්‍රතිපත්ති ක්‍රියාත්මක කරන්නට නොවන බව යි. පොදු එකඟතා මත ක්‍රියා කිරීමට සර්ව පාක්ෂික ආණ්ඩුවකට එක්වන ලෙස වික්‍රමසිංහ මහතා සියලු පක්ෂවලින් යළි ඉල්ලීමක් කළේය.
ජී එල්, ඩලස් විපක්ෂයට
මහාචාර්ය ජී එල් පීරිස්, ඩලස් අලහප්පෙරුම කණ්ඩායම බදාදා පාර්ලිමේන්තුවේ විපක්ෂයේ අසුන් ගැනීම ද තවත් වැදගත් දේශපාලන වර්ධනයකි, මහාචාර්ය චරිත හේරත්, මහාචාර්ය චන්න ජයසුමන , ආචාර්ය නාලක ගොඩහේවා, ඩිලාන් පෙරේරා ඇතුළු 13 දෙනෙක් එම කණ්ඩායමට ඇතුළත් වෙති.
තම කණ්ඩායමේ ඉදිරි සැලසුම් ගැන කතා කරමින් මහාචාර්ය ජී එල් පීරිස් මහතා එහි දී කිවේ 2020 මහා මැතිවරණයට ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ ලෙස තමන් ඉදිරිපත් කළ වැඩ පිළිවෙළට විශාල මහජන අනුමැතියක් ලැබුණු බව සහ පසුව එම වැඩ පිළිවෙළින් ඉවත්වීම අර්බුදයට හේතු වූ බව යි. එම වැඩ පිළිවෙළ ඉදිරියට ගෙන යාම තම කණ්ඩායමේ අරමුණ ලෙස ඒ මහතා ප්‍රකාශ කළේය.
ඒ අනුව පෙනී යන්නේ ශ්‍රී ලංකා පොදුජන පෙරමුණු දේශපාලනයේ සැබෑ උරුම කරුවන් ලෙස පෙනී සිටීම මෙම කණ්ඩායමේ අරමුණ බව යි.
මෙලෙස ප්‍රකාශයට පත්වුයේ පොදුජන පෙරමුණේ කාලයක් තිස්සේ පැවති තවත් බෙදීමකි. කෙසේ වෙතත්, ඒ සමග පොදුජන පෙරමුණේ පාර්ලිමේන්තු බලය තවත් දුර්වල වූ බව පැහැදිලි කරුණකි. ඒ අනුව තනිව ආණ්ඩුවක් ගෙන යා හැකි තනි කණ්ඩාමක් මේ වන විට පාර්ලිමේන්තුව තුළ නැත. එහි දැන් ඇත්තේ එකිනෙකට නොපෑහෙන පක්ෂ සහ කණ්ඩායම් ගණනාවකි. සර්ව පාක්ෂික ආණ්ඩුවක් නැතත්, පක්ෂ අතර සම්මුතියක් නොමැතිව පාලනයක් ගෙන යා නොහැකි තත්ත්වයක් පවතින බව පැහැදිලි කරුණකි.
රනිල්, සජිත්ගේ අම්මා මතක් කළ හැටි
මුදල් ඇමති ලෙස අඟහරුවාදා අතුරු අයවැය ලේඛනය ඉදිරිපත් කළ ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා පාර්ලිමේන්තුවේ අයවැය විවාදය පවතිද්දී බදාදා හදිසියේ පාර්ලිමේන්තුවට පැමිණියේ ය. ඒ මහතා පැමිණ කළ කෙටි ප්‍රකාශයකට කාගේත් අවදානය යොමු වූ බව පෙනෙන්නට තිබිණි.
ජනාධිපතිවරයා පාර්ලිමේන්තුවට කීවේ හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා වෙනුවෙන් ආණ්ඩුව රුපියල් මිලියන 400 ක් වියදම් කර ඇතැයි රජයට එල්ල වන චෝදනාවේ කිසිදු සත්‍යතාවයක් නැති බව යි. මහින්ද වෙනුවෙන් රුපියල් හතරක්වත් වියදම් කර නැති බව කී ජනාධිපතිතුමා හිටපු ජනාධිපතිවරුන් සහ ඔවුන්ගේ වැන්දඹුවන් රැක බලා ගැනීම රජයේ වගකීමක් බවත්, එම වගකීම ඉටුකරන බවත්, ප්‍රකාශ කළේ සභාවේ සිනා හඬ මධ්‍යයේ ය.
රජයෙන් රැක බලා ගන්නා හිටපු ජනාධිපති වැන්දඹුවක් සිටින්නේ හේමා ප්‍රේමදාස මැතිනිය යි. ඇය විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතාගේ මව යි. සජිත්ගේ මව රැක බලා ගැනීමේ වගකීම ද රජය ඉටුකරන බව රනිල් වික්‍රමසිංහ මහතා පාර්ලිමේන්තුවට මතක් කර දුන්නේ ඒ ආකාරයෙනි.
දැඩි ආර්ථික අර්බුදයකට මුහුණ දී බංකොළොත් බව ප්‍රකාශ කොට සිටින ශ්‍රී ලංකාවට 31 දා බදාදා දිනය තීරණාත්මක ලෙස වැදගත් වූ දිනයකි. ඒ එදින ජාත්‍යන්තර මුල්‍ය අරමුදල සමග කාර්ය මණ්ඩල මට්ටමේ ගිවිසුම සඳහා එකඟත්වය ඇතිකර ගැනීමට හැකි වූ නිසා ය. මෙය සැලකෙන්නේ අර්බුදයෙන් ගොඩ යාමට ශ්‍රී ලංකාව ජයගත යුතුව තිබු ප්‍රථම අභියෝගය වශයෙනි.
අයි එම් ඒෆ් ගිවිසුම
ශ්‍රී ලංකාව මුල්‍ය අරමුදල සමග සාකච්ඡා ආරම්භ කළේ පසුගිය අප්‍රේල් මාසයේ ය. අතත්‍ය සාකච්ඡා ලෙස පැවති පළමු වටයෙන් පසු මුල්‍ය අරමුදලේ නියෝජිත පිරිසක් ජුනි මාසයේ ශ්‍රී ලංකාවට පැමිණ සාකච්ඡා කළේය. ඊළඟ වටයේ සාකච්ඡා ජුලි මාසයේ පැවැත්වීමට නියමිතව තිබුණ ද පැවති දේශපාලන වියවුල් නිසා එය කළ නොහැකි වී ය. පසුගිය සතියේ යළි මෙරටට පැමිණි ධුත පිරිස මෙම ගිවිසුම සඳහා එළඹුණේ මෙරට බලධාරීන් සමග කළ සාකච්ඡා මාලාවකින් සහ විස්තීර්ණ අධ්‍යයනයකින් පසුව ය.
මෙම ගිවිසුමට එළඹී පමණින් මෙරටට අයි එම් එෆ් ණය ලැබෙන්නේ නැත. එසේ වුව ද, දැනට ඇති ණය ප්‍රතිව්‍යුහගත කර ගැනීමට සහ වෙනත් මාර්ග වලින් ණය හා ආධාර ලබාගැනීමට අවශ්‍ය විස්වාසය එමගින් ගොඩ නැගෙන බව විශ්වාස කෙරෙයි.
මෙරට සඳහා ඩොලර් මිලියන 200 ක හදිසි ණය මුදලක් ලබා දීමට ආසියානු සංවර්ධන බැංකුව තීරණය කොට ඇති බව ද ඒ සමග වාර්තා වී ය.
මේ සතියේ ලැබුණු තවත් වැදගත් ප්‍රවෘත්තියක් වුයේ මෙරට ණය හිමියන්ගේ සමුළුවක් කැඳවීමට මුලිකත්වය ගැනීමට ජපානය කැමැත්ත පළ කිරීම යි.
විමල්ගේ පෙරමුණ කල එළියට
මේ අතර ස්වාධින පක්ෂ කණ්ඩායම ලෙස හඳුන්වනු ලබන විමල් වීරවංශ, උදය ගම්මන්පිල, වාසුදේව නානායක්කාර ඇතුළු කණ්ඩායම ද වෙන ම දේශපාලන පෙරමුණක් ලෙස කලඑළි බැසීම 4 දා මහරගම තරුණ සේවා සභා ශාලාවේ දී සිදු කිරීමට නියමිත ය. එම පෙරමුණේ නායකත්වයට විමල් වීරවංශ මහතා තෝරාගෙන ඇති බව වාසුදේව නානායක්කාර මහතා පසුගිය දා ප්‍රකාශ කළේය.
2020 මහා මැතිවරණයෙන් අන්ත පරාජයක් ලබා ජාතික ලයිස්තුවේ එක මන්ත්‍රීවරයකුට සීමා වී සිටි සහ එම එක ම මන්ත්‍රීවරයා පළමුවෙන් අගමැති ධුරයට සහ පසුව ජනාධිපති ධුරයට පත් කරගත් එක්සත් ජාතික පක්ෂය ද ඔවුන්ගේ යලි පිබිදීම ආරම්භ කරන්නට සුදානම් වී ඇත. ඒ ලබන 6 දා සුගතදාස ගෘහස්ත ක්රීඩාඟණයේ දී පක්ෂ වාර්ෂික සම්මේලනය පවත්වමින් ය. ඒ සඳහා සියලු කටයුතු මේ දිනවල සිදු කරමින් පවතියි.
සීජේ
දේශපාලන සතිය – අනිද්දා
