එහෙට මෙහෙට දෝලනය වන මානව හිමිකම් – නිශාන්ත කමලදාස
මේ සමය මෙවැනි මාතෘකාවක් කතා කිරීමට සුදුසු දැයි කෙනකුට ප්‍රශ්න කළ හැකි ය. බඩගිනි වේලාවක ආහාර ගැන මිසක, ආදරය ගැන කතා කරන තරමට ම එය නොගැළපේ යැයි ද කිව හැකි ය. එහෙත්, ආදරය වඩාත් අවශ්‍ය බඩගිනි වූ විට ය. ඒ තනියම නොව, බෙදා ගෙන කෑ යුතු නිසා ය. මේ වෙලාවේ දී ද මිනිසුන්ගේ මූලික ප්රශ්නය තමන්ගේ සුරක්ෂිතතාව ය. එය අනතුරට ලක් ව ඇති මොහොතක මානව හිමිකම් අහවල් මගුලකට දැයි යන ප්රශ්නය බැලූ බැල්මට සාධාරණ ය. එහෙත්, බොහෝ දෙනකු නොදන්නවාට සුරක්ෂිතතාව ද මානව හිමිකමකි. අපගේ සුරක්ෂිතතාව සම්බන්ධයෙන් එය මානව හිමිකමක් ලෙස පිළිගැනෙන්නේ වුව, බොහෝ දෙනකුට අනෙකාගේ සුරක්ෂිතතාව සම්බන්ධයෙන් එහෙම හිතෙන්නේ නැත. එයට හේතුව, අපේ සුරක්ෂිතතාව පමණක් බලා ගන්නට සිතන අයට, දිගුකාලීනව එය ද අහිමි විය හැකි නිසා ය. අනෙකා සුරක්ෂිත නොකරන වැඩපිළිවෙළක් තුළ, අපේ සුරක්ෂිතතාව ද දුර්වල විය හැකි නිසා ය. ඒ, මානව හිමිකම් නැති තැනක ඇති කරන පීඩනය, සුරක්ෂිත වටපිටාවකට අනුග්‍රහයක් සපයන්නේ නැති නිසා ය.
ඒ නිසා ම, මට හිතෙන හැටියට මානව හිමිකම් ගැන දැඩිව කතා කළ යුත්තේ මේ අප පසු කරන කාලයේ දී ය. එයට අමතරව අද වඩාත් ම තර්ජනයට ලක් ව ඇත්තේ ද අපේ සුරක්ෂිතතාව හැරුණු කොට, මානව හිමිකම් නිසා ය.
මානව හිමිකම් අතර ප්‍රබල තැනක් ගන්නේ නිදහස ය. එය පුද්ගල නිදහස හා ප්රජාවකගේ නිදහස යන දෙ ආකාරයෙන් ම ප්රකාශමාන වෙයි.
පුද්ගල නිදහස
නිදහස යනු අනුන් අණ කරන දෙයක් කිරීමට, අනුන් අණ කරන විදිහට ජීවත් වීමට, අනුන් අණ කරන මතයක් දැරීමට නොව, තමන්ට නිසි මේ යැයි, නිවැරැදි මේ යැයි, තමන් විසින් ම නිගමනය කර, ඒ අනුව කටයුතු කිරීමට පුද්ගලයකුට, ප්රජාවකට, ඇති ඉඩකඩට ය.
තමන්ට කැමැති වෘත්තියක හෝ ව්‍යපාරයක නියැළීමේ නිදහස, ප්‍රසිද්ධ ස්ථානයක දී කැමැති ඇඳුමක් ඇඳීමේ නිදහස, කැමැති කෑමක් කැමැති ආකාරයකට පිළියෙල කර අනුභවයේ නිදහස, කැමැති කෙනකු සමඟ ලිංගිකව එක් වීමේ නිදහස, කැමැති සහකරුවකු හෝ සහකාරියක් සමඟ විවාහ ගිවිස ගැනීමේ නිදහස, තමන්ගේ රට තුළ තමන්ට කැමැති තැනක ජීවත් වීමේ නිදහස යන බොහෝ දේ එහි අඩංගු ය.
භාෂණයේ නිදහස, සමාජයේ සිදු වන දෑ විචාරයට විවේචනයට ලක් කිරීමේ නිදහස සහ නිර්මාණකරණයේ යෙදීමේ නිදහස ද ඊට අයත් ය.
කරදරයකින් තොරව, පැහැර ගැනීම් බිය වැද්දීම් අතුරුදහන් කරවීමෙන් තොරව, හිංසනයෙන් තොරව, ජීවත්වීමේ නිදහස ද ඊට අයත් ය.
මෙය පුද්ගලයන් සම්බන්ධයෙන් අදාළ යැයි පිළිගන්නා අය ද, ජන කොටසකට මේ අයිතිය තිබිය යුතු යැයි පිළිගන්නේ නැත. යම් ජන කොටසක් රටක ජීවත් වෙයි නම්, ඒ ජන කොටස බහුතරයේ මතිමතාන්කරවලට යටත් විය යුතු යැයි හැඟීමක්, එසේ සිතන අය තුළ තිබේ.
මෙය සිංහල බෞද්ධයන්ගේ රටක් යැයි ද, සෙසු ජාතීන් ජීවත් විය යුත්තේ ඔවුන්ගේ අවසරය ලැබෙන ප්‍රමාණයට, ඔවුන්ගේ අනුකම්පාව මත යැයි ඔවුන් කල්පනා කරන බව පෙනෙන්නට තිබේ. හැමදාමත් ඡන්ද ගොඩ ගැන සිතන්නේ නැතිව, නිභයව කතා කරන මංගල සමරවීර ඇමැතිතුමා අද කුණු බැණුම් අසන්නේ, එය එසේ නොවන බව කියන්නට ගොසින් ය.
මේ ලිපියෙන් අප සාකච්ඡා කිරීමට අපේක්ෂා කරන්නේ, මේ පුද්ගල මෙන් ම ප්‍රජාවගේ ද නිදහස ගැන ය.
ඒවා මානව හිමිකම් ලෙස වත්මන් ලෝකයේ බොහෝ රටවල පිළිගැනේ. එහෙත්, ඇතැම් රටවල් පොදුවේ මානව හිමිකම් සම්බන්ධයෙන්, විශේෂයෙන් පුද්ගල නිදහස හා ප්රජාවකගේ නිදහස සම්බන්ධයෙන්, වෙනස් ප්‍රතිපත්තියක් අනුගමනය කරන්නේ ය. ඒ සියල්ල “රජු“ට නැත්නම් රජයට රිසි පරිද්දෙන් සකස් විය යුතු යැයි විශ්වාස කරන්නේ ය.
එවන් රටක අදහස් ප්‍රකාශ කළ හැක්කේ, පොත් ලිවිය හැක්කේ, කලා නිර්මාණයක් කළ හැක්කේ, රජය අනුමත කරන සම්මතය තුළ ය. ව්‍යාපාරයක් ආරම්භ කළ හැක්කේ, රජය අනුමත කරන ක්ෂේත්රවල ය. යම් යම් දේ කළ හැක්කේ රජය අවසර දෙන දිනවල ය. අවසර දෙන හෝරා තුළ ය. ඇතැම් සමාජවල මේ සඳහා රජයක්ම වීම අවශ්‍ය නැත. ආගමික ආයතන විසින් ද මෙවැනි ම තහංචි පනවනු අපට ඇතැම් සමාජයන්හි දැකිය හැකි ය. මාධ්‍ය ඔස්තාර්ලා ද ඒ තහංචි පනවන්නන් අතර සිටිය හැකි ය.
ඕනෑම රටක් තුළ මෙවැනි සීමා ඇතැයි යන්න ඇත්ත ය. එහෙත්, එවැනි සීමාවල අර්ථය වන්නේ, පුද්ගලික නිදහස පොදු උන්නතියට එරෙහිව නොයා යුතු බව ය. අප මේ කියන රටවල පොදු උන්නතියට එරෙහිව යනවා යැයි සැක හිතෙන ඒවා සම්බන්ධයෙන් පමණක් නොව, කිසියම් සම්ප්රදායක් පිළිබඳ සැකයක් මතු කරන දෙයක්, විචාරශීලී මැදිහත් වීමක් සම්බන්ධයෙන් වුව ද සීමා පනවා තිබේ.
එපමණක් නොව, එවැනි රටවල ඒ අණ හැම ක්ෂේත්රයක් පුරා ම, හැම අස්සක් මුල්ලක් පුරා ම පැතිර ගොස් තිබේ. ඒවා අන්තවාදී ආගමික මති මතාන්තරවලින් ද, පටු අදහස්වලින් ද මෙහෙයවනු ලැබ තිබේ. ප්‍රධාන ධාරාවේ අදහස් හැරුණු කොට, වෙනත් මත තිබීම බරපතළ වැරැද්දක් ලෙස සළකනු ලැබේ. බහුතරය අනුයන හැසිරීම් මිසක, වෙන හැසිරීම් ද ඒ ලෙස ම බැහැර කෙරේ. විවිධත්වය පිළිගැනීමට සූදානම් නොමැති බව බොහෝ විට ප්‍රදර්ශනය කර තිබේ.
සම-ලිංගිකත්වය, සංක්‍රාන්ති ලිංගිකයකු වීම, එක් කලෙක වමත් කාරයකු වීම තරමට ම නපුරු යැයි හංවඩු ගසා තිබීම, මේ සම්බන්ධයෙන් දිය හැකි එක් උදාහරණයකි. තර්ජනයට ලක් වී නොමැති යම් නිශ්චිත සතුන්ගේ පවා මස් කෑම තහනම් කිරීම තව උදාහරණයකි. ඇතැම් දිනවල නෘත්‍ය ගීත වාදනවලට තහනම් පැනවීම තව උදාහරණයක් ය. මස් විකිණීමට, මත් පැන් විකිණීමට තහනම් පැනවෙන්නේ ඒ නිසා ය. තහනම් කරන එක ද කාරණයක්වත්, පුරවැසියන්ගේ පොදු යහපතට හරහට හිටින්නේ නැති බව විශේෂයෙන් සැළකිය යුතු ය. වෙන ජාතිකයකුට තම රට තුළ ජීවත් විය හැක්කේ, ඒ රටේ ප්‍රධාන ජනවර්ගය ජීවත් වන ආකාරයට යැයි විශ්වාස කෙරේ. ඉතිරි චර්යාවලට බාධා එල්ල කෙරේ. ඒවා අකුලා ගැනීමට අණ කෙරේ.
දැඩි දඬුවම්
ඊට අමතරව මේ කියන රටවල පනවා ඇති සීමා අතික්‍රමණය කරන අයට, වැරැද්දට නොසරිලන, දැඩි දඬුවම් ලැබේ. ඒවායේ සීමා පිළිබඳ සම්මත පවා සකසා ඇත්තේ ව්‍යාකූල ලෙස ය. ඒ නිසා, කෙනකුට සිදු වන්නේ ස්වයං වාරණයක් දමා ගැනීමට ය. නිදහස තමා විසින් ම සීමා කර ගැනීමට ය.
එවැනි රටවල දර්ශනය මෙබඳු ය. පොදු උන්නතිය උදෙසා පුද්ගල නිදහස සහ කිසියම් නිශ්චිත ජන කොටසකගේ නිදහස අකුළා දැමිය යුතුය යන්න ය. පුද්ගල නිදහස ඒ හැටි ඔළුව උඩ තබා ගත යුතු යමක් නොවන බව ය. මානව හිමිකම් සුද්දන්ට තියා ගන්නට කියා, අප අපේ රටේ මිනිසුන්ට විලංගු ලා, අපේ සංස්කෘතික රාමුව තුළ තැබිය යුතු බව ය. අවශ්‍ය තැනක ගහලා හෝ හදා ගත යුතු බව ය.
කෙනකු සිය නිදහස වගකීමෙන් යුතු ව භාවිත කළ යුතු බව ඇත්ත ය. එසේ නොකිරීමෙන්, සෙසු මිනිසුන් අගතියට පත් විය හැකි ය. මේ ගැන තිබෙන අගනා කියමනකින් කියැවෙන්නේ, කෙනකුගේ හැරමිටිය වැනීමේ නිදහස, ඉදිරියෙන් ඉන්නා පුද්ගලයාගේ නාසය ළඟින් නිමා වන බව ය.
එහෙත් අප සඳහන් කළ නිදහස අහිමි බොහෝමයක් රටවල සිදු ව ඇත්තේ, එක්තරා කොටසකට විලංගු ලෑමත්, අනෙත් කොටසට සීමාවක් නැති නිදහසක් භුක්ති විඳීමට හැකි වීමත් ය. නිදහස වාරණය කිරීම පොදු උන්නතිය සමඟ එහෙමට සම්බන්ධයක් නැති බව ය.
ශ්‍රී ලංකාව අයිති වන්නේ ද මේ නිදහස අහිමි කරනු ලැබූ රටවල් ගොඩට ය. එය පසුගිය සමයේ එක්තරා ආකාරයක ලිහිල් බවක් ප්‍රදර්ශනය කළ ද, සෙමින් සීරුවේ නැවතත් එය ගමන් කරමින් සිටින්නේ පුද්ගල නිදහස අහිමි කරන තත්ත්වයක් කරා ය. ඒ, රටේ වරප්‍රසාද ලත් කොටසකට නැවත වතාවක් අසීමාන්තික නිදහසක් ලබා දීම ඔස්සේ ය.
මේ වරප්‍රසාද ලත් පිරිසට අයත් වන්නේ ප්‍රධාන ධාරාවේ මිනිසුන් ය. අප රටේ නම් සිංහල බෞද්ධයන් ය. ප්‍රභූවරුන් ය. දේශපාලන නායකයන් ය. මැති ඇමැතිවරු ය. අසීමිත නිදහසක් දැරීමේ අයිතිය ඇත්තේ ඔවුන්ට ය. සෙසු අයට සිදුව ඇත්තේ, තම නිදහස මේ කියන අයගේ නිදහස ප්‍රසාරණය වන ප්‍රමාණයට අකුලා ගන්නට ය.
ශබ්ද විකාශන යන්ත්‍ර යොදා ගනිමින් මිනිසුන්ගේ කණ්වලට බලහත්කාරයෙන් ගොඩ වැදීමට ඔවුන්ට පොතේ නීතියෙන් අවසර නැතත්, ක්‍රියාත්මක නීතියෙන් අවසර ලැබෙන්නේ ඒ නිසා ය. ඒ අල්ල පනල්ලේ, සාහිත්‍ය කෘති තහනමට ලක් කිරීමට, කර්තෘවරු හිරේ විලංගුවේ ලෑමට යෝජනා එන්නේ ද ඒ අනුව ය.
වැරැදි කරන සමහර අය සම්බන්ධයෙන්, සෙසු වැරැදි කරන අයට වඩා වෙනස් සැළකිල්ලක් දැක්විය යුතු යැයි කියැවෙන්නේ ද ඒ නිසා ය. දහම් පාසල් අනිවාර්ය කිරීමට නීති පනවන්නට යන්නේ ඒ නිසා ය. ඊට පහසුකම් සැලසීමක් වශයෙන් ඉරිදා ටියුෂන් පන්ති තහනම් කරන්නට යන්නේ ද ඒ නිසා ය.
මේ නිදහස අහිමි කරනු ලැබූ රටවල නායකයන් මෙන් ම, ජනතාව ද විශ්වාස කරන එක් දෙයක් තිබේ. ඒ, තම රටවල වැඩි පුර ඉන්නේ යමක් තේරුම් ගෙන, ඒ අනුව ක්‍රියා කළ හැකි වැඩිහිටියන් නොව, අඳ බාල පොඩි දරුවන් බව ය. ඔවුන් හැදිය හැක්කේ අවවාද අනුශාසනා දෙමින්, දිගට හරහට තහංචි පනවමින්, තලමින්, ගුටිබැට දෙමින් හා දැඩි දඬුවම් ලබා දෙමින් බව ය.
ඒ නිසා ම, නායකයන් හැටියට මිනිසුන් දකින්නේ ද එවැනි අප්පච්චිලා ය. නායකයන් ද පේවී සිටින්නේ අප්පච්චිලා වීමට ය. ගැළපෙන නායකයකු වීම සඳහා දරුවන් හුරතල් කිරීම සුවිශේෂ සුදුසුකමක් වන්නේ, මේ මානසිකත්වයෙන් අප මෙහෙයවන නිසා විය හැකි ය.
සිංහල බෞද්ධයන්, දෙමළ, මුස්ලිම් මිනිසුන්ට වඩා නිදහසක් භුක්ති විඳින්නේ වුව, ඔවුන් තුළ ද වෙනස්කම් තිබේ. සෙසු කුලවල අය ගොවිගම කුලයට වඩා, තමන්ගේ කුලය පහළ බව පිළිගෙන ජීවත් විය යුතු ය. ඒ නිසා, වෙනත් කුලවල අයට සියම් නිකායේ උපසම්පදාව ලබා ගත නොහැකි ය.
දේශපාලකයන් පාර පුරා තමන්ගේ රථවාහන මෙහෙයවන විට සිංහල බෞද්ධයන්ට ද අකුළා ගෙන පැත්තකට වන්නට සිද්ධ වේ. නැතිනම් ගුටි කන්නට සිද්ධ වෙයි. කුණු හරුපවලින් සංග්‍රහ විඳින්නට සිදු ද සිදු වේ.
සිංහල බෞද්ධයන්ට ද තමන්ගේ නිවෙස අසල ශබ්ද විකාශන යන්ත්‍රයකින් කණ පිරෙන්නට බණ අස්සන්නට සැලැස්වූ විට වුව, මුවින් නොබැණ සිටින්නට සිදු වේ. නැතිනම් වෙන රටකට යන ලෙසට උපදෙස් ලබා ගන්නට සිදු වේ.
ආගමික මානව විරෝධය
සිංහල බෞද්ධයන්ට ද තමන්ගේ දරුවකු වුව කප්පම් සඳහා පැහැර ගෙන ගියේ “රණ විරුවකු“ නම් පාංශකූලය දී වෙන අතක් බලා ගැනීමට සිදු වේ. දුෂණය කරනු ලැබුවේ පන්සලේ නායක හාමුදුරුවන් හෝ පළාතේ දේශපාලනඥයා අතින් නම්, “දුටුවේ ය – දුටුවා පමණකි, ඇසුවේය – ඇසුවා පමණකි“ යන බුදු බණ සිහි කර, බකන් නිලාගෙන ඉන්නට සිදු වේ.
එයින් කියැවෙන්නේ, සිංහල බෞද්ධයන් වරප්‍රසාද ලබන්නේ, දෙමළ, මුස්ලිම් මිනිස්සුන්ට සාපේක්ෂව පමණක් බව ය. එයින් පිටත උන් බොහෝ දෙනෙක් ද පීචං බව ය. දෙමළ, මුස්ලිම් මිනිසුන් අතර වුව උන්ගේම ලොක්කකුගෙන් උන් තැලීමට ලක් විය හැකි බව ය. උන්ට ආණ්ඩු මට්ටු කළ හැක්කේ, බයිට් එකට ගත හැක්කේ කුඩා දෙමළ හා මුස්ලිම් මිනිසුන් පමණක් බව ය.
ප්‍රජා හිමිකම් ගැන කතා කළේ වුව ද, මෙතෙක් අපේ සාකච්ඡාව වැඩිමනත් ලෙස ගොනු වුණේ පුද්ගල නිදහස වටා ය. යම් ජන කොටසකට ද සමූහයක් හැටියට භාෂණයේ නිදහස තිබිය යුතු ය. සමූහයක් හැටියට එක් රැස්වීමේ, සංවිධානය විමේ, තමන්ගේ ප්‍රජාවගේ කටයුතු තමන්ට රිසි වූ පරිද්දෙන් සංවිධානය කර ගැනීමේ නිදහස තිබිය යුතු ය.
ඔවුන් එක ජන වර්ගයකට අයත් අය විය හැකි ය. යම් ආගමක් අදහන අය විය හැකි ය. එක් ප්‍රදේශයක් තුළ වාසය කරන්නන් විය හැකි ය. එක පොදු දේපළක්, වැවක්, ගමක් බෙදා ගෙන ඉන්නා පිරිසක් විය හැකි ය. එක ම වෘත්තියේ නියැළෙන වෘත්තිකයන් පිරිසක් විය හැකි ය. යම් පොදු අරමුණක් ඇති කණ්ඩායමක් විය හැකි ය. ඒ සියල්ලන්ට මේ නිදහස සමූහයක් ලෙස ලැබිය යුතු ය.
කැමැති ආගමක් ඇදහීමේ නිදහස තිබිය යුතු ය. කැමැති ආගමක් ප්‍රචාරණය කිරීමේ නිදහස තිබිය යුතු ය. එසේ විය යුත්තේ ඒ සියල්ල අනෙකාට ද තිබිය යුතු ය යන පදනම යටතේ ය. අනෙකාට අවහිර කරන්නේ කවර කණ්ඩායමක් වුව ද, ඔවුන්ට විරුද්ධව නීතිය ක්‍රියාත්මක විය යුතු ය. ඒ නිසා, පාස්කු ඉරිදා ම්ලේච්ඡ ප්‍රහාරයට සම්බන්ධ වූවන්ට, ඔවුන්ට අනුබල දුන් අයට එරෙහිව නීතිය ක්‍රියාත්මක විය යුතු ය. එපමණක් මදි ය. මුස්ලිම් ආගම ද ඇතුළුව සියලු ම ආගම්වල ඇති මානව විරෝධී ප්‍රකාශ විචාරයට ලක් විය යුතු ය. ඒ, නැවත මෙවැනි ව්‍යාසනයන් ආරම්භ කිරීමට ඇති ඉඩ අහුරාලීමට ය. එසේ විචාරය කිරීමට නිදහස තිබීම ද, මානව හිමිකමකි.
මානව හිමිකම් උදුරා ගන්නා තැනක, ආගමේ ඇති පූජනීයත්වය නොබියව ප්‍රශ්න කිරීමට ජනයාට බලය ලබා දිය යුතු ය. ආගමේ නාමයෙන් මිනිසුන් බෙදා වෙන් කරන ක්‍රියාවලට වැට බැඳිය යුතු ය. ආගමේ නාමයෙන් වෛරය පැතිර වීමට ඉඩ නොදිය යුතු ය.
සමාජ වගකීම
එක් එක් කණ්ඩායම් තුළ ද ආගමික හෝ මූලධාර්මික තහංචි පනවමින්, තමන්ගේ ම සාමාජිකයන්ගේ මානව හිමිකම් ඔවුන් විසින් ම උදුරා ගන්නා අවස්ථා ද වැළැක්වීමට කටයුතු කළ යුතු ය. කැමැති ආගමක් ඇදහීමට (හෝ නො ඇදහීමට) ඇති නිදහස මෙන් ම, ආගමික අන්තවාදයෙන් නිදහස ද, මානව හිමිකම්වලට ඇතුළත් ය. ඒ කියන්නේ ආගමික පරිශ්රයකින් පරිබාහිර තැනක, තමන් කැමැති විදිහට ඇඳුම් පැලඳුම් ඇඳීමට පුද්ගලයකුට ඇති අයිතියට, ආගමකට සීමා පැනවීමට ඉඩ නොතැබිය යුතු බව ය. ආගම ස්වේච්ඡාවෙන් පිළිපැදිය යුත්තක් මිසක, කිසිවකු මත බලහත්කාරයෙන් පැටවිය යුත්තක් නොවන බව ය.
මානව හිමිකම්වලට දරුවන්ගේ හිමිකම් ද, කාන්තාවන්ගේ හිමිකම් ද අයත් ය. ඒ නිසා ම, පාසල තුළ දරුවන්ට ද, ගෘහයන් තුළ කාන්තාවන්ට ද එරෙහි ප්‍රචණ්ඩත්වයට එරෙහි විය යුතු ය.
දරුවන් හා කාන්තාවන් සම්බන්ධයෙන් තීන්දු තීරණ ගැනීමේ දී, බොහෝ ආගම්වල කැරැට්ටුව අන්තිම පහත් ය. ශාස්තෘෘන් වහන්සේලාගේ දේශනාවලට වඩා, ආයතනගත ආගම් තුළ මේ තත්ත්වය පැහැදිලිව පෙනෙයි. ඒවා, සමාජය ඉදිරියේ දිගහැර, විවේචනය කළ යුතු ය.
හය හතරක් නොතේරෙන කුඩා දරුවන් විවාහ කර දීමට එරෙහි විය යුතු ය. එම කටයුතු නිසි තීරණ ගත හැකි වයසට පත් වීමෙන් පසු ඒ ඒ පුද්ගලයන්ගේ රුචි අරුචිකම් අනුව සිදු විය යුතු කටයුතු ලෙස සැළකිය යුතු ය.
වඩා නිදහස් මිනිසුන් විසින් සමාජ වගකීම ද පෙරටුකොට ගෙන, ස්වේච්ඡාවෙන් තනනු ලබන ඕනෑම සමාජයක්, පරාදීසියක් ම වනු ඇත්තේ ය. ඒ තුළ විවිධත්වය ද, රසය ද, විනෝදය ද, සතුට ද තිබේ. එවිට සැවොම සතුටින් ජීවත් වනු ඇත.
නිශාන්ත කමලදාස

