සදා නොමියෙන චාමර මතකය
වගකීම් සහිත වෘත්තීය ක්ෂේත්රයක පෙළහර පෑ සැමගේ ඇගයුමට ලක්වූ මාධ්‍යවේදියෙක්
ජනාධිපති
සතිඅන්ත ජාතික පුවත්පත සිළුමිණ සහ දිනපතා ජාතික පුවත්පත ‘රැස’ ප්‍රධාන කර්තෘ චාමර ලක්ෂාන් කුමාර මහතාගේ අභාවය පිළිබඳ ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා සිය සොව පළ කර සිටී. එම පණිවිඩය මෙසේය.
සිළුමිණ සහ රැස යන පුවත්පත්හි ප්‍රධාන කර්තෘ චාමර ලක්ෂාන් කුමාර මහතාගේ හදිසි අභාවය සැලවීමෙන් මම ඉමහත් සේ සංවේගයට පත්වීමි.
අතිශය වගකීම් සහගත මෙන්ම සමාජ ප්රගමනය උදෙසා බෙහෙවින්ම තීරණාත්මක වෘත්තීය ක්ෂේත්රයක චාමර ලක්ෂාන් පෑ පෙළහර සිය මාධ්‍ය සගයන්ගේ නිබඳ ඇගයීමට ලක්ව තිබේ. ලක්බිම, රිවිර හා ඉරුදින යන පුවත්පත් වෙතින් ස්වකීය වෘත්තීය පන්නරය ලබාගත් හෙතෙම ලාංකීය මාධ්‍ය ක්ෂේත්රයට නවමු මුහුණුවරක් හඳුන්වාදෙමින් මෑතකදී කල එළි දුටු රැස පුවත්පතෙහි සමාරම්භක කතුවරයා වීමේ භාග්‍යය ද හිමිකර ගත්තේය. ඒ සමඟම කීර්තිමත් ඉතිහාසයකට හිමිකම් කියන සිළුමිණ පුවත්පතට නායකත්වය ලබාදුන් ළාබාලතම කතුවරයා වෙමින් ලාංකීය පුවත්පත් වංශ කතාවෙහි තම ස්ථානය ස්වර්ණ වර්ණයෙන් සනිටුහන් කළේය.
එවන් දුලබ හිමිකම් උදෙසා චාමර ලක්ෂාන් වෙත මග කියාදුන්නේ ඔහුගේ වගකීම් සහගත මාධ්‍ය භාවිතයයි. දැනුවත් ප්‍රජාව මාධ්‍යකරුවකුගෙන් අපේක්ෂා කර සිටින සත්‍යවාදී, නිවැරදි හා සාධාරණ වෘත්තීය ක්‍රියාකාරිත්වයක් තුළ සිය මාධ්‍ය ජීවිතය ඔපවත් කළ හෙතෙම අධිපතිවාදී දේශපාලන බලයකට හෝ වෙනත් වරදානයකට කිසිවිටෙක යටත් නොවීය. සමාජ වගකීම කෙරෙහි වූ පරම පක්ෂපාතිත්වය තුළ මාධ්‍යවේදියකු ලෙස නිරතුරුවම ක්‍රියාකාරී වූ චාමර ලක්ෂාන් මහතාගේ අකල් නික්ම යාම සමස්ත ජනමාධ්‍ය ප්‍රජාවට මෙන්ම යුක්තිගරුක සමාජයට ද බලවත් පාඩුවක් වන්නේ එබැවින්ය.
චාමර ලක්ෂාන් කුමාර මහතාගේ වියෝවෙන් සොවින් තැවෙන ඔහුගේ ආදරණීය භාර්යාව වන දිනූපා දිල්හානි මහත්මියට හා කුඩා පුතණුවන්ට ද, ඔහු වන් පුත්‍ර රත්නයක් මෙලොවට දායාද කළ ආදරණීය දෙමව්පියන්ට ද, පවුලේ අනෙකුත් සමීපතමයන් වෙත ද මාගේ බලවත් සංවේගය පළ කරන අතර, අභාවප්‍රාප්ත චාමර ලක්ෂාන් කුමාර මහතාට උතුම් වූ නිවන් සුව අත්වේවා යි ප්‍රාර්ථනය කරමි.
**********************
මාධ්‍ය ක්ෂේත්රයේ නව දැක්ම නිසාම ජයග්‍රහණ රැසක් අත්කරගත් සුවිශේෂී තරුණ මාධ්‍යවේදියෙක්
අගමැති
ලාංකේය මාධ්‍ය ක්ෂේත්රය තුළ නව දැක්මකින් සහ මහත් ජවයකින් කටයුතු කිරීම නිසා ඉතා කෙටි කලකින් ජයග්‍රහණ රැසක් අත්පත් කර ගත් සුවිශේෂ තරුණ මාධ්‍යවේදියකු ලෙස චාමර ලක්ෂාන් මහතා හැඳින්වීම යුක්තිසහගත යැයි ඒ මහතාගේ අභාවය පිළිබඳ ශෝක පණිවුඩයක් නිකුත් කරමින් අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා කියා සිටී.
ලක්බිම, රිවිර වැනි පුවත්පත්වල කලක් සේවය කළ මේ තරුණ මාධ්‍යවේදියා පැවැති දුර්ධාන්ත පාලන සමය නිමාකොට නව රජය බලයට පත් කිරීම සඳහා මහත් කැපවීමකින් කටයුතු කළේය. නව රජය යටතේ දිනමිණ පුවත්පතේ ජ්‍යෙෂ්ඨ සම කර්තෘවරයකු වූ චාමර මහතා ලේක්හවුස් ගමන් මඟට නව ජවයක් එක් කිරීමට මහත් පරිශ්‍රමයක් දැරූ බව අපි දනිමු.
ඔහුගේ කර්තෘත්වයෙන් ආරම්භ කළ රැස පුවත්පත ඉතා කෙටි කලකින් පාඨක ප්‍රසාදය දිනාගත් අතර, චාමර ලක්ෂාන් මාධ්‍යවේදී භූමිකාවත්, පරිපාලන භූමිකාවත් මනා සංහිඳියාවකින් පවත්වා ගන්නා දක්ෂ මාධ්‍යවේදියකු බවට ‘රැස’ සාක්ෂි දැරීය.
ලාංකේය මාධ්‍ය ඉතිහාසයේ දැවැන්තයන් මුල් පුටුව දැරූ ‘සිළුමිණ’ පුවත්පතේ ප්‍රධාන කර්තෘ ධුරයට පත් ලාබාලතම කතුවරයා වූ චාමර එහි අතීත ගුණ සුවඳ රැක ගනිමින්ම නූතන ලොව හා යා කිරීමට බරපතළ වෙහෙසක් දැරුවේය.
නමුත් මාධ්‍ය ලෝකයට සිළුමිණක් විය හැකිව තිබූ මේ තරුණ මාධ්‍යවේදියා හදිසියේම අප අතරින් සමුගැනීම ලේක්හවුස් ආයතනයට, අප රජයට මෙන්ම සමස්ත දේශයට සිදු වූ බරපතළ පාඩුවකි.
සිළුමිණ ප්‍රධාන කර්තෘ චාමර ලක්ෂාන් මහතාගේ අභාවයෙන් ශෝකයට පත් පවුලේ සැමට ඥාති හිත මිත්‍රාදීන්ට මාගේ බලවත් සංවේගය පළ කරමින් ඒ මහතාට අමා මහ නිවන් සුව අත්වේවායි ප්‍රාර්ථනා කරමි.
**********************
‘චාමර සැළුණ ද, සිළුමිණ ගිනි නැගුණ ද ඔබ අද සුවබර නින්දකය.’
චාමරගේ අකල් නික්ම යාම මාධ්‍ය ක්ෂේත්රයට පමණක් නොව මුලු රටටම ඉමහත් පාඩුවක් ලෙසින් මම දකින්නෙමි. කෙටි කලකින් තම නිසඟ දක්ෂතා පෙන්නුම් කරමින් මාධ්‍ය ක්ෂේත්රයේ ඉහළටම ගිය ඔහු අඩු වයසකින් නික්ම යාම කනගාටුදායකය. පුළුල් දැක්මක් තිබු ප්රගතිශීලී මාධ්‍යවේදියකු වූ චාමර වෙතින් නව පරම්පරාවට මෙන්ම ප්රවීනයන්ටද උගත හැකි දෑ බොහෝ විය.
ජාත්‍යන්තර සබඳතා පිළිබඳ ප්‍රථම උපාධිය මෙන්ම දේශපාලන විද්‍යාව පිළිබඳ පශ්චාත් උපාධිය කොළඹ විශ්ව විද්‍යාලය වෙතින් ලබාගත් ඔහු හොඳ කියවන්නකු විය. ශ්‍රී ලාංකික පුවත්පත් කලාවේ යෝධයන් අසුන්ගත් ‘සිළුමිණ‘ පුවත්පතේ මහ පුටුවේ අසුන් ගත් ලාබාලම කර්තෘවරයා ලෙස ඔහු ඉතිහාසයට එක්වෙයි. එමෙන්ම ලේක් හවුස් ආයතනයේ නවතම ප්රකාශනය වන ‘රැස‘ පුවත්පතේ ආරම්භක කර්තෘවරයා ලෙස ද ඔහු ඉතිහාසයට එක්වී ඇත.
සාම්ප්‍රදායික මුහුණුවරින් බැහැර වෙමින් නව ආරක පුවත්පතක් ලෙසින් ‘රැස‘ නිර්මාණය කිරීමට නායකත්වය දුන් චාමර, තමන් වගකීම දැරූ මාසයක පමණ වූ කෙටි කාලය තුළ ‘සිළුමිණ‘ කියවන පාඨක සංඛ්‍යාව ද ඉහළ නැංවීමට ක්‍රියා කළේ තම දක්ෂතාව, කැපවීම පෙන්නුම් කරමිනි.මේ මොහොතේ මගේ මතකයට නැගෙන්නේ ඔහු ජාතික රූපවාහිනියේ පුවත් සිරස්තල ඉදිරිපත් කළ කාලවකවානුවයි. ඒ අවදියේ සෑම දිනකම උදෑසන ඒ රාජකාරිය නිමකර බුලර්ස් ලේක් හී මගේ නිවසට එන චාමර මගේ ආදිල් පුතු සමග පැය ගණන් රටේත්, ලෝකයේත් දේශපාලන සහ ක්‍රීඩා තොරතුරු ආදිය ගැන කථා කරමින් සිට නැවත පිටවන්නේ උදෑසන ආහාරයත් ගැනීමෙන් අනතුරුවයි. ඔහු අපේ පවුලේ සාමාජිකයකු තරමට සියලුදෙනා සමග සුහද සම්බන්ධතාවක් ගොඩ නගාගෙන තිබුණි. නිවසට ඇතුල් වූ මොහොතේම ශීතකරණය වෙත ගොස් ඔහුට අවශ්‍ය දෙයක් තෝරාගෙන අනුභව කරන තරමට ඔහු අප පවුලට සමීපව සිටි අයුරු මගේ සිහියට නැගේ.
පස්දුන් කෝරලයේ උපන් චාමර උපන් ගම් ප්‍රදේශයට සැබැවින්ම ආදරය කළ, ගම් ප්‍රදේශයට ගෞරවය ගෙන දුන් මාධ්‍යවේදියකු විය. කිසිවකුගෙන් කිසිවක් බලාපොරොත්තු නොවූ, රටේ අනාගතය වෙනුවෙන් දැඩි කැක්කුමක් තිබූ අවංක, ප්‍රතිපත්තියක් තිබූ මාධ්‍යවේදියකු විය. එමෙන්ම පටු දේශපාලනික සහ වානිජ ලාභ ප්‍රයෝජන අරමුණු කරගත් දේශීය සහ බාහිර බලවේගයන් හී අතපෙවීම් හේතුවෙන් ප්රචණ්ඩත්වය සහ ගැටුම් පිරි සමාජයක් බවට පත්ව ඇති අප මාතෘභූමිය සාමය, සැනසීම පිරි සමගිසම්පන්න සමාජයක් බවට පරිවර්තනය කරගන්නට අවංක උවමනාවක් තිබු සැබෑ දේශප්‍රේමී මාධ්‍යවේදියකු විය.
‘චාමර සැළුණ ද, සිළුමිණ ගිනි නැගුණ ද ඔබ අද සුවබර නින්දකය.‘
‘ඒ නින්ද ඔබට සුවබර නම් ඉන් යහපතක්ම වේවා..!‘
ඉම්තියාස් බාකීර් මාකාර්
************************
චාමර ලක්ෂාන් වූ ඔහු…
චාමර ලක්ෂාන් ලේක්හවුස් ආයතනයට සම්බන්ධ වී ගතව ඇත්තේ වසර හතරක් වැනි කාලයකි. එහෙත් චාමර ලක්ෂාන් නොදන්නා අයෙකු මේ ආයතනයේ වුවොත් ඒ ඇඟිලිවලින් ගණන් කළ හැකි තරම් යැයි කීවොත් නිවැරැදිය.
ඒ ඔහු මාධ්‍ය හරහා ආයතනයේ ඉටු කළ පෙරළිය නිසාමය. ඔහු සතුව තිබූ සහජ කුසලතාව නිසාම ඉතා සුළු කලකින් පුවත්පත් දෙකකම කර්තෘත්වය දක්වා ඔසවා තැබීමෙන් එය සනාථ වෙයි.
මේ උත්තුංග දේහධාරී යෞවනයේ හිණිපෙත්තේ සිටි චාමර ලක්ෂාන් අද අප ආයතනයෙන් පමණක් නොව මාධ්‍ය ලෝකයෙන්ම සමුගෙන ඇතැයි සිහිනෙන් හෝ සිහියට නොහැගෙන්නකි. එහෙත් එය සිදු වී හමාරය. මාධ්යලොවට පමණක් නොව ආදරණීය බිරියකට සිය දයාබර සැමියා අහිමිව ඇත. හයක් හතරක් නොතේරෙන සිවු වසරක් වැනි කාල පරාසයකට සෙනෙහස දයාව අපරිමිතයෙන් ලබා දුන් පියාණන් සිඟිති පුතණුවකුට අහිමිව ඇත. හදවත කකියවන සංවේදී පුවත එයයි.
1978 වසරේ උපන් හේ වසර තිස් නවයක් වැනි භද්‍ර යෞවනයේය. ඔහු ලියන්න කියන්න හපනකු වන්නට ඔහු ලත් අධ්‍යාපනික පසුබිමද සහාය වන්නට ඇත. දේශපාලන ශාස්ත්‍රපති උපාධිධරයකු වූ හේ සිය දේශපාලනික ලිපි ලිව්වේ එම දේශපාලනික වටාපිටාවන් පිළිබඳ දැනුමෙන් සන්නද්ධවය. ක්‍රීඩාව ඔහුගේ ප්‍රියතම විෂය වූවා වැනිය. සෑම ක්‍රීඩා ඉසව්වකම ඉතිහාසය ඔහුගේ මතකයේ ය. ඔහුගේම රචනා විලාශයකින් ඔහු මාධ්‍ය ලොවට කියා පෑවේය. කාලීන කවරාකාර සිදුවීමක් පිළිබඳ මාධ්‍යයට හෙළි කරන්නට පාඨකයා දැනුවත් කරන්නට ඔහුට තිබුණේ පුදුමාකාර හැකියාවකි. පසුගිය සති තුනක සිළුමිණ පත්‍රයේ විශේෂාංගයන් මේ හැකියාව සනාථ කළ බව අවිවාදාත්මකය. ජාත්‍යන්තර සබඳතා පිළිබඳ උපාධිය ලබා සිටි චාමර පොත්පත් කියවීමේද රුසියෙකි. ඉන් ලද දැනුම ඔහුගේ නිසඟ හැකියාවට පන්නරය වූ සැටියකි.
මාධ්‍ය ලොවට පෙරළිකාරයකු වූ චාමර ලක්ෂාන් මට හමුවුණේ ඔහු දිනමිණ සම කතුවරයකු ලෙස පත්වීම් ලබා පැමිණි දිනයේදීය. එදා සිට පසුගිය සිකුරාදා වනතුරුම අප හඳුනාගත් භූමිකාවේ කිසිදු වෙනසක් වූයේ නැත. වත්මන් සභාපතිතුමන්ගේ අධීක්ෂණයට යොමු වන පුවත්පත් කතුවරුන්ගේ සාකච්ඡා මේසයේදී අප සමීප වූ අවස්ථා එමටය. එම හමුවන්හිදී ඔහුගෙන් දිස් වූ මාධ්‍ය දැනුම සභාපතිවරයා ඔහුට සමීප වීමට හේතුපාදක වූ සාධකය විය. යම් විෂයයක් පිළිබද ඔහු නොනවත්වාම කතා කළේය. ඒ එහි පසුබිම, සංඛ්‍යා දත්ත සමගය. මෙයයි ඔහුගේ මාධ්‍ය හැකියාව පිළිබඳ අප සැම දැනුවත් කළ මිනුම්දණ්ඩ.
ලේක්හවුස් ආයතනයේ ඔහුට සමීප වූ සැමට ඔහු ඉතා සමීප සහෘදයකු විය. වෙනත් මාධ්‍යකරුවන් අතරද ඔහු හිතවතෙකු විය. ඔහු හොඳින් දන්නා හඳුනන සමීපතමයන්ට ඔහු ගැන කියන්නට බොහෝ කතා ඇති. පසුගිය 27 වැනිදා සිට බොහෝ දෙනා කතා කරන්නේ සොයා බලන්නේ මේ මාධ්‍ය චරිතය ගැනයි.
ගුණ වැයුම් අපමණය. එහෙත් දැන් සියල්ල සිදු වී හමාරය. ඔහු ජන්මලාභය ලද මොහොතේ ගෙන ආ ආයුෂ එපමණය යන්නයි සදාතනික දහම. එහෙත් මේ සුළු කාල පරාසය තුළ ඔහු කළ දෑ බොහෝය. ඔහු සදහටම සමු ගත්තද ඔහු පිළිබඳ මතකය සදා නොමියනු ඇත.
පුෂ්පා රොවෙල්


