උදයංග දැනටත් ඩුබායිහි අත්අඩංගුවේ – ඔහුගේ වැඩ මෙන්න

කවුද මේ උදයංග වීරතුංග යන ප්‍රශ්නය බොහෝදෙනා විමසති. ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා‍ගේ ඇවැස්ස මස්සිනා වූ ද රුසියාවේ හිටපු තානාපතිවරයා වූ උදයංග වීරතුංග මහතා වෙනුවෙන් ජාත්‍යන්තර වරෙන්තු නිකුත්වී තිබිය දී සහ රුසියාවේ දී අතුරුදන්ව සිටි උදයංග වීරතුංග මහතා අත්අඩංගුවට ගැනීම සඳහා සියලු දේ සිදුවෙමින් පැවැතියදී හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා තායිලන්තයට ගිය අවස්ථාවේ දී උදයංග වීරතුංග මහතා රාජපක්ෂ මහතා සමඟ එකට ඡායාරූපවලට පෙනී සිට ඇති අතර එම ඡායාරූප ප්‍රසිද්ධියට පත්වීමත් සමඟ මෙරට සමාජය තුළ ඉමහත් කැළඹීමක් ඇතිවිය. මෙය එක් සිද්ධියක් පමණී.

උදයංග වීරතුංග හා සම්බන්ධ තවත් සිද්ධියක් එනම් 2014 ජූනි මස 11 වැනිදා සවස අත්තනගල්ලේ පදිංචි ජොසපින් නෝනා යන අයගේ නිවසට දුරකතන ඇමතුමක් ලැබිණි. එම දුරකතන ඇමතුම ලැබී තිබුණේ යුක්රේනයේ නමැති නැ‍ඟෙනහිර යුරෝපීය රාජ්‍යයෙනි. එම දුරකතන ඇමතුම දුන් පුද්ගලයා කියා සිටියේ යුක්රේනයේ නොයෙල් රණවීර අම්මාට’කතා කිරීමට වුවමනා බවය. ජොසපින් නෝනා කියා සිටියේ තමා ඔහුගේ මව බවයි. ‘මම කියන දේට කලබල වෙන්න එපා. මෙහි දී සිදුවූ හදිසි අනතුරකින් නොයෙල් රණවීර මියගියා. අපි තව දවස් තුනකින් ‍බොඩිය ලංකාවට ගේනවා. කටුනායකට ඇවිත් බොඩිඑක බාරගන්න’ යනුවෙන් කතාකළ තැනැන්තා දැන්වූ බවයි.

වයස අවුරුදු 71ක් වූ නොයෙල් රණවීරගේ මව එතැනම සිහිසුන්ව වැටුණි. නොයෙල් රණවීර වැඩ කළේ රුසියාවේ ශ්‍රී ලංකා තානාපති කාර්යාලයෙයි. එවකට තානාපතිවරයා වූයේ උදයංග වීරතුංගයි. නොයෙල් රණවීර ව්‍යාපාරිකයකු ලෙසද කටයුතු කළේය. රුසියානු භාෂාව හොඳින් දැන සිටි නොයෙල් 2008 වසරේ දී උදයංගත් භාෂා පරිවර්තක ලෙස රුසියාවේ ශ්‍රී ලංකා තානාපති කාර්යාලයට එක්විය.

දුරකතන ඇමතුම ලැබී දින තුනකට පසු නොයෙල්ගේ මව තවත් පිරිසක් සමඟ කටුනායක ගුවන්තොටුපළ වෙත සිය පුතාගේ මෘත දේහය බාර ගැනීමට ගොස් සිටියහ. මෙම මෘත දේහය රැගෙන එන අවස්ථාවේ උදයංග වීරතුංගද පැමිණ සිටියේය. එම ස්ථානයේ දී මෘත දේහය බාර නොදී බොරැල්ලේ ජයරත්න මල්ශාලාව වෙත පැමිණීමට ඔහු නොයෙල්ගේ මවට කීය. එහි දී මෘත දේහය බලන අවස්ථාවේ එම මළසිරුරේ ගෙල පෙදෙසෙහි තදබල සීරීම් තුවාල, පහරදීම් වැනි තැලීම් ඇති බවට නොයෙල්ගේ මව දැක ම‍ගේ පුතා බෙල්ල මිරිකලා මරලා යැයි කෑ ගසා කීවාය.

එහෙත් එය අනතුරකින් සිදුවූවක් බවට තදින්ම කෑගසා යමකු කී නිසා බියට බත් මව නිහඬව සිටියාය. මෘත දේහය අත්තනගල්ල නිවසට ගෙනයන ලද අතර මරණ සහතිකයට අත්සන් කර තිබුණේද උදයංග වීරතුංගය. නොයෙල් අනතුරකින් නොව අභිරහස් ලෙස ඝාතනයට ලක්වී ඇති බවට නොයෙල්ගේ මව පසුකළ අත්තනගල්ල උසාවියට ගියාය. එහෙත් මේ සියල්ල යටපත්වී තිබිණි. නොයෙල් රණවීර අවුරුදු 21 දී රුසියාවට ගොස් එහි පදිංචි වූ අයෙකි. උදයංග වීරතුංගට මොහු හඳුන්වාදී තිබුණේ දේශපාලඥනයකු විසිනි.

කෙසේ වුවද ව්‍යාපාරිකයකු ද වූ නොයෙල් රණවීර මෙසේ අබිරහස් ලෙස මියයාම සම්බන්ධව අදටත් ගැටලු පැනනැඟී ඇති අතර උදයංග වීරතුංග යුක්රේනයේ නීති විරෝධී ගිනි අවි ජාවාරමක පාර්ශ්වකරුවකු ලෙස කටයුතු කරන බවටත් එම නීති විරෝධී ගිනිඅවි ජාවාරම හරහා මෙරට කොටි ත්‍රස්තවාදය අවසන් කළ වන්නි මෙහෙයුම අවසන් වනවිට කොටි ත්‍රස්තවාදින් සතුව තිබූ ඩොලර් තිස්හතරකෝටියක අවි ආයුධ සහ පුපුරණ ද්‍රව්‍ය කිලෝ දසදහසකට අධීක ප්‍රමාණයක් ද එම නීති විරෝධී ගිනි අවි ජාවාරම හරහා ත්‍රස්තවාදීන්ට විකුණා ඇති බවටත් දෙස් විදෙස් ආරක්ෂක බුද්ධි අංශ අතර ඇති ආරංචිමාර්ගවලින් හෙළිවෙයි.

කෙසේ වෙතත් උදයංග වීරතුංග මීට දින දෙකකට පෙර ඩුබායි ගුවන් තොටුපළේදී එරට ආරක්ෂක අංශ මඟින් අත්අඩංගුවට ගෙන අවසානය. මොහුට යුක්රේන පුරවැසිකම ද ඇත. එහෙත් මෙරට සිදුවූ වංචාවකට ඔහු සම්බන්ධව ජාත්‍යන්තර වරෙන්තු නිකුත් කරනු ලැබුවේ මෙරට අධිකරණයයි. එම නිසා ‍රාජ්‍යතාන්ත්‍රික වශයෙන් රාජ්‍ය ආයතන කිහිපයක් එකතුවී සාකච්ඡා කර උදයංග වීරතුංග මෙරටට ගෙන ඒම සඳහා ඩුබායි බලා පිටත්ව යාමට සූදානම්ව සිටිති. කෙසේ වුවද ඔහු මෙරටට කොයි මොහොතේ හෝ පැමිණිය ද එවිට අදාළ චෝදනා සම්බන්ධයෙන් නීතිය ක්‍රියාත්මක වනු ඇත.

පසුගිය පාලන සමයේ සිදුවූ මිග් යානා ගනුදෙනුවේ අදාළ කරුණු සලකා බැලීමේ දී එහි වංචාවක් සිදුවී ඇති බව පැහැදිලිව ඔප්පු වන බැවින් 2015 ජනවාරි මාසයේ සිදුවූ ආණ්ඩු වෙනසින් පසු එම මිග් ගනුදෙනුව විමර්ශනය කිරීමට අලුත් ආණ්ඩුව මූල්‍ය අපරාධ කොට්ඨාසයට බාරදෙනු ලැබිණි. ඒ අනුව මූල්‍ය අපරාධ කොට්ඨාසය ඒ හා සම්බන්ධව පුළුල් පරීක්ෂණයක් ආරම්භ කළේය.

මෙම අති දැවැන්ත මූල්‍ය වංචාව එවකට ආරක්ෂක අමාත්‍යාංශය හරහා එම ගනුදෙනුවේ අතරමැදියකු ලෙස කටයුතු කළ ඒ වනවිට රුසියාවේ හිටපු ශ්‍රී ලංකා තානාපතිවරයා වූ උදයංග වීරතුංග මහතා හරහා සිදුවී ඇති බවට කරුණු වාර්තා වෙයි.

කෙසේ වෙතත් මිග් යානා ගනුදෙනුව වාර්තා කිරීමට නියමිතව තිබූ සතියේ එම ප්‍රවෘත්තිය වාර්තා කිරීම වළක්වාලීමට හෝ වෙනත් අරමුණක් මත හෝ වේවා ලසන්ත වික්‍රමතුංගයන් අමානුෂික ලෙස ඝාතනය කෙරිණි.

පසුගිය යුද්ධ සමයේ දී ගුවන් හමුදාව සතු යානා අතරින් වඩාත් ප්‍රබලතම අවශ්‍යම යානා අතර වූයේ මිග් ප්‍රහාරක යානාය. ඒ වනවිට ගුවන් හමුදාව සතුව තිබුණේ මිග් ප්‍රහාරක යානා හතරක් පමණි. ඊට අමතරව තවත් යානා හතරක් මිල දී ගැනීමටත් තිබූ මිග් යානා හතර අලුත්වැඩියා කිරීමත් අවශ්‍යතම දෙයක් වී තිබුණි.

පසුගිය රජය සමයේ යුද්ධය ආරම්භ වී ඒ සඳහා ආරක්ෂක අංශවලට අවශ්‍ය විශේෂම ප්‍රහාරක ගිනි අවි සම්බන්ධව සාකච්ඡා පවත්වන අවස්ථාවේ ආරක්ෂක අමාත්‍යංශයේ විශේෂයෙන් සාකච්ඡාවට භාජනය වූ කරුණ වුණේ ගුවන් හමුදාවට මිග් යානා කිහිපයක වූ අවශ්‍යතාවයයි. ඒ වනවිට තිබූ මිග් යානා හතර අලුත්වැඩියා කිරීමටත් අලුතින් මිග් යානා හතරක් මිල දී ගැනීමටත් තීරණය කෙරිණි. ඒ අනුව මිග් 27 ගුවන් යානා හතරක් යුක්රේනයෙන් මිල දී ගැනීමට තීරණය කෙරිණි. ඒ 2006 වසරේදීය.

2006 වසරේ දී මිග් යානා හතරක් මිල දී ගන්නාවිට එක් ප්‍රහාරක යානාවක මිල ඇමරිකානු ඩොලර් 2, 462, 000ක් විය. එම යානා ප්‍රවාහන ගාස්තු වශයෙන් ඇමරිකානු ඩොලර් 460, 000ක් විය. මේ සමඟ 2000 වසරේ දී මිල දී ගන්නා ලද මිග් යානාවලින් ඉතිරිව තිබූ යානා හතරක් අලුත්වැඩියා කරනු ලැබිණි.

2000 වසරේ දී ඇ. ඩොලර් ලක්ෂ නවයකට මිල දී ගනු ලැබූ මිග් 23 වර්ගයේ පුහුණු යානය 2006 වසරේ දී ඇමරිකානු ඩොලර් ලක්ෂ 11ක වැඩි මුදලකට එනම් මිල දී ගත් මුදලට වඩා වැය කරමින් අලුත්වැඩියා කර තිබිණි.

තවද 2006 මිග් ගනුදෙනුවේ දී මිග් 27 හතරක් මිල දී ගැනීම සඳහාත් ගුවන් හමුදාව සතුව තිබූ මිග් 27 යානා හතර අලුත්වැඩියා කිරීම සඳහාත් ගෙවනු ලැබූ මුදල සැපයුම්කරු වන යුක්රේනයේ “යුක්රින් මාෂ්” සමාගමට නොගෙවා බොලීවියා හෝල්ඩිංග්ස් සමාගම නමැති සැක සහිත තුන්වැනි පාර්ශ්වයකට ගෙවා තිබුණි. එම බොලීවියා ‍හෝල්ඩි‍ංග්ස් සමාගම සැබෑ ව්‍යාපාරික සමාගමක් නොව හොර ගනුදෙනු සඳහා පවත්වාගෙන යන ලද සමාගමක් බවට තොරතුරු අනාවරණය විය.

මෙහි දී පසුගිය රජය සමයේ සිදුවූවා යැයි කියන මහා මිග් යානා වංචාව වූයේ එම මිග් යානා හතරක් මිල දී ගැනීමේ සහ මිග් යානා හතරක් අලුත්වැඩියා කිරීම සඳහා යොදවනු ලැබූ මහා මූල්‍ය වංචාව වෙයි.

මෙම අති දැවැන්ත මූල්‍ය වංචාව එවකට ආරක්ෂක අමාත්‍යාංශය හරහා එම ගනුදෙනුවේ අතරමැදියකු ලෙස කටයුතු කළ ඒ වනවිට රුසියාවේ හිටපු ශ්‍රී ලංකා තානාපතිවරයා වූ උදයංග වීරතුංග මහතා හරහා සිදුවී ඇති බවට කරුණු වාර්තාවෙමින් පැවැතිණි.

මෙම වංචාව සම්බන්ධයෙන් කරුණු හෙළිදරව් කිරීම සඳහා සන්ඩේලීඩර් පුවත්පතේ එවකට කර්තෘ ජ්‍යෙෂ්ඨ මාධ්‍යවේ දී ලසන්ත වික්‍රමතුංග මහතා කටයුතු කරමින් සිටියේය. ඒ සඳහා ලසන්ත එම ගනුදෙනුවට අදාළ ව්‍යාජ ලිපිලේඛන රැසක් ද ඔහු වෙත ලබාගෙන තිබුණි. ඒ ලසන්ත වික්‍රමතුංග සිය දක්ෂතාවය මත අදාළ ගනුදෙනුව සිදුවෙමින් පැවැති ආරක්ෂක අමාත්‍යංශයෙන් හා ඔහුගේ වෙනත් මාධ්‍ය සම්බන්ධතා මතය.

. කෙසේ වෙතත් මිග් යානා ගනුදෙනුව වාර්තා කිරීමට නියමිතව තිබූ සතියේ එම ප්‍රවෘත්තිය වාර්තා කිරීම වළක්වාලීමට හෝ වෙනත් අරමුණක් මත හෝ වේවා ලසන්ත වික්‍රමතුංගයන් අමානුෂික ලෙස ඝාතනය කෙරිණි. මේ වනවිට ලසන්ත ඝාතනය හා සම්බන්ධව පරීක්ෂණ ඉතාමත් ප්‍රතිඵල දායක වෙමින් සිදුවන බැවින් ඉදිරි පරීක්ෂණවල දී ලසන්ත ඝාතනය කෙරුණේ මිග් යානා වාර්තාව ඇතුළු සෙසු වාර්තා සම්බන්ධව ද නැතහොත් වෙනත් දෙයකට ද යන්න අනාවරණය වනු ඇත.

මිග් යානා ගනුදෙනුවේ අදාළ කරුණු සලකා බැලීමේ දී එහි වංචාවක් සිදුවී ඇති බව පැහැදිලිව ඔප්පුවන බැවින් 2015 ජනවාරි මාසයේ සිදුවූ ආණ්ඩු වෙනසින් පසු එම මිග් ගනුදෙනුව විමර්ශනය කිරීමට අලුත් ආණ්ඩුව මූල්‍ය අපරාධ කොට්ඨාසයට බාරදෙනු ලැබිණි. ඒ අනුව මූල්‍ය අපරාධ කොට්ඨාසය ඒ හා සම්බන්ධව පුළුල් පරීක්ෂණයක් ආරම්භ කළේය.

2006 වසරේ දී එවකට පැවැති රජය විසින් 2000 වසරේ දී මිල දී ගන්නා ලද මිග් යානා හතරින් තුනක් 2001 ජූලි 24, අගෝස්තු 18 සහ 2004 ජූලි 09 යන දිනවල දී විනාශ වී තිබුණි. ඉතිරි මිග් යානා හතරේ සේවා කාලය ඉකුත්වී තිබීම හේතුවෙන් භාවිතයට ගැනීමට නොහැකිව තිබිණි. පසුව 2003 මාර්තු 12 වැනි දින එවකට සිටි ගුවන් හමුදාපතිවරයා විසින් ආරක්ෂක අමාත්‍යංශයට ලිපියක් ඉදිරිපත් කරමින් කියා තිබුණේ මිග් යානා හතරක් මිල දී ගත යුතුව ඇති බවයි. පසුව ඒ සඳහා ලන්සු කැඳවීමක් සිදුවිය. යුක්‍රේනයේ යුක්රින් මාෂ් සමාගම මිග් 27 යානා හතරක් සැපයීම සඳහා ඉදිරිපත් කළ ලංසුව පිළිගත යුතු යැයි ගුවන් හමුදාපතිවරයා නිර්දේශ කර තිබුණි. එහෙත් එම මිග් යානා 2003 දී මිල දී ගැනීම සිදුවූයේ නැත.

පසුව 2006 වසරේ ගෝඨාභය රාජපක්ෂ මහතා ආරක්ෂක ලේකම් ධුරයට පත්වීමෙන් පසු ගුවන් හමුදාපතිවරයා මිග් යානා ඉල්ලීම යළි ඉදිරිපත් කරනු ලැබිණි. ඒ අනුව මිග් යානා මිල දී ගැනීමේ ගිවිසුම ගසනු ලැබිණි. ඒ වනවිට මිග් 27 අලුත්ම යානා තිබුණේ නැත. මිග් 29 සහ 37 වශයෙන් අලුත්ම යානා එකතුවී තිබිණි. විවිධ රටවල් විසින් පාවිච්චි කළ මිග් 27 මිල දී ගත හැකිව තිබුණත් ඒ වසර දෙකක පමණ වූ කාලයක් සඳහා විය. 2004 දී සිංගප්පූරුවේ ඩී. එස් එලායන්ස් සමාගම ගුවන් හමුදාව සතු මිග් 27 යානා තුන හා මිග් 23 පුහුණු කිරීමේ යානය අලුත්වැඩියා කිරීමට ඇමරිකානු ඩොලර් 4, 949, 380ක් ඉල්ලා තිබිණි. එම ගුවන් යානා මෙරටින් ගෙන ගොස් ආපසු ගෙන ඒමට ප්‍රවාහන ගාස්තු වෙනම ගෙවිය යුතු විය.

මෙම එලායන්ස් ආයතනය 2000 වසරේ දී ගුවන් යානා ප්‍රථමයෙන්ම ලංකාවට විකුණූ ආයතනය වෙයි. එමෙන්ම 2006 දී මිග් හතර අලුත්වැඩියා කිරීම සඳහා ඉන්දියාවේ හින්දුස්ථාන් එරොනොටික්ස් සමාගම ද ලංසු ඉදිරිපත් කර තිබුණි. ඔවුන් ඒ සඳහා ඇමරිකානු ඩොලර් 6, 578, 660 ඉල්ලා ඇත. ප්‍රවාහන ගාස්තු වශයෙන් තවත් ඇමරිකානු ඩොලර් 650, 216ක් ද ඉල්ලා ඇත. එම වකවානුවේ දී යුක්‍රේනයේ යුක්රින්මාෂ් සමාගම ද ලංසු ඉදිරිපත් කර ඇත. ඔවුන් ඒ සඳහා ඇමරිකානු ඩොලර් 4, 520, 000ක් හා ප්‍රවාහන ගාස්තු වශයෙන් ඇමරිකන් ඩොලර් 240, 000ක් ද ඉල්ලා තිබුණි. මේ අනුව එම මිග් යානා හතර අලුත්වැඩියා කිරීමට අඩුම ලංසුව ඉදිරිපත් කර තිබුණේ යුක්‍රේනයේ යුක්රින් මාෂ් සමාගමයි.

2006 මිග් ගනුදෙනුව සම්බන්ධයෙන් නැ‍ඟෙන ප්‍රශ්නය වන්නේ 2000 දී මිග් යානා මිල දී ගැනීමට ගිය මුදල අදාළ විකුණුම්කාර සමාගමට ගෙවා තිබුණ ද යන්නයි. 2006 දී මිග් 27 යානා හතරක් මිල දී ගැනීම හා තවත් මිග් යානා හතරක් අලුත්වැඩියා කිරීම සඳහා වියදම් වූ මුදල සැපයුම්කරුවූ යුක්‍රේනයේ යුක්රින් මාෂ් සමාගමට නොගෙවා සැක සහිත තුන්වැනි පාර්ශ්වයක් වූ බොලීවියා හෝල්ඩින්ග්ස් නමැති සමාගමට ගෙවා තිබු‍ෙණ් මන්ද යන්නයි.

මෙම ගනුදෙනුව එවකට ආණ්ඩුවේ පුද්ගලයන් කීපදෙනකු එකතුවී කළ හොර මගඩියක් දැයි සොයා පරීක්ෂණ සිදුවෙයි. මෙම ගනුදෙනුව සඳහා ටෙන්ඩර් කමිටුවක් පත්කර තිබූ අතර එහි සභාපති එවකට ජාතිය ගොඩනැඟීමේ හා ආර්ථික සංවර්ධන අමාත්‍යංශයේ ලේකම් එම්. එස්. ජයසිංහ මහතාය. එහි සෙසු සාමාජිකයන් වූයේ ආරක්ෂක අමාත්‍යංශයේ හිටපු ලේකම් ගෝඨාභය රාජපක්ෂ මහතා, මුදල් අමාත්‍යංශයේ හිටපු නියෝජ්‍ය ලේකම් එස්. බී. දිවාරත්න යන මහත්වරුන්ය. ඊට අමතරව ක්ෂණික ඇගයීම් කමිටුවක් ද ඒ සඳහා පත්කර තිබිණි. එහි සභාපති එයාර් වයිෂ්මාර්ෂල් රොෂාන් ගුණතිලක වූ අතර ගුවන් හමුදාවේ ගුවන් යානා ඉංජිනේරු අධ්‍යක්ෂ ගුවන් කොමදෝරු ඊ. ජී. අයි. පී. ද සිල්වා, ආරක්ෂක අමාත්‍යාංශයේ ගණකාධිකාරී එච්. ඩී. වීරසිරි, මොරටුව විශ්වවිද්‍යාලයේ කථිකාචාර්ය ආචාර්ය සී. පී. ටී. නානායක්කාර, සිවිල් ගුවන් සේවා අධිකාරියේ නියෝජ්‍ය අධ්‍යක්ෂ බී. ප්‍රේමරත්න සහ මුදල් අමාත්‍යාංශයේ ජාතික අයවැයේ දෙපාර්තමේන්තුවේ කේ. පී. ආර්. ඔල්ගා මහත්මිය එහි සෙසු සාමාජිකයෝ වූහ.

කෙසේ වෙතත් මෙම ගනුදෙනුවේ අතරමැදියා ලෙස කටයුතු කළ උදයංග වීරතුංග මහතා ඇතුළු මිග් ගනුදෙනුවේ සෙසු සාමාජිකයන්ට එල්ලවී ඇති එක් චෝදනාවක් වෙන්නේ 2000 වසරේ දී මිල දී ගත් ගුවන් යානා අලුත්වැඩියා කිරීමට සහ 2006 මිග් 27 යානා හතරක් මිල දී ගැනීමට යෙදවූ මුදල අතර වංචාකර ඇති බවයි. 2000 වසරේ දී ඇමරිකන් ඩොලර් ලක්ෂ නවයකට මිල දී ගනු ලැබූ මිග් 23 පුහුණු කිරීම් යානය 2006 දී අලුත්වැඩියා කිරීම් සඳහා ඇමරිකන් ඩොලර් ලක්ෂ 11ක් වැයකර ඇති බව කියයි.

මිග් 27 යානා හතරක් මිල දී ගැනීම සඳහාත් ගුවන් හමුදාවට තිබුණ මිග් යානා 4 අලුත්වැඩියා කිරීම සඳහාත් ගෙවනු ලැබූ මුදල සැපයුම්කරු වන යුක්රේනයේ “යුක්රින් මාෂ්” සමාගමට නොගෙවා බොලීවියා හෝල්ඩිංග්ස් සමාගම නමැති සැකසහිත තුන්වැනි පාර්ශ්වයකට ගෙවා ඇත්තේ මන්ද යන චෝදනා එල්ලවී ඇත. එම බොලීවියා හෝල්ඩිංග්ස් සමාගම සැබෑ ව්‍යාපාරික සමාගමක් නොව හොර ගනුදෙනු සඳහා පවත්වාගෙන යනු ලැබූ ව්‍යාජ සමාගමක් බව ද එම සමාගමේ ලිපිනයේ ඇත්තේ දුරකතන කුටියක් මිස එවැනි සමාගමක් නොවන බව ද සඳහන් වෙයි.

අමෙරිකන් ඩොලර් මිලියන දාහතරක් වියදම් කරමින් සිදුකළ එම මිග් යානා මිල දී ගැනීමේ ගනුදෙනුවේ දී උදයංග වීරතුංග මහතා එවකට රුසියාවේ ශ්‍රී ලංකා තානාපති ලෙස එම ගනුදෙනුවේ මැදිහත්කරුවකු ලෙස කටයුතු කරමින් ඇමරිකන් ඩොලර් මිලියන දාහතරක මුදලින් සැලකිය යුතු ලෙස ඇමරිකන් ඩොලර් මිලියන හෙවත් රුපියල් කෝටි ගණනක මුදලක් වංචා කර ඇති බවට 2016 වසරේ දී මූල්‍ය අපරාධ කොට්ඨාසය පරීක්ෂණ ආරම්භ කර තිබුණි.

රාජපක්ෂ ආණ්ඩුව බිඳවැටීමත් මූල්‍ය අපරාධ කොට්ඨාසය මඟින් මිග් යානා ගනුදෙනුවට අදාළ පරීක්ෂණ ආරම්භවීමත් සමඟ උදයංග වීරතුංග මහතා අතුරුදන් විය. එහි දී මූල්‍ය අපරාධ කොට්ඨාසයේ නිලධාරින් කොටුව මහේස්ත්‍රාත් අධිකරණයෙන් ඉල්ලා සිටියේ උදයංගට එරෙහිව වරෙන්තු නිකුත් කරන ලෙසයි. ඊට පෙර උදයංගට මූල්‍ය අපරාධ කොට්ඨාසයේ පෙනී සිටින ලෙස දන්වා සිටියත් ඔහු පැමිණියේ නැත.

එම නඩුව කොටුව මහේස්ත්‍රාත් අධිකරණය හමුවේ කැඳවූ අවස්ථාවේ මූල්‍ය අපරාධ කොට්ඨාසයේ ප්‍රධාන පොලිස් පරීක්ෂක චම්පික නිහාල් ප්‍රැන්සිස් මහතා කියා සිටියේ 2016.06.07 දින අධිකරණ නියෝගයක් මත, නිකුත් කළ නොතීසි පිටපත් උදයංග වීරතුංග මහතාගේ සොයුරියක වන තලපත්පිටියේ පදිංචි ඩයනි නිරෝෂා යන අයටත්, උදයංග වීරතුංගගේ ඇටෝනි බලපත්‍ර හිමිකරු වන කුරුඳුගහහැතැප්ම පදිංචි එම්. රුවන් චන්දන යන අයටත් නොතීසි බාර දී තිබුණ ද එම නොතීසි ප්‍රකාරව උදයංග වීරතුංග මහතා කිසිදු ප්‍රතිචාරයක් නොදක්වා සිටි නිසා ජාත්‍යන්තර වරෙන්තු නිකුත් කිරීම සඳහා ක්‍රියා කළ යුතු බවයි.

විජයානි එදිරිසිංහ

 

Leave a Reply

Your email address will not be published. Required fields are marked *