අධිරාජ්‍යවාදය ? – තාරක වරාපිටය

අධිරාජ්‍යවාදයට එරෙහිව සමාජය බලමුළු ගැන්වීමේ දේශපාලන ප්‍රයත්න පිළිබඳ පැරණි වමේ මහලු දේශපාලන කථිකයන්ගෙන් මෙන්ම ජාතිවාදී දේශපාලන කථිකයන්ගෙන්ද තවමත් අපට ඇසෙයි. මේ අධිරාජ්‍යවාදය යනු කුමක්දැයි ඔවුන් විග්‍රහ කරනු මෑතකදී නම් මා නිරීක්ෂණය කොට නැත. සීතල යුද සමයේ අමෙරිකාව ප්‍රමුඛ බටහිර යුරෝපය හා ඊට ප්‍රතිපක්ෂ වූ සෝවියට් සංගමය ප්‍රමුඛ නැගෙනහිර යුරෝපීය රටවල් සහිත බල කඳවුරු දෙකක් පැවති අතර එවකට මේ යෙදුම භාවිත කළේ අමෙරිකානු බල කඳවුර විසින් වෙනත් රටවල් තම ආධිපත්‍යය යටතට ගැනීම වෙනුවෙන් සිදුකළ දේශපාලන, ආර්ථික හා මිලිටරි උපායන් හා බලපෑම් හැඳින්වීමටය. අද එවැනි බලවත් ධ්‍රැවීකරණයක් විසින් පෙර මෙන් තවත් රටකට බලපෑම් සිදුකළ හැකි විභවයක් නොපවතී.

තත්ත්වය මුළුමනින්ම යුක්තිසහගත වී ඇතැයි මින් අදහස් නො කරන’මුත් සාපේක්ෂ ලෙස එලෙස ආක්‍රමණකාරී ප්‍රවේශයක් තුළින් පහසු ජයග්‍රාහී නිමාවක් ලබා දෙන්නේ නැති පසුබිමක් වත්මන් ලෝකයේ නිර්මාණය වෙමින් ඇත. ඩොනල්ඩ් ට්‍රම්ප් වැනි ක්‍රිස්තියානි මුල්ලාවරයෙකු යනු මේ සන්දර්භයට නොගැළපෙන ව්‍යාතිරේඛයකි. කෙසේමුත් ඩොනල්ඩ් ට්‍රම්ප් වැන්නකු උතුරු කොරියානු න්‍යෂ්ඨික අවි ගැටලුවෙන් අනතුරුව කිම් ජොන්ග් අන් අභිමුව පවා පළමු වටයේ පරාජය වුයේ මේ ලෝක සන්දර්භය නිසාය. ඇත්තෙන්ම අද ට්‍රම්ප් ගොරහැඩි ලෙස උත්සාහ ගන්නේ චීන වෙළෙඳ අධිරාජ්‍යයෙන් ගැලවීමටය.

ලංකාව බටහිර ප්‍රාග්ධනය ඉල්ලා හඬා වැටුණද අපව “සූරාගෙන කන්නට” අමෙරිකානු හෝ බටහිර ප්‍රාග්ධනය ගලා නො-එන්නේ, ආයෝජන නො පැමිණෙන්නේ මක්නිසාද කියා මේ අධිරාජ්‍ය විරෝධීන් පහදා දෙන්නේ නැත. ඇත්තෙන්ම නරකම ප්‍රාග්ධන කොන්දේසි ඉදිරිපත් කරන්නේ මේ අධිරාජ්‍යවාදී කඳවුර විසින් නොව චීනය වැනි රටවල් විසිනි. මේ “අධිරාජ්‍යවාදී” රටවල්වලින් හා ජාත්‍යන්තර මුල්‍ය සංවිධානවලින් ඉදිරිපත් වන කොන්දේසි, මූල්‍ය හා ප්‍රාග්ධන පොලී කොන්දේසිවලට වඩා පාරිසරික ප්‍රමිතීන් හා මානව හිමිකම් හෝ ශ්‍රම හිමිකම් කරුණු හා බැඳුණු කොන්දේසි බවට පරිවර්තනය වෙමින් ඇත.

අතීතයේ මෙන් රටවල් යටත් කරගැනීමට හෝ ප්‍රාථමික සම්පත් කොල්ල කෑමට මිලිටරි ආධිපත්‍යය යෙදීමේ ඉඩකඩ පහසු නැත. මෑතකදී ඉරාක ආක්‍රමණය විග්‍රහ කළේ එය හුදෙක් මැදපෙරදිග තෙල් සම්පත උදුරා ගැනීමට ඇටවූ උගුලක් ලෙසින් වුවත් අද නව තාක්ෂණය ඉදිරියේ ලෝකය උත්සාහ කරනුයේ එලෙස විනාශකාරී මාවතකින් බලශක්ති අවශ්‍යතාව පිරිමසා ගැනීමට නොව වඩා කාර්යක්ෂම බලශක්ති පරිභෝජන ක්‍රම වැඩිදියුණු කිරීමටය.

ඉරාක යුද්ධය වැනි විනාශකාරී යුද්ධයක් හෝ ආක්‍රමණයක් මගින් එලෙස ෆොසිල ඉන්ධන අත්පත් කර ගැනීමෙන් උරුම කර ගත හැකි ප්‍රතිලාභයට වඩා පහසුවෙන් හයිබ්‍රිඩ් තාක්ෂණයෙන් බලශක්තිය ඉතිරි කර ගැනීමේ ප්‍රතිලාභය වාසිදායකය. ඉරාක යුද්ධය නිසා ඇතිවූ අරාජිකත්වය නිසා ලෝකයට, මිනිස් සංහතියට පරිභෝජනය කරන්නට තිබුණු තෙල් සම්පතින් සැලකියයුතු ප්‍රමාණයක් ඉස්ලාම් ත්‍රස්ත කල්ලි අතින් විනාශ වී ගියේය. එනිසා යළි එවැනි මෝඩ අත්හදා බැලීමකට දරන උත්සාහයකදී ජාත්‍යන්තර ප්‍රජාව තුළින් දැඩි ප්‍රතිරෝධයක් එල්ල වනු ඇත. ඇත්තෙන්ම විද්‍යාව හා නව තාක්ෂණය විසින් පෙන්වා ඇති කාර්යක්ෂම,අඩු අවදානම් මාවත් නිසා මුග්ධයන්ගේ හා මෝඩ රාජ්‍ය පාලකයන්ගේ විනාශකාරී අත්හදා බැලීම්වල අවදානමින් ලෝකය මුදා ගනිමින් ඇත.

අද දවසේ ලංකාවේ අන්තවාදීන් හා ජාතිවාදීන් අධිරාජ්‍යවාදීන් ලෙස භාරගනුයේ අමෙරිකාව හා යුරෝපා සංගමයට වඩා එක්සත් ජාතීන්ගේ සංවිධානය හා එහි අනුබද්ධ සංවිධානවලටය. ඇත්තෙන්ම එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කවුන්සලය නිසා මේ මොහොතේ වඩාත් දෝෂ දර්ශනයට පත්ව ඇත්තේ සංක්‍රමණ විරෝධී, මානව හිමිකම් විරෝධී, ස්ත්‍රී විරෝධී අමෙරිකානු ට්‍රම්ප් ප්‍රතිපත්තියය; අමෙරිකානු ආනුභාවයෙන් යැපෙන ඊශ්‍රායලයේ ආක්‍රමණශීලී ප්‍රතිපත්තියයි. මේ සතිය තුළ අමෙරිකාව එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කවුන්සිලයෙන් නිල වශයෙන් ඉවත් වුයේ මානව හිමිකම් කවුන්සිලයේ “අධිරාජ්‍යවාදයෙන්” මිදීමටය. අද අමෙරිකාවට මානව හිමිකම් යනු තම රටට එරෙහි ජාත්‍යන්තර උගුලකි; තම රටේ ස්වෛරීත්වයට එරෙහි අනවශ්‍ය බහුබූතයකි.

ඉතිහාසයේ ගමන්මග වෙනස්වී ඇති ආකාරය කෙතරම් විස්මිතද ?

Similar Posts

Leave a Reply

Your email address will not be published. Required fields are marked *