රාජපක්ෂ අනුස්මරණ පදනමෙන් කෝටි 2ගෙවීම තවත් හෙල්පිං හම්බන්තොටක්
රාජපක්ෂ පදනමෙන් රුපියල් කෝටි 2ක මුදලක් නාගරික සංවර්ධන අධිකාරියට ගෙවන්නට තීරණය කර තිබෙන්නේ තම දෙමව්පියන්ගේ ස්මාරක ප්රතිසංස්කරණය කිරීම මගින් රජයේ මුදල් අවභාවිතා කෙරී ඇති බවට ජනතා විමුක්ති පෙරමුණ කරන ලද පැමිණිල්ල හේතු කොට ගෙන බව ජවිපේ හම්බන්තොට දිස්ත්රික් මන්ත්රි නිහාල් ගලප්පත්ති මහතා යුක්තියට පැවසී ය. අවභාවිතා කළ මුදල් ආපසු ගෙවීමේ නීතිමය පදනම පිළිබඳව නීතිඥය චන්ද්රපාල කුමාරගේ මහතාගෙන් විමසූ විට ඔහු පැවසුවේ එම ගෙවීම දෙවැනි හෙල්පිංහම්බන්තොට යනුවෙන් හැදින්විය හැකි බව ය.
හෙල්පිං හම්බන්තොට නඩුවට පදනම් වූයේ ද සුනාමි සහන වෙනුවෙන් ලැබුණු විශාල මුදලක් මහින්ද රාජපක්ෂ පෞද්ගලික ගිණුමක තැන්පත් කිරීම ය. පසුව එකී ගිණුමෙන් එම මුදල් ඉවත් කරගැනීම හේතු කොටගෙන එවකට අගවිනිසුරු වූ සරත් නන්ද සිල්වා මහින්ද රාජපක්ෂ මහතා නිවැරදිකර නිදහස් කළේ ය. එපමණක් ද නොව නඩුව පැවරූ කබීර් හසීම් මහතාට නඩු ගාස්තුව ගෙවිමට නියෝගයක් ද කරන ලදි. හෙල්පිං හම්බන්තොට නඩුව හේතුකොටගෙන බන්ධනාගාර ගතවීමට නියමිත රාජපක්ෂ නිදහස් කිරීම පිළිබඳව හිටපු අගවිනිසුරු සරත් සිල්වා පසුගිය ජනාධිපතිවරණයේ දී ප්රසිද්ධියේම ජාතියෙන් සමාව අයැදී ය.
මෙයින් අනාවරණය වන්නේ මුදල් අවභාවිතය වරදක් වන අතරම එය නැවත ගෙවා එම වරදෙන් නිදහස්විය නොහැකි බව ය. එසේ නම් දෙවන වරටත්, අවභාවිතා කළ මුදල වන රුපියල් දෙකෝටිය නාගරික සංවර්ධන අධිකාරියට ගෙවීමෙන් රාජපක්ෂලා නිදහස් වන්නේ කෙසේ ද යන්න සොයා බැලිය යුතු ය.
