ලොක්කන් දෙන්නෙක් අල්ලස් දැලේ සිනාසෙමුද හඬමුද? – සම්පත් අමරසිංහ

කන්තලේ සීනි සමාගමය අයත් යන්ත්‍රසූත්‍ර හා ගොඩනැගිලි ඉන්දීය සමාගමකට පැවරීම සඳහා කෝටි දහයක වන් අල්ලසක් ලබාගැනීමට උත්සාහ දැරීමේ දී ජනාධිපති කාර්ය මණ්ඩල ප්‍රධානී ආචාර්ය ටී. එච්. කේ. මහානාම සහ රාජ්‍ය දැව සංස්ථාවේ සභාපති පී. දිසානායක යන දෙදෙනා අල්ලස් කොමිසමේ දැලට කොටු වූයේ දින කිහිපයකට පෙරදීය. ඉහත කාරණය මෙරට සාමාන්‍ය ජනතාවට සිනහ වීමටත් ඒ සමගම ඉකිබිඳ හැඬීමටත් හේතු වන්නක් බව කිවයුතුව ඇත.

සිනහ නඟන්නට හේතු වන්නේ මෙරට රාජ්‍ය තන්ත්‍රයේ ඉහළම නිලධාරියකු එනම් රටේ පළමු පුරවැසියාගේ මාණ්ඩලික ප්‍රධානියා අල්ලස් දැලට කොටුකර ගන්නට තරමට මෙරට අල්ලස් කොමිසම සහ නීතිය ශක්තිමත්ව ඇති බව ඉන් ප්‍රකාශමාන වීමයි.

පැවති රාජපක්ෂ සමයේ මෙවැන්නක් එනම් ඉහළ පෙලේ රාජ්‍ය නිලධාරියකු අල්ලස් ගන්නට තැත් කරන බවට පැමිණිල්ලක්

නීතිය හමුවේ ඉදිරිපත් වූයේ නම් නීතිය ක්‍රියාත්මක කරන අංශ මේ ආකාරයෙන් ක්‍රියාත්මක වන්නේ නැත. එපමණක් නොව එවැනි අල්ලසක් ඉල්ලුවේ නම් අල්ලස් කොමිසමට හෝ වෙනත් අදාළ ආයතනයකට පැමිණිල්ලක් ඉදිරිපත් කරන්නට හෝ කිසිවකු ඉදිරිපත් වන්නේද නැත. එවැනි පැමිණිල්ලක් ඉදිරපත් කරන්නට කිසිවකු ඉදිරිපත් වූයේ නම් ඔහුට යහතින් ජීවත්වන්නට ඉඩ ලැබේ යැයි විශ්වාස කරන්නට ද හැකියාවක් ඇත්තේ නැත.

ටී.එච්.කේ. මහානාම මහතාත් පී. දිසානායක මහතාත් අත්අඩංගුවට පත්වන්නේත් ඔවුනට බන්ධනාගාර ගතවන්නට සිදුවන්නේත් අන් කිසිවක් නිසා නොව 2015 ජනවාරි මාසයෙන් ඇරඹි යහපාලන වෙනස නිසාය. යහපාලනය යටතේ කෙරුණු 19 වන ව්‍යවස්ථා සංශෝධනය හේතුවෙන් අල්ලස් කොමිසමට අල්ලස් ගන්නන් අල්ලන්ටත් හපන්නටත් දෙකටම බලය දුන් නිසාය. ඊට පෙර අල්ලස් කොමිසමේ නිලධාරියකු ප්‍රසිද්ධියේ කියා තිබුණේ, අල්ලස් කොමිසමට අල්ලන්නට බලය තිබුණ ද හපන්නට බලයක් ඇත්තේ නැත කියාය. තවත් අතකින් ගත් කළ එකල අල්ලස් කොමිසමේ ඇත්ත තත්ත්වය නම් අල්ලස් ගන්න අය අල්ලන්නට යම් නිලධාරියකු තැත් කළහොත් එසේ තැත් කරන තැනැත්තාට හපන්නට දේශපාලකයන් සැදී පැහැදී සිටි බවය. එකල අල්ලස් චෝදනා එල්ල වූ දේශපාලඥයන් සම්බන්ධයෙන් මෙරට ජනතාවට අත්දකින්නට ලැබුණේ අල්ලස් කොමිසමට කැඳ වූ විට සර්පයන් දෂ්ඨ කිරීම් වැනි දේය.

සිනාසීමට නැතහොත් නීතිය ක්‍රියාත්මක වීම සම්බන්ධයෙන් මෙරට ජනතාවට සතුටු විය හැකි තත්ත්වය එසේ තිබියදීම, යහපාලනය යටතේ ඇතැම් කටයුතු සිද්ධවන ආකාරය පිළිබද මෙරට ජනතාවට හඬන්නට හේතු ඇති බව සඳහන් කළ යුතුය.

කැෆේ සංවිධානයේ අධ්‍යක්ෂ කීර්ති තෙන්නකෝන් මහතා පවසා තිබුණු ආකාරයට කන්තලේ සීනි සමාගමේ කටයුතු සඳහා ඉන්දියානු සමාගමක් වන ප්‍රභූ ලිංගේෂ්වර් සමාගම තෝරාගෙන ඇත්තේ වසර තුනකට පෙරදීය. 2015 ජූලි 24 දින ඊට කැබිනට් අනුමැතිය ලැබී ඇත. ඒ අනුව වසර තුනක කාලයක් තිස්සේ කන්තලේ සීනි කම්හලට යළි පණ දීම ඇදෙමින් පැවතී ඇත.

කන්තලේ සීනි සමාගමට පුනර්ජීවය ලබා දීම මගින් ප්‍රදේශයෙ විරැකියාවට පිළිතුරු සොයන්නට හිටපු අමාත්‍ය එම්.කේ.ඩී.එස්. ගුණවර්ධන මහතා බලාපොරොත්තු වී ඇත. තමන්නට අල්ලසක් ලබා ගැනීම සඳහා  ඉහත නිලදාරින් උත්සාහ කිරීම තුළ ප්‍රදේශයේ ජනතාවගේ විරැකියාවට විසඳුම් සෙවීමේ ආණ්ඩුවේ උත්සාහය අසාර්ථකත්වයට පත්ව ඇති බව පිළිගත යුතුය.

ඊළඟ කරුණ වන්නේ කැබිනට් අනුමැතිය ලත් ව්‍යපෘතියක් ක්‍රියාත්මක වීම වසර තුනක් තිස්සේ ඇදෙමින් තිබීම සම්බන්ධයෙන් ආණ්ඩුවේ අවධානය යොමු වී නොතිබීමය. සමාගම ක්‍රියාත්මක නොවීමට හේතු සොයාබැලීමට ආණ්ඩුව සක්‍රීයව මැදිහත් වූයේ නම් සැබෑ තත්ත්වය හෙළිදරව්වන්නට ඉඩ තිබුණි. එසේ සත්‍යය හෙළිදරව් වූයේ නම් අල්ලස් බලාපොරොත්තු වූ අයට ආණ්ඩුව තුළින්ම දඬුවමක් දීමට හෝ ඔවුන් එම කාර්යයෙන් ඉවත් කරන්නට හෝ හැකියාව තිබුණි. කැෆේ සංවිධානයේ විධායක අධ්‍යක්ෂ වරයා හෙළි කරන තොරතුරු ඇත්තක් නම්, ගිවිසුම අත්සන් කර වසර දෙකක් පමණ ගතවන තුරු වැඩ ආරම්භ නොවන්නේ මන්දැයි මාධ්‍යවේදියෙක් එකල ආයෝජන මණ්ඩුලයේ සභාපතිව සිටි ජනාධිපති නීතිඥ උපුල් ජයසූරිය මහතාගෙන් විමසා තිබේ. උපුල් ජයසූරිය මහතා ඒ සම්බන්ධව පැහැදිලි කිරීමක් ද කර තිබේ. එහෙත් ඉඩම් ඇමතිවරයා, ආයෝජන බාර ඇමතිවරයා හෝ වෙනත් දේශපාලන අධිකාරියක් ඒ පිළිබඳ සොයා බලා නැත. කීර්ති තෙන්නකෝන් මහතා පවසන්නේ, ඉහත කරුණ ගැන සොයා බැලීම වෙනුවට සිදු වී ඇත්තේ උපුල් ජයසූරිය මහතා තනතුරින් ඉවත් කිරීමයි. එපමණක් නොව ටී.එච්.කේ. මහානාම මහතාට දූෂණ චෝදනා එල්ල වූ බවද කීර්ති තෙන්නකෝන් මහතා පවසයි.

අල්ලස් දැලට හසු වූ පී. දිසානායකගෙන් හිස් වූ රාජ්‍ය දැව සංස්ථාවේ සභාපති ධුරයට ජනාධිපතිවරයා විසින් පත්කරන්නට යෙදී ඇත්තේ අනුරුද්ධ පොල්ගම්පල මහතාය. කෝප් කමිටුවේ සභාපති පාර්ලිමේන්තු මන්ත්‍රී සුනිල් හඳුන්නෙත්ති මහතා ප්‍රසිද්ධියේ ම පවසා තිබුණේ අනුරුද්ධ පොල්ගම්පොල මහතා, කළුගල් වැඩපොළක් පවත්වාගෙන යාමට බව පවසා පුද්ගලයන් දෙනෙකුට රුපියල් ලක්ෂ 75ක් වංචාකර 2017 ජුලි 15 දා අත්අඩංගුවට ගනු ලැබූ බවය. එසේම අනුරුද්ධ පොල්ගම්පොල මහතා වව්නියාව ප්‍රදේශයේ කොන්ත්‍රාත්කරුවන් පිරිසකට අගරු චෙක්පත් ලබා දී මූල්‍ය වංචා සිදු කිරීමට අදාළව 1016 මැයි 11 වව්නියාව අධිකරණයෙන් රක්ෂිත බන්ධනාගාර ගත කරන ලද බවයි.

හඳුන්නෙත්ති මහතා ඉදිරිපත් කළ කරුණු අනුව පැහැදිලිවන්නේ රාජ්‍ය දැව සංස්ථාවේ සභාපති පත්කිරීමේදී ජනාධිපතිවරයා අනුගමනය කර ඇත්තේ හෝද හෝදා මඩේ දමන ප්‍රතිපත්තියක් බවයි.

අනුරුද්ධ පොල්ගම්පොල මහතා යනු පසුගිය සමයේ රාජපක්ෂවාදීව කටයුතු කළ තැනැත්තකු බව අමතක කළ ද, යහපාලන ආණ්ඩුව ඉදිරියට ගෙනයාම සඳහා විශ්වාසවන්ත සහ චොදනා රහිත පුද්ගලයන්ගේ අඩුවක් තිබේද යන්නට ආණ්ඩුව වහා උත්තර බැඳිය යුතුය. අශ්වයා පැන්නාට පසුව ඉස්තාලය වහනවාට හෝ අහක යන නයින් ඇඳුම අස්සේ දාගන්නවාට වඩා පෙර සූදානම දහස් වාරයක් වැදගත්වන නිසාය.

සම්පත් අමරසිංහ

Similar Posts

Leave a Reply

Your email address will not be published. Required fields are marked *