|

2020 ගැන ජනපති කියනවිට ජවිපෙ විස්ස ගෙන්න සැරසෙයි

පසුගිය සති අන්තය පොලොන්නරුවේ ගත කළ ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා එහි පැවැති රාජ්‍ය උත්සව කිහිපයකට සහභාගී වුණා. ජාත්‍යන්තර පවුල් සෞඛ්‍ය සේවා දිනය සැමරීමේ රාජ්‍ය උළෙල පසුගිය සෙනසුරාදා පැවැතියේ පොලොන්නරුව රාජකීය මධ්‍ය මහා විද්‍යාලයේදීයි. එහි දී කතා කරමින් ජනාධිපතිතුමා කීවේ මෙවර මෙම රාජ්‍ය උත්සවය පොලොන්නරුවේ සංවිධානය කිරීම ගැන ස්තූතිවන්ත වීමට තමන් එම රැස්වීමට පැමිණි බවයි.

මේ රටේ රාජ්‍ය සේවයට හොඳ නම මෙන්ම නරක නාමයද හිමිවී ඇති බවත්, රටේ ජනාධිපතිවරුන් තුන්දෙනකුගේම කාර්ය මණ්ඩල ප්‍රධානීන් අල්ලස් චෝදනා මත අත්අඩංගුවට පත්ව ඇති බවත් පෙන්වා දුන්නා. ඒ කාට වුවත් තරාතිරම නොබලා නීතිය ක්‍රියාත්මක කරන බව ද ජනාධිපතිතුමා පැවසුවා. වෘත්තීය සමිති ජනතාවට හිරිහැර නොවන ලෙස කටයුතු කළ යුතු බව ද ජනාධිපතිතුමා එහි දී කිවා.

පොලොන්නරුව පුරාණ ඉසිපතනාරාම විහාරස්ථාන විජයබා පිරිවෙනේ ඉදිකරන ලද නව දෙමහල් ගොඩනැගිල්ල සඟසතුකොට පූජාකිරීමේ උත්සවයට ජනාධිපතිතුමා ඉරිදා සහභාගී වුණා. එහි දී එම විහාරස්ථානය හා තමා අතර තිබූ අතීත සබඳතාවය ජනාධිපතිතුමා මතකයට නැගුවා.නිතර එහි ආගිය හැටි මතක් කළ ජනාධිපතිතුමා මෙසේ ද කීවා.

1979 දී පමණ මහා සුළි සුළඟ ආපු වෙලාවේ එදා රාත්‍රියේ මම හිටියේ මෙම ස්ථානයේයි. මෙතන තිබුණු පුංචි පොල්අතු ශාලාවේ ඉන්න බැරුව බොහොම අමාරුවෙන් පොල් ගහෙන් පොල්ගහ අල්ලාගෙන හාමුදුරුවන්ගේ ආවාසයට අපි ගියා. එදා මේ ප්‍රදේශයම විනාශ වුණා. පොල්ගස්, අනෙක් ගස්, විදුලි කණු වැටිලා පොලොන්නරුව ප්‍රදේශයට මහා විනාශයක් වෙච්ච දවසක්. මම පහුවදා මෙතන ඉඳලා පයින් තමයි ලක්ස උයනේ ගෙදරට ගියේ. කිසිම පාරක වාහන යන්න බෑ. ගස් වැටිලා විදුලි කණු වැටිලා. බයිසිකලයක්වත් යන්න බෑ. ඉතින් ඒ පෞද්ගලික මතකයත් එක්ක මට හිතෙන්නේ මෙතැනට යුතුකම් ඉටුකළා මදි කියලයි. ජනාධිපතිතුමා කීවා.

අපේ රටේ දේශපාලන – සමාජ – ආර්ථික ප්‍රශ්නවලට විසඳුම ඇත්තේ බුදු දහම තුළ බව කී ජනාධිපතිතුමා දිඹුලාගල ආරණ්‍ය සේනාසනයට ජනාධිපතිවරුන් අගමැතිවරුන් ආවා ගියාට කිසි සෙතක් නොවූ බවත් ප්‍රකාශ කළා.

වෙසක් දිනයට ආසන්නව යෙදී තිබීම නිසා කල් දැමූ මැයි දින සැමරුම 7වැනිදා පැවැත්වුණා. ශ්‍රීලනිප මැයි දින රැලිය මෙවර පැවැත් වුණේ මඩකළපුව චෙන්කලඩි මාවඩි වෙල්ලුහිදීයි. එහි දී කතා කරමින් ජනාධිපතිතුමා කීවේ පසුගිය කාලයේ ලැබූ අත්දැකීම් පදනම් කරගෙන ජනතාවට අලුත් වැඩ පිළිවෙළක් ඉදිරිපත් කිරීමට බලාපොරොත්තු වන බවයි. එමෙන්ම ජනතාව වෙනුවෙන් කළ යුතු වැඩ බොහොමයක් ඇති නිසා තමන් 2020 දී විශ්‍රාම නොයන බව ද ජනාධිපතිතුමා එහි දී ප්‍රකාශ කළා.

අගමැති රනිල් වික්‍රමසිංහ මහතා බ්‍රහස්පතින්දා උදේ අරලිය ගහ මැදුරට ආවේ දෙපාර්තුමේන්තු කීපයක නිලධාරීන් සමඟ සාකච්ඡාවකටයි. එය නිම කළ ඔහු පැමිණ සිටි මැති ඇමතිවරු නිලධාරීන් හා පක්ෂ හිතවතුන් මෙන්ම මාධ්‍යවේදීන් කීප දෙනෙක් සමගද කතා බහ කළා.

“ජනාධිපතිතුමා ළඟම හිටපු පගාකාරයෝ දෙන්නා අල්ලස් එකට කොටු වීම ගැන මිනිස්සු සුභවාදී තැනකයි ඉන්නේ. තරුණ ඥාතීන් දෙන්නෙක් එතන ඉඳල මාරුවෙලා කියල ආරංචියි.මේ වැඩේ අගමැතිතුමාගේ ඇඟේ පටවලා ජනාධිපතිතුමා එක්ක කොටවන ව්‍යාපාරයකුත් ගියා” එජාප නීති අංශ නිලධාරියෙක් කතාවට මුල පිරුවා.

“අවුරුදු 02 ක් මේ පරීක්ෂණ කරල තියෙනවා. අනික හොරු අල්ලන්න කියල ජනාධිපතිතුමාම මුළු රටෙන්ම ඉල්ලුවානේ” සභානායක ලක්ෂ්මන් කිරිඇල්ල කීවා.

“ එජාප මැයි රැලිය ගෘහස්ත ක්‍රීඩාංගණයක තිබීමයි පෙළපාලියක් නැතිවීම ගැනයි විපක්ෂය මඩගහන්න ගත්තා. අපි අලුත් සංකල්පයක් මත වැඩ කරපු එක එයාලට තේරුණේ නෑ. අනික මේ පාර කොයි පක්ෂයක්වත් පෙළපාලි ලොකුවට කළේ නෑ.” නවීන් දිසානායක කීදේ අගමැති ඇතුළු සියලු දෙනා අනුමත කළා.

“ පෙළපාලි හැමදාම ගියේ කම්කරුවා වෙනුවෙන් නෙවෙයි තම පක්ෂයේ දේශපාලන හයිය පෙන්වීමටයි.අපි මේ පාර මේ බොරුව රටට පැහැදිලි කළා. ඒක නොතේරෙන අය කෑගහවි. ප්‍රශ්නයක් නෑ” අගමැතිවරයා කිව්වා.

“ ෆොන්සේකාගේ කතාවට ලොකු චියර් එකක් ලැබුණා.සජිත් නවීන් ඇතුළු තරුණ එජාප නායකයො පක්ෂයට විශාල ශක්තියක් බව එදා මැයි දිනයේ දී රටට ඔප්පු කළා” ලක්ෂ්මන් කිරිඇල්ල කිව්වා.

“ සමෘද්ධි බැංකුවේ කෝටි 675 ක ප්‍රශ්නයක් තියෙනවා නම් ඒ ගැන සොයන්න කියල මිනිස්සු අපට බලකරනවා. සමෘද්ධි බැංකුවට විතරක් කිසිම නියාමනයක් නැතුව යන්න දීම දූෂණයට පාර කපන බවත් මිනිස්සුන්ගෙ මතයයි.” නවීන් දිසානායක කිව්වා.

“ සමෘද්ධි ව්‍යාපාරය ගලා යන හා ගලා ආ ක්‍රමය ගැන පරීක්ෂණ කළ යුතුයි.මුදල් අමාත්‍යංශය ඒකට පෙරමුණ ගනීවි. කෝටිපතියන්ටත් දේශපාලන හිතවත්කම් මත සමෘද්ධි ලබාදුන් පරණ ක්‍රමය වෙනුවට දුගී අයට පක්ෂ භේදයකින් තොරව සමෘද්ධි ලබාදීමේ ක්‍රමවේදයක් අපි හදනවා” අගමැති කී විට සියලුදෙනා ඊට ප්‍රශංසා කළා.

“ගාල්ලෙ පොහොට්ටු රැස්වීම බැසිල් හා රෝහිත අබේගුණවර්ධන මෙහෙයවල තියෙන්නේ ඒ අයට ඕන විදියට නිසා ඇතුලෙ මාර කචල් තිබිල තියෙන්නෙ කියල ආරංචියි” පී හැරිසන් කිව්වා.

“ශ්‍රීලනිප මන්ත්‍රීවරු 16 දෙනා විපක්ෂයට ගියේ සෙංකෝලය තියලා කථානායකතුමා වාඩිවෙන්න කලින් නිසා ඒ අය “ක්‍රොස් ඕවර්” කළා කියල පිළිගන්න බැහැ. ජනාධිපතිතුමාගෙ කතාව ඉවර කළාම අනිත් පැත්තට යන්න තරම්වත් ඒ අයට කොන්දක් නෑ කියලයි සමහරු කියන්නෙ” නවීන් දිසානයක කිව්වා. “තිලංග යළි නියෝජ්‍ය කථානායකට පත්කළොත් ආණ්ඩුවේ හා විපක්ෂයේ හැම පැත්තෙම බොහෝ අය ඊට විරුද්ධ වේවි. නියෝජ්‍ය කථානායකයකුට තම පක්ෂ තීන්දුව අනුව ඡන්දය දිය හැකි වුවත් යම් ප්‍රශ්නයක දී පක්ෂග්‍රාහීව වැඩ කරන්න බෑ” නවීන් දිසානායක කළ විග්‍රහය අගමැති ඇතුළු සියලු දෙනා අනුමත කළා.

“ එජාපයට ප්‍රධාන විධායක නිලධාරියෙක් පත් කරන්න යනවද?

“ දේශපාලනය නොකරන කෙනෙක් එවැනි තනතුරකට පූර්ණ කාලීනව පත් කරන්න කියලා රුවන් විජයවර්ධන කමිටුව නිරුදේශ කර තියෙනවා. සිරිකොතේ පරිපාලනය ශක්තිමත් කිරීමයි එම නව තනතුරේ අරමුණ.පක්ෂයටත් තවත් තනතුරු කීපයක් අළුතින් ඇති කරනවා ” අගමැතිවරයා පැහැදිලි කළා.

“ නව මහාධිකරණ පිහිටවලා බරපතළ නඩු දිනපතා අහන ක්‍රමවේදයට අදාළ පනත සම්මත වීම රටම ලැබූ ලොකු ජයක්. ඉස්සර බරපතළ නඩු බව කිව්වෙ මිනී මැරුම්වලට.අද ජනතා මුදල් ගසා කෑම් පවා ඒ ගණයට වැටෙන බව සමාජ පිළිගැනීමක් ඇතිවෙලා නිසා මේ පනත හරහා රටට විශාල සේවයක් වේවි. වැරදි නොකරපු කවුරුවත් මේකට බය වෙන්න දෙයක් නෑ. අනික මේ පනත මේ ආණ්ඩුව යටතේ විතරක් නෙවෙයි මුළු අනාගතයටම බලනපානවා.” විජයදාස රාජපක්ෂ කීදේ අගමැති ඇතුළු සියලු දෙනා පිළිගත් අතර නව පනත ගෙන ඒමට හා පාර්ලිමේන්තුවේ දී ඒ වෙනුවෙන් මතවාදීව පෙනී සිටීමට ඇමැති විජයදාස ලබා දුන් සහාය ගැනද එහි දී සියලු දෙනා ඔහුට ස්තූතිය පල කළා.

ත්‍රිකුණාමලය දිස්ත්‍රික්කයේ මූතූර් ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයේ ඉක්බාල් නගර්හී “මොහොමදියා නගර්” සහ “අබුරාර් නගර්” උදා ගම්මාන දෙක ජනතා අයිතියට පත්කිරීමේ උත්සවයට සහභාගිවීමට යමින් සිටි සජිත් ප්‍රේමදාස අමාත්‍යවරයා දිස්ත්‍රික්කයේ අබ්දුල් මහරූෆ් සහ ඉම්රාන් මහරූෆ් යන සිය හිතවත් පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ගෙන් විමසා සිටියේ “මම මොන පාරෙන්ද ඉක්බාල් නගර්වලට එන්නේ?” කියායි. මන්ත්‍රීවරුන් කීවේ “කන්තලේ – සේරුනුවර පාරෙන් ආවොත් තමයි ළඟ. ඒ වුණත් ඒ පාරේ තිබෙන ” මහවැලි පාලම “ ගලවලා දැන් අවුරුදු එකහමාරක්. පළාතේ මිනිස්සුන්ට, ඉස්කෝලේ යන ළමයින්ට ආණ්ඩුවේ කන්තෝරුවල වැඩ කරන අයට දුක්විඳින්න වෙලා. ඇමතිතුමාටත් එන්ඩ වෙන්නේ ත්‍රිකුණාමලයට ඇවිත් කින්නියා, මුතූර් පාරෙන්. ඒ පාර කිලෝමීටර් 30 ක් දුරයි. ඒ නිසා විනාඩි 40 ක් විතර ප්‍රමාදයි” යනුවෙනි. සජිත් එවෙලේම මාර්ග සංවර්ධන අධිකාරියේ සභාපතිවරයාට දුරකථනයෙන් අමතමින් ඇසුවේ “කන්තලේ සේරුනුවර මාර්ගයේ” මහවැලි පාලම “ ඉදිකිරීම මෙච්චර ප්‍රමාද වෙලා තිබෙන්නේ ඇයි?” කියායි. සභාපතිවරයා කීවේ “තව මාස තුනකින් පාලමේ වැඩ අවසන් කිරීමට සියලු කටයුතු යොදා අවසන්” කියායි. සජිත් එවර කීවේ “ එහෙමද? එහෙනම් මම තව තුන් මාසයකින් ඊළඟ උදා ගම්මානය විවෘත කරන්න එන්නෙත් කන්තලේ සේරුනුවර පාරෙන්. එදාට මටත් ඔය අලුත් පාලමෙන් එගොඩ වෙන්න පුළුවන් වෙයි නේද” කියාය. සජිත් සිය මන්ත්‍රී සගයන් දෙදෙනාට පාලමේ පුවත කී පසු ඔවුන්ද ඉමහත් සතුටට පත්විය. “සර්ගෙ ගමන අපට ආශීර්වාදයක් වුණා. අපේ බලාපොරොත්තු අලුත් වුණා. අපේ ජනතාවටත් ඔබතුමා ඒ විස්තරේ කියන්න” ඔවුන් ඉල්ලා සිටි නිසා සජිත් සිය කතා‍වේ දී ඒ ගැන සඳහන් කර අනතුරුව “මම ත්‍රිකුණාමල දිස්ත්‍රික්කයේ ඔබට අලුත් ‍උදා ගම්මාන 25 කුත් ලබා දෙනවා. ඒවායින් තවත් අලුත් නිවාස 400 ක් ඔබට හිමි වෙනවා” යනුවෙන් සජිත් කී දේ භාෂා පරිවර්තකයා දෙමළ බසින් කියනවාත් සමඟ ජනතාව අතරින් පැතිර ආවේ විශාල ප්‍රීති ඝෝෂාවක්.

ස්වදේශ කටයුතු අමාත්‍ය වජිර අබේවර්ධන මහතා සිකුරාදා අගමැති රනිල් වික්‍රමසිංහ මහතා සමඟ කළුතර මිල්ලනියට ගියේ මිල්ලනිය ප්‍රාදේශීය ලේකම් කාර්යාලය වෙනුවෙන් ඉදිකරන ලද නව ගොඩනැගිල්ල විවෘත කිරීමේ අවස්ථාවට සහභාගී වීමටයි. මේ සඳහා අජිත් පී. පෙරේරා ඇමතිවරයාද එක්ව සිටියා.

එහි දී ඇමැති වජිර කීවේ අගමැතිතුමාගේ උපදෙස් මත ශ්‍රී ලංකාවේ සියලුම ප්‍රාදේශීය ලේකම් කාර්යාල හා දිස්ත්‍රික් ලේකම් කාර්යාල නවීකරණය කිරීමේ ව්‍යාපෘති ආරම්භ කර ඇති බවයි. මෙය ජනතාවට එකවරම නොපෙනුනත් දිස්ත්‍රික් හා ප්‍රාදේශීය පාලනය ක්‍රියාත්මක වන මෙම කාර්යාල වඩාත් කාර්යක්ෂම සේවාවක් සඳහා යොමු කිරීමට මෙලෙස භෞතික සම්පත් වැඩිදියුණු කරන බවත් ඒ සමගම මානව සම්පත්වල ගුණාත්මක වර්ධනයක් ඇතිකරන බවත් වජිර ඇමතිවරයා කීවා.

අගමැති රනිල් වික්‍රමසිංහ මහතා එහි දී කතා කරමින් ආණ්ඩුව බෙර නොගසා වැඩ කරන බව කීවා.

“ අපේ ආණ්ඩුව වැඩ කරනවා. ඒවා එක සැරේට පේන්නේ නැහැ. ජනතාවට අවශ්‍ය සංවර්ධන ක්‍රියාමාර්ග කරගෙන යනවා. මේ කාර්යාල සංවර්ධනය කරනවා. වජිර අබේවර්ධන ඇමැතිතුමා සෑම දිස්ත්‍රික් ලේකම් කාර්යාලයක් ම සෑම ප්‍රාදේශීය ලේකම් කාර්යාලයක් ම වැඩි දියුණු කරනවා. රටේ ජනතාවට සේවය කරන්න ඒ ආයතන නූතනයට ගැළපෙන විදියට වැඩිදියුණු කරන්න අවශ්‍යයි. මේවා ලොකුවට පේන්න නැහැ. මේ කරන වැඩවල වටිනාකම පේන්න ටික කාලයක් යනවා. රටට සද්දෙ දාලා වැඩ කරනවානම් අපිටත් බෙර ගහලා වැඩ නොකර ඉන්න තිබුණා. නමුත් අපි බෙර නොගහා වැඩ කරනවා.”

රැස්වීමේ වැඩකටයුතු අවසන් වීමෙන් පසු ප්‍රාදේශීය ලේකම් කාර්යාලයේ තේ පැන් සංග්‍රහය පැවැත්වෙන ස්ථානයේ දී අගමැතිවරයාත්, වජිර ඇමතිවරයාත් කළුතර දිසාපති ඇතුළු ප්‍රාදේශීය ලේකම්වරු සමඟ සුහඳ කතාබහක නිරතව සිටියා. එහි දී අගමැතිවරයා කියා සිටියේ සංවර්ධන ව්‍යාපෘති කඩිනමින් අවසන් කළ යුතු බවයි.

සෙනසුරාදා උදෑසන වජිර ඇමතිවරයා යළි ගාලු ගියේ පකිස්ථානයෙන් වැඩමකරවන ලද තක්ෂිලා සර්වඥධාතූන් වහන්සේලා ගාල්ල බටගන්විල ශ්‍රී සුමනාරාමයේ ප්‍රදර්ශනය කිරීමේ පූජෝත්සවයට එක්වීමටයි. අධිවේගී මාර්ගයේ පින්නදූව පිවිසුම අසළින් සර්වඥ ධාතූන් වහන්සේලා පිළිගෙන ගාල්ලට රථ පෙරහැරකින් ගිය අමාත්‍යවරයා ධාතූන් වහන්සේලා වෙනුවෙන් උදෑසන කිරි ආහාර පූජාව ද පවත්වා එතැනින් සමුගෙන යළි කොළඹ ගියේ කොළඹ ක්‍රීඩා අමාත්‍යාංශ පිටියේ ස්වදේශ කටයුතු අමාත්‍යාංශය මගින් සංවිධානය කර තිබූ අලුත් අවුරුදු උත්සවයට සහභාගී වීමටයි.

ගාල්ල දිස්ත්‍රික්කයේ හික්කඩුව, අක්මීමණ, හබරාදුව හා ගෝනාපීනුවල ප්‍රාදේශීය ලේකම් කාර්යාලවල ඉදිකරන ලද නව ගොඩනැගිලි හතරක් අගමැතිවරයාගේ ප්‍රධානත්වයෙන් සෙනසුරාදා දිනයේ විවෘත කිරීමට කටයුතු සංවිධානය කර ඇති බැවින් ඇමැති වජිර දැඩි කාර්යබහුල සතියක් ගත කරමින් සිටියා. එකම දිස්ත්‍රික්කයක අගමැතිවරයාගේ ප්‍රධානත්වයෙන් රාජ්‍ය නිලධාරීන්ගේ ද සහභාගීත්වයෙන් උත්සව හතරක් පැවැත්වීම පහසු කාර්යයක් නොවේ.

සෙනසුරාදා (12) මේ ගොඩනැගිලි හතර විවෘත කිරීමට යොදාගත් දිනයේ ම වජිර ඇමතිවරයා අනුරාධුපරයේ ශ්‍රී මහා බෝධිය අසල දී භික්ෂූන් වහන්සේලා 2000ක් වෙනුවෙන් සම්පූර්ණ ත්‍රිපිටක ග්‍රන්ථ කට්ටල පිරිනැමීමට ද කටයුතු සංවිධානය කර තිබෙනවා. සෙනසුරාදා බෙදා දීමට නියමිත ත්‍රිපිටක ග්‍රන්ථ සියල්ල බදාදා සහ බ්‍රහස්පතින්දා ඇමැති වජිර ඇමතිවරයාත්, ඔහුගේ පවුලේ සාමාජික සාමාජිකාවන් හා හිතවතුන්ගේ සහභාගීත්වයෙන් සංඝයාවහන්සේලා සඳහා පූජා කිරීමට සුදුසු පරිදි සකසන ලද්දේ ඇමතිවරයාගේ පුද්ගලික අධීක්ෂණය යටතේයි.

ජවිපෙ විසින් පෞද්ගලික මන්ත්‍රී යෝජනාවක් ලෙස ඉදිරිපත් කිරීමට නියමිත 20 සංශෝධනය තවත් දින කිහිපයකින් පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමට නියමිතයි. 20 අඩංගුව තවමත් රටට ඉදිරිපත් නොවූ තත්ත්වයක් තුළද ඒ පිළිබඳව පුළුල් සංවාදයක් මතුව තිබෙනවා. ඇතැම් පිරිස් විසින් 20 විකෘති කරමින් මත පළ කිරීම පිළිබඳවත් 20 පිළිබඳ ඉදිරි ක්‍රියාමාර්ග පිළිබඳවත් ජවිපෙ නායකයෝ පසුගියදා විශේෂ සාකච්ඡාවක නිරත වුණා. ”20 තවමත් පාර්ලිමේන්තුවට නොදාපු තත්ත්වයක් ඇතුළෙත් සමහරු මේ ගැන බිල්ලෝ මවනවා. සමහරු විකෘති කරුණු ඉදිරිපත් කරනවා. ජනතාව නොමඟ යවන ප්‍රකාශ කරනවා.” විජිත හේරත් කීවා. ”අපි මේ ගැන පුළුල් සංවාදයක් හදන්න ඕනෑ. 20 සංශෝධනයේ තියෙන කරුණු ගැන ජනතාව දැනුවත් කරන වැඩසටහනක් හදන්න ඕනෑ. සම්මන්ත්‍රණ මාලාවක්, විද්වත් හමු වගේම මාධ්‍ය මගින් ජනතාව දැනුවත් කරන්න පුළුවන් හැම ක්‍රමයක්ම යොදාගන්න ඕනෑ. වැරදි මත පරාජය කරන්න ඕනෑ. ජනතාව නොමඟ යවන්න ඉඩ දෙන්න බැහැ” ටිල්වින් සිල්වා කියා සිටියා. ‘සමහරු රට ගැන තියෙන ඇත්ත ආදරය නිසා 20 ගැන කතා කරනවා. තවත් සමහර බංකොළොත් දේශපාලකයො තමන්ගේ දේශපාලන බල ව්‍යාපෘතිය අවුල් වෙන නිසා කෝපයෙන් කලබල වෙලා 20ට බුරා පනිනවා. කොහොම නමුත් මේ ගැන අදහස් පළකරන සියලූ දෙනාට අපි ස්තූතිවන්ත වෙන්න ඕනෑ. මොකද මේ පිළිබඳ සංවාදය උඩට ගන්න මේවා උපයෝගි වෙනවා. ඒ වගේම ජනතාවට බලපාන සංශෝධනයක් නිසාම සියලූ දෙනාට අදහස් දක්වන්නත් අපි වේදිකාවක් හදන්න ඕනෑ” අනුර දිසානායක යෝජනා කළා.

”තවත් සමහර අය විධායක ජනාධිපති ධුරයේ හොඳ නරක ගැන දැන් වාද කරන්න හදනවා. ඒ සංවාදය යල් පැනලා. ඇත්තටම දැන් සංවාදය තියෙන්නේ, විධායක ජනාධිපති ධුරය අහෝසි කරන සංශෝධනයේ කරුණු කොහොම වෙන්න ඕනද කියලා. විධායක ජනාධිපති ධුරය අහෝසි කරන්න මේ වෙනකොටත් ජනවරම් 05ක් ලැබිලා තියෙනවා. 1994, 1999, 2005, 2010 වගේම 2015දීත් පත්වුණු ජනාධිපතිවරුන්ට මේ වෙනුවෙන් ජනවරමක් ලැබුණා. විශේෂයෙන් මෛත්‍රීපාල මහත්තයට ලක්ෂ 62ක ජනතාවගේ ජනවරමක් තියෙනවා මේ වෙනුවෙන්. ඔහුගේ ප්‍රධාන සටන් පාඨය වුණෙත් විධායක ජනාධිපති ධුරය අහෝසි කිරීම.” බිමල් රත්නායක කීවා.

08වැනි පාර්ලිමේන්තුවේ දෙවැනි සැසිය පසුගියදා 08වැනිදා ආරම්භ වුණා. ජනාධිපති මෛත්‍රීපාලන සිරිසේන විසින් පාර්ලිමේන්තුව කල්තැබීම නිසා මෙසේ පාර්ලිමේන්තුවේ දෙවැනි සැසිය ආරම්භ කිරීමට සිදුවුණා. කෙසේ වෙතත් ජනාධිපති කාර්යාලය විසින් ගෙන ගිය ප්‍රචාරය නිසාම ජනාධිපතිවරයාගේ කතාව පිළිබඳ සියලූදෙනාගේ අවධානය යොමු වී තිබුණා. එමෙන්ම ජවිපෙ මන්ත්‍රීවරු මෙම කතාවේ දී පාර්ලිමේන්තුව කල්තැබීමේ හේතුව දැන ගැනීමටද බලාපොරොත්තුවෙන් සිටියා. කෙසේ වෙතත් ජනාධිපතිවරයාගේ කතාව ආණ්ඩුවේ මැති ඇමතිවරුන් පවා බලාපොරොත්තු නොවූ ආකාරයට ගන්නට දෙයක් නැති එකක් වුණා. මේ පිළිබඳව පාර්ලිමේන්තුවේ ආණ්ඩු පක්ෂයේ සහ විපක්ෂයේ මන්ත්‍රීවරුන් අතර කසුකුසුවක් ඇති වුණා. ජවිපෙ මන්ත්‍රීවරු ඒකාබද්ධයේ මන්ත්‍රීවරු මෙන්ම ආණ්ඩුවේ මන්ත්‍රීවරු, ඇමතිවරු මේ කතාබහට සම්බන්ධ වුණා. ”පුදුම වැඩේ කතාවෙන් පස්සේ තේ එකට ආරාධනා කරන්න ඕනෑ ජනාධිපතිතුමා. එයාගෙ සංග්‍රහයට එයාවත් නැහැනේ. කතාව ඉවර වෙලා යන්න යනවා” ඒකාබද්ධයේ මන්ත්‍රීවරයෙක් රූපවාහිනී තිරය පෙන්වමින් කීවා..

ස්වීඩනයේ පැවැත්වෙන ‘එතෙර අපි’ සමුළුවක් සඳහා ආරාධනා ලැබුණු සුනිල් හඳුන්නෙත්ති මන්ත්‍රීවරයා පසුගිය 09වෙනිදා අළුයම ස්වීඩනය බලා පිටත් වුණා. ස්වීඩනයේ ජීවත් වන ශ්‍රී ලාංකිකයින් විසින් එතෙර අපි සංවිධානයේ ශාඛාවක් ගොඩ නගා ඇති අතර එහි සමුළුව සඳහා ප්‍රධාන ආරාධිතයා ලෙස ආරාධනා ලැබුණේ ඔහුටයි.මේ අතර එම සමුළුවෙන් අනතුරුව සංස්කෘතික සැදෑවක් පැවැත්වීමටත් කටයුතු සංවිධානය කර තිබෙනවා. මේ සඳහා ලංකාවේ ප්‍රවීණ සංගීතවේදියෙක් වන නදීක ගුරුගේද මන්ත්‍රීවරයා සමඟ ස්වීඩනය බලා ගියා.මේ අතර සුනිල් හඳුන්නෙත්ති මන්ත්‍රීවරයාගේ බෑගයේ ගැට බෙරයක් තිබෙන බව ගුවන් තොටුපළේ සේවකයෙක් දැනගත්තේ ගමන් මලු පරීක්ෂාවේදීයි. ඔහු ඒ පිළිබඳව මන්ත්‍රීවරයාගේ විමසා සිටියේ පුදුම සහගත බැල්මක්ද සහිතවයි. ”ලංකාවේ පිරිසක් ස්වීඩනයේ විශේෂ වැඩක් කරනවා. මට ඒ අය කිවුවා උදව්වක් විදියට ගැට බෙරයක් ගෙනත් දෙන්න කියලා. ඒ නිසා මම මේක අරගෙන යනවා. බෙර ගහන්න කට්ටිය හිටියට එහෙ ගැට බෙරයක් හොයාගන්න අමාරුයිලූ.” මන්ත්‍රීවරයා පිළිතුරු දුන්නා.

2020 දීත් තමා දේශපාලනයෙන් විශ්‍රාම නොයන බව ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා කීවත් මීළඟ ජනපතිවරණයට ඒ මහතා ඉදිරිපත් නොවන බව ඉතා පැහැදිලි යැයි ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ සභාපති මහාචාර්ය ජී.එල් පීරිස් මහතා ප්‍රකාශ කළා. ඒ‍ මහතා මේ බව කීවේ මැයි දින සැමරුමෙන් පසුව අඟහරුවාදා බොරැල්ලේ දී ශ්‍රී වජිරාශ්‍රම බෞද්ධ මධ්‍යස්ථානයේ දී මාධ්‍යවේදීන් අමතා කතා කරමින්. ජනාධිපතිවරයාගේ ඡන්ද පදනම සියයට දොළහ දක්වා පහත වැටී ඇති බව පසුගිය පළාත් පාලන මැතිවරණයේ දී පෙනී ගිය බව කී පීරිස් මහතා ජනාධිපතිවරණයට ඉදිරිපත් වුවහොත් එය සියයට පහකට අඩු මට්ටමට වැටෙන බව ද කීවා.

මෛත්‍රීපාල සිරිසේන මහතා විශ්‍රාම යනවාද නැද්ද යන්න තීරණය කරන්නේ ඒ මහතා නොව මේ රටේ ජනතාව බව මහාචාර්ය පීරිස් මහතා වැඩිදුරටත් පැවසුවා.

මේ අතර මහින්ද රාජපක්ෂ මහතා ප්‍රකාශ ‍කළේ ශ්‍රීලනිපයෙන් 16 දෙනෙකුද විපක්ෂයට එකතුවීම නිසා පාර්ලිමේන්තුවේ විපක්ෂය ශක්තිමත් වී ඇති බවයි. ආණ්ඩුවට මන්ත්‍රීවරුන් 129 ක් සිටින විට විපක්ෂයට 95 ක් සිටින බව ඒ මහතා කීවා. එම පිරිස අතර සිටින්නේ ඒකාබද්ධ විපක්ෂයේ 55 ක් දෙමළ ජාතික සන්ධානයේ 16 ක් ජනතා විමුක්ති පෙරමුණේ 6ක් ඊ.පී.ඩී.පී.1 ක් හා ලංකා කම්කරු කොංග්‍රසයේ 1 වශයෙන්.

මීළඟ ජනාධිපතිවරණය සම්බන්ධයෙන් ඒකාබද්ධ විපක්ෂ කණ්ඩායම තුළ ඇති මත ගැටුමද දිගටම දකින්නට තිබෙනවා. ගෝඨාභය රාජපක්ෂ මහතා ඒ සඳහා ඉදිරිපත් කළ යුතු බවට කියන පිරිසට ජනක බණ්ඩාර තෙන්නකෝන් මහතාද පසුගියදා එකතු වුණා. ඊට පෙර දිලුම් අමුණුගම මන්ත්‍රීවරයා ද එම අදහස ප්‍රකාශ කොට තිබුණා.

මේ අතර ඒකාබද්ධ විපක්ෂයේ නායක මට්ටමේ සාකච්ඡාවක දී තීරණය කොට ඇත්තේ ජනාධිපති ක්‍රමය අහෝසි කිරීමට ජවිපෙ ගෙන එන යෝජනාව තමන්ට දේශපාලන වශයෙන් වාසිදායකද යන්න සොයා බැලීමට කමිටුවක් පත් කළ යුතු බවයි. ඒ අනුව එම කමිටුව ඉදිරි කා‍ලයේ දී පත්වනු ඇති බව කියනවා. ජනාධිපතිවරණයකට මුහුණ දීමේ හෝ නොදීමේ වාසි අවාසි හා ගතයුතු උපාය මාර්ගික පියවර ගැන සාකච්ඡා කොට තීරණය කිරීම එම කමිටුවට පැවරෙනවා.

Similar Posts

Leave a Reply

Your email address will not be published. Required fields are marked *