මොකද මේ අපරාධ? -බොබී ජී බොතේජු (මෙම ලිපිය එම් ඕ ඒ ද සොයිසා නමින් පලවී තිබුණේ වැරදීමකිනි . සමාවන්න )
අප රටේ අපරාධ සංඛ්‍යාත්මකව මෙන්ම කෘරත්වය අතින්ද වර්ධනයවීමේ ප්‍රවණතාවක් දක්නට ලැබේ. නිතිපතා ජනමාධ්‍ය හරහා අසන්නට ලැබෙන තොරතුරු සිත් කම්පා කරවන සුලුය. මෙම තත්ත්වයන් පිළිබඳව අධ්‍යයනයකොට පිළියම් යෝජනා කිරීම මෙන්ම ජනතාව දැනුවත් කිරීමද සමාජ විද්‍යාඥයින්ගේ සමාජ ක්‍රියාකාරින්ගේ මෙන්ම ආගමික පූජකයන්ගේද වගකීමක් වුවත් එවැන්නක් සිදුවන බවත් නොපෙනේ. අපරාධ සිදුවීමට හේතු කවරේද? අපරාධ වැළැක්වීමට යෙදිය හැකි පිළියම් මොනවාද යන්න පිළිබඳව කරුණු කිහිපයක් ගෙනහැර දැක්වීම මෙම ලිපියේ අරමුණයි.
මානසික ආතතිය, ජනමාධ්‍ය, දේශපාලනය සහ යුක්තිය පසිඳලීමේ ක්‍රියාවලියේ පවත්නා දුර්වලතා අපරාධ වර්ධනයට ප්‍රධාන වශයෙන් බලපා ඇති සාධක ලෙස සැලකිය හැකිය. මේ අතරින් මානසික ආතතිය සමාජය වෙලාගෙන පැතිර ඇති භයානක වසංගතයක් බවට පත්ව තිබේ. පවුල්වල අභ්‍යන්තර ආරවුල්, අවට සමාජය සමඟ පවත්නා ආරවුල්, දේපල ආරවුල්, දරිද්‍රතාව, ණය බර සහ මේ නිසා ව්‍යාජ මූල්‍ය ආයතනවල ගොදුරු බවට පත්වීම, රැකියා ක්ෂේත්රයේ සහ අධ්‍යාපන ක්ෂේත්රයේ පවත්නා තරගය, ප්‍රවාහනය විශේෂයෙන් පෞද්ගලික ප්‍රවාහන සේවාවල ක්‍රියාකාරිත්වය, මත්ද්‍රව්‍ය භාවිතය ශීඝ්‍රයෙන් පැතිර යාම සහ සෞඛ්‍ය ගැටලු ඇතුළු කාරණා රැසක්ම මානසික ආතතිය වර්ධනය කිරීමට හේතුවී තිබේ.
සමාජය වසාගෙන ඇති මානසික ආතතිය සමනය කිරීමෙහිලා ආගමික සංස්ථාවලට විශාල වගකීමක් පැවරී ඇතත් එය ඉටු කරන බවක් නොපෙනේ. රුවන්වැලි සෑය වටා නෙළුම් මල් ලක්ෂයක් පූජා කිරීමෙන් හෝ අබ තෙල් පහන් දැල්වීමෙන් හෝ වෙනත් පුදපූජා පැවැත්වීමෙන් සමාජය වසාගෙන පවත්නා අසහනය දුරුකළ හැකි නොවේ. මානසික ආතතිය දුරු කරලීමේ අරමුණ පෙරදැරි කරගෙන භාවනා වැඩ සටහන්ද පවත්වන බව දක්නා ලැබේ. “භාවනා කෝස්” ලෙස හැඳින්වෙන සමහර භාවනා වැඩ සටහන්වල ප්‍රතිඵලය වනුයේ එම වැඩසටහන්වලට සහභාගිවන නිරෝගී මනසක් ඇතියවුන් පවා මානසික රෝගීන් බවට පත්වීමයි. මෙම “භාවනා කෝස්” වලින් සමහරක් මෙහෙයවනු ලබන්නේ මනෝ විද්‍යාව පිළිබඳව මෙලෝහසරක් නොදන්නා ගොඩ වෙදුන් පිරිසක් විසිනි. මෙවැනි වැඩසටහන් නවතා දැමීම හෝ විධිමත් කර පැවැත්වීම ආගමික සංස්ථාවේ වගකීමකි. ආතතිය දුරුකර සමාජයට සහනය ගෙන දෙන වැඩ පිළීවෙළක් පෙනෙන තෙක් මානයක නැත.
විද්‍යුත් සහ මුද්‍රිත ජනමාධ්‍යවල ක්‍රියාකාරීත්වය වර්තමානයේ සමාජය කෙරෙහි විශාල බලපෑමක් ඇති කරයි. එබැවින් අපරාධ වාර්තා කිරීමේදී ජනමාධ්‍යයට විශාල වගකීමක් පැවරෙයි. එහෙත් අද සිදුවන්නේ කුමක් ද? අපරාධයක් සිදුවූ සැණින් එම ස්ථානයට ළඟාවන විද්යුත මාධ්‍යකරුවෝ එම සිද්ධිය දෙගුණ තෙගුණ කොට දක්වමින් සමාජය තුළ ප්රකෝපකාරී හැඟීම් ඇති කිරීමට ක්‍රියාකරති. එම අපරාධ සිද්ධිය ගැබිණි මාතාවන් මෙන්ම කුඩා දරුවන් පවා නරඹන බව ඔවුහු අමතක කරති. එසේ නැතහොත් නොදන්නවා මෙන් සිටිති. රූපවාහිනී නාලිකාවල පෙන්වන සමහර ටෙලිනාට්‍ය අපරාධකරුවන් වෙනුවෙන් පවත්වන පාඨමාලා මෙනි. ආයුධ පරිහරණය කරන හැටි, අපරාධයක් කර සැඟවෙන හැටි පෙන්වන පාඨමාලා මෙනි. ආයුධ පරිහරණය කරන හැටි, අපරාධයක් කර සැගවෙන හැටි පෙන්වන සමහර ටෙලිනාට්‍ය අපරාධකරුවෝ වීරයන් බවට පත් කරති. අපරාධකරුවන් එම තත්ත්වයට පත්ව ඇත්තේ සමාජයේ වරදින් බව පෙන්වා දෙමින් ඔවුන්ව සුදනන් කිරීමට ද සමහර වැඩසටහන්වලින් උත්සාහ කරනු දක්නට ලැබේ.
මුද්‍රිත මාධ්‍යවල ප්‍රධාන සිරස්තල බවට පත්වන්නේ අපරාධයි. අපරාධයක් පිළිබඳව වාර්තා කරන සමහර වාර්තාකරුවෝ එම සිද්ධිය තලු මරමරා විස්තර කරති. තමන්ගේ කාර්යභාරය පිළිබඳ පැහැදිලි දැක්මක් නොමැතිව කටයුතු කරන ඔවුහු අපරාධවලට අනියමින් අනුබල දෙන්නෝ වෙති.
අපරාධ වර්ධනයට දේශපාලනයද හේතුවක් වී තිබේ. දේශපාලනයට පිවිස සිටින වැඩි පිරිසක් අඩු අධ්‍යාපනයක් ලැබුවෝ වෙති. එසේ නැතහොත් කොහෙත්ම අධ්‍යාපනයක් නොලැබුවෝ වෙති. ඔවුහු තමන්ට බලය ලබා ගැනීම සඳහා අපරාධකරුවන්ගේ පිහිට පතති. අපරාධකරුවන්ට නීතිය ඉදිරිපිටට පැමිණවීමේදී විවිධ බාධා සිදු කරමින් ඔවුන් ගලවා ගැනීමට උත්සාහ කරන්නේ එම හේතුවෙනි. පසුගිය කාලය පුරාම දක්නට ලැබුණ මෙම අවාසනාවන්ත තත්ත්වය තවමත් වෙනස්වී ඇති බවක් නොපෙනේ.
යුක්තිය පසිඳලීමේ ක්‍රියාවලියේ පවත්නා දුර්වලතාද අපරාධ වර්ධනයෙහිලා හේතුවක්වී ඇති බව නොකියා නොහැක්කේය. අපරාධයක් සිදුවූ මුල් අවස්ථාවේ සිටම මෙම දුර්වලතා දක්නට ලැබේ. අපරාධයක් සිදුවන තැනට යන පොලිස් නිලධාරීන් තමන්ට පහසුවෙන්ම අල්ලා ගත හැකි තැනැත්තා අල්ලාගෙන ඔහු පිට සමස්ත වරදම පැටවීමේ උත්සාහයක් නිරතවෙති. සමහරවිට ඔහු අපරාධය සිදුවූ ස්ථානය නැරඹීමට පැමිණිය අයෙක් විය හැකිය. එහෙත් ඔහුගෙන් පාපොච්ඡාරණය සටහන් කර ගන්නා ආකාරයෙන් ඔහු අපරාධය සම්බන්ධයෙන් මුලුමනින්ම වගකිවයුතු පුද්ගලයා බවට පත්වෙයි. අවසානයේ එම තැනැත්තාව අධිකරණයට ඉදිරිපත් කළද සාක්ෂිවල ඇති පරස්පරතාව සහ දුර්වලතා නිසා ඔහු නිදහස ලබයි. විමර්ශන කටයුතු නිවැරදිව සිදුවූවා නම් අපරාධකරු නීතිය ඉදිරියේ පහසුවෙන්ම වරදකරු බවට පත්වනු ඇත. මෙහි නරකම ප්‍රතිඵලය වන්නේ සැබෑ අපරාධකරු නිදැල්ලේ සිටීමයි. අපරාධයන් පිළිබඳව පොලිසිය මගින් සිදුකරන විමර්ශනවල දක්නට ලැබෙන අනෙක් දුර්වලතාව පොලිසිය විසින්ම සාක්ෂි සඟවනු ලැබීමයි. මේ සම්බන්ධයෙන් දැනටමත් අධිකරණයේ නඩු කිහිපයක්ම ඇති හෙයින් ඒ පිළිබඳ අදහස් දැක්වීමෙන් වළකිමි. අපරාධකරුවන් නිවැරදිව හඳුනාගෙන ඔවුන් නීතිය හමුවට පැමිණවීම පොලිසියේ වගකීමකි, එහෙත් එය නිසියාකාරව සිදු නොවන්නේ නම් කාට කියමුද?
අපරාධ සම්බන්ධයෙන් අධිකරණ ක්‍රියාමාර්ග ඕනෑවටත් වඩා ප්‍රමාදවීම අපරාධකරුවන්ගේ වාසියට මෙන්ම අපරාධ වර්ධනයට ද හේතුවක් වී මෙම ප්‍රමාදවීම ඇත. නිසා සාක්ෂිකරුවන්ට බලපෑම් කිරීම, සාක්ෂි විකෘතිවීම සහ සැඟවීමට ද අවස්ථාව ලැබේ. අපරාධයකදී අපරාධකරුට දඬුවම් කිරීමෙන් අදහස් කරන්නේ ඔහුට දඬුවමක් දීම පමණක් නොවේ. සමාජයට ආදර්ශයක් ලබාදීමයි. අධිකරණ කටයුතු ප්‍රමාදවීමෙන් එය ඉෂ්ඨ නොවන පරමාර්ථයක් බවට පත්ව තිබේ. වරදකට කරන දඬුවමට එරෙහිව ඉදිරිපත් කරන අභියාචනය විභාග කිරීමටද සෑහෙන කාලයක් ගතවේ. අධිකරණ කටයුතු ප්‍රමාද වීම යුක්තියේ පිහිට පතන සියල්ලන්ගේම කනස්සල්ලට මෙන්ම අප්රකාශිත විරෝධයටද හේතුවී තිබේ.
අපරාධ නඩුවලද ශිල්පිය කාරණාවලට සහ තර්කයට මුල්තැන ලැබෙන බවක් පෙනෙන්නට තිබේ. කෲර අපරාධවල සැකකරුවන් වෙනුවෙන් පෙනීසිටින නීතිවේදීහු තම සේවාදායකයන් බේරා ගැනීම සඳහා නොයෙක් ශිල්පීය කාරණා මෙන්ම තර්කද ඉදිරිපත් කරති. එය ඔවුනගේ වෘත්තීය වගකීම ඉටුකිරීම බව නොවලහා පිළිගනිමු. එහෙත් සමාජමය වගකීම පැහැර හැරීමකි. නීතිඥවරුන්ගේ දක්ෂතාව මත නිදහස්ව යන අපරාධකරු සමාජයට පමණක් නොව තමන් වෙනුවෙන් පෙනී සිටින නීතිවේදීන්ටද ඔවුන්ගේ දරු පරපුරටද අනාගතයේදී හානියක් විය හැකි බව අවබෝධ කර ගැනීම වැදගත්වේ. අපරාධයකදී වැදගත් වන්නේ අපරාධයේ ස්වභාවය සහ අපරාධකරු ඊට වගකිව යුතුද යන කාරණය විනා ශිල්පීය කරුණු සහ නීතියේ අඩුලුහුඬුකම් හෝ තර්ක නොවේ. එම කාරණා යුක්තිය ඉෂ්ඨවීමට බාධාවකි. අගතියට පත් පාර්ශ්වය චිත්ත වේදනාවට සහ කලකිරීමට පත්වන්නකි. එමෙන්ම සමස්ත සමාජයේම විශ්වාසය බිඳදැමීමකි.
මෙම සමාජමය ගැටලු ක්ෂණිකව විසඳිය නොහැකිවා පමණක් නොව රජයට හෝ නීතියට පමණක් විසඳිය හැකි ඒවාද නොවේ. එහෙත් මෙම තත්ත්වය තවදුරටත් වර්ධනය වීම වැළැක්වීමට පහසුවෙන් ගතහැකි පියවර නැත්තේද නොවේ.
රෝගය වැලඳීමට පෙර වැළැක්වීම සෞඛ්‍ය සේවාවේ තේමා පාඨයකි. පොලිස් සේවයේ තේමාව විය යුත්තේද අපරාධයක් සිදුවීමට පෙර එය වළක්වා ගැනීමයි. ඒ සඳහා ගත යුතු වැදගත්ම ක්‍රියාමාර්ගය අතරින් එකක් වනුයේ යුක්තිය පසිඳලීමේ ක්‍රියාවලිය කඩිනම් කිරීමයි.
දිනමිණ
