රංගේ බණ්ඩාර හැරී බලන්න – අනුර සූරියබණ්ඩාර

රනිල් වික්‍රමසිංහ අග්‍රාමාත්‍ය වරයාට එරෙහිව විශ්වාසභංගය මේ වන විට කතානායකවරයාට බාර දී තිබේ. එය අප්‍රේල් මස 04 වන දින විවාදයට ගැනීමට නියමිතව තිබේ. විශ්වාසභංගය සකස් කර ඉදිරිපත් කර ඇත්තේ ඒකාබද්ධ විපක්ෂය විසිනි. මහින්ද රාජපක්ෂ මහතා ඊට අත්සන් තබා නැති බවක් ප්‍රකාශ වන නමුදු විශ්වාසභංගය යනු මහින්ද රාජපක්ෂ ඇතුළු පසුගිය රෙජිමයේ බල ව්‍යාපෘතියක් බවට සැකයක් ඇත්තේ නැත.

ජනතා විමුක්ති පෙරමුණ පෙන්වා දෙන්නේ විශ්වාසභංගයට ඇතුළත්ව ඇති කරුණු සාධාරණ නොවන බවකි. එනම් අන්තර්ගතව ඇති දේට අමතරව තවත් දේ ඊට ඇතුළත් විය යුතුය. එසේ ඇතුළත් කරෙන්නේ නම් විශ්වාසභංගය සඳහා ඔවුන්ගේ සහය ලැබෙන්නේ යැයි සිතිය හැකි වුව මේ වන විට ඉදිරිපත් වී ඇති විශ්වාසභංගයට ඔවුන්ගේ සහය ලැබෙන්නේ යැයි සිතිය නොහැකිය. විශ්වාස භංගයට ඡන්දය විමසීමක දී පවතින තත්ත්වය අනුව නම් සිතිය හැකි වන්නේ ජනතා විමුක්ති පෙරමුණ කවර පක්ෂකට හෝ සහයෝගය නොදී සිටිනු ඇතිය යන්නය. එනම් ඡන්දය දීමෙන් වැලකී හිටිනු ඇත යන්නයි.

ශ්‍රී ලංකා නිදහස් පක්ෂය මේ ලියන මොහොතවන විටත් විශ්වාසභංග යෝජනාව පිළිබඳ පක්ෂයක් වශයෙන් නිල තීරණයක් ඉදිරිපත් කර නැතත් සුසිල් ප්‍රේමජයන්ත වැන්නන්ගේ අදහස් අනුව සිතිය හැකි වන්නේ ඔහු ඇතුළු ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ කිහිපදෙනෙකු හෝ විශ්වාසභංගයේ දී රනිල් වික්‍රමසිංහ මහතාට විරුද්ධව ඡන්දය ප්‍රකාශ කරනු ඇති බවයි.

දැනට පවතින තත්ත්වය අනුව දෙමළ ජාතික සන්ධානය ඇතුළු සුළු ජාතික පක්ෂ වල බහුතර බලය රනිල් වික්‍රමංසිහ මහතාට පක්ෂව පාවිච්චි වනු ඇතැයි සිතන්නට පුලුවන.

ගැටළුව වන්නේ රනිල් වික්‍රමසිංහ මහතා නායකත්වය දරන එක්සත් ජාතික පක්ෂය විශ්වාසභංග යෝජනාව අරබයා හැසිරෙනු ඇත්තේ කවර ආකාරයෙන් ද යන්නයි. පාලිත රංගෙ බණ්ඩාර මහතා ප්‍රකාශකර තිබුණේ එක්සත් ජාතික පක්ෂයේ පිරිසක් විශ්වාභංග යෝජනාවේ දී රනිල් වික්‍රමසිංහ මහතාට විරුද්ධව ඡන්දය පාවිච්චි කිරීමට සුදානමින් සිටින බවකි. දැනට පාර්ලිමේන්තුවේ ඇමති මට්ටමේ නිලතල දරන ටී.බී. ඒකනායක වැනි කිහිපදෙනකු ද විශ්වාසභංගයට අත්සන් තබා ඇතැයි කියැවෙන නමුත් පාලිත රංගේ බණ්ඩාර මහතාගේ ප්‍රකාශය ඒ අතරින් සුවිශේෂී වන්නේ එක්සත් ජාතික පක්ෂයේම පිරිසක් මහින්ද රාජපක්ෂවාදීන් සමග එක්ව එක්සත් ජාතික පක්ෂයේ නායකයාට විරුද්ධව ඡන්දය පාවිච්චි කිරීමට සූදානමින් සිටින බවත් ඉන් ගම්‍ය වන බැවිනි.

මෙයට පෙර වතාවක එක්සත් ජාතික පක්ෂ ආණ්ඩුවක දී ආර්. ප්‍රේමදාස ජනාධිපතිවරායට එරෙහිව දෝශාභියෝග යෝජනාවක් ඉදිරිපත් වූ බව මෑත ලංකාවේ දේශපාලන ඉතිහාසය දන්නා අයට මතක තිබේ. එහි දී එම දෝශාභියෝග යෝජනාව ඉදිරිපත් කළෝ ලලිත් ඇතුලත්මුදලි, ගාමිණී දිසානායක ඇතුළු එක්සත් ජාතික පක්ෂයේම පිරිසකි. පාලිත රංගේ බණ්ඩාර මහතාගේ ප්‍රකාශය සත්‍ය නම් මෙවර සිදුවන්න යන්නේ දෝශාභියෝගයේ දී සිදු වූ දෙයෙහි පරස්පරයයි.  එනම් එක්සත් ජාතික පක්ෂ විරෝධී දේශපාලන ව්‍යාපරයක බල ව්‍යාපෘතියකට පක්ෂය තුළින්ම මුක්කුවක් ලැබෙන්නට යාමකි.

දේශපාලනයේ දී ඇතැමුන් කියන කතා මුළුමනින්ම ඇත්ත වන්නේ නැත. දෝශාභියෝගය පිළිබඳ අත්දැකීම ගතහොත් එය අවසන් වූයේ ඊට අත්සන් තැබුවේයැයි කියූ පිරිසක් අත්සන් ඉවත්කර ගැනීමෙන් සහ කතානායකවරයා එය ප්‍රතික්ෂේප කිරීමෙනි.

අග්‍රමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතාට විශ්වාසභංගය ඉදිරිපත් වන්නේ ඒකාබද්ධ විපක්ෂයෙනි. එහි දී ඔවුන්ගේ සැබෑ අරමුණ විශ්වාසභංගය ජයග්‍රහණය කර එනම් රනිල් වික්‍රමසිංහ මහතා පරාජයකර ආණ්ඩු වෙනසක් ඇති කිරීම නොවේ. පවතින තත්ත්වය සහ නීති රාමුව අනුව ගත්තත් පාර්ලිමේන්තුවේ බලතුලනය ගත්තත් විශ්වාසභංග ඡන්ද විමසීමේ දී රනිල් වික්‍රමසිංහ මහතා පරාජය කිරීම පහසුවෙන් කළ හැකි කටයුත්තක් ද නොවේ.

ඒකාබද්ධ විපක්ෂ මේ මොහොතේ උත්සාහ කරන්නේ ආණ්ඩු පෙරළියකට ද නොවේ. 2020 වනතුරු එවැන්නක් කළ නොහැකි බව ඔවුහු ද දනිති. එසේ හෙයින් ඔවුන් උත්සාහ කරන්නේ ආණ්ඩුවට කොයි යම් හෝ ආකාරයකින් අර්බුද ඇති කිරීමටය. ආණ්ඩුවට සරලව නිසංසලව ඉදිරියට යාමට ඉඩ නොදී ගැටුම් සහ අවුල් අවුලුවා ලීමටය. එවැනි ‍විටෙක එක්සත් ජාතික පක්ෂයේ සාමාජිකයන්ගේ වගකීම විය යුත්තේ පක්ෂයත් පක්ෂ නායකත්වයත් පක්ෂයේ නායකත්වයෙන් යුතු ආණ්ඩුවත් ආරක්ෂා කිරීමයි. ඒ අනුව ගත් කල පාලිත රංගේ බන්ඩාර ගේ ප්‍රකාශය පවා පක්ෂයටත් පක්ෂ නායකත්වයටත් එරෙහිව යාමකි. නැතහොත් ද්‍රෝහි වීමකි.

රංගේ බණ්ඩාර වැන්නන්ට පක්ෂ නායකත්වය පිළිබඳ ගැටලුවක් තිබෙන බව පැහැදිලි කරුණකි. පක්ෂයේ නිලතල ආණ්ඩුවේ තනතුරු ඔහුට නොලැබීම ඊට හේතුව බව අනුමාන කළ හැක්කේ පසුගිය ඇමති මණ්ඩල සංශෝධනයේ දී ඔහු කළ ප්‍රකාශ අනුවය. පක්ෂය තුළත් ආණ්ඩුව තුළත් තනතුරු බෙදා හැදීමේ දී රනිල් වික්‍රමසිංහ මහතා අතින් යම් අතපසුවීම් සිදුවන බවට පොදු මතයක් ද ගොඩ නැඟී තිබේ. එසේ වුව පක්ෂයේ අවුලක් හේතුවෙන් විරුද්ධවාදින්ගේ උත්සාහයක් පෝෂණය කරන්නට යාම සැබෑ එක්සත් ජාතික පක්ෂිකයකුට කොතරම් ගැලපේ ද කොතරම් සාධාරණ ද යන්න විමසා බැලිය යුතුය.

රනිල් වික්‍රමසිංහ මහතාගේ නායකත්වය පිළිබඳ යම් ගැටලුවක් වේ නම් එය විසඳාගත යුතු වන්නේ පක්ෂ අභ්‍යන්තරයේ දී ය. අග්‍රාමාත්‍යවරයා වශයෙන් ඔහුගේ දුර්වලතා ඇතොත් එය විසඳාගතයුතු වන්නේ ආණ්ඩුව අභ්‍යන්තරයේය. මැතිවරණ‍යක දී ජනතාව රනිල් වික්‍රමසිංහ මහතා අග්‍රාමාත්‍ය ධූරයට පත් කළේ පාලිත රංගේ බණ්ඩාරට ඇමති ධුරයක් ලබා දෙනවාට වඩා පුළුල් වගකීමක් රනිල් වික්‍රමසිංහ මහතා අතින් ඉටුවනු ඇතිය යන බලාපොරොත්තුවෙනි. එකී අරමුණ මුළුමනින්ම නැතත් අපේෂාකළ වේගයෙන් නොවුවත් ඉටු වෙමින් පවතින බව පිළිගත යුතුය. මහින්ද රාජපක්ෂ රෙජිමයේ දඩුඅඬුවෙන් නිදහස් කර රටට නැවත ප්‍රජාතන්ත්‍රවාදි නිදහස දිනා ගැනීමට හැකිවීම යහපාලනය යටතේ අගමැති රනිල් වික්‍රමසිංහ මහතා ප්‍රමුඛ ආණ්ඩුව ඉටු කළ ප්‍රමුඛතම කටයුත්තකි. තොරතුරු පනත, කොමිෂන් සභා, 19වන සංශෝධනය ඒ අතරට අයත් වේ. විගණන පනත ද ඊට අතුළත් වීමට නියමිතය.

ඒකාබද්ධය උත්සාහ දරනුයේ අද හෙට නොවූණද ඉදිරි මැතිවරණයක දී හෝ යහපාලන ආණ්ඩුව පරාජය කර තමන්ගේ බලයක් ගොඩනැඟීමටය. අගමැතිවරයාට එරෙහි විශ්වාසභංගය යනු ඒ යන ගමනේ එක් සැතපුම් කණුවක් පමණි. තමන්ගේ අතීත වැරදි කිසිවක් පිළි‍නොගන්නා එකී වැරදි නිවැරදි කර ගන්නා බවක් වචනයකින් හෝ ප්‍රකාශ නොකරන ඒකාබද්ධයට උඩගෙඩි දී රනිල් වික්‍රමසිංහ මහතා පලවා හැරීමෙන් රටට අත්වන වාසිය කුමක්දැයි රංගේ බණ්ඩාර වැනි අය ප්‍රකාශ කළ යුතුය.

පක්ෂ නායකත්ව සම්බන්ධයෙන් ගත්තද රනිල් ගේ නායකත්වයට අභියෝග කළ හැකි පරිනත දේශීය සහ ජාත්‍යන්තර වශයෙන් පිළිගත් වෙනත් චරිතයක් එක්සත් ජාතික පක්ෂයට තිබේද යන්න ගැටලුවකි.

අග්‍රාමාත්‍යවරයා වශයෙන් රනිල් වික්‍රමසිංහ මහතා අතින් සිදු වූ වැරදි තිබේ. අග්‍රාමාත්‍යවරයා වශයෙන් ඔහුගේ දුර්වලතා ද පවතින බව සැබෑවකි. පක්ෂනායකත්වය සම්බන්ධයෙන් ද ඒ බව පිළිගන්නට සිදුවේ. නමුත් ඒ සියල්ලටම විසදුම ඔහු තලා පොඩි කොට මහින්දට හෝ ගෝඨාභයට හෝ පාර එළිකර දීම නම් පක්ෂ පාට භේදයෙන් තොරව ඒ උත්සාහයට විරුද්ධවිය යුතුය.

අනුර සූරියබණ්ඩාර

Similar Posts

Leave a Reply

Your email address will not be published. Required fields are marked *