කොරෝනා ඇඳිරියෙන් කැඩෙන සැපයුම් දාම රැකගනිමු – මහාචාර්ය රොහාන් සමරජීව

ක්ෂුද්‍ර ආර්ථික විද්‍යාව හඳුන්වාදීමේ පන්තිය මතක උදවියට, නාගරික ජනයා තමන්ගේ ආහාරපාන දිනපතා ලබාගත් ආකාරය පිළිබඳ කතන්දරය මතක් වනු ඇත. විවිධත්වයකින් යුතුව ධාන්‍ය, එළවලු, මාළු සහ මස් ආදිය අවශ්‍ය ප්‍රමාණවලින් අඛණ්ඩව සපයන ලබන්නේ කිසිදු මධ්‍යම සම්බන්ධීකරණයකින් තොරවය. නගර වැසියන්ට ආහාර ලැබිණි. ගොවීන්ට ඔවුන්ගේ ශ්‍රමයේ ප්‍රතිලාභ හිමි විය. මෙම ක්‍රියාවලියට පහසුකම් සැපයු අතර මැද සිටි බොහෝ දෙනාට ද තමන්ගේ ජීවනෝපාය සපයාගත හැකිවිය. සාම්ප්‍රදායිකව මෙම කතන්දරය කියනු ලබන්නේ වෙළෙඳපොළ විමධ්‍යගත සම්බන්ධීකරණ යාන්ත්‍රණයක් ය යන මුලික පාඩම ඉගැන්වීම සඳහා ය; ලෝ පතල ආර්ථික විදයාඥ ඇඩම් ස්මිත්ගේ ප්‍රස්තුතය වන “අදෘශ්‍යමාන හස්තය” වැඩ කරන හැටි හුවා දැක්වීමටය.

සුමටව වැඩකරන සම්බන්ධීකරණ යාන්ත්‍රණයක් වෙත අප අවධානය යොමුවන්නේ එය බිඳ වැටුණු විට පමණි. අද එය සිදු වී තිබේ.  අත්‍යවශ්‍ය ආහාර ලබාගන්නේ කෙසේ ද යන්න බොහෝ කුටුම්භවල වැදගත්ම ප්‍රශ්නය බවට පත් වූ විට තමන්ගේ මේස මතට ආහාර ලැබුණේ  කෙසේ ද කියා මහජනයා තේරුම් ගන්නට පටන් ගනිති.  එසේ වුව ද, බොහෝ අවස්ථාවල සිදුවන්නේ තමන් හා  කෙලින්ම ගැටෙන සැපයුම් ජාල කොටස සමග පමණක්වූ ප්‍රශ්නය හඳුනාගැනීම යි. එනම් අවශ්‍ය භාණ්ඩය සඳහා වන   සැපයුම්කරු හඳුනාගැනීම, ඇනවුමක් ලබාදෙන ආකාරය, ඇනවුම් කළ භාණ්ඩය ලබාගැනීම හා මුදල් ගෙවීම ආදිය යි.

මෙම උපාංග හරිහැටි ක්‍රියාත්මක නොවන විට මහජනයා කලකිරීමට පත්වෙති. සමහරු වටෙන් වැඩකරන ක්‍රම සොයාගනිති. තමන්ගේ තොග අවසන් කරගැනීමේත්, වියදම් පියවා ගැනීම සඳහා ආදායම් උපාය ගැනීමේත් අවශ්‍යතාවය නිසා සැපයුම් කරුවෝ ද පැලැස්තර විසඳුම් සොයා ගනිති. එලෙස කල් ගත වෙද්දී සැපයුම් දාමවල  පාරිභෝගිකයාට කිට්ටුම  ප්‍රශ්න තාවකාලිකව හෝ විසඳෙනු ඇත. එසේ වුව ද, ඉක්මනින් ම තේරුම් ගත හැකි දෙයට වඩා ඔබ්බෙන් සොයා බැලීම වැදගත් ය.

විද්‍යුත් වාණිජ්‍යයේ සමීප අන්තය

බොහෝ කාලයක් තිස්සේ අපි විද්‍යුත් වාණිජ්‍යය ගැන කතා කළෙමු. වසරේ 2018 ලර්න්ඒෂියා මෙහෙයවූ සමීක්ෂණයකට අනුව අන්තර්ජාලය භාවිතයෙන් දුර සිට මිල දී ගැනීමේ හැකියාව පිළිබඳව වයස අවුරුදු 15 සහ 65 අතර වන ශ්‍රී ලංකාවේ  අන්තර්ජාල භාවිතා කරන්නන් අතරින් සියයට හැත්තෑවක් දෙනා දැන සිටිය ද, කුමන අවස්ථාවක හෝ  කිසියම් භාණ්ඩයක් හෝ  සේවාවක් ඒ ක්‍රමයට මිල දී ගෙන ඇත්තේ එම කණ්ඩායම අතරින් සියයට 43ක් (දශ ලක්ෂ 1.6 ක්) පමණකි. කොවිඩ් 19 වසංගතයට මුහුණ දීමට පැනවූ ඇඳිරි නීතිය නිසා මෙම සංඛ්‍යා දෙගුණ තෙගුණ වන බවට සැකයක් නැත.

මිල දී ගැනීම් කළ අය අතර වුව ද, එසේ මිල දී ගැනීම් කළ වාර ගණන (පාවිච්චිය) අල්පය. පසුගිය මාස තුනේදී කළ ගනුදෙනු ගැන විමසු විට කිසිවක් මිල දී නොගත් බව සියයට 51ක් ප්‍රකාශ කළ අතර, 1 -5 වාර ගණනක් පමණක්  බව සියයට 31ක් පැවසුහ.  පසුගිය මාස තුනේ දී ගනුදෙනු 5 කට වඩා කර තිබුණේ  සියයට 10 ක් තරම්  සුළු පිරිසකි.  සෙවීම, ඇනවුම් කිරීම, මුදල් ගෙවීම, සහ භාණ්ඩ භාරදීම යන සම්පුර්ණ කාර්ය මාලාව සඳහා විද්‍යුත් වාණිජ්‍ය වේදිකා භාවිත කර තිබුණේ  කුමන හෝ ගනුදෙනුවක්  කළ අය අතරින් සියයට 23ක් පමණකි. සියයට තිස් අටක් වේදිකා භාවිභා කොට තිබුණේ භාණ්ඩ සහ සේවා සෙවීම සඳහා පමණකි.  

ගැනුම්කරුගේ දැක්මට අනුව වැදගත් අංග වන්නේ සෙවුම් සහ සොයා ගැනීම්වලට අදාළ කරණා (මට අවශ්‍ය භාණ්ඩය තිබෙන්නේ කා ළඟ ද? එහි ගුණාත්මක බව ප්‍රමාණවත් ද? මිල කුමක් ද?) සහ ගෙවීම් හා භාණ්ඩ භාරදීමට  යොදාගත හැකි ආකාරයයි. ශ්‍රී ලංකාවේ ණය පත් (credit card) භාවිතය අඩු නිසා (2019 වසරේ 3 වන කාර්තුවේ භාවිතයේ තිබු ණය පත් සංඛ්‍යාව දශ ලක්ෂ 1.79ක් පමණක් වූ අතර අනන්‍ය භාවිතා කරන්නන් ගේ ඇත්ත සංඛ්‍යාව ඊටත් අඩු ය.)  ගනුදෙනු සම්පූර්ණ කළ  සුළු පිරිස අතරින් ණය පත් යොදාගෙන ගෙවීම් කළේ සියයට 11ක සංඛ්‍යාවක් වීම තේරුම් ගත හැකි ය. භාණ්ඩ ලබා ගන්නන් මොහොතේදී මුදල් ගෙවීම (COD) (සියයට 31) සහ හර පත් (සියයට 30) වඩාත් ජනප්‍රිය වී තිබිණි.

භාණ්ඩ, විශේෂයෙන් සිල්ලර බඩු, දුර සිට මිල දී ගැනීම සම්බන්ධයෙන් උනන්දුව වැඩිවීමක් ඇඳිරි නීතිය නිසා ඇති විය. ඒ සමගම, ඇනවුම් කළ භාණ්ඩ ගබඩාවෙන් ලබාගැනීම සහ  භාණ්ඩ භාරදීමේ  සම්ප්‍රදායික ක්‍රම යොදාගැනීමේ හැකියාව ඇහිරිණි. මුදල් ලබාගැනීමට පාරිභෝගිකයන්ට අපහසුතා  ඇතිවීමත්, නැතහොත් ඔවුන්ගේ මුදල් ඉපයීමේ අවස්ථා අහිමි වීම නිසා මුදල් නැතිවීමත් නිසා මුදල් ගෙවීමේ ක්‍රම ද බලපෑමට ලක් වී ය. ඇඳිරි නීති බලපත් ලබාගත් වාහන යොදා ගනිමින් නිෂ්පාදන බෙදාහැරීමට වෙළෙඳුන්ට සිදු වී ය.

අපේ නගරවල සෑම කුටුම්භයකම පාහේ දුරකථනයක් ඇත. එසේ වුව ද, වෙනත් අනුමානයන් භයානකය. වෛද්‍ය නිර්දේශ සම්ප්‍රේෂණය සඳහා වට්ස් අප් යොදාගත හැකි යයි උපකල්පනය කිරීම වැරදි ය. ලර්න් ඒසියා සමීක්ෂණයට අනුව, 2018 දී, වයස අවුරුදු 15-65 කාණ්ඩයේ අය අතරින් ස්මාට් ෆෝන් තිබුණේ සියයට 37 කට පමණකි. එම සංඛ්‍යාව මේ වනවිට වැඩි වී තිබිය හැකි මෙන් ම, නගරවල සංඛ්‍යාව  සැලකිය යුතු තරම් වැඩි විය හැකි වුවත්, ඖෂධ අවශ්‍ය අයගෙන් බහුතරය සතුව ස්මාට් ෆෝන් ඇති බවත්, ඔවුන් අන්තර්ජාලය භාවිතා කරන බවත්, වට්ස් අප් බා ගත කොටගෙන ඇති බවත්, වෛද්‍ය නිර්දේශවල රූප සම්ප්‍රේෂණය කිරීමේ හැකියාව ඔවුන් සතු බවත් ආදී වශයෙන් උපකල්පනය කිරීම නොකළ යුතු ය.

කොරෝනා අර්බුදයට පෙර ශ්‍රී ලංකාවේ විද්‍යුත් වාණිජ්‍යයේ යෙදෙන වෙළෙඳුන්ට තිබුණේ  පහසු කාර්යයක් නොවේ. නරක්  වන්නේ නැති ඉලෙක්ට්‍රොනික මෙවලම් රූප ලාවන්‍ය භාණ්ඩ ආදිය විකිණීම එතරම් අපහසු නැත. පසුගිය සති කිහිපයේ දී ඉල්ලුම ඉහල ගියේ ගබඩා කිරීමේ දී  හා ප්‍රවාහනයේ දී පරිස්සම් විය යුතු කිරි, පලතුරු සහ එළවලු ආදියට යි. පැහැදිලිව ම, කුඩා ප්‍රමාණයක් සඳහා භාවිතා කිරීමට යොදාගත් ක්‍රමයක්, ඉල්ලුමෙහි හදිසි ඉහළයාමක දී අපහසුතාවකට ලක්වනු ඇත. ඉහල ම ඉල්ලුම ලැබෙන විට ක්‍රමය කඩා වැටිය හැක. ක්‍රමවේද මුල සිටම ගොඩ නැගීමට  සිදුවනු ඇත.

විද්‍යුත් වාණිජ්‍යය සඳහා කිසිදු වැඩ පිළිවෙළක් නොතිබූ ඇතැම් සුපිරි වෙළෙඳසල් ඇනවුම් ලබාගැනීම සඳහා දුරකථන අංක නිවේදනය කළේ ය. ඒවාට දුරකථන ඇමතුම් ගලා එන්නට විය. අවශ්‍ය මෘදුකාංග හෝ එකවර එන ඇමතුම් ගණනාවක් කළමනාකරණය කළ හැකි නියෝජිතයන් සංඛ්‍යාවක් නොමැතිව මෙම අංක උත්පාදනය කලේ ඇනවුම් නොව කලකිරීම යි. අන්තර්ජාලය පදනම් කරගත් අඩු ධාරිතා වේදිකා තිබු අයගේ වේදිකා ද ඉල්ලුම් වැඩි  වීමත් සමග බිඳ වැටිණි. මෙම දෙපාර්ශවයට ම අවශ්‍ය පසු අන්ත (back end) සැකසුමක් නොවී ය. ඇමසන් සහ අලිබබා වැනි  විද්‍යුත් වාණිජ දැවැන්තයන්ගේ සාර්ථකත්වය සම්පුර්ණයෙන් ම පාහේ රඳා පැවතුණේ ප්‍රමිතිගත ඇසුරුම්, පරිගණකගත (සහ රොබෝ තාක්ෂණික) ගබඩාවලින් භාණ්ඩ සොයා ගැනීම සහ මෙහෙයුම් කටයුතුවල කාර්යක්ෂමතාව මත ය.

කෙටි කාලීන වශයෙන් ඉල්ලුම කළමනාකරණය කර ගැනීම සඳහා ප්‍රමිතිගත බඩු මලු හෝ එබඳු ආකෘති මගින් ඇනවුම් සහ සැපයුම් ක්‍රියාදාමයන් සරල කර ගත හැකි ය. ලැදියාව ඇති පාරිභෝගිකයන්ගේ දත්ත ගබඩාවෙහි ඔවුන්ගේ පසුගිය ඇනවුම් ඇත්නම් ,එය ද ඇනවුම් භාර ගැනීමේ ක්‍රියාවලිය පහසු කරනු ඇති අතර පාරිභෝගිකයන් විය හැකි අයගේ කලකිරීම ද දුරු කළ හැකි වෙයි.

විද්‍යුත් වාණිජ්‍යයේ දුර අන්තය

විද්‍යුත් වාණිජ්‍යයේ පාරිභෝගිකයාට සමීප අන්තය දියුණු කිරීමට තිබෙන අපහසුතාවය තේරුම් ගැනීමට එය භාවිතා කරන බොහෝ දෙනකුට අපහසුව තිබෙන තත්ත්වයක් යටතේ සැපයුම් දාමයේ ඈත අන්තය පිළිබඳව වඩා විශාල නොදනුවත්කමක් පැවතීම පුදුමයට කරුණක් නොවේ. සිල්ලර වෙළෙන්දකුගෙන් පාරිභෝගිකයකුට කුකුළු මස් ලබා දීම සඳහා මාස ගණනාවක් තිස්සේ සිදු වන ඉතාමත් සංකීර්ණ ගනුදෙනු ප්‍රමාණයක් අවශ්‍ය වෙයි.  සැපයුම් දාමයේ එක් පුරුකක් බිඳ වැටුනහොත් එහි ප්‍රතිවිපාක දාමය දිගේ ගලා යන අතර ක්ෂණිකව හෝ සති කිහිපයකින් හෝ මාස ගණනකින් හෝ පාරිභෝගිකයාට විඳින්නට සිදුවෙයි.

මේ ගැන බොහෝ දේ ලිවිය හැකි වුව ද, ඉඩකඩ මඳ නිසා අනාවැකියක් කීමට පමණක් මට ඉඩ දෙන්න. මාස කිහිපයක් යන විට කුකුළු මස් සහ බිත්තර සැපයුමෙහි අඩු වීමක් සහ / හෝ මිල ඉහල යාමක් සිදුවීම නියතය. කුකුළු අහාර සපයා ගැනීමට ඉඩ ඇහිරීම වැනි සැපයුම් දාමයේ සිදු වූ  බාධා නිසා කුකුළු පැටවුන් නිපදවන ආයතනවලට පැටවූ බිහිකිරීමට තබාගත් බිත්තර ද විකුණා දැමීමට සිදු  වී තිබේ. අද වෙළෙඳපොලේ බිත්තර තිබිය හැකි ය. එසේ වුව ද , හෙට තිබෙන කුකුළු මස් සහ බිත්තර ප්‍රමාණය අඩු වෙනු ඇත.  මේ ගැන වැඩි විස්තර මී ළඟ ලිපියෙන් බලාපොරොත්තු වන්න.

මහාචාර්ය රොහාන් සමරජීව

Similar Posts

Leave a Reply

Your email address will not be published. Required fields are marked *