නිදහස අර්ථවත් කර ගැනීමේ අභියෝගය – භාතිය බරුකන්ද
මේ සියලු ප්රතිගාමී ප්රවණතා සමඟ සිදු වුණේ “රාජ්‍යය නම් මමයි” යන යල් පැනගිය අදහස යළිත්, වෙනත් වේෂයකින් “රාජ්‍ය නම් රාජපක්ෂ පවුලයි” යන ලඝු ප්‍රවේශයට පටුවීමයි. මේ පටූත්වය සිංහල, දමිළ, මුස්ලිම් යන සියලු ජනවර්ග වෙත පීඩනයක් සේම අසහනයක් එල්ල කළා. 2015 ජනවාරි 08 වැනිදා 62 ලක්ෂයක් මෙරට පුරවැසියන් නොබියව ඡන්ද පොළට ගොස් ප්‍රකාශ කළේ “නිදහස” අහිමි වීම සම්බන්ධයෙන් වන තමන්ගේ විරෝධය බව අප වටහා ගත යුතුයි.
ව්‍යවස්ථාපිත ඒකාධිපතීත්වයක් කරා ගමන් කරමින් තිබූ රාජපක්ෂ රෙජිමය ඡන්ද බලයෙන් පරාජය කිරීමට මෙරට ජනතාවට හැකියාව ලැබුණා. 2015 ජනවාරි 08 “දෙවන නිදහස” දිනා ගැනීමක් වශයෙන් බොහෝ දෙනකු සලකන්නේ මේ නිසයි. යම් ආකාරයකින් ජනාරි 08 පොදුජන විප්ලවය යථාර්ථයක් නොවුණා නම් ලංකාවේ ඉරණම අතිශය කනගාටුදායක සේම අමිහිරි එකක් වනු ඇති බවට බොහෝ දෙනෙක් අනාවැකි පළ කළා. ඊට සර්ව සාධාරණ හේතු තිබුණා.
70 වැනි ජාතික නිදහස් දිනයට තව තිබෙන්නේ දින දෙකයි. ඒ වගේම පළාත් පාලන මැතිවරණයටත් සතියක් පමණයි. නිදහස් දිනය සහ පළාත් පාලන මැතිවරණය ආසන්නම අවස්ථාවක මේ දෙකම ගැනම කතා කිරීමේ අවශ්‍යතාවක් තිබෙනවා. ඊට හේතුව නිදහස දිනාගෙන අවුරුදු 70ක් ගත වන විට අප අත්පත් කරගත් දේ වගේම වත්මන් ආණ්ඩුව බලයට පත්ව ගෙවී ගිය වසර තුනක කාලය තුළ අප අත්පත් කරගත් දේ ගැන සමාජය තුළ විවිධ මතවාද පැවතීමයි.
ශ්‍රී ලංකාව 1948 පෙබරවාරි 04 වැනිදා දිනාගත්තේ “ඩොමීනියම් තත්ත්වයේ නිදහසක්” බව අප කවුරුත් දන්නවා. ඒ අනුව අපට තවදුරටත් මහා බ්‍රිතාන්‍යයේ මහ රැජින අපේ රාජ්‍ය නායිකාව වශයෙන් පිළිගැනීමට සිදු වුණා. ඇය වෙනුවෙන් අග්‍රාණ්ඩුකාරයෙක් ලංකාවේ රැජිනගේ බලය නියෝජනය කළා. ඒ වගේම බ්‍රිතාන්‍ය යුද කඳවුරු ඇතුළු යටත්විජිත පාලනයේ සංකේතාත්මක බලය පළකරන බොහෝ දේ තවදුරටත් ලංකාව තුළ තිබුණා. අපි මහ රැජිනගේ නායකත්වය පිළිගන්නා පොදුරාජ්‍ය මණ්ඩලයේ ද සාමාජිකත්වය දැරීමට කැමැති වුණා.
ශ්‍රී ලංකාව නිදහස ලබා ගැනීම සඳහා කළ දේශපාලන අරගලයේදී ජාති, ආගම්, කුල ආදි පටුභේද අමතක කර කටයුතු කළා. විශේෂයෙන් උතුරේ දමිළ නායකයන් මේ සඳහා ප්‍රබල සහායක් ලබා දුන්නා. ඉන්දියාව නිදහස දිනා ගන්නා අවස්ථාව වන විට ඉන්දීය මුස්ලිම් ප්‍රජාව නියෝජනය කළ මොහොමඞ් අලී ජින්නා වගේ බෙදුම්වාදී මානසිකත්වයක ලංකාවේ සුළුජාතීන්, විශේෂයෙන් බහුතර සුළුජන වර්ගය වන දමිළ ජාතිකයන් සිටියේ නැහැ. යම් ආකාරයකින් ඔවුන් බෙදුම්වාදී ස්ථාවරයක සිටියා නම් ලංකාවට ස්වාධීනත්වය ලබාගැනීම කල් යාමට හෝ මීට වඩා වෙනස් ආකාරයක නිදහසක් ලැබීමට අවස්ථාව තිබුණා.
ඒත් අප ලබාගත් නිදහස, ලේ බිඳක් නොසොල්වා ලබාගත් නිදහස අර්ථවත් කිරීමට, ඒ නිදහස මගින් ජනතාවට සැබෑ නිදහසක් ලබාදීමට අපට හැකියාව ලැබුණාද ? එය අදත් සමාජය තුළ තිබෙන පොදු ප්‍රශ්නාර්ථයක්. බැලූ බැල්මට පෙනී යන්නේ අපට ලැබුණු නිදහස ස්වර්ණමය අවස්ථාවක් කර ගැනීමට නොහැකි වූ බවයි. වර්ගවාදී, ආගම්වාදී සහ පන්තිමය වශයෙන් බෙදීමකින් තොරව දිනාගත් නිදහස ආරම්භක අවස්ථාවේ සිටම බරපතළ ලෙස අපයෝජනයට ලක් වූ බවයි.
ජාතියක් ලෙස නැගී නොසිටීම
මීට ඉහතින් සඳහන් කළ ආකාරයට ජාති, ආගම්, පන්ති භේදයකින් තොරව පොදු අරමුණක් වටා ගොනු වෙමින් දිනාගත් නිදහස ප්‍රථමයෙන්ම අප අතින් අපයෝජනයට ලක් වුණේ නිදහස ලබාගෙන එහි උණුසුම යාමටත් පෙර “බලය” උදෙසා වාර්ගිකත්වය පෙරට ගැනීමට අප ගත් පටු හා අවස්ථාවාදී ප්‍රවේශය නිසයි. ඒ අනුව මුලින්ම අප අතින් දඩයමට ලක් වුණේ මෙරට වැවිලි ආර්ථිකයට තමන් ලේ දහඩිය කඳුළු මුසු කරමින් අන්ත දරිද්‍රතාවෙන් බැට කමින් අර්ධ වහල් මෙහෙයක් කරමින් සිටි වතුකරයේ ඉන්දීය සම්භවයක් සහිත කම්කරු ජනතාව වීම කනගාටුවට කරුණක්. ඔවුන්ගේ ඡන්ද බලය අහිමි කිරීමෙන් නොනැවතී ඔවුන්ගේ පුරවැසිභාවය අහිමි කිරීම දක්වා දිගු වූ මේ කතාව අදත් ලංකාවේ නොවිසඳී පවතින ගැටලුවක් නිර්මාණය කර තිබෙනවා.
මෙතැන් සිට ලංකාව ජාතියක් ලෙස ගොඩනැගීමේ ගමන සිදු වුණේ ජනවාර්ගික විභේදනය, ආගමික විභේදනය වගේම තව තවත් පුළුල් වූ ඇති නැති පරතරය, ගම සහ නගරය අතර සම්පත් බෙදී යාමේ විෂමතාව ආදි නිමක් නැති සමාජ, ආර්ථික හා දේශපාලන ගැටලු මැද බව අපට නිරීක්ෂණය කළ හැකියි. සිංහල භාෂාව රාජ්‍ය භාෂාව කිරීම, ශ්‍රී අක්ෂරය මුල්කර ගෙන ඇති වූ ජාතිවාදී ගැටුම්, බණ්ඩාරනායක – චෙල්වනායගම් ගිවිසුමට එරෙහි වීම, යළි ඩඩ්ලි – චෙල්වනාගයම් ගිවිසුමට එරෙහිවීම, 1971 දී ජනතා විමුක්ති පෙරමුණේ පළමු කැරැල්ල, 1971 පළමු ජනරජ ව්‍යවස්ථා සම්පාදන ක්‍රියාවලිය තුළ යළි සුළුජාතීන් නොසලකා හැරීම, අධ්‍යාපන ප්රමිතිකරණය, ආදි සිදුවීම් හරහා ජාතීන් අතර විභේදනය වගේම සිංහල සමාජයේ පන්ති විභේදනයත් අඛණ්ඩව පුළුල් වුණා.
මෙහි අවසන් ප්‍රතිඵලය ප්‍රකාශයට පත් වුණේ දකුණේ සිංහල ග්‍රාමීය තරුණයන්ගේ සන්නද්ධ නැගිටීම ආදර්ශයක් කරගනිමින් උතුරේ තරුණයන් ද ක්‍රමයෙන් සන්නද්ධ අරගලය ගැන විශ්වාස කිරීමට යාම තුළයි. එහි න්‍යායාත්මක පසුබිම 1974 වඩුක්කෝඩෛයි ප්රකාශනය හරහා සිදු වුණා. ඒ අනුව තවදුරටත් “එක් රටක ජාතීන් ලෙස ජීවත්වීම වෙනුවට දමිළ ජනතාව වෙනුවෙන් වෙනම රාජ්‍යයක් පිළිබඳ න්‍යායාත්මක ප්රකාශනය උතුරේ තරුණයන් අතින් ලියවුණා.
මෙතැන් සිට, 1975 යාපනය නගරාධිපති (ශ්‍රීලනිප) ඇල්ප්‍රඩ් දොරේ අප්පා ඝාතනය කිරීමත් සමඟ ආරම්භ වූ උතුරේ සන්නද්ධ අරගලය ලක්ෂ සංඛ්‍යාත සිවිල් වැසියන්ද ගණනය කළ නොහැකි තරම් දේපොළ ද අහිමි කරමින් තවත් දශක තුනක කාලයක් පුරාවට ඇදී ගියා. ඒ අතර 1988-89 යළි දකුණේ තරුණ සන්නද්ධ නැගිටීමකට ද, නිමක් නැති ආගමික ගැටුම්වලට ද මුහුණදීමට අපට සිදු වුණා.
මේ සියලු කාරණාවලින් අවසානයේ අපට ලබාගත් නිදහස අර්ථවත් කර ගැනීමට නොහැකිවීම සේම තවදුරටත් ආර්ථික හා දේශපාලන පරාධීනත්වය මත ගිලී සිටීම සිදුවන අවාසනාවන්ත තත්ත්වයක් නිර්මාණය කළා. විශේෂයෙන් ආර්ථික හා දේශපාලනික වශයෙන් අපට ස්වාධීනත්වය අත්පත් කර ගැනීමට නොහැකි වීම තුළ ජාතියක් වශයෙන් වන ආත්මාභිමානය අහිමි වූ තත්ත්වයක් නිර්මාණය වුණා. එමෙන්ම තරුණ පරම්පරා තුනක් (1971, 88 – 89 (ජවිපෙ) 1975 – 2009 උතුරේ) සමූල ඝාතනයකට ලක් වුණ ලෝකයේ එකම රාජ්‍ය බවට (මේ ගැන විධිමත් අවධානයක් තවම සිදුව නැති බව පෙනේ ) අප පත් වුණා.
බටහිරට, නැඟෙනහිරට අතපෑම
මෙහි ආර්ථික පරිහානය ගැන කතා කිරීම පවා අතිශය සංවේගයක් දනවන කරුණක්. බ්‍ර්තාන්‍ය අධිරාජ්‍යවාදයෙන් නිදහස දිනා ගන්නා විට ආසියානු කලාපයේ ශක්තිමත්ම ආර්ථිකයක් හිමිව තිබූ ශ්‍රී ලංකාවට මේ දක්වා ශක්තිමත් ආර්ථික ස්වාධීනත්වයක් අත්පත් කර ගැනීමේ අවස්ථාව උදාවෙලා නැහැ. අදත් අපට අපේ සංවර්ධන කාර්යයන් කර ගැනීමට සිදුවෙලා තිබෙන්නේ විදේශ රටවල ණය සහ සහනාධාර මතයි. රටේ සංවර්ධන කාර්යයන් සඳහා රජයට තම ආදායමින් ලබාදිය හැකි දායකත්වය තවමත් තිබෙන්නේ නොසැලකිය යුතු තත්ත්වයකයි. ඒ අතර රටේ ප්‍රධාන විදේශ විනිමය උපයන මාධ්‍ය නොනිමි භාණ්ඩ සහ ලාභ ශ්‍රමය මත පදනම්ව තිබීම තවදුරටත් දැකිය හැකියි.
මේ තත්ත්වය තුළ ජාත්‍යන්තර මූල්‍ය අරමුදල, ලෝක බැංකුව වැනි ගෝලීය මූල්යාතනවලට සේම චීනය ආදි ණය හිමියන්ට ද අවැසි ආකාරයට රාජ්‍ය ප්‍රතිපත්ති තීරණය කිරීමේ ප්‍රවේශයක තවදුරටත් ගොනුව සිටීමට අපට සිදුව තිබෙනවා.
පසුගිය කාලය පුරාම අපට රටක් වශයෙන්, ජාතියක් වශයෙන් අතපසුවීම් රැසකට මුහුණදීමට සිදු වුණේ ප්‍රධාන වශයෙන් ජාතික, ආගමික හා දේශපාලන සංහිඳියාව ගොඩනගා ගැනීමට නොහැකි වීම නිසා බව ඉතාම පැහැදිලියි. විශේෂයෙන් ජාතික හා ආගමික සංහිඳියාව ගොඩනගා ගැනීමේ ප්‍රවේශය මුළුමනින්ම කඩාකප්පල් කළේ දේශපාලන බලලෝභීත්වය හා දේශපාලන අවස්ථාවාදය බව පැහැදිලියි.
නිදහසේ 70 වැනි සමරුවට සූදානම් වන අප මේ අවස්ථාවේ අවධානය යොමු කළ යුත්තේ “අපට වැරදුණේ කොතැනද ?” යන්න වෙතටයි. එවිට අපට පහසුවෙන්ම වරද නිවැරදි කරගෙන ඉදිරියට යාමට අවස්ථාව උදාවෙනවා.
එරෙහි වීමේ සංස්කෘතිය අවසන් කිරීම
ඉහතින් සඳහන් කළ ආකාරයට ලංකාවට ජාතියක් වශයෙන් නැඟී සිටීමට අවශ්‍ය ශක්තිය අහිමි කළේ දේශපාලන බලලෝභීත්වය නම් අප ප්‍රථමයෙන්ම අවසන් කළ යුත්තේ මේ සියලු ව්‍යාධීන්ට මූල බීජය වූ දේශපාලන බලලෝභීත්වය, නැතිනම් බලය අල්ලා ගැනීම උදෙසා කරන අවස්ථාවාදී අරගලය බව පැහැදිලියි. අප බොහෝ දෙනකුට මෙහිදී පැන නගින පහසු ප්රශ්නය වන්නේ අප මේ සඳහා සූදානම් ද ? යන්නයි. අපට මේ සඳහා හැකියාවක්, දැක්මක් තිබේද යන්නයි.
“අපි, ශ්‍රී ලංකා එක හොඳ දෙයක් කරන කොට එක්සත් ජාතික පක්ෂය විරුද්ධ වුණා. එක්සත් ජාතික පක්ෂය හොඳ දෙයක් කරන කොට අපි, ශ්‍රී ලංකා නිදහස් පක්ෂය විරුද්ධ වුණා. මේ දෙකම විරුද්ධ වෙන්නේ නැති නම් ජනතා විමුක්ති පෙරමුණ හරි තවත් කල්ලියක් හරි විරුද්ධ වුණා. හැමදාම වුණේ මේ විරුද්ධ වීම තමයි. අපි 2015 ජනවාරි 08 වැනිදා තිත තිබ්බේ මේ දේශපාලන සංස්කෘතියටයි” ඓතිහාසික ප්රකාශනයක් යැයි කිව හැකි මේ කතාව කළේ හිටපු ජනාධිපතිනී චන්ද්‍රිකා බණ්ඩාරනායක මැතිනියයි. පසුගියදා පැවැති රැස්වීමකදී හිටපු ජනාධිපතිනිය මේ ප්‍රකාශය සිදු කළේ වත්මන් ආණ්ඩුව විසින් අත්පත් කොට ගෙන ඇති දේශපාලන හා ආර්ථික ජයග්‍රහණ ගැන ජනතාවට කරුණු පැහැදිලි කරමින්. හිටපු ජනපතිනියගේ මේ ප්‍රකාශය මේ මොහොතේදී ඉතාම වැදගත්. ඒ නිදහස දිනා ගැනීමේ 70 වැනි සමරුව සේම යහපාලන ආණ්ඩුවේ තෙවසරක කාලය ද මේ හා සමඟ සිදුවන නිසයි.
ප්රජාතන්ත්රවාදයේ මළගම
2015 ජනවාරි 08 වැනිදා මෙරට ලක්ෂ 62ක ජනතාවක් ඡන්ද පොළට ගොස් ජීවිත පරිත්‍යාගයෙන් මහින්ද රාජපක්ෂ මහතා පරාජයට පත් කිරීම සඳහා තම ඡන්දය භාවිත කිරීම දේශපාලනික වශයෙන් සේම සමාජයීය වශයෙන් ද ඓතිහාසික සිදුවීමක්. මන්ද ඔවුන් එදා තම ඡන්දය භාවිත කළේ කිසිසේත් නිදහස් හා සාධාරණ මැතිවරණයක් පැවැති අවස්ථාවක නොවෙයි. රාජපක්ෂ රෙජිමය තමන්ගේ සියලු සම්පත් හා ශක්තිය උපරිමයෙන් මුදා හැරීම මැතිවරණය ප්රජාතන්ත්රවාදය සේම ජනතාවගේ පරමාධිපත්‍ය සම්බන්ධයෙන් ද අතිශයින් තීරණාත්මක එකක් වුණා.
කුප්‍රකට 18 වැනි ව්‍යවස්ථා සංශෝධනය හරහා අසීමාන්තික ධූර කාලයක් ලබා ගැනීමට අමතරව මහින්ද රාජපක්ෂ විසින් මුළු රාජ්‍ය යාන්ත්‍රණයම තම අතට ගැනීමට හැකිවන ආකාරයට සියලු ප්රජාතන්ත්රවාදී අවකාශයන්ද අහුරා දැමීමට පියවර ගත්තා. ඒ 17 වැනි ව්‍යවස්ථා සංශෝධනය ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවෙන් අකාමකා දැමීම මගින්. ඒ අනුව මහින්ද රාජපක්ෂ මහතාගේ 18 වැනි ව්‍යවස්ථා සංශෝධනය මගින් සිදු වුණේ ශ්‍රී ලංකාව බ්‍රිතාන්‍ය අධිරාජ්‍යවාදයෙන් නිදහස ලබා ගන්නා විට උරුම වූ ප්රජාතන්ත්රවාදී දේශපාලන අවකාශය මුළුමනින්ම අහුරා දමා ව්‍යවස්ථාපිත ඒකාධිපතීත්වයක් කරා ලංකාව රැගෙන යාමේ ආරම්භ නෛතික පියවර තැබීමයි.
මෙය ලංකාවේ දේශපාලන නිදහසේ සේම ආර්ථික නිදහසේ ද අවසානය සනිටුහන් කළා. මුළු රාජ්‍ය යාන්ත්‍රණයම පවුලක් වටා කෙන්ද්‍රගත වූ මේ යුගයේ සමස්ත ආර්ථිකය ද බැසිල් රාජපක්ෂ අතට පත්ව රාජපක්ෂ පවුලේ වුවමනා එපාකම් අනුව මෙහෙයවන තත්ත්වයට පත් වුණා. මේ සමඟ අඛණ්ඩව පුළුල් වෙමින් ආ ජනවාර්ගික ධ්රෑවීකරණය ද එහි උපරිමය සනිටුහන් කළේ දමිළ ජනතාව සමඟ කාලයක් පුරා පැවැති භූමිය සම්බන්ධ අර්බුදය තුළට මුස්ලිම් හා කතෝලික ආගමිකයන් සමඟ ද නොනිල, අප්රකාශිත යුද්ධයක් ප්‍රකාශයට පත්වීම සමඟයි. මේ සඳහා ඉතා පැහැදිලිව රාජ්‍ය යාන්ත්‍රණයේ නිල සහ නොනිල අනුග්‍රහය ලැබෙන විට ප්‍රසිද්ධියේ රාජ්‍ය ආශිර්වාදය නොඅඩුව ලැබුණා. වාර්ගික ධ්රෑවීකරණය පුළුල් වන වේගයට සමාන වේගයකින් ප්රජාතන්ත්රවාදි අවකාශය පටු වුණේ භාෂණයේ, ප්රකාශනයේ හා අදහස් පළකිරීමේ අයිතිය රාජපාක්ෂික වීම තුළයි. ජනමාධ්‍යවේදීන් ඝාතනය කිරීම, පහරදීම ප්‍රසිද්ධියේ සිදුවන විට ඔවුන් භීතියට පත් කිරීම ඉතාම ක්‍රමිකව සිදු වුණා.
මේ සියලු ප්රතිගාමී ප්රවණතා සමඟ සිදු වුණේ “රාජ්‍යය නම් මමයි” යන යල් පැනගිය අදහස යළිත්, වෙනත් වේෂයකින් “රාජ්‍ය නම් රාජපක්ෂ පවුලයි” යන ලඝු ප්‍රවේශයට පටුවීමයි. මේ පටූත්වය සිංහල, දමිළ, මුස්ලිම් යන සියලු ජනවර්ග වෙත පීඩනයක් සේම අසහනයක් එල්ල කළා. 2015 ජනවාරි 08 වැනිදා 62 ලක්ෂයක් මෙරට පුරවැසියන් නොබියව ඡන්ද පොළට ගොස් ප්‍රකාශ කළේ “නිදහස” අහිමි වීම සම්බන්ධයෙන් වන තමන්ගේ විරෝධය බව අප වටහා ගත යුතුයි.
නිදහස් අවකාශය පුළුල්වීම
2015 ජනවාරි 08 වැනිදා මෙරට ජනතාවගේ නිදහස සුරක්ෂිත කළ, නිදහස වඩාත් පුළුල් කළ සහ අර්ථවත් කළ විප්ලවීය ප්රකාශනයක් වශයෙන් පසුගිය කාලය තුළ දේශීය හා ජාත්‍යන්තර වශයෙන් ඇගයීමට ලක් වුණේ මහින්ද රාජපක්ෂ පාලනය තුළ වේගයෙන් හැකිළෙමින් පැවැති ප්රජාතන්ත්රවාදී අවකාශය ජනතාව විසින්, ඡන්දයෙන් යළි දිනාගත් නිසයි.
ඇතැමුන් මේ අවස්ථාව සලකන්නේ 1948 දී එකඳු ලේ බිඳක් හෝ නොසොල්වා දිනාගත් නිදහස සමානුපාතිකවයි. ඊට හේතුව අපට මෙසේ පැහැදිලි කළ හැකියි. ඉන්දියාව ප්රමුඛ බ්‍රිතාන්‍ය යටත් විජිත රටවල් (සියලුම යටත් විජිත) තම නිදහස දිනා ගැනීම සඳහා දස දහස් සංඛ්‍යාත ජීවිත පරිත්‍යාග කළා. එහෙත් ලංකාවට එය ඉතාම පහසුවෙන්, රාජ්‍ය තාන්ත්‍රික මට්ටමින් ලබා ගැනීමට හැකි වුණා.
ව්‍යවස්ථාපිත ඒකාධිපතීන්ගෙන් තම රටවල් නිදහස් කර ගැනීම සඳහා ද ලෝකයේ සියලුම රටවල්වල පුරවැසියන්ට දස දහස් ගණනින් තම ජීවිත පරිත්‍යාග කිරීමට සිදු වුණා. ලතින් අමෙරිකාවේ, අප්‍රිකාවේ, නැඟෙනහිර යුරෝපයේ සේම දකුණු ආසියාවේ පාකිස්තානය, බංග්ලාදේශය වැනි රටවල මෙය සිදු වුණා. ඒ වගේම “අරාබි වසන්තය” නාමයෙන් මැදපෙරදිග කාලයේත් මේ ජීවිත පරිත්‍යාග සිදු වුණා.
ඒත් විස්මිත ලෙස, එසේ නැතිනම් කිසියම් ආශිර්වාදාත්මක කරුණක් හේතුවෙන් ව්‍යවස්ථාපිත ඒකාධිපතීත්වයක් කරා ගමන් කරමින් තිබූ රාජපක්ෂ රෙජිමය ඡන්ද බලයෙන් පරාජය කිරීමට මෙරට ජනතාවට හැකියාව ලැබුණා. 2015 ජනවාරි 08 “දෙවන නිදහස” දිනා ගැනීමක් වශයෙන් බොහෝ දෙනකු සලකන්නේ මේ නිසයි. යම් ආකාරයකින් ජනාරි 08 පොදුජන විප්ලවය යථාර්ථයක් නොවුණා නම් ලංකාවේ ඉරණම අතිශය කනගාටුදායක සේම අමිහිරි එකක් වනු ඇති බවට බොහෝ දෙනෙක් අනාවැකි පළ කළා. ඊට සර්ව සාධාරණ හේතු තිබුණා. 18 වැනි ව්‍යවස්ථා සංශෝධනය හරහා හකුලා දමන ලද ප්රජාතන්ත්රවාදී අවකාශය, ගෝඨාභය රාජපක්ෂ හරහා පුළුල් වෙමින් පැවැති මිලිටරි ආධිපත්‍ය, බැසිල් රාජපක්ෂ හරහා පුළුල් වෙමින් පැවැති ආර්ථික ආධිපත්‍ය සේම බෞද්ධ ආගමික අන්තවාදීන් හරහා මුදාහැර තිබූ ෆැසිස්ට්වාදී බලවේග මේ අතර ප්රමුඛ වුණා. ඒ අතර වේගයෙන් පුළුල් වෙමින් පැවැති වාර්ගික හා අගමික ධ්රෑවීකරණය ලංකාව ජාත්‍යන්තර වශයෙන් හුදකලා කරමින්, ජාත්‍යන්තර ආර්ථික සම්බාධක පැනවීමේ අවදානමක් දක්වා රැගෙන ගොස් තිබුණා.
සම්මුතිවාදය සහ යහපාලනය
මෛත්‍රී – රනිල් දේශපාලන සුසංගයෝගය මගින් බිහි වූ වත්මන් ආණ්ඩුව මගින් යළි මෙරට පුරවැසියන් වෙත ලබා දුන් ප්‍රධාන තිළිණය වන්නේ “ප්රජාතන්ත්රවාදය සහ ජාතික සංහිඳියාව” බව අද යම් පිරිසකට අමතක වෙමින් තිබෙනවා. ඔවුන් යළිත් සුපුරුදු ෆැසිස්ට් භාවිතයන් අත්හදා බලමින් ජනතාව මත යළි බලය පතුරුවා හැරීමට අවකාශ සොයමින් සිටිනවා. අප විසින් තීරණාත්මකව පරාජය කළ යුතු වන්නේ යළි බලය අල්ලා ගැනීමට තැත් කරන මේ අවස්ථාවාදයයි.
ඒ සඳහා තෙවැනි අවස්ථාව ජනතාව හමවට පැමිණ තිබෙනවා. ඒ පළාත් පාලන මැතිවරණය හරහායි. ජනවාරි 08, අගෝස්තු 17 තීරණාත්මකව පරාජය කළ රෙජිමයේ මූල පද්ධතිය ද ගලවා දමා ඒ භූමිය මත දේශපාලන, ජාතික, ආගමික හා ආර්ථික නිදහසේ බීජ රෝපණය කිරීම සඳහා අප සියලු දෙනා එක්සත්ව, එක්සිත්ව පෙරමුණ ගත යුතුයි. 70 වසරක නිදහස සැබෑ නිදහසක් කරගත හැකි වන්නේ, නිදහස අර්ථවත් කරගත හැකි වන්නේ එවැනි ප්රවේශයකින් පමණයි.
සටහන- භාතිය බරුකන්ද
දිනමිණ

