අහස උසට ගිය ගුවන් සේවා ගැහිලි – සී. ජේ. අමරතුංග

 ශ්‍රී ලංකාවේ ජාතික ගුවන් සේවය ලෙස සැලකෙන ශ්‍රී ලංකන් එයාර් ලයින් ආයතනය මෑතකාලයේ කතාබහට ලක්වූයේ එහි සිදුවන අතිවිශාල අලාභය හේතුවෙනි. එමෙන්ම ප්‍රශ්නකාරී අතිවිශාල ගනුදෙනු හා ඒ නිසා රටට සිදුවූ අතිවිශාල පාඩු ගැනද වාර්තා විය. අධික මිලක් ගෙවා ගුවන් යානා මිලදී ගැනීමට ගිවිසුම් අත්සන්කොට තිබූ බව හෙළිදරව් විය. එම ඇතැම් ගිවිසුම් අවලංගු කිරීමට ද විශාල දඩ මුදලක් ගෙවීමට සිදුවිය. මෙලෙස රටට සිදුව ඇති පාඩුව අතිවිශාලය.

වත්මන් ආණ්ඩුව බලයට පත්වී මුලින්ම කළ කටයුත්තක් වූයේ ද ශ්‍රී ලංකන් සමාගම ගැන පරීක්ෂණයක් පැවැත්වීමයි. කීර්තිමත් නීතිඥ ජේ. සී. වැලිඅමුණ මහතා ඒ සඳහා පත්කරනු ලැබීය. ඔහුගේ පරීක්ෂණයේ වාර්තාවක් රජයට භාරදෙනු ලැබුව ද එම කරුණු ගැන වැඩිදුර පියවර ගැනීමක් සිදුවූ බවක් පෙනෙන්නට නොතිබුණි. ඇතැම්විට ඒ සඳහා නෛතික බාධා තිබුණා ද විය හැකිය.

ජනපති කොමිසම

ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා පසුගියදා ප්‍රකාශ කළේ ශ්‍රී ලංකන් එයාර් සමාගමේ හා මිහින් එයාර් සමාගමේ සිදුවී ඇති අයථා ගනුදෙනු හා දූෂණ ගැන පරීක්ෂා කිරීමට ජනාධිපති කොමිසමක් පත්කරන බවයි. එම කොමිසම ජනවාරි මස මුලදී පත්කරන බව ද ජනාධිපතිතුමා ප්‍රකාශ කළේය. බැඳුම්කර කොමිසම පත්කරනවිට එය ප්‍රශ්නය යටගසන්න කරන උත්සාහයක් ලෙස හැඳින්වූ ආකාරය මෙන්ම කොමිසමේ පරීක්ෂණ සිදුවනවිට මහජනයා ඒ ගැන විශ්වාසය ගොඩනගාගත් ආකාරය ද ජනාධිපතිතුමා පෙන්වා දුන්නේය. මීට පෙර මෙබඳු කොමිසන් පත්කළේ බණ්ඩාරනායක පාලනය යට‍ෙත් බව මෙන්ම එමගින් ඇමැතිවරුන් දෙදෙනකුට තනතුරු අහිමිවූ ආකාරය මතක් කළ ජනාධිපතිතුමා ඉන් පසුව නැවතත් ඇමැතිවරුන්ට තනතුරු අහිමි වූයේ මෙම යුගයේදී බව ද පෙන්වා දුන්නේය. බැඳුම්කර කොමිසමේ සාර්ථකත්වය මත ශ්‍රී ලංකන් හා මිහින්එයාර් සඳහා ද කොමිසන් සභාවක් මගින් පරික්ෂණයක් සිදුවනු ඇති බව දැන් පැහැදිලිය.

ආණ්ඩුව පසුගිය කාලයේ උත්සාහ දරමින් සිටියේ ශ්‍රී ලංකන් සමාගම ප්‍රතිව්‍යූහගත කරන්නටය. ඒ සඳහා විවිධ ගුවන් සමාගම් සමඟ සාකච්ඡා කළේය. ඒ අතර කළහැකි ප්‍රතිව්‍යූහගතකරණය ගැන අධ්‍යයනයක් ද කළේය. එම අධ්‍යයනයන්ගේ ප්‍රතිඵල හා නිර්දේශ පසුගියදා ලැබුණු බව වාර්තා විය. එම ප්‍රතිව්‍යූහගතකරණයට සහයදීමට සමාගමේ සභාපතිවරයා හා අධ්‍යක්ෂ මණ්ඩලයේ පස්දෙනකු ඉල්ලා අස්වීමේ ලිපි භාරදුන් බව ද වාර්තා විය.

මහින්ද රාජපක්ෂ පාලනය මගින් ශ්‍රී ලංකන් එයාර් සමාගමේ පාලනය පවරාගන්නාවිට එය පාලනය කළ එමිරේට්ස් යටතේ ලාභ ලබමින් තිබිණි. එමිරේට්ස්ට එම සමාගම භාරදුන්නේ ද ශ්‍රී ලංකාවට එය ලාභදායක ලෙස කරගෙන යන්නට බැරි වූ නිසාය. එය කළේ ද මහින්ද රාජපක්ෂ මහතා ද ඇමැති ධුරයක් දැරූ චන්ද්‍රිකා කුමාරතුංග ජනාධිපතිනියගේ ආණ්ඩුව යටතේය. ජනාධිපති මහින්ද එය පවරාගන්නා ලද්දේ එමිරේට්ස් සමාගමට පලා බෙදීමෙන් පසුවය. එහි විධායකයට ශ්‍රී ලංකාවේ රැ‍ඳෙන්නට වීසා නිකුත් ක‍ෙළ් නැත. ඒ සඳහා කෝන්තරයක් හදාගත්තේ ජනාධිපති සමඟ ලන්ඩන් ගිය අසූහත්දෙනකුට ඉඩදෙන්න ඒ වනවිට ටිකට් මිලදීගෙන සිටි මගීන් බස්සන්නට එමිරේට්ස් පාලකයන් අකැමැතිවීම හේතුවෙනි. ජනාධිපති ඇතුළු කිහිපදෙනකුට පමණක් ඉඩදුන්න ද උද්ධච්ච පාලකයාට එය ප්‍රමාණවත් වූයේ නැත.

රාජපක්ෂවාදීන් ශ්‍රී ලංකන් වැනි ආයතන ගැන කියන්නේ ඒවා ජාතියේ සම්පත් බවයි. රටේ මහජන සම්පත් බවයි. ඇත්ත වශයෙන්ම ඔවුන් ශ්‍රී ලංකන් පවරාගත්තේ එය තමන්ගේ සම්පතක් කර ගැනීමටය. තමන්ගේ ඥාතීන්ට එහි ඉහළ තනතුරු පිරිනැමුවේ ඒකටය. තමන්ගේ හෙංචයියන් රොත්තකට තනතුරු දීමට ද කටයුතු කෙරිණි. එමෙන්ම නොයෙක් සේවා සැපයීම් මිලදී ගැනීම් හරහා මුදල් ගැරීම ජයටම සිදුවිය. ප්‍රතිඵලය නම් පවුලේ උදවිය හා ගැත්තන් විශාල ධනපතියන් වන අතර සමාගම දිගටම පාඩු ලැබීමයි. මේ වනවිට ශ්‍රී ලංකන් සමස්ත පාඩුව රුපියල් බිලියන 107කට වැඩි බව කියති. ණයවී ඇති මුදල බිලියන 60කි. මෙහෙම බේරාගෙන තිබෙන්නේ ද තවත් විශාල ගනුදෙනු ප්‍රමාණයක් අවලංගු කිරීමෙන් පසුවය.

ශ්‍රී ලංකන්වලින් එසේ පාඩු ලබද්දී රාජපක්ෂ පාලනය එම පාඩුව ඇල්ලුවේ මහජනයාට බදු පටවමිනි. පෙට්‍රල්, ඩීසල්, භූමිතෙල්වලින් අතිවිශාල බදු අයකරනු ලැබීය. සීනි, කිරිපිටි, හාල්මැස්සන්, පරිප්පු ආදී සියල්ලට බදු පනවා තිබිණි. 2015 බලයට පත්වූ වත්මන් පාලනය යටතේ එම බදු විශාල ලෙස අඩුකරනු ලැබීය.

තියෙන ගුවන් සේවය පාඩු ලබද්දී රාජපක්ෂලා තවත් ගුවන් සේවාවක් පටන්ගත්තේ තම නම ගසාගෙනය. එයට කීවේ මිහින් එයාර් කියලය. මිහින් කීවාට එය පුද්ගලික බූදලයක් වූයේ නැත. එයට මුදල් යෙදවූයේ රාජ්‍ය භාණ්ඩාගාරයෙනි. ඒ කියන්නේ මේ රටේ ජනතාවගේ මුදල්ය. පාලකයෙක් තම නම ප්‍රචාරය කරන්නට මහජන මුදල් යොදාගැනීමක් ද මෙහිදී සිදුවිය.දිගටම පාඩු ලැබූ මිහින් එයාර් සමාගම වෙනුවෙන් දිගටම බර දරන්න සිදුවූයේ ද මෙරට සාමාන්‍ය ජනතාවටය.

එකක් මදිවට දෙකක්

ශ්‍රී ලංකන් පාඩු ලබද්දී මිහින් ලංකා කියා තවත් ගුවන් සේවයක් ආරම්භ කළේ අඩු මිල ගුවන් සේවයක් වශයෙනි. එවැන්නක් ආරම්භ කිරීමට මෙරටට කිසිදු වුවමනාවක් තිබුණේ නැත. මෙරට ජනයාට අඩු මිලට ගුවන් ගමන් යන්නට අවශ්‍ය නම් ඒ සඳහා ඕනෑතරම් ගුවන් සේවා තිබිණි. අනෙක අප රටේ ගුවන් යානාවල යන්නේ ශ්‍රී ලාංකිකයෝම නොවෙති. වෙනත් රටවල පුරවැසියෝද මේවායේ යති. එමෙන්ම ශ්‍රී ලාංකිකයෝ නොයෙක් රටවල ගුවන් සේවා තම ගමන් සඳහා යොදා ගනිති. ගුවන් සේවාවල හැටි එහෙමය.

ඒ තියෙද්දී රටේ මහජන මුදල් යොදාගෙන පාඩු ලබන ගුවන් සේවයක් පවත්වාගෙන යමින් තව එකක් ආරම්භ කිරීමට කිසිදු ආර්ථිකමය හෝ සමාජමය වුවමනාවක් තිබුණේ නැත. එසේ වුවද පාලකයන්ට, දේශපාලනඥයන්ට වි‍ශේෂ වුවමනාවක් තිබිණි. එනම් තමන්ට හා තම ඥාතීන්ට බඩ වඩා ගැනීමට අවස්ථාව සලසා ගැනීමයි. තම හෙන්චයියන්ට හම්බකර ගැනීමට ක්‍රම සකසා ගැනීමයි. ඒ සඳහා විශාල ආදායම්, වියදම් ඇති ආයතන තමන් අතට ගැනීම හදාගැනීම ඔවුන්ගේ අවශ්‍යතාවයයි.

රසයට ලොල් වුණු හේතුව

ශ්‍රී ලංකන් එයාර් පාඩු ලබද්දී මිහින් ලංකා පටන්ගත්තේ ඒකටය. ශ්‍රී ලංකන්වලින් හම්බකරනවිට එහි රසය හොඳට දැනෙන්නට ඇත. තවත් එබඳුම ජාවාරම් කරන්නට අවශ්‍ය වන්නේ ඒ නිසාය. ඉතින් පාඩු ලබන ගුවන් සමාගම් එක දෙකක් කරගන්නේ ඒකටය. සමාගම් දෙකම දිගින් දිගටම පාඩු ලබන්නේ මේ ජාවාරම් නිසාය. පාලකයන්ට එය ගාණක් නැත. ඒවාට අවසානයේ ගෙවන්නේ තමන් නොවන නිසාය. සියලු පව්වලට කරගහන්නට සිදුවන්නේ සාමාන්‍ය ජනතාවට නිසාය. ජනතාව පිට බදු පටවා සියල්ල ගෙවා දමන්නට ඔවුන් සූදානම් ය. ඒ අතර ජාතික සම්පත් ගැන කියමින් ජනතාව මත් කරවන්නට ද ඔවුහු දනිති.

ගුවන් සමාගම් කියන්නේ ලොව පුරා දුවන ව්‍යාපාරික කටයුත්තකි. එහි සේවය කරන ලොකු ලොක්කන්ට විවිධ රටවලට යන්නට එන්නට අවස්ථාව ලැබේ. ඒ ඒ රටවල සේවක පිරිස්වලට නවාතැන් ලබාදෙන්නට, ආහාර පාන ලබාගන්නට නවාතැන් ලබාගන්නට ආදී ගනුදෙනු හා සැපයුම් ජාලා රාශියක් පවත්වාගෙන යන්නට සිදුවෙයි. මේවායේ වැටුප් ද ඉහළය. රටින් රට යන එන ගමන් කළ හැකි ජාවාරම් ද තිබෙනවා විය හැකිය. ඒ නිසා මෙහි සේවකයන්ට පවා මෙය සම්පතක් විය යුතුය. ආයතන පාලකයන්ට නම් මෙය ඉල්ලමක් යැයි කීවද වරදක් නැතිවා විය හැකිය. පසුගිය කාලයේ තිබුණු බව හෙළිදරව් වන්නේ එබඳු තත්ත්වයකි.

ගුවන් යානා ගනුදෙනු කියන්නේ ද එසේ මෙසේ ජාවාරමක් නොවේ. ඒවායේදී හුවමාරු වන්නේ අමෙරිකානු ඩොලර් මිලියන සිය දහස් ගණනකි. ගිවිසුම් ගහන්නේ එම ප්‍රමාණයටය. ඒ සමඟ අතයට ගනුදෙනු ද සිදුවන බව දන්නෝ දනිති. ඒවායේ ප්‍රමාණයන් මොනවාදැයි සාමාන්‍ය ජනයාට සිතාගන්නටවත් බැරිය. ගුවන් යානා ගනුදෙනුවලදී රාජ්‍ය නායකයන්ට, දේශපාලනඥයන්ට අල්ලස් ලබාදුන් බවට චෝදනා නැගුණේ හා හෙළිදරව් වූයේ වරක් දෙවරක් නොවේ. චෝදනා ඔප්පුවී තනතුරු අතහරින්නට හා දඬුවම් විඳින්නට ද සිදුවූ අවස්ථා ගැන වාර්තා ඇත.

මෙවැනි දැවැන්ත ව්‍යාපාර තමන් අත තිබීම දේශපාලනඥයන්ටනම් සම්පතකි. ඇතැම්විට එය සිතූ පැතූ සම්පතක් දෙන කප්රුකක් වැනි විය හැකිය. ඒවා පාඩු ලැබුවාට දේශපාලනඥයාට දැනෙන්නේ නැත. අවසානයේ එම බර දරන්නට වන්නේ ජනතාවටය. එය ද කෙලින්ම දැනෙන්නේ නැත.

තමන් කන බොන අඳින පළඳින දෙයට ගෙවන මිල හරහා ජනතාව අනුන්ගේ බර ගෙවා දමන්නේය. පාලකයන් මහජන සම්පත් යැයි කියමින් ජනතාව මුලාකරන්නට ක්‍රියා කරති. ජාතික ධනය හූරාකන ඊනියා දේශප්‍රේමී ක්‍රමය ඒකය. මේ ආණ්ඩුව බලයට පත්වූයේ ජාතික ධනය සොරාකෑ උදවිය අල්ලන්නටය. ඔවුන් අල්ලා දඬුක‍ඳේ ගසන්නටය. දැන් ජනතාවගේ මැසිවිල්ල නම් තවමත් එය හරිහැටි සිදු නොවීමය.

බොහෝදෙනා නගන තවත් ප්‍රශ්නයක් ඇත. එය නම් ආණ්ඩුව බලයට පත්වී වසර තුනක් ගතවීත් මේ ආයතන ගොඩගන්නට නොහැකි වීමයි. කළ හැකි වී තිබෙන්නේ පාඩු අවම කර ගැනීම පමණකි. ලාභ ලබන්න හිතන්නවත් බැරිය. ඇතැම්විට එයට හේතු තිබිය හැකිය. කලින් ඇති කරගෙන තිබූ ගිවිසුම් නිසා දිගටම පාඩු සිදුවනවාද විය හැකිය. දරාගත නොහැකි වියදම් හදාගෙන තිබෙනවා නම් ඒවායින් ගැලවීම ද අපහසුය.

සමාගමට බර සේවක මඬුල්ල

තවත් ප්‍රශ්නයක් නම් මේවාට දරාගත නොහැකි තරමේ සේවක පිරිසක් බඳවාගෙන තිබීමයි. එක ගුවන් යානයක් වෙනුවෙන් සිටින සේවක පිරිස ගුවන් යානයක් පුරවන්නට තරම් වන බව කියති. එනම් දෙසිය ගණනකි. ලාභ ලබන ගුවන් සේවාවක එම සංඛ්‍යාව සියයක් තරම් වන බව කියති. මේවාද පහසුවෙන් විසඳිය හැකි ගැටලු නොවේ. එහෙම තත්ත්වයක් තිබියදී මෙයට කරගහන්නට ජාත්‍යන්තර සමාගම් ඉදිරිපත් වන්නේ ද නැත. හිටපු පාලකයන් සියල්ල රට පටලවා ඇතැයි කියන්නේ ඒකය.

මෙම ආයතන ප්‍රතිසංවිධානය කරන්නට යනවිට විපක්ෂය කියන්නේ ජාතික සම්පත් විකුණනවා කියාය. මේවාට ජාතික සම්පත් කියන්නට බැරිය. සම්පත් කියන්නේ ජනතාවට ප්‍රතිලාභ ලැබෙන දේකටය. ජනතාව මත බර පටවා කරන ජාවාරම්වලට එසේ කිව නොහැකිය. හිටපු පාලකයන් මේවා ඔවුන්ගේ සම්පත් කරගෙන තිබුණු බව නම් ඇත්තකි.

ශ්‍රී ලංකන් එයාර් හා මිහින් ලංකා ගුවන් සේවා ජාවාරම මගින් රටට සිදුකොට ඇති අලාභය ප්‍රකෝටි ගණනක් බව ඉතා පැහැදිලිය. මේවා ගැන විභාග කරන්නට, පරීක්ෂණ කරන්නට ද මේ වනවිටත් කල් ගතවූවා වැඩිය. දැන්වත් ජනාධිපති කොමිසමක් මගින් සියල්ල පරීක්ෂාකොට රටට හෙළිදරව් කිරීම වැදගත්ය. එමෙන්ම මේ ජාවාරම් සිදුකළ උදවියට එරෙහිව නීතිය ක්‍රියාත්මක කිරීමට මෙන්ම දූෂණ, වංචා මගින් රැස්කරගත් දේපළ සොයාගෙන ඒවා අත්පත්කර ගැනීමට ද ක්‍රියාත්මක විය යුතුය. මෙම පරීක්ෂණ හරියට සිදුවුවහොත් තවත් හොඳ හොඳ සෙල්ලම් රටට හෙළිදරව් වනු ඇත.

සී. ජේ. අමරතුංග

Similar Posts

Leave a Reply

Your email address will not be published. Required fields are marked *