රට හිරිවට්ටන වැටුප් විශමතා – සම්පත් රසාංග අමරසිංහ
දුම්රිය වැඩවර්ජනයට මේ ලියන මොහොත වන විට දින හතරක් ගතවී තිබේ. වර්ජනය පවතිද්දී වුව දුම්රිය ගමන්වාර මෙපමණ සංඛ්‍යාවක් ක්‍රියාත්මක කළ බව ප්‍රවාහන බලධාරින් පුකාශ කළ ද සත්‍ය වන්නේ දුම්රිය ධාවනය මුළුමනින්ම පාහේ ඇණහිට ඇති බවයි.
එදිනෙදා කටයුතුවලට ගමන් බිමන් යන පිරිසටත් වඩා දුම්රිය වර්ජනය හේතුවෙන් අපහසුතාවට පත්වූයේ දුම්රියෙන් එදිනෙදා ගමනා ගමන අවශ්‍යතා සපුරා ගන්නා කාර්යාල සේවකයන් බව අමුතුවෙන් කිවයුතු නැත. දුම්රිය වර්ජනය හේතුවෙන් රට අහිමි වූ මිනිස් පැය ගණන පිළිබඳ ගණන් බැලීමක් කිසිසේත් බලාපොරොත්තුවිය නොහැකිය.
දුම්රිය ධාවනය නොවීමේ අඩුව පිරිමසින්නට බස්රථ යෙදවීම, දුම්රිය වාර ප්‍රෙව්ශපත්‍ර වලින් ලංගම බස්රථවල ගමන් කිරීමට පහසුකම් සැපයීම ආදිය සැලකිය යැක්කේ, සාර්ථක විසදුම් වශයෙන් නොවේ. දුම්රියකින් වරකට ගමන් කරන මගීන් සංඛ්‍යාවට ප්‍රවාහන පහසුකම් සැපයීමට බස්රථ කීයක් යෙදවිය යුතුද? එතරම් බස්රථ සංඛ්‍යාවක් ලංකා ගමනා ගමන මණ්ඩලය සතුව තිබේද?
දුම්රිය වර්ජනය වැනි අවස්ථාවකට මුහුණ දීමට අමතර බස්රථ සංඛ්‍යාවක් නැතහොත් බස් සංචිතයක් ලංකා ගමනා ගමන මණ්ඩලය සතුව නැත. එසේ නම් දුම්රිය වර්ජනයට මුහුණ දීමට යෙදවීමට සිදුවන්නේ දැනට ධාවනයට එනම් මගී ප්‍රවාහනයට යොදවා ඇති බස්රථමය. ඒ උත්සාහය සැලකිය හැක්කේ තැනකින් ගෙන තවත් තැනක අඩුවක් පිරවීමට තැත්කිරීමක් වශයෙනි. එනම් එක් තැනකට ධාවනයට යොදවා තිබුණු බස් රථයක් දුම්රිය වර්ජනය හේතුවෙන් වෙනත් තැනක ධාවනයට යෙදවීමයි. එවිට මුලින් යොදවා තිබූ මාර්ගයේ මගීනට බසයක් හිගවේ.
දැනට පවතින් බස් රථ සංඛ්‍යාව අනුව විශේෂයෙන් කාර්යාල වේලාවන්හි සහ පාසල් කාලය තුළ බස්රථ ධාවනය කෙරෙන්නේ අධික මගී තදබදයක් යුතුවය. ඒ තදබදය එසේ පවතින්නේ දුම්රිය ධාවනයද සාමාන්‍ය පරිදි සිදුවන අවස්ථාවක නම් දුම්රිය වර්ජනයකට බස්රථ යොදවා උත්තර සොයන්නට යාම කොතරම් යථාර්ථවාදීද?
දෙසැම්බර් 12 වෙනිදා සිට අ.පො.ස. සාමාන්‍ය පෙළ විභාගය ඇරඹීමටද නියමිතය. දුම්රිය මාර්ගය මිස වෙනත් ප්‍රවාහන මාර්ගයක් නොමැති ප්‍රදේශ රටේ කොතෙකුත් තිබේ. එවැනි ප්‍රදේශයක ජීවත් වෙන දරුවෙක් දුම්රිය වර්ජනය හමුවේ සාමාන්‍ය පෙළ විභාගයට මුහුණ දෙන්නේ කෙසේද? එක් අතකින් පවතින දුම්රිය වර්ජනය ඔවුනට මානසික පීඩාවක්ද වනු ඇත. නිරවුල් මනසකින් ඉදිරි විභාගයට මුහුණ දීමට සූදානම් වීම අවශ්‍ය මානසික වටපිටාව දුම්රිය වර්ජනය නිසා බිඳවැටිය හැකි බැවිනි. පාඩම් කළත් දුම්රිය නැති වුවහොත් විභාගයට යන්නේ කෙසේද යන ප්රශ්නය ඔවුන් ගේ සිත්වල වැඩකළ හැකි නිසාය.
ඉදිරියට ඇත්තේ නත්තල් සමයයි. වර්ෂ අවසාන පාසල් නිවාඩුව ද හේතුවෙන් මේ ජනතාව වැඩිවැඩියෙන් ගමන් බිමන් යෙදෙන කාලයකි. විශේෂයෙන් රජයේ සේවකයන් සිය නිදහස් දුම්රිය ගමන් බලපත්‍ර උපයෝගී කරගෙන නෑගමන්, විනෝද ගමන් යාමට මේ කාලය යොදා ගනිති. මේ අනුව පෙනෙන්නේ ටක්කෙටම හරියන කාලයක් යොදාගෙන එනම් ජනතාවට බරපතළම අපහසුතාව එල්ල කළ හැකි කාලයක් යොදාගෙන දුම්රිය වෘත්තීය සමිති තම වැඩවර්ජන තර්ජනය මතුකර ඇති බවයි. ජනතාවටත් ආණ්ඩුවටත් වඩාත්ම හොඳින් තර්ජනය එල්ලවන කාලයක සහ වෙලාවක වර්ජනයට පිවිසීම වෘත්තිය සමිතිවල සිරිතකි සටන සාර්ථක වනු ඇත්තේ එවිට බැවිනි.
දුම්රිය වර්ජනයට හේතු ව වූයේ මුලින්ම දුම්රිය රියැදුරු සාහයකයන් බඳවා ගැනීම පිළිබඳ ප්රශ්නයකි. රියැදුරු සාහකයන් බඳවා ගැනීමට විරෝධය පාමින් දුම්රිය රියැදුරන් ආරම්භ කළ වැඩ වර්ජනයට පසුව වැටුප් ප්‍රශ්නයක් මුල්කර ගනිමින් දුම්රිය පාලක, දුම්රිය නියාමක සහ දුම්රිය ස්තානාධිපතිවරුද එක් වූහ. දෙසැම්බර් 08 දා ලෝකෝමොටිව් ඔපරේටින් ඉන්ජිනියර්ස් රියැදුරු සංගමය ජනාධිපති ලේකම්වරයා සමග කළ සාකච්ඡාවේදී යහපත් ප්‍රතිචාරයක් ලැබුණු නමුත් දුම්රිය රියැදුරු පාලන, ස්ථානාධිපති, නියාමන ශ්‍රේණිවලට බලපාන වැටුප් ප්‍රශ්නයට විසදුම් නොලැබණු නිසා දුම්රිය වර්ජනය මේ ලියන මොහොත එනම් 2017.12.10 රාත්‍රි 10 වන විටත් ඇදෙමින් තිබුණි.
දුම්රිය රියැදුරන්ගේ වර්ජනයට දුම්රිය ස්ථානාධිපති නියාමක ආදීන්ගේ හේත්තු වීම යනු කල දුටු කල වළ ඉහගැනීමේ ක්‍රමයක් බව පෙනේ. එනම් ශක්තිවන්තයාට හේත්තු වි තමන්ගේ ඉල්ලීම්ද දිනාගැනීමට උත්සාහ දැරීමකි. රියැදුරන්ගේ ප්‍රශ්නයට යහපත් ප්‍රතිචාර ලැබී තිබියදීත් ඔවුනට වර්ජනය අත්හැරිය නොහැකිව ඇත්තේ වලිගයේ එල්ලුණු දුර්වලයන් වන දුම්රිය ස්ථානාධිපතිවරුන් ආදි කොටස් නිසාය.
මෑත ඉතිහාසයේ මෙරට වර්ජනවල යම් යථාර්ථයක් මෙකී දුම්රිය වර්ජනය හරහා පැහැදිලිවේ. එනම්, බලවතුන් එනම් බලපෑම් කළ හැකි පිරිස් (වෛද්‍යවරු, දුම්රිය රියැදුරන්, බැංකු, විදුලි ඉංජිනේරුවන් වැනි) වර්ජන මගින් වැටුප් වරප්‍රසාද ඉහළ නංවා ගනිද්දී දුම්රිය ස්ථානාධිපතිවරුන්, දුම්රිය නියාමකයන් වෙනත් ක්ෂේත්රයන්හි ලිපිකරුවන්, මිණුම්දෝරුවන්, තක්සේරුකරුවන් වැන්නන්ගේ වැටුප් ඉහළ නොයා පැවතීමයි. උපාධාධාරි ගුරුවරුන් ගුරුවිදුහල්පතිවරුන්, විශ්‍රාමිකයන් වැනි තවත් පිරිසක්ද වැටුප් විසමතාවන්ගේ ගොදුරු බවට පත්ව සිටිති. එහෙත් ඔවුනට කන්නලව් කරනු මිස තර්ජනයෙන් වර්ජනයෙන් වැටුප් නංවා ගන්නට හැකියාවක් නැත.
දුම්රිය පාලක, රියැදුරු නියාමක ස්ථානාධිපති, අධීක්ෂක නිලධාරි ශ්‍රේණිවලට ලබාදීමට පොරොන්දු වූ එම් ටී 1 හා 2 වැටුප් තල සම්බන්ධව රජය නිහඬ ප්‍රතිපත්තියක් අනුගමනය කරන බව වෘත්තිය සමිති ප්‍රකාශකර තිබුණි.
කැබිනට් මණ්ඩලයට ඉදිරිපත් වූ වැටුප් තලය ලබාදීම පිළිබඳ යෝජනාවට සෞඛ්‍ය ඇමතිවරයා විරුද්ධවන බවත්, හේතුව සෞඛ්‍ය හා සම්බන්ධ වෘත්තිය සමිතියක බලපෑම බවත් දුම්රිය මෙහෙයුම් අධීක්ෂණ නිලධාරින්ගේ වෘත්ති සමිති සන්ධානයේ සම කැඳවුම්කරු ලාල් ආරියරත්න මහතා පවසා තිබුණි.
දුම්රිය සේවකයන්ගේ වැටුප් ප්‍රශනය විසඳුවහොත්, වෘත්තිය අරගලයකට පිවිසෙන බව සෞඛ්‍ය වෘත්තිය සමිතියක් මීට පෙරද ප්‍රකාශකර තිබුණි. හේතුව වශයෙන් ඔවුන් දක්වා තිබුණේ එසේ වුවහොත් අදාළ දුම්රිය සේවකයන්ගේ වැටුප්තල සෞඛ්‍ය අංශයේ වැටුප්තල ඉක්මවා යන බවයි. එය තමන්ට මදි පුංචිකමක් බවයි. එය වටහා ගත යුත්තේ එක්තරා වෘත්තියක හීනමානය පිළිබඳ ගැටලුවක් යන සරල අර්ථයෙන් නොවේ. මෙරට වෘත්තිය සමිති ව්‍යාපාරයේ ජරාජීර්ණ මජර ස්වරූපය පෙන්නුම් කෙරෙන තවත් සාධකයක් වශයෙනි.
රජයේ සේවකයන්ගේ වැටුප් විසමතා යනු ද නොසලකා හැරිය නොහැකි මෙන්ම නොසලකා හැරියයුතු නැති ගැටලුවකි. ඉහත කී ආකාරයට ශක්තිවන්තයන් වැටුප් බහළ නංවා ගනිද්දී දුර්වක වෘත්තිකයනට වැටුප් විශමතාවල සිරවී සිටින්නම සිදුවී තිබීම රටකට පුශ්නයකි.
ආණ්ඩුවේ මේ පුශ්නය විසදිය යුතතේ ඒ ඒ ශ්‍රේණිවල හුදෙකලා ප්‍රශ්නයක් වශයෙන් සලකා නොවේ. සමස්ථ රාජ්‍ය සේවයේ පවතින ප්‍රශ්නයක් වශයෙන් පුළුල් ලෙස දැකීමෙනි. වැටප් විසමතා වලට කාටත් එකඟ විය හැකි විසදුමක් සෙවීමට කමිටුවක් පත් කිරීම හෝ පෙර පැවති කමිටුවල නිරදේශ ක්‍රියාත්මක කිරීම වැනි විසදුමකට නොයනතුරු පුශ්නය පවතිනු ඇත්තේ සෝද සෝදා මඬේ දමනවා වැනි තත්ත්වයකය. එහි පීඩාව දැනෙන්නේ ආණ්ඩුවට නොව පොදු මහජනතාවටය. (දුම්රිය පුශ්නය පිළිබඳව මගියෙක් කියනු ඇසුණේ මහින්ද රාජපක්ෂ නැති පාඩුව කියාය. මහින්දගේ පාලන සමයේ ඒකාධිපති හස්තයකින් මැඬගෙන සිටි ප්‍රශ්න දැන් මතුපිට පුපුරන්ට පටන් ගෙන තිබේ. ජනතාව ඒ තත්ත්වය තේරුම් ගන්නේ යහපාලන ආණ්ඩුවේ ජනාධිපති මෛත්රිගේ, අගමැති රනිල්ගේ දුර්වකතාවක් වශයෙනි. එය ආණ්ඩුවේ පැවැත්මටත් ආණ්ඩුවේ ජනප්‍රියත්වයටත් බරපතළ හානියකි.
වර්ජනය කරන්නට ඇති මේ අවකාශය යහපාලනය හේතුවෙන් උදාවූවක් බව වෘත්තිය සමිති ද අවබෝධකර ගත යුතුය. අවුවටත් වැස්සටත් වැඩවර්ජනය කරමින් ජනතාව පෙළන්නට වෘත්තිය සමිති කටයුතුකරන්නේනම් ප්රජාතන්ත්රවාදය වෙනුවට ජනතාව ඒකාධිපතිවාදයට කැමති වනු ඇත.
වැඩකරන ජනතාවගේ වැටුප් ආදි ප්‍රශ්න කෙරෙහි අඳ ගොළු බිහිරි පිළිවෙතක පසුවනු වෙනුවට ඒවා විසදිය හැකි කඩිනම් හා පලදායි මාර්ගයකට අවතීර්ණවීමේ යුතුකම සහ වගකීම ආණ්ඩුවටත් තිබේ. වැරැද්ද කළේ කවර ආණ්ඩුව වුවද ඊට විසදුම් ලබා දීම පවතින ආණ්ඩුවේ වගකීම බැවිනි.
