ගබ්සාව කාන්තාව සහ ආගම – බණ්ඩාර උඩුරාවණ
ගබ්සා කිරීම සඳහා භාවිතා කෙරෙන පෙති 16390ක් අත් බෑගයක සඟවාගෙන ගුවන් මගින් මෙරටට පැමිණි ඉන්දියානු ජාතිකයකු රෙගු නිලධාරීන් විසින් කටුනායක ගුවන් තොටුපළේදී අත්අඩංගුවට ගන්නට යෙදුනු බව 2017 අගෝස්තු මස 31 දින වාර්තා විය.
එම ගබ්සා පෙති තොගයේ වටිනාකම 23.13.503කි. ඒවා රැගෙනවිත් ඇත්තේ කොළඹ ප්‍රදේශයේ ගබ්සා මධ්‍යස්ථානයක් සඳහා භාවිතය සඳහා බවද කියැවේ. මෙකී දිනවලම කියවුණු තවත් ප්‍රවෘත්තියකින් කියැවුණේ විශේෂිත හේතු මත ගබ්සාවට අනුමැතිය දීමට ආණුඩුව උත්සාහ කරන බව හා ඇතැම් පාර්ශව වලින් එම උත්සාහයට විරෝධය එල්ල වී ඇති බවය.
ගබ්සා නීතිය ලිහිල් කළ යුතු බව විශේෂඥවෛද්‍යවරුන්ගේ මතයයි. අවම වශයෙන් අවස්ථා දෙකකදි හෝ ගබ්සාවට ඉඩ දිය යුතු බව ඔවුහු කියති. එකී අවස්ථා වන්නේ;
- කාන්තාවකගේ කුසෙහි මාරාන්තික ලෙස විකෘති වූ කළලයක් පිළිසිඳ ගෙන ඇති විට.
- කාන්තාවක දූෂණයට හෝ අතවරයකට ලක් වී ගැබ්ගත් විට ය.
මෙකී අවස්ථා දෙකෙහිදී වුව ගබ්සාවකට ඉඩ දිය යුත්තේ විශේෂඥ වෛද්‍යවරුන් දෙදෙනකුගේ නිර්දේශ මත පමණක් බවත් යෝජනා වී තිබේ.
මාරාන්තික ලෙස විකෘති වූ කළලයක් වුව දූෂණයකට හෝ අතවරයකට ලක්වීමක ප්‍රතිඵලයක් ලෙස පිළිසිඳ ගත් කළලයක් වුවද ගබ්සාකළ හැක්කේ එය ගබ්සා කළයුතු යැයි මව අවසන් වශයෙන් තීරණය කළහොත් පමණක් බව දැනට යෝජනා වී ඇති විධිවිධානවලට ඇතුළත් වී තිබේ.
ශ්‍රී ලංකාවේ දැනට පවතින් ගබ්සා නීතිය ඉතා දැඩි එකක් බව පැවසේ. ඊට හේතුව පවතින නීතිය එනම් දණ්ඩ නීති සංග්‍රහයේ 303 වගන්තිය අනුව ගබ්සාවකට ඉඩ ඇත්තේ කළලය මවගේ ජීවිතයට හානියක් වන විටදී පමණක් වන නිසාය.
නීතිය එසේ වුවද ශ්‍රී ලංකාවේ මේ මෙහොතේ දිනකට ගබ්සා 750ක් 1000ක් අතර ප්‍රමාණයක් සිදුවන බවද පර්යේෂණ වලින් හෙළි වී තිබේ.
ඒ අනුව පැහැදිලි වන්නේ නීතිය කුමක් වුව මෙරට මේ මොහොතෙත් ගබ්සාව රහසිගතව සිදුවෙමින් පවතින බවයි. නීති විරෝධී ලෙස මෙරටට ආනයනය කර කටුනායක තුවන්තොටුපළේ දී අත්අඩංගුවට ගැනුණු ගබ්සා සඳහා භාවිත කෙරෙන පෙතිවලින් කියැවෙන කටුක සත්‍යද එයයි. ඒවා රේගුවට හසු නොවී අදාළ ගබ්සා මධ්‍යස්ථානයට ලැබුණේ නම් නිශ්චිත ලෙසම යොදා ගැනෙනු ඇත්තේ නීති විරෝධී ගබ්සා සඳහාය.
මේ සියල්ලෙන් කියැවෙන තවත් කරුණක් වන්නේ ගබ්සා කර ගැනීමේ අවශ්‍යතාවය සහිත පිරිසක් මෙරට සිටින බවයි. හොර මධ්‍යස්ථානවලින් ගබ්සා කර ගන්නේ පිටරැටියන් නොව නොව මෙරට ජනයාම වන බැවිනි. පවුල් ප්‍රශ්න, ආර්ථික දුෂ්කරතා, දරුවන් රැකබලා ගැනීම පිළිබඳ ප්‍රශ්න ආදිය හේතුවෙන් දරු ගැබ් ඉවත්කර ගැනීමට පෙළෂෙන විවාහක අඹු සැමියන් පවා සිටින බව ප්‍රසිද්ධ රහසකි.
ගබ්සා කරගැනීමක් අපේක්ෂා කරන තැනැත්තෙකුට රජයේ රෝහල්වලින් නිදහසේ එය කරගත නොහැකි බැවින් ඇත්තේ විකල්ප දෙකකි. එකක් පෞද්ගලික රෝහලකින් ගබ්සාවක් සිදුකර ගැනීමයි. පෞද්ගලික රෝහලකින් ගබ්සාවක් කරගැනීම විශාල මුදලක් වැයවෙන කටයුත්තකි. එවැනි ලොකු මුදලක් වියදම් කළ නොහැකි අයට අකමැත්තෙන් වුව තොරා ගැනීමට සිදු වන්නේ අඩු මුදලක් වැයකර නීති විරෝධී ගබ්සා මධ්‍යස්ථානවල පිහිට පතා යාමයි.
නීති විරෝධී ගබ්සා මධ්‍යස්ථානවල ගබ්සා කරන්නෝ සුසුදුකම්ලත් වෛද්‍යවරුන් නොව නුසුදුසු පුද්ගලයන්ය. මෙකී ආයතනවල කිසිදු සෞඛ්‍ය පහසුකමක් ද නැත. එහි දී යොාද ගැනෙන ක්‍රමය වන්නේ බොහෝවිට ස්ත්‍රී ශරීරයට ලිංගේන්ද්‍රය ඔස්සේ තියුණු ආයුධ ඇතුළුකර කළලය කුඩා කැබලි කපා කොටස් ලිංගේන්ද්රයෙන්ම පිටතට ගැනීමයි. මෙකී කටයුත්තේ අවසන් ඵලය කාන්තාව අධික රුධිර වහනයට ගොදුරු වීමයි. රුධිර වහනය පාලනය කරගත නොහැකි වීමෙන් මරණයට පත්වන්නට පවා ඉඩ තිබේ.
සුදුසුකම් රහිත තැනැත්තන් විසින් සිදු කෙරෙන ගබ්සාවන් හී දී සිදුවිය හැකි තවත් දෙයක් වන්නේ යළිත් දරුගැබක් දැරිය නොහැකිවන පරිදි ගර්භාෂය තුවාල වී විනාශයට පත්වීමයි. වෙනත් ශාරීරික හානියකට වුවද කාන්තාව ලක්වීමට මෙහිදී පුළුවන. නීති විරෝධි ගබ්සා කර ගැනීමකට ගොස් අධික රුධිරවහනයට ලක් වී කාන්තාවන් රෝහල් ගත කෙරෙන අවස්ථා කොතෙකුත් තිබේ. එවැනි කතකට රෝහලේ දී නොයෙකුත් මදිපුංචිකම්වලට ලක්වන්නට සිදුවනවා පමණක් නොව නීතිය ද ක්‍රියාත්මක වනු ඇත්තේ ඇයට අවාසි සහගත ආකාරයෙනි.
විවාහ ජීවිතයේදී වුව පිළිසිද ගැනෙන අනවශ්‍ය යැයි සිතන කළලයක් ඉවත්කර ගැනීමට කතකට අයිතියක් තිබිය යුතුය. තම සිරුරේ අයිතිය ඇයට ඇති බැවිනි. එහෙත් එහෙත් අප සමාජයේ පසුවන පසුගාමි තත්ත්වය අනුව එවැනි දියුණු චින්තනයකින් යුතුව මේ ප්රශ්නය දෙස බලනු ඇතැයි කෙසේවත් අපේක්ෂා කරන්නට පුලුවන් කමක් නැත.
මේ දිනවල ඇති වී තිබෙන කතාබහට හේතුව එවැනි පුළුල් පරාසයක ගබ්සා අයිතියක් කාන්තාවනට ලබා දීමට යාම නොවේ. මෙහිදී යෝජනා වී ඇත්තේ එකක්, දූෂණයකට ලක්වීමකදී කාන්තාවක් ගැබිනියක බවට පත් වූ විට එම දරුගැබ ඉවත් කරගතයුතු යයි අදාළ කාන්තාව සිතන්නේ නම් හා විශේෂඥ වෛද්‍යවරුන් දෙදෙනෙකු නිර්දේශ කරන්නේ නම් ගබ්සාවට අවසර දීමයි. අනෙක කාන්තාවකගේ කුසෙහි මාරාන්තික ලෙස විකෘත කළලයක් පිලිසිඳ ගෙන ඇති විටදීය. එහිදී ද එකී කළලය ඉවත් කිරීමට කාන්තාව කැමැති වියයුතු සේම විශේෂඥ වෛද්‍යවරුන් දෙදෙනකු එය නිර්දේශ කළ යුතුය.
බලහත්කාර කමකින් දූෂණයකින් ගබ්ගන්නා කතකට දරුගැබ කෙරෙහි ඇති වන හැඟීම මටහා ගැනීම ආගමික හෝ අන්තවාදී සිතුවිලිවලින් හෝ ඊනියා සදාචාරවාදී චින්තනයෙන් කල හැකි දෙයක් නොවේ. එවැනි අවස්ථාවක පියෙක් අහිමි දරුවකු බිහිකරන කාන්තාව මුහුණ දෙන සමාජ අවමානය, එසේ උපදින දරුවා කෙරෙහි සමාජය දක්වන ආකල්පය, මවට දරුවා කෙරෙහි ඇතිවිය හැකි හැඟීම යන දේ කල්පනා කළ යුතුවන්නේ මවගේ දෘෂ්ටිකෝනයෙනි. එනම් මා එවැනි තත්ත්වයකට මුහුණ දුන්නේ නම්, එවැනි දරුගැබක් පිළිබඳ මා සිතනු ඇත්තේ කෙසේද කියා අප කල්පනා කළ යුතුය. විකෘති දරුවෙකු උපදින්නට නියමිත බව දැන දැනත් දරුගැබ රැකගැනීමට කතකට බලකරන්නට ශිෂ්ටසම්පන්න සමාජයකට අයිතියක් නැත. එසේ කිසිවකු හෝ බලකරන්නේ නම් කතුනට එපා වී බිහිකරන දරුවන් රැකබලා ගැනීමට, පෝෂණය කිරීමට ඔවුන් ඉදිරිපත් විය යුතුය. අද ගබ්සාවට එරෙහිව අවි ඔසවන්නන් එවැන්නකට ඉදිරිපත්වනු ඇතැයි කෙසේවත් බලාපොරොත්තු වන්නට හැකියාවක් නැත.
අවස්ථා තුනක් යටතේ පිළිසි ගත් දරු ගැබ් ගබ්සා කළහැකිවන පරිදි නීතිය ලිහිල් කරන්නට 1995 දී පමණ එවකට ආණ්ඩුව උත්සාහගත් ආකාරය මෙහිදී මතක් කළ යුතුය. එහි දී සාකච්ඡාවූයේ දූෂණයට ලක්වී ගැබ්ගත් අයට, සමීපතම ඥාතියෙකු අතින් ගැබ්ගත් විට සහ විකෘත කළලයක් ඇති විට ද්‍යෛ අධීක්ෂණයක් යටතේ ගබ්සා කිරීමට අවසර දියයුතු බවය. ඒ අවස්ථාවේදී කතෝලික පල්ලිය, මුස්ලිම් දේවස්ථානය සහ ඒ ඒ ආගම්වලට අයත් මහජන නියෝජිතයෝද ඊට විරුද්ධ වූහ. ප්‍රතිඵලය වූයේ ඒ සාකච්ඡාව එතැනින් අවසන් වීමය.
කාන්තාවක් අකමැති විටකදී සහ විකෘති දරුවකු බිහිවීමට නියමිත විටකදී බලහත්කාරීව දරුගැබ් රැකගැනීමට කාන්තාවනට බලකිරීමට හෝ තමන්ට බරක් වන කළලයක් වෛද්‍ය නිර්දේශ මත හෝ ඉවත් කිරීමට කතුනට ඇති අයිතිය උල්ලංඝනය කරන්නට කවර ආගමකට හෝ ඇයිතියක් සදාචාරයක් ඇතැයි පිළිගත නොහැකිය. ගබ්සා කිරීමත් දෙවියන්ගේ කැමැත්තත් අතර ගැටුමක් ඇත්නම් පූජ්‍ය පක්ෂය කළයුතු වන්නේ නීති පැනවීමට විරුද්ධ වීම නොවේ. දූෂණයට ලක් වූ කතුනට දරුගැබ් නොදෙන ලෙසත්, කතුනට මාරාන්තික විකෘතිතා ඇති දරුගැබ් ලබා නොදෙන ලෙසත් දෙවියන්ගෙන් ඉල්ලා සිටීමය. දෙවියන් ඒ ඉල්ලීම ඉටු කරන්නේ නම් ප්‍රශ්නට ගොඩින්ම විසඳාගත හැකිය.
බණ්ඩාර උඩුරාවණ
