යහපාලන ආදර්ශය – භාතිය බරුකන්ද
යහපාලන ආණ්ඩුව මේ ආකාරයෙන් ක්‍රියාත්මක වෙද් දී මහින්ද රාජපක්ෂ මහතා ප්රමුඛ කල්ලිය සුපුරුදු ක්‍රමවේදය අනුගමනය කිරීම ජනතාවගේ හාස්‍යයට ලක්වෙලා තිබෙනවා. ඒ ජනතාව වීදියට කැඳවමින් ආණ්ඩුව සහ නිලධාරීන් බිය වැද්දීමේ සුපුරුදු ප්රදර්ශනකාමී ක්‍රිඩාවේ නියැළීමයි. මේ සඳහා දැක්විය හැකි ආසන්නම උදාහරණය වන්නේ පසුගියදා හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාගේ ආර්යාව ශිරන්ති රාජපක්ෂ මහත්මිය හා සම්බන්ධ සිදුවීමයි. ශිරන්ති රාජපක්ෂ මහත්මිය රහස් පොලිස් මූලස්ථානයට යන විට විවිධ පළාත්වලින් කොළඹට කැඳවාගෙන පැමිණ සිටි පිරිස නැටූ නාඩගම හා කළ ප්‍රකාශ මේ වන විට සමාජ මාධ්‍ය තුළ දැඩි විවේචනයට ලක්ව තිබෙන ආකාරයෙන්ම මේ තත්ත්වය පැහැදිලි කරගත හැකියි.
‘යහපාලනය කියන්නේ මේකද ?’ මේ පසුගිය කාලය පුරාම මුහුණු පොතේ ඇතුළු බොහෝ තැන්වල නිතර නිතර උපුටා දැක්වූ කතාවක්. මෙහෙම අහන කොට ඒ ස්වරයේ තිබුණේ සරදම් බවක්. කතාවේ අරමුණ වුණෙත් යහපාලන ආණ්ඩුව සරදමට ලක් කිරීම පමණයි. ඒ නිසා ‘යහපාලනය කියන්නේ මේකද ?’ කියන වචන තුන මහින්දවාදී මුහුණුපොත් පිටු අතර වේගයෙන් පැතිරිලා ගියා.
ඒ එදා. ඒත් අද යහපාලන ආණ්ඩුව සරදමට ලක් කිරීමට මහින්දවාදීන් විසින් නිර්මාණය කළ මේ කතාව අද මහින්දවාදීන්ටම බූමරංගයක් වී තිබෙනවා. ඒ ‘යහපාලනය කියන්නේ මේකයි’ කියලා මෛත්‍රී-රනිල් ආණ්ඩුව විසින් ශ්‍රී ලංකාවට පමණක් නොවෙයි ලෝකයටම පෙන්වා දෙමින් සිටින නිසා.
ආරම්භයේදීම දුන්න ආදර්ශය
මෛත්‍රී-රනිල් හවුල් ආණ්ඩුව බිහිකර ගැනීම සඳහා අද ආණ්ඩුවේ ප්‍රධාන විවේචකයන් බවට පත්ව සිටින ජනතා විමුක්ති පෙරමුණේ සිට විශාල පිරිසක් දැඩි කැපවීමක් කළා. දැවැන්ත රාජ්‍ය මර්දනයක්, රාජ්‍ය සම්පත් අවභාවිත කිරීමක් ඇතුළු දේශපාලන කුමන්ත්‍රණ රැසක් තීරණාත්මකව පරාජය කරලා යහපාලන ආණ්ඩුව පිහිටුවා ගත්තේ පරණ පාරෙම යන්න නොවෙයි කියලා යහපාලන ආණ්ඩුවේ ප්‍රබලයෝ වාගේම යහපාලනේට ඡන්දය දුන්න ලක්ෂ 62කටත් අධික මෙරට ජනතාවත් දැඩිව විශ්වාස කළා. ඒ නිසා තමයි 1994 ඉඳන් තමන්ගේ ආණ්ඩුවක් නැතිව අවුරුදු 21ක් අපා දුක් වින්ද එක්සත් ජාතික පාක්ෂිකයෝ අදත් ආණ්ඩුවේ රස්සා, ළමයින්ට ඉස්කෝල, කොන්ත්‍රාත්, දේශපාලන බලපෑම් නොපතමින් ආණ්ඩුවත් එක්ක එකට ඉන්නේ. මේක ලංකාව වාගේ පූර්ණ දේශපාලනීකරණයට ලක් වුණ, දේශපාලන ඇලීම් බැඳීම් උපරිම වශයෙන් ක්‍රියාත්මක වන රටක විරල සිදුවීමක්. ඒ තමයි යහපාලන ජනතාව මුලින්ම දුන්න යහපාලන ආදර්ශය. යහපාලනය වෙනුවෙන් ජනතාව දුන්න මේ ආදර්ශය ආරම්භයේදීම යහපාලන නායකත්වයත් නිර්ලෝභීව ලබා දුන්නා. ඒ පක්ෂයට කළ කැප කිරීම්, දායකත්වය ගැන නොසිතා නීතියේ ආධිපත්‍ය ක්‍රියාත්මක කිරීමට අවකාශය සලසාදීම මගින්.
පාට පක්ෂ නැතිව නීතිය
යහපාලන ආණ්ඩුව පත් වූ අලූතම එජාපයේ පාලිත තෙවරප්පෙරුම මන්ත්‍රීවරයා කිසියම් කරුණක් හේතුවෙන් තමන්ගේ බලප්‍රදේශයේ විපක්ෂයේ ප්‍රාදේශීය සභා මන්ත්‍රීවරයෙක්ව ප්‍රසිද්ධියේ දණ ගැස්සුවා. යහපාලන ආණ්ඩුව බිහි කරලා ඒකේ උණුසුම යාමත් ඉස්සර පාලිත කළ මේ අවපාලන ක්‍රියාවට ජනමාධ්‍ය වගේම ජනතාව අතරිනුත් දැවැන්ත විරෝධයක් එල්ල වුණා. අවසානයේ ආණ්ඩුවේ මන්ත්‍රීවරයෙකුට එරෙහිව අකුරටම නීතිය ක්‍රියාත්මක වුණා. පාලිත තෙවරප්පෙරුම නතර වුණේ වැලිකඩ බන්ධනාගාරේ. අද යහපාලනිකයන් කියන විදිහට යහපාලනේ ආරම්භ වුණේම එහෙමයි.
ඔබට අවශ්‍ය නම්, මතක නම් මේ සිදුවීම මහින්ද රාජපක්ෂ යුගයට ඡේදනය කළ හැකියි. එතකොට දකින දේවල් මොනවාද ? මර්වින් සිල්වා දෙනෝදාහක් ජනතාව ඉදිරිපිට, ජනමාධ්‍යවලට ආවරණ අවස්ථාව දෙමින් සමෘද්ධි නියාමකවරයෙක් ගස් බැන්ඳා. මේ සිදුවීමටත් ජනතාව අතරින්, ජනමාධ්‍යවලින් දැවැන්ත විරෝධයක් එල්ල වුණා. ඒත් අවසානයේ මේ ගස් බැඳීමේ නාටකය නිමා වුණේ ‘මම ම ගස් බැඳ ගත්තා’ කියලා සමෘද්ධි නියාමකවරයා කියන නිර්ලජ්ජිත තත්ත්වයට පත්වීමෙන්. අපි මර්වින් සිල්වා පස්සෙම තවත් ඉදිරියට ගියොත්, මර්වින් සිල්වා ජාතික රූපවාහිනිය ඇතුළට කඩා පැනලා ප්‍රසිද්ධියේ එහි සේවකයන්ට පහර දුන්නා. අවසානයේ මේ නාටකය අවසන් වුණේ මර්වින් සිල්වා රූපවාහිනී සංස්ථාවත් අයත් ජනමාධ්‍ය නියෝජ්‍ය ඇමැති පදවියට නම් කිරීම සමඟයි.
එදා මෙවැනි සාපරාධි සිදුවීම් සිය දහස් ගණනක් සිදු වුණා. ඒත් නීතිය ක්‍රියාත්මක වුණේ නැහැ. ඔවුන්ට එරෙහිව පක්ෂය තුළින්වත් විනය ක්‍රියාමාර්ග ගැනීමක් සිදු වුණේ නැහැ. ඒ යුගයේ දේශපාලනඥයන්ගේ සිට රාජ්‍ය නිලධාරීන් දක්වා දැඩිව එල්බ ගෙන සිටි මතය වුණේ ‘ ඕනෑම ආකාරයකින් ආණ්ඩුවේ දේශපාලන අවශ්‍යතා ඉටු කළොත් ඉහළම තැනින් ආශිර්වාදය ලැබෙන බව සහතිකයි’ යන්නයි. ඒ නිසා අවස්ථාවාදීන් වළ ඉහගෙනම කෑ ආකාරය අපට දකින්න පුළුවන් වුණා. මැතිවරණවල දී ආණ්ඩුවේ අවශ්‍යතා සඳහා ඉවක් බවක් නැතිව සියලුම ආකාරයේ රාජ්‍ය සම්පත් අවභාවිත කිරීමට ඉහළම නිලධාරීන්ගේ ආශිර්වාදය ලැබුණේ මේ නිසයි. ආණ්ඩුවට අවශ්‍ය ඕනෑම ආකාරයේ බොරුවක් යළි යළි සමාජගත කරන්න රාජ්‍ය මාධ්‍ය පෙළඹුණේ ඒ නිසයි. මහින්ද රාජපක්ෂ යුගයේ ප්‍රාදේශීය සභා දේශපාලනඥයන්ගේ සිට ඉහළම අන්තය දක්වා නීතිය අතට ගැනීමක් දැකිය හැකි වුණේ මේ ‘විධායකයේ මුක්තිය’ ඉහළ සිට පහළටම අසීමාන්තිකව ක්‍රියාත්මක වුණ නිසයි. රැකවරණය සැලසෙන බව තහවුරු වූ නිසයි. යහපාලන ආණ්ඩුව පටන් ගැන්මේ සිටම පරණ පාර වසා දැම්මා. තෘණමූල මට්ටමේ සිට යහපාලන භාවිතය ක්‍රියාත්මක වන්නේ ආරම්භයේදීම දුන්න ඒ ප්‍රබල ආදර්ශය නිසයි.
බැඳියාවන්ටත් යහපාලනයේ තැනක් නෑ
යහපාලන ආණ්ඩුව බලයට පත්වෙලා මාස කිහිපයකින් ආණ්ඩුව බලවත් පරීක්ෂණයකට මුහුණ දුන්නා. ඒ කුප්‍රකට ‘ඇවන්ගාඩ් සිද්ධියයි. මහින්ද රාජපක්ෂ යුගයේ ව්‍යාපාරික ලෝකය, පරිපාලනය හා දේශපාලනය අතර තිබුණු අසම්මත (මජර බැඳීම මනාව ප්‍රකට කළ සිද්ධියක් වුණ ඇවන්ගාඩ් සිද්ධියට බෙල්ල දෙන්න සිද්ධ වුණේ යහපාලන ආණ්ඩුවට) තිලක් මාරපන මහතා ඇමැති පදවියට පත්වීමට පෙර ඇවන්ගාඩ් සමාගම සමඟ පැවැති බැඳියාවන් (සමාගම වෙනුවෙන් නීතිඥයකු ලෙස කටයුතු කිරීම යහපාලන ආණ්ඩුව යටතේ සමාගම සම්බන්ධයෙන් සිදුවන පරීක්ෂණවලට බාධාවක් වන බවට (පොලිසිය මාරපන මහතා යටතේ තිබීම) එල්ල වූ විවේචන හේතුවෙන් යහපාලන ආණ්ඩුවේ මහජන ආරක්ෂාව, නීතිය හා සාමය පිළිබඳ ඇමැති තිලක් මාරපන මහතා අවසානයේ ඉල්ලා අස්වුණා. යහපාලන ආණ්ඩුව යළිත් වරක් ‘යහපාලනය කියන්නේ මේක තමයි’ කියලා ඔප්පු කළා.
තිලක් මාරපන මහතාගෙන් පසුව ‘යහපාලනය වෙනුවෙන් දංගෙඩියට ගියේ ආණ්ඩුවේ ප්‍රබලම ඇමැතිවරයෙක් වුණ රවි කරුණානායක මහතායි. බැඳුම්කර කොමිෂම හමුවේ ප්‍රකාශ වූ එක් සාක්ෂියක් මත පමණක් පදනම් වෙමින් රවි කරුණානායක මහතාට ඇමැති පදවියෙන් ඉල්ලා අස්වීමට සිදු වුණා. මෙහිදීත් අවධාරණය කළ යුතු වන්නේ රවි කරුණානායක මහතා සම්බන්ධයෙන් ද සිදු වුණේ ‘බැඳියාවන් අතර ගැටුමක් ’ පමණක් බවයි. එසේ නොමැතිව අද නාමල් රාජපක්ෂලා කියන ආකාරයට බැඳුම්කර කොමිෂම ඉදිරියේ රවි කරුණානායක මහතා කිසිදු විටෙක වැරදිකරුවෙක් වුණේ නැහැ. (කොමිෂමට එවැනි බලයක් ද නැහැ)
මේ සිදුවීම් ද්විත්වය ඔබට පසුගිය ආණ්ඩුව සමයට සමපාත කිරීමට හැකියාවක් තිබෙනවා නම් දැකිය හැකි වන්නේ කුමක්ද ? ඒ දූෂිතයන් නීතිය හමුවට පමුණුවනු වෙනුවට ඔවුන් තම දේශපාලන අවශ්‍යතා සඳහා ඉතා පහසුවෙන් යොදා ගැනීමේ දේශපාලන සංස්කෘතියකි. උදාහරණ වශයෙන් එම කාල සීමාව තුළ එක්සත් ජාතික පක්ෂයේ සිට ආණ්ඩුවට එක් වූ බොහෝ දෙනකු විවිධාකාරයේ චෝදනාවලට ලක් වූවන් බව රහසක් නොවෙයි.දූෂිතයන්ට, හොරුන්ට එරෙහිව නීතිය ක්‍රියාත්මක කරනු වෙනුවට මහින්ද රාජපක්ෂ ආණ්ඩුව කළේ එකී චෝදනා සම්බන්ධ නඩු ඉල්ලා අස්කර ගැනීමට නීතිපතිවරයාට බලකිරීමයි. ඔවුන්ව වරදාන දෙමින් බල අවශ්‍යතා සඳහා අසීමාන්තිකව යොදා ගැනීමයි.
මෙහි තවත් භාවිතයක් වූයේ ‘ෆයිල් පෙන්වමින්’දූෂිත ඇමැතිවරුන් හා නිලධාරීන් බිය වද්දමින් තම දේශපාලන අවශ්‍යතා සඳහා යොදා ගැනීමයි. විධායකය තුළින් නිසැකව ලැබුණු රැකවරණය නිසා අවම වශයෙන් අල්ලස් කොමිෂම හමුවේ විභාග වූ පරීක්ෂණයකට පවා සාක්ෂි දීමට මහින්ද රාජපක්ෂ ආණ්ඩුවේ කිසිවකු ඉදිරිපත් වූණේ නැහැ. උදාහරණයක් ලෙස ඇමැති රෝහිත අබේගුණවර්ධන දැක්විය හැකියි. අයථා වත්කම් උපයා ගැනීම් පිළිබඳ විමර්ශන හමුවේ සාක්ෂි ලබාදීමට පැමිණෙන ලෙස එදා ඇමැති රෝහිත අබේගුණවර්ධන මහතාට කොමිෂම දැනුම් දුන් අවස්ථාවේ ඇමැතිවරයා කළේ ඉතාම සටකපට ආකාරයෙන් කොමිෂම මග හැර යාම සඳහා ‘තමාට නයෙක් දෂ්ඨ කළ බව’ කියා පෑමයි. එදා පැවැති දේශපාලන බලපෑම් හමුවේ ඉන් එහාට එක අඩියක් තැබීමට බලධාරීන්ට කිසිදු හැකියාවක් එදා තිබුණේ නැහැ.
විධායකයේ ආරක්ෂාව සහ ආශිර්වාදය සහිතව මෙවැනි සිදුවීම් එකපිට එක පෙළගැසුණු තත්ත්වය හමුවේ පසුගිය ආණ්ඩුව සමයේ මහින්ද රාජපක්ෂ ආණ්ඩුවට අවම සම්බන්ධයක් හෝ පැවැති කිසිවකු අධිකරණය හමුවේ හෝ කොමිෂමක් හමුවේ අවම වශයෙන් සාක්ෂි ලබාදීමට පවා පැමිණියේ නැහැ. ඒ විධායකයේ මුක්තියේ රැස් වළල්ල ඔවුන් සියලූ දෙනාටම රැකවරණය සැලසූ නිසයි. යහපාලන ආණ්ඩුව විසින් දෙවසරක් තුළ දැඩි පරිශ්‍රමයක් හා දේශපාලන කැප කිරීමක් කරමින් වෙනස් කළේ මේ දේශපාලන සංස්කෘතියයි.
එක්ව පීනමු : බැරි නම් ගිලී මැරෙමු
දූෂිතයන්, මැරයන් තමන් යටතට ගෙන දේශපාලන දුරාචාරයේ යොදවා ගන්නා දේශපාලන සංස්කෘතිය යහපාලන ආණ්ඩුව විසින් වෙනස් කළ ආකාරයෙන්ම ‘අඟේ ඉඳන් කන කන’ දේශපාලන සංස්කෘතිය වෙනස් කිරීමට දැඩි තීරණයක් ගෙන තිබීම ආණ්ඩුවේ දේශපාලන පැවැත්මට මෙන්ම යහපාලන ආණ්ඩුව බලයට පත් කළ ජනතාවගේ ද සතුට ට හේතු වී තිබෙනවා.
මෙහි දී අධිකරණ හා බුද්ධ ශාසන ඇමැති විජේදාස රාජපක්ෂ මහතා සම්බන්ධයෙන් එක්සත් ජාතික පක්ෂය ගත් යහපාලන තීන්දුව සුවිශේෂ එකක් බව කිව හැකියි. ඊට හේතුව වන්නේ යහපාලන ආණ්ඩුව බලයට පත් කිරීමට ජීවය දුන් වර්ණවත් පොරොන්දුවක් වූ පසුගිය ආණ්ඩුවේ දුෂිතයන් හා ඝාතකයන්ට එරෙහිව නීතිය ක්‍රියාත්මක කිරීමට දැවැන්ත බාධාවක් ලෙස අධිකරණ ඇමැති විජේදාස රාජපක්ෂ මහතා ක්‍රියා කළ බවට යහපාලන බලවේග තරයේ විශ්වාස කිරීමයි. විශේෂයෙන් යහපාලන ආණ්ඩුවේ මුර බල්ලන් මෙන් ක්‍රියාකරන ‘පුරවැසි බලය’ ඇතුළු යහපාලනයේ මතවාදී බලවේග පසුගිය කාලය පුරාම විජේදාස රාජපක්ෂ මහතාගේ ක්‍රියාකාරකම් දැඩිව විවේචනය කළා. ඒ පටු දේශපාලන වුවමනා එපාකම් නිසා නොව ඇමැතිවරයාගේ ක්‍රියාමාර්ග හා ප්‍රකාශ යහපාලන අභිලාෂයන්ට සපුරා පටහැනි ඒවා වුණ නිසයි.
පුරවැසි සමාජය වෙතින් විජේදාස රාජපක්ෂ මහතාට එරෙහිව දැවැන්ත විවේචනයක් එල්ල වෙද් දී ආණ්ඩුව තුළින් (එජාපයෙන් තවත් බලවත් විවේචනයක්) එල්ල වුණේ විජේදාස රාජපක්ෂ මහතා ‘කැබිනට් සාමුහික වගකීම’ නොතකා හරිමින් යහපාලන ආණ්ඩුවේ අභිලාෂයන්ට එරෙහි ගමනක් යන බව කියමිනුයි. විශේෂයෙන් පසුගිය ආණ්ඩුව සමයේ සිදු වූ බව කියන දැවැන්ත දූෂණ චෝදනාවන්ට එරෙහි අධිකරණමය කටයුතු (නීතිපතිවරයා ඇතුළු නිලධාරීන්ගේ) දිගින් දිගටම ප්‍රමාද වීම, හම්බන්තොට වරාය ගිවිසුම විවේචනය කරමින් කැබිනට් සාමුහික වගකීම බිඳ දැමීම වැනි ප්‍රබල චෝදනා එහි දී එල්ල වුණා. මෙහි දී වැඩිදුර කරුණු සඳහා අප විසින් අවධාරණය කරගත යුතු වන්නේ හිටපු යුද හමුදාපති, ෆීල්ඩ් මාෂල් සරත් ෆොන්සේකා මහතාට එරෙහිව විජේදාස රාජපක්ෂ මහතා කාලයක් පුරා දැවැන්ත විරෝධයක් ද ගෙන යමින් ඒ මහතාව දැඩි අපහසුතාවට පත් කළ බවයි. (කැබිනට් ඇමැතිවරයකු විසින් තවත් කැබිනට් ඇමැතිවරයකු විවේචනය කිරීම ද කැබිනට් සාමුහික වගකීම බිඳ දැමීමකි) අවසානයේ යහපාලන පාර්ලිමේන්තුවට දෙවසරක් සම්පූර්ණ වන විට දූෂිතයන් රැකීමට හෝ අඟේ සිට කන කෑමට කිසිදු ඉඩක් යහපාලනය තුළ නැති බව ජනතාවට තහවුරු කරමින් එජාපය තවත් දැවැන්ත දේශපාලන අභියෝගයක් භාර ගත්තා.
මෙවැනි අභියෝගාත්මක තත්ත්වයක් ලංකාවේ මෑත කාලීන දේශපාලන භාවිතය තුළ නැහැ. ඒ වෙනුවට අපි දැක්කේ තමන්ගේ දේශපාලන අභිලාෂයන්ට හානියක් නොවනතාක් කල් ඕනෑම කැබිනට් සගයෙක් බිල්ලට ගත හැකි අවපාලන භාවිතයක්. මේ සඳහා පසුගිය ආණ්ඩුවෙන් උදාහරණ රැසක් දැක්විය හැකියි. ඒ අතර අපූරුම උදාහරණය වන්නේ විමල් වීරවංශ මහතා. ආර්ථික ඝාතකයන් ගැන ආණ්ඩුව තුළ සිටිමින් ම ආණ්ඩුව විවේචනය කරමින්, කැබිනට් රැස්වීම් වර්ජනය කරමින් මහින්ද රාජපක්ෂ යුගයේ දී විමල් වීරවංශ මහතා රඟපෑ නාටකය කිසිවකුට අමතක නැහැ. යහපාලනය යටතේ මේ ආකාරයේ නරි නාටක නැටීමට තිබෙන අවස්ථාවට තිත තැබීම ජනතාවගේ ගෞරවයට හේතු වන්නේ අඟේ ඉඳන් කන කන මෙවැනි දේශපාලන අවස්ථාවාදීන් යහපාලනයේ මූලික හරයන් පමණක් නොව යහපාලන අභිලාෂයන් පවා වනසා දමන නිසයි. දැන් ජනතාව බලා සිටින්නේ එජාපය දුන්න යහපාලන ආදර්ශය ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාත් ශ්රීලනිපය සම්බන්ධයෙන් දෙයිද කියලයි.
සංදර්ශන නැති යුගයක්
මේ සමඟ ජනතාව අතර පවතින තවත් මතයක් ගැන අපගේ අවධානය යොමු විය යුතුයි. ඒ ආණ්ඩුවේ ප්‍රබලයන් කිසිදු බියකින් හෝ චකිතයකින් තොරව තමන්ට එරෙහි පරීක්ෂණවලට සහාය දැක්වීමට දක්වන සූදානමයි. මේ දක්වා ආණ්ඩුවේ ඇමැතිවරුන් සම්බන්ධයෙන් පැවැති සෑම පරීක්ෂණයකදීම අප දැක්කේ රාජ්‍ය බලය හෝ මාධ්‍ය බලය අවභාවිත කරමින් තමන්ට පක්ෂපාතී ව්‍යාජ ජනමතයක් නිර්මාණය කර ගැනීමට කිසිදු ඇමැතිවරයෙක් පියවර නොගත් බවයි. විශේෂයෙන් රවි කරුණානායක මහතාගේ සිදුවීම මේ සඳහා පහසු උදාහරණයක් ලෙස දැක්විය හැකියි. ආණ්ඩු බලය තිබියදීත් කොමිෂම වටලමින් ව්‍යාජ ජන බලයක් ප්‍රදර්ශනය කිරීමේ හැකියාවක් රවි කරුණානායක මහතාට තිබුණත් ඔහු සුපුරුදු මහත්මා ලීලාවෙන් කොමිෂම හමුවට ගියා.
යහපාලන ආණ්ඩුව මේ ආකාරයෙන් ක්‍රියාත්මක වෙද් දී මහින්ද රාජපක්ෂ මහතා ප්රමුඛ කල්ලිය සුපුරුදු ක්‍රමවේදය අනුගමනය කිරීම ජනතාවගේ හාස්‍යයට ලක්වෙලා තිබෙනවා. ඒ ජනතාව වීදියට කැඳවමින් ආණ්ඩුව සහ නිලධාරීන් බිය වැද්දීමේ සුපුරුදු ප්රදර්ශනකාමී ක්‍රිඩාවේ නියැළීමයි. මේ සඳහා දැක්විය හැකි ආසන්නම උදාහරණය වන්නේ පසුගියදා හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාගේ ආර්යාව ශිරන්ති රාජපක්ෂ මහත්මිය හා සම්බන්ධ සිදුවීමයි. ශිරන්ති රාජපක්ෂ මහත්මිය රහස් පොලිස් මූලස්ථානයට යන විට විවිධ පළාත්වලින් කොළඹට කැඳවාගෙන පැමිණ සිටි පිරිස නැටූ නාඩගම හා කළ ප්‍රකාශ මේ වන විට සමාජ මාධ්‍ය තුළ දැඩි විවේචනයට ලක්ව තිබෙන ආකාරයෙන්ම මේ තත්ත්වය පැහැදිලි කරගත හැකියි. මෙවැනිම ප්රදර්ශනකාමී තත්ත්වයක් අපි පසුගිය කාලය පුරාම, විශේෂයෙන් රාජපක්ෂවරුන් සම්බන්ධයෙන් දැක්කා.
පසුගිය කාලය පුරාම දිගින් දිගටම සිදු වූ මේ සංදර්ශන දකින ජනතාව කියන්නේ තමන්ට එරෙහි චෝදනාවලට නොබියව මුහුණදීමටවත්, අවම වශයෙන් සාක්ෂියක් ලබාදීමටවත් හැකියාවක් පසුගිය ආණ්ඩුවේ ප්රබලයන්ට නැත්තේ කුමක් නිසාද යන්නයි. එහෙත් මේ ගැන ගැඹුරින් විමසා බලන විට පෙනෙන්නේ කිසිදා අහිමි වෙතැයි නොසිතූ බලය අහිමි වීම සමඟ, සඳළුතලයෙන් බිමට වැටීම සමඟ ඇති වූ තිගැස්ම සහ භීතිය මේ සඳහා මූලික හේතුව වී ඇති බවයි.
මෙතැනින් කොතැනටද ?
යහපාලනයේ ගමනට වැටී තිබූ අදිසි තිරිංග ක්‍රමිකව ඉවත් වීමෙන් පසු ජනතාව හමුවේ පවතින බලවත් ප්රශ්නය වන්නේ ‘යහපාලන ආණ්ඩුව මෙතැනින් කොතැනටද ?’ යන්නයි. මෙහි දී ප්‍රථමයෙන් සඳහන් කළ යුතු වන්නේ ජනතාව යහපාලන ආණ්ඩුවෙන් දෙයාකාරයක ක්රියාකාරීත්වයක් අපේක්ෂා කරන බවයි. ඒ ආර්ථික සංවර්ධනය සහ දේශපාලන ප්‍රතිසංස්කරණයි. ආර්ථික සංවර්ධනය ප්රමුඛ අපේක්ෂාව වන්නේ අඩු ආදායම්ලාභීන්ගේ සහ වානිජ ප්රජාවෙයි. ඒ වගේම තරුණයන් රැකියා අවස්ථා ඇතුළු තමන්ගේ අනාගතය වඩාත් සුරක්ෂිත කරන ඵලදායී වැඩපිළිවෙළක් අපේක්ෂා කරනවා. දේශපාලන ප්‍රතිසංස්කරණ වශයෙන් සැලකිය හැකි නව ව්‍යවස්ථා සම්මත කර ගැනීම, බලය බෙදීම වැනි දේ මධ්‍යම පාන්තික අපේක්ෂා වශයෙන් සැලකිය හැකියි. මේ අතර පසුගිය ආණ්ඩුවේ දූෂිතයන්, ඝාතකයන් ඇල්ලීම ආණ්ඩුවේ දේශපාලන අනාගතය හා ඍජුව සම්බන්ධයි. යහපාලන ආණ්ඩුවේ අනාගතය මේ කුලුනු ත්‍රිත්වය තෘප්තිමත් කිරීම මත පමණක් රඳා පවතින බව නම් පැහැදිලියි. යහපාලන ආණ්ඩුවේ ඊයේ සහ අද ගැන විමසන විට හෙට අඳුරු නැති බව නම් පැහැදිලියි. මේ තත්ත්වය තුළ යහපාලනිකයන් අද අභිමානයෙන් කියන්නේ ‘ඔව් යහපාලනය කියන්නේ මේකට තමයි’ කියලයි.

