වෛද්‍ය සංගමය මරාන්තික විරෝධය පෑ ‘සුවසැරිය‘ ගිලන් රථ සේවය රෝගීන් 32,839ක් බේරාගනී .

ඉතා අනතුරුදායක යැයි ද ගිලන් රථ තුළම රෝගීන් මිය යා හැකියැයි ද කියමින් රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය මාරාන්තික විරෝධය පෑ ‘සුවසැරිය‘ ගිලන්රථ සේවය මගින් සිය ප්‍රථම වසරේදී රෝගීන් 32,839 දෙනකු ගේ ජීවිත බේරාගැනීමට සහය වී ඇති බව හෙළිදරව් වෙයි. දැනට බස්නාහිර හා දකුණු පළාත්වල පමණක් ක්‍රියාත්මක වන මෙම සේවය මගින් මේ වනවිට දිනකට රෝගීන් 130ක් 135ක් පමණ රෝගීන් පිරිසකට සේවය ලබා දෙන අතර සේවා ලබාදීමේ සමාන්‍ය ප්‍රතිචාර කාලය විනාඩි 12.52කි. මෙම තොරතුරු හෙළිදරව් වූයේ ඉන්දියානු ප්‍රධානයක් මගින් ලැබුණු මෙම ගිලන් රථ සේවයට වසරක් පිරීම නිමිත්තෙන් කළ සමාලෝචනයකදීය. ‘සුවසැරිය‘ ගිලන්රථ සේවය පසුගිය වසරේ ජූලි මාසයේ දී ආරම්භ කළ අතර පසුගිය දා එයට වසරක් පිරීම සමරනු ලැබුවේ නියෝජ්‍ය ආමාත්‍ය ආචාර්ය හර්ෂ ද සිල්වා මහතාගේ ප්‍රධානත්වයෙනි.

ඉන්දියානු රජයේ පරිත්‍යාගයක් ලෙස ලැබුණු මෙම ගිලන් රථ සේවයට රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය විරැද්ධ වූයේ එය රෝ ඔත්තු සේවා කටයුත්තක් වියහැකි බවත්, එමගින් මෙරට ජනතාව ගේ වෛද්‍ය දත්ත රෝ ඔත්තු සේවය සතු විය හැකි බවත් කියමිනි. එමෙන්ම මෙම සේවය සදහා ඉන්දියානුවන් පැමිණෙනු ඇතැයි ද කී ඔවුන් පසුව කීවේ කිසිදු ප්‍රමිතියක් නැති මෙම ගිලන්රථ තුළ විදුලිය කාන්දු වී රෝගීන් මියයා හැකි බවයි. මේ සියල්ල සම්පූර්ණ බොරු බව මේ වනවිට ඔප්පු වී හමාරය.

ගිලන්රථ සේවය සඳහා ගිලන් රථ 88ක්  ඉන්දියානු රජයෙන් ලබා දී ඇති අතර එම රථ බස්නාහිර හා දකුණු පළාතේ සේවය සඳහා යොදා ඇත. ගිලන්රථ තුළ රෝගීන් මියගොස් නැති අතර පසුගිය වසරක කාලය ඇතුළත් දරු උපත් නවයක් සිදු වී ඇත. වෛද්‍යවරුන්  ඇතුළු පුහුණු කාර්ය මණ්ඩයලක් සුවසැරිය සඳහා යොදවා ඇත.

මෙම ගිලන්රථ වලින් ගෙනඑන ලෙඩුන් බාර නොගන්න බවට රජයේ වෛද්‍ය නිලධාරින්ගේ සංගමය තර්ජනය කළ ද එම තර්ජනය ක්‍රියාවට නැගීමට හැකි වී නැත.

මෙම ගිලන් රථ සේවය ඉන්දියන් රජයෙන් ලබා ගැනීම සඳහා මුලිකත්වය ගෙන ක්‍රියාත්මක වූයේ නියෝජ්‍ය අමාත්‍ය හර්ෂ ද සිල්වා මහතාය. එයට වසරක් පිරීම නිමිතෙන් පැවති උත්සවයේ දී හර්ෂ ද සිල්වා මහතා කීවේ තවත් ගිලන්රථ 300ක් ලබාගෙන මම සේවය දිවයිනපුරා ව්‍යාප්ත කිරීමට කරයුතු කරන බවයි. මේ සඳහා ගිලන් රථ ලබා දෙන බව ඉන්දීය අගමැති නරේන්ද්‍ර මෝදි මහතා පසුගිය දා ශ්‍රී ලංකාවට පැමිණි අවස්ථාවේ දී පොරොන්දු විය.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *