|

අලුත්කඩේ වැඩේ ලෙ⁣ඩේ …. – සුන්දර නිහතමානි ද මැල්

” ආණ්ඩුව නිතර දෙවේලෙ ඇනගන්න හැටි බලාගෙන ඉන්නකොට දුකයි ලැජ්ජයි තරහයි ” අපේ පුතා කියා සිටියේය .

“ඇත්තටම මේවා නවත්තගන්න විදිහක් මුන්ට කල්පනා වෙන්නෙ නැති හැටි ” .

” අහම්බෙන් ඇමතිවරැ නියෝජ්‍ය ඇමතිවරැ වුණාට උනුත් මනුස්සයොනෙ පුතා ” මම පුතාට කරැණුකාරණා පහදා දුනිමි .

” රට්ටු තමන්ව අඳුරන්නෙ නෑ කියල දන්න නිසා දාන අහිංසක ෂෝනෙ ඔය ”

අප දෙදෙනා මේ කතා කරන්නේ කවර තැනක කවුරැන් විසින් කුමකට කරන ලද්දක් ගැනදැයි බිරිඳ විමසා සිටියාය .

” ඇයි නෝනා.. බදාදා අලුත්කඩේ උසාවිය ඇතුළෙ නඩුවක විත්තිකාරයෙක්ව මැරැවම වෙන කොහේද ඉඳන් මහජන ආරක්ෂක නියෝජ්‍ය ඇමති එතනට දුවගෙන ගිහින් ඉල්ලන් කෑවෙ ” මම බිරිඳට මතක් කර දුනිමි .

” ඔතනට ඔය වෙලාවෙ ගියාම රෑට ටෙලිවිෂන් ප්‍රවෘත්තිවලට පෙන්නන බව දන්න නිසානෙ අහිංසකයා තකහනියක් යන්න ඇත්තෙ ” . ඒ ඇසූ බිරිඳගේ ඇස් කඳුළින් පිරී ගියේය .

” මේක තනිකරම ජනාධිපතිගෙ වැරැද්ද ” ඈ කියා සිටියාය . ” එයාව විතරක් ටෙලිවිෂන් එකේ පෙන්න ගන්නව. මේ අහිංසකයොන්ටත් ටෙලිවිෂන් කෝටාවක් දීල තිබුණ නම් ඔහොම පණ කඩාගෙන ද ගිහින් ආණ්ඩුවෙ ප්‍රතිරෑපෙ විනාශ කරන්නෙ නෑනෙ ”

” ඒකනෙ නෝනා ” මමද කණගාටුවෙන් කීවෙමි . ” අනික ඒ වෙලාවෙ පැත්ත පළාතෙ නොඉඳ දුවන්න ඕන ඇමති ස්වේච්ඡාවෙන්ම එතනට ආවම මාධ්‍යකාරයොන්ටත් තේරෙන්න එපැයි මේ මනුස්සයා ආවෙ ගරැ රඟපෑමකට කියල. එහෙව් ආසාවෙන් ආපු දුප්පතාට සානුකම්පිතව සලකනව මිසක් ජාතික ආරක්ෂාව ගැන අහ අහ රැග් කිරිල්ල හරි කැතයි නේද ? ”

. ” ඒක නේන්නම් ” බිරිඳද වහාම මා සමග එකඟ වූවාය .

” ඒ විතරක්ද … වහාම එතනින් පැනගන්න වාහනේ හොයල ඒක නැති වුණාම ඩ්‍රයිවර්ට නෙවෙයි මහ රජ්ජුරැවන්ට වුණත් ” බූරැවා ” කියල කියවෙනවනෙ. ඒක රටටම ඇහෙන්න ප්‍රචාරය කරල සමාජවාදී ඇමතිවරැ ගැන අපි මවාගෙන හිටපු චිත්ත රෑප විනාශ කිරිල්ල මාධ්‍ය සදාචාරයට එකඟයිද ?

” අපි තිදෙනා ඒ මාතෘකාවට තිත තියා ටික වේලාවක් නිශ්ශබ්දව සිටියෙමු .

” මං එක දෙයක් කියන්නම් ” අවසානයේදී පුතා කියා සිටියේය . ” ඕවමේව කොහොම වුණත් අවුරැදු පනස් නවයක් තිස්සෙ දුක්මහන්සි වෙලා ආණ්ඩුවක් පිහිටුවා ගත්ත කට්ටිය දවස ගානෙ ඇනගත්තත් මේක ලේසියෙන් දාල යයි කියල නම් හිතන්න එපා ” .

” අනේද කියන්නෙ ” බිරිඳද කියා සිටියාය . ” 1987දි තමන්ම පාර්ලිමේන්තුව ඇතුළට ගිහින් බෝම්බයක් ගහල මන්ත්‍රී කෙනෙක්වත් මරපු කට්ටිය 2025 දි පාතාලයෙක් උසාවියකට ඇවිත් තව පාතාලයෙකුට වෙඩි තිබ්බහම සැලෙයි කියල හිතනව නම් ඔහෙලට මැන්ටල් හොඳේ ”

සුන්දර නිහතමානි ද මැල්

Similar Posts

Leave a Reply

Your email address will not be published. Required fields are marked *