| |

ලෝක සහල් සිතියම – ඉකොනොමැට්ටා

රටක ආර්ථිකය සංවෘතව තබා ගැනීමට සාපේක්ෂව විවෘතව තබා ගැනීමේ වාසි ගණනාවක් තිබෙනවා. ඒ වගේම සමහර අවාසිත් තිබෙනවා. රට තුළ නිෂ්පාදනය කර ගැනීම අසීරු දෙයක්නම් කොහොමටත් ආනයනය කරන්න වෙනවා. විශේෂයෙන්ම අත්‍යාවශ්‍ය භාණ්ඩ. උදාහරණයක් විදිහට ලංකාවට ඉන්ධන ආනයනය කරන්නම වෙනවා. එහෙත්, රට තුළ අපහසුවක් නොමැතිව නිෂ්පාදනය කර ගත හැකි සහල් වැනි දෙයක් ආනයනය කළ යුත්තේ ඇයි?
විශේෂයෙන්ම සහල් සම්බන්ධව ලංකාව තුළ ධ්‍රැවීකරණය වූ මත දෙකක් දැකිය හැකියි. පළමු මතය රට සහලින් ස්වයංපෝෂිත කරගත යුතු බවයි. නිදහසින් පසු සෑම ආණ්ඩුවක් මෙන්ම අඩු වැඩි වශයෙන් සිටියේ මේ මතය තුළයි. දෙවන මතය “වී වෙනුවට රෝස” මතයයි. මෙයින් සංකේතාත්මකව අදහස් කෙරෙන්නේ වී වැවීම නවතා වඩා ලාභදායී අපනයන භෝගයක් වැවීම මගින් උපයන විදේශ විණිමය යොදා ගෙන සහල් ආනයනය කළ යුතු බවයි.
පළමු මතය වෙනුවෙන් ලංකාවේ සැලකිය යුතු පිරිසක් පෙනී සිටීම තේරුම් ගන්න අපහසු නැහැ. පොදුවේ වෙළඳපොළ පිළිබඳ විශ්වාසයක් නොමැති වීම, අහේතුක වෙළඳපොළ විරෝධය, සංස්කෘතික සාධක, ආහාර සුරක්ෂිතතාව පිළිබඳ බිය මෙන්ම විශාල පිරිසක් වී ගොවිතැන ආශ්‍රිත රැකියා වල නිරතව සිටීම හා එවැනි පවුල් පසුබිමක් තිබීම මීට හේතු වන බව සිතිය හැකියි. එසේනම්, දෙවන මතයටද සැලකිය යුතු සහයෝගයක් ලැබී තිබෙන්නේ කොහොමද?
මෙහිදී විශේෂයෙන් දැකිය හැකි කරුණක් වන්නේ මේ අයුරින් දෙවන මතය වෙනුවෙන් පෙනී සිටින සියල්ලන් පොදුවේ වෙළඳපොළ නිදහස වෙනුවෙන් පෙනී සිටින අය නොවන බවයි. එවැනි අය ඒ අතරින් කොටසක් පමණයි. මේ මතය වෙනුවෙන් පෙනී සිටීම පසුපස දැකිය හැකි ප්‍රධාන සාධකය වන්නේ එසේ කිරීමෙන් “අඩුවට හාල් කන්න” ලැබෙනු ඇතැයි යන විශ්වාසයයි.
ලංකාවේ “හාල් සිතියම්” දෙස බැලීමෙන් මේ දේශපාලනික බෙදීම තේරුම් ගන්න පුළුවන්. යාපනය හැර උතුරු නැගෙනහිර පළාත්, උතුරු මැද පළාත සහ හම්බන්තොට සහ මොනරාගල දිස්ත්‍රික්ක අයත් වියලි කලාපයේ විශාල කොටසක් වී වවන ප්‍රදේශයි. මෙම දිස්ත්‍රික්ක වල සහල් පරිභෝජනයට සාපේක්ෂව විශාල වී අතිරික්තයක් පවතින අතර එම දිස්ත්‍රික්ක වල බොහෝ පවුල් වල ප්‍රධාන යැපුම් මාර්ගයක් වන්නේ වී වගාවයි. සාපේක්ෂව අඩු වුවත්, කුරුණෑගල සහ මාතලේ දිස්ත්‍රික්ක වලද වී අතිරික්තයක් තිබෙනවා. රටට අඩු මිලට ආනයනික සහල් පැමිණෙනවා කියන්නේ මෙම දිස්ත්‍රික්ක වල ජීවත් වන බොහෝ ගොවි පවුල් වල ප්‍රධාන ආදායම් මාර්ගයක් ඇහිරෙනවා කියන එකයි.
මෙයින් වෙනස්ව බස්නාහිර හා සබරගමු පළාත, ගාල්ල, මාතර, මහනුවර, නුවරඑළිය, පුත්තලම දිස්ත්‍රික්ක ඇතුළත් තෙත් කලාපයේ දැකිය හැක්කේ වෙනස් තත්ත්වයක්. ජනගහණ ඝණත්වය වැඩි එම දිස්ත්‍රික්ක වල සහල් පරිභෝජනය ඉහළ මට්ටමක තිබුණත් ඊට සාපේක්ෂව ප්‍රමාණවත් සහල් නිෂ්පාදනයක් සිදු වන්නේ නැහැ. ඒ ප්‍රදේශ වල ජීවත් වන බොහෝ දෙනෙකුට අවශ්‍ය වන්නේ හැකි අඩුම මිලට සහල් මිල දී ගැනීමටයි. රටේ දේශපාලන බලය තිබෙන්නේද මේ පිරිස අතේ බැවින් “වී වෙනුවට රෝස” ව්‍යාපෘතියට නොමැති දේශපාලන බලයක් “සහලින් ස්වයංපෝෂිත රටක්” ව්‍යාපෘතියට ලැබී තිබෙන්නේ ඇයි කියන එකත් විමසා බැලීම වටින කරුණක්.
මෙහිදී බොහෝ දෙනෙකු පටලවා ගෙන තිබෙන කරුණ වනුයේ “හැකි තරම් අඩුවට භාණ්ඩ මිල දී ගැනීම මහින් ආනයන ආදේශනය” සහ “වෙළඳපොළ විවෘත කිරීම” කියන්නේ වෙනස් කරුණු දෙකක් බවයි. ආනයන සඳහා වෙළඳපොළක් විවෘත කළ පමණින් රටක දේශීය නිෂ්පාදනය නැති වී යන්නේ නැහැ. ඒ වගේම, වෙළඳපොළක් විවෘත කිරීමේ අරමුණ පුළුල් අර්ථයකින් දේශීය නිෂ්පාදන රැක ගැනීමම මිස දේශීය නිෂ්පාදන විනාශ කිරීම නෙමෙයි.
රටක වෙළඳපොළක් විවෘත කර තබා ගැනීමේ ප්‍රධානම වාසිය වනුයේ එවැනි රටකට ලෝක මට්ටමේදී තරඟකාරී ලෙස නිෂ්පාදනය කළ හැකි වීමයි. ලෝකයේ රටවල් අතරින් වඩාත්ම විවෘත ආර්ථික ප්‍රතිපත්ති අනුගමනය කරන රටක් සේ සැලකිය හැකි ඇමරිකා එක්සත් ජනපදය ලෝකයේ විශාලතම ජාතික ආර්ථිකය සතු රටද වන්නේ මේ නිසා. ජාතික ආර්ථිකය ශක්තිමත් කිරීමේ අරමුණින් විවෘත ආර්ථික ප්‍රතිපත්තිය පසෙක ලා ආරක්ෂණවාදී ප්‍රතිපත්ති වෙත පසු බැසීමට ඇමරිකාව නොපැකිළෙන බව මේ දවස් වල ඇමරිකාව දෙස බලා සිටි ඕනෑම කෙනෙකුට පෙනුණු දෙයක්. රටක වෙළඳපොළක් හැකි තරම් බාහිර තරඟයට විවෘත කළ යුතු වුනත්, එසේ කිරීමේ අරමුණ විය යුත්තේ තරඟයට නිරාවරණය කිරීම මගින් කාර්යක්ෂමතාවය වැඩි කර ගැනීම මිස කර්මාන්තය විනාශ කර ගෙන ඉල්ලං කෑම නෙමෙයි.
සියලුම මිනිසුන්ට පොදු “මිනිස් ගුණ” තිබුණත්, එක් එක් මිනිසා වෙනස් මිනිසෙක්. ඒ වගේම, සියලුම වෙළඳපොළ වලට පොදු මූලික ලක්ෂණ ගණනාවක් තිබුණත්, එක් එක් වෙළඳපොළ වෙනස් වෙළඳපොළක්. එක් එක් වෙළඳපොළ සතු අනන්‍ය ලක්ෂණ තිබෙනවා.
නූතන ආර්ථික විද්‍යාවේ මූලික ආකෘතියක් වන ඉල්ලුම්-සැපයුම් ආකෘතිය කියන්නේ ආර්ථික විද්‍යා විෂය ඉගැන්වීමේදී යොදා ගන්නා එක් මූලික හා සරල ආකෘතියක් පමණයි. ඒ ආකෘතිය පමණක් ඇසුරෙන් ආර්ථිකය තේරුම් ගත හැකියැයි සිතීම හෝඩිය ඉගෙන ගැනීමෙන් පසුව භාෂා විශාරදයෙකුයැයි සිතීමට වඩා වෙනස් නැහැ. “අර වෙළඳපොලට එහෙමනම්, මේ වෙළඳපොළට එහෙම නැත්තේ ඇයි?” වගේ ප්‍රශ්න සමහර අයට මතු වන්නේ ආර්ථික විද්‍යාව ඉගැන්වීමේදී මුලින්ම උගන්වන සරල ඉල්ලුම්-සැපයුම් ආකෘතිය ගැන දැන ගැනීමෙන් පසුව ආර්ථික විද්‍යාව කියා ඊට වඩා දෙයක් නැතැයි සිතන නිසා. කෙසේ වුවත්, එවැනි ප්‍රශ්න මතු කරන එක හොඳ දෙයක්.
වෙළඳපොළ ක්‍රමය තුළ හැම විටම තරඟකාරී වෙළඳපොළවල් හැදෙන්නේ නැහැ. එය කිසියම් භාණ්ඩයක නිෂ්පාදන තාක්ෂනය ඇතුළු වෙනත් කරුණු ගණනාවක් මත තීරණය වන්නක්. වෙළඳපොළ ක්‍රමය තුළ කතිපයාධිකාර මෙන්ම ඇතැම් විට ඒකාධිකාරද හැදෙන එක සාමාන්‍ය, නෛසර්ගික තත්ත්වයක්. ඒ වගේම, වෙළඳපොළ යාන්ත්‍රණය පරිපූර්ණ එකක් නෙමෙයි. එය අකාර්යක්ෂම විය හැකි විවිධ හේතු තිබෙනවා. වෙළඳපොළක් අකාර්යක්ෂම විය හැකි එකම හේතුව රාජ්‍ය මැදිහත්වීම් නොවන්නාක් මෙන්ම රාජ්‍ය මැදිහත්වීම මගින් වෙළඳපොළක් වඩා කාර්යක්ෂම කරගත හැකි තත්ත්වයන්ද ඕනෑ තරම් තිබෙනවා.
තරඟකාරී ජාත්‍යන්තර වෙළඳපොළකට නිරාවරණය කිරීම මගින් දේශීය කර්මාන්තයක් වඩා කාර්යක්ෂම හා තරඟකාරී කරගත හැකියි. ජාත්‍යන්තර සහල් වෙළඳපොළ එවැනි තරඟකාරී වෙළඳපොළක්ද?
ලෝක සහල් පරිභෝජනය (2023/24 වර්ෂය සඳහා USDA-FAS PS&D දත්ත අනුව) මෙට්‍රික් ටොන් මිලියන 520ක්. එයින් ආනයන ප්‍රමාණය මෙට්‍රික් ටොන් මිලියන 53ක් පමණයි. මීට හේතුව ලෝකයේ සහල් පරිභෝජන අවශ්‍යතාවයෙන් 90%ක් පමණම දේශීයව සිදු වීමයි. වෙනත් වසරක් සැලකුවද දැකිය හැක්කේ මීට සමාන තත්ත්වයක්. අස්වනු හොඳ මට්ටමක ඇති වසරකදී ලෝක සහල් නිෂ්පාදිතයෙන් 10%කට ආසන්න ප්‍රමාණයක් අපනයනය කෙරෙන අතර අස්වනු අඩු මට්ටමක ඇති විට මෙම ප්‍රමාණය තවත් පහත වැටෙනවා.
සහල් යනු ලෝකයේ වැඩිම පිරිසකගේ ප්‍රධාන ආහාරය වන අතර විශේෂයෙන්ම ආසියානු කලාපයේ ප්‍රධානම ආහාරයයි. සාමාන්‍යයෙන් කිසියම් ප්‍රදේශයක ජනතාවගේ ප්‍රධාන ආහාරය වන්නේ එම ප්‍රදේශයේ පහසුවෙන් වැවෙන දෙයක්. ලෝකයේ වැඩිපුරම සහල් නිෂ්පාදනය වන කලාපය වන්නේද ආසියාවයි. ලෝකයේ ජනගහණය වැඩිම රටවල් දෙක වන ඉන්දියාව හා චීනය තිබෙන්නේ මෙම ආසියානු කලාපයේ වනවා පමණක් නොව එම එක් එක් රටේ වැඩි කොටසක ප්‍රධාන ආහාරය වන්නේ සහල්. එබැවින් ලෝකයේ සමස්ත සහල් පරිභෝජන අවශ්‍යතාවයෙන් බාගයක්ම චීනයේ හා ඉන්දියාවේ සහල් පරිභෝජන අවශ්‍යතාවයයි.
ලෝක සහල් පරිභෝජනයෙන් 51%කට වග කියන චීනය හා ඉන්දියාව හැරුණු විට වැඩියෙන්ම සහල් පරිභෝජනය කරන රටවල් වන්නේ බංග්ලා දේශය, ඉන්දුනීසියාව සහ වියට්නාමයයි. මෙම ප්‍රධාන රටවල් පහ ලෝක සහල් පරිභෝජනයෙන් 69%කට වග කියනවා. පහත තිබෙන්නේ 2023/24 වර්ෂයේදී වැඩිපුරම සහල් පරිභෝජනය කළ රටවල්.
1. චීනය – මෙට්‍රික් ටොන් මිලියන 148.1 (28.5%)
2. ඉන්දියාව – මෙට්‍රික් ටොන් මිලියන 116.4 (22.4%)
3. බංග්ලා දේශය – මෙට්‍රික් ටොන් මිලියන 37.6 (7.2%)
4. ඉන්දුනීසියාව – මෙට්‍රික් ටොන් මිලියන 36.1 (6.9%)
5. වියට්නාමය – මෙට්‍රික් ටොන් මිලියන 22.4 (4.3%)
6. පිලිපීනය – මෙට්‍රික් ටොන් මිලියන 16.6 (3.2%)
7. තායිලන්තය – මෙට්‍රික් ටොන් මිලියන 12.3 (2.4%)
8. මියන්මාරය – මෙට්‍රික් ටොන් මිලියන 9.8 (1.9%)
අනෙකුත් සියලුම රටවල් – මෙට්‍රික් ටොන් මිලියන 120.5 (23.2%)
චීනය සහ ඉන්දියාව බිලියන 1.4ක ජනගහණයකට ආහාර සැපයීමේ අභියෝගය දරාගෙන සිටින රටවල්. එවැනි විශාල ජනගහණයක් සිටින රටක් තමන්ගේ ප්‍රධාන ආහාරය වෙනත් රටකින් ආනයනය කිරීම කිසිසේත්ම ප්‍රායෝගික කරුණක් නෙමෙයි. ඒ නිසා, ලෝකයේ සහල් නිපදවන රටවල් අතරින්ද ඉදිරියෙන්ම සිටින්නේ එම රටවල් දෙකයි. එම ප්‍රධාන රටවල් දෙකට අමතරව ලෝකයේ වැඩියෙන්ම සහල් පරිභෝජනය කරන අනෙකුත් රටවල්ද දේශීය වශයෙන් සහල් නිපදවා ගැනීම සඳහා යොමු වී ඇති බැවින් ලෝකයේ වැඩියෙන්ම සහල් නිපදවන රටවල් වන්නේද ඉහත රටවල්මයි. පහත තිබෙන්නේ 2023/24 වර්ෂයේදී වැඩිපුරම සහල් නිපදවූ රටවල්.
1. චීනය – මෙට්‍රික් ටොන් මිලියන 144.6 (28.3%)
2. ඉන්දියාව – මෙට්‍රික් ටොන් මිලියන 137.8 (22.3%)
3. බංග්ලා දේශය – මෙට්‍රික් ටොන් මිලියන 37.0 (7.2%)
4. ඉන්දුනීසියාව – මෙට්‍රික් ටොන් මිලියන 33.0 (6.9%)
5. වියට්නාමය – මෙට්‍රික් ටොන් මිලියන 26.3 (4.3%)
6. තායිලන්තය – මෙට්‍රික් ටොන් මිලියන 20.0 (2.4%)
7. පිලිපීනය – මෙට්‍රික් ටොන් මිලියන 12.3 (3.2%)
8. මියන්මාරය – මෙට්‍රික් ටොන් මිලියන 11.9 (1.9%)
අනෙකුත් සියලුම රටවල් – මෙට්‍රික් ටොන් මිලියන 123.3 (23.6%)
මේ අනුව පැහැදිලි වන්නේ, පරිභෝජනය අනුව බැලුවත්, නිෂ්පාදනය අනුව බැලුවත්, ලෝක සහල් වෙළඳපොළ කියන්නේ ආසියානු කලාපයේ පිහිටි ඉහත රටවල් අට බවයි. එම රටවල් අටේ වෙළඳපොළ පංගුව හතරෙන් තුනකටත් වඩා වැඩියි. ඒ නිසා, මේ රටවල් වල සහල් වෙළඳපොළ මග හැර ලෝක සහල් වෙළඳපොළ ගැන කතා කිරීමේ හැකියාවක් නැහැ. එම රටවල් අතරින්ද චීනය සහ ඉන්දියාව ප්‍රධානයි.
එසේ වුවද, ඊළඟ වැදගත් කාරණය වන්නේ සහල් පරිභෝජනය කරන සෑම ප්‍රධාන රටක්ම සහලින් ස්වයංපෝෂිතව සිටීම පිණිස මහත් පරිශ්‍රමයක් දරන බවයි. ඉහත රටවල් අතරින් ඉන්දියාව, වියට්නාමය, තායිලන්තය සහ මියන්මාරය සහල් අපනයනය කරන අතර ඉතිරි රටවල් වල සහල් අවශ්‍යතාවයෙන් වැඩි කොටසක් රට තුළම නිපදවා ගන්නවා.
චීනය – 97.6%
බංග්ලා දේශය – 98.4%
ඉන්දුනීසියාව – 91.5%
පිලිපීනය – 74.2%
මෙහිදී කිව යුත්තේ මේ රටවල් බොහොමයක් මෙන්ම සහලින් ස්වයංපෝෂිතව සිටින ඉන්දියාව වැනි රටවල්ද සිය දේශීය සහල් නිෂ්පාදනය ඉහළ මට්ටමක පවත්වා ගන්නේ කර්මාන්තය විශාල ලෙස සුබසාධනය කිරීම මගින් බවයි. එසේ කිරීමේ අරමුණ ආහාර සුරක්ෂිතතාවය පවත්වා ගැනීමයි.
ලෝකයේ වැඩිපුරම සහල් පරිභෝජනය කරන, එමෙන්ම වැඩිපුරම සහල් නිපදවන රට වන චීනය යනු තව දුරටත් 1952දී ලංකාව සමඟ රබර්-සහල් ගිවිසුම අත්සන් කළ රට නෙමෙයි. මේ වෙද්දී චීනය විශාල ලෙස කාර්මීකරණය වී ඇති රටක්. ගම් වල සිටි ගොවීන් දැන් නගර වලට සංක්‍රමණය වෙලා. ඒ වගේම, ඉතිරි වෙලා ඉන්න ගොවීනුත් “වී වෙනුවට රෝස” වවන්න පෙළඹිලා. රෝස කෙසේ වුවත්, ඔවුන් ඩ්‍රැගන් ෆ්‍ර්රුට්, නෙලුම් අල වැනි මුදල් භෝග වවනවා. මේ දේවල් කියන්නේ අන්තර්ජාලයෙන් ඉගෙන ගෙන නෙමෙයි. චීන කෘෂි-ආර්ථික පර්යේෂකයින් එක්ක සමීපව කටයුතු කරන අයෙක් ලෙසයි. රැකියා අවස්ථා වැඩි වෙද්දී ලංකාවේ වී ගොවීනුත් කරනු ඇත්තේ ඔය වැඩේම තමයි. ඒ සඳහා අමුතු පෙළඹවීමක් අවශ්‍ය වෙන එකක් නැහැ.
චීනය කියන්නේ කොමියුනිස්ට් පක්ෂයක් විසින් මධ්‍යගත සැලසුමකට අනුව පාලනය කරන ආර්ථිකයක් තිබෙන රටක්. දේශීය නිෂ්පාදිතය ඉහළ මට්ටමක පවත්වා ගැනීම මගින් රටේ ආහාර සුරක්ෂිතතාව පවත්වා ගැනීම චීන ආර්ථික සංවර්ධන සැලසුමේ ප්‍රධාන අංගයක්. මේ අනුව, චීනය විවිධ ආකාර වලින් වී ගොවිතැන සුබසාධනය කරනවා.එමගින් දේශීය සහල් නිෂ්පාදිතය පරිභෝජන අවශ්‍යතාවයට ආසන්න මට්ටමක පවත්වා ගන්නවා. කෙසේ වුවත් චීනය තව දුරටත් ශුද්ධ වශයෙන් සහල් අපනයනය කරන රටක් නෙමෙයි.
මේ වන විට ලෝක සහල් වෙළඳපොළ තුළ අපනයනකරුවෙකු ලෙස කැපී පෙනෙන භූමිකාවක් ඉටු කරන්නේ අසල්වැසි ඉන්දියාවයි. ඉන්දියාවට ලෝක සහල් වෙළඳපොළ තුළ විශාල බලපෑමක් කළ හැකියි. ලෝක වෙලඳ සංවිධානයේ දත්ත අනුව 2023 වර්ෂයේදී ලෝකයේ රටවල් 124ක්ම ශුද්ධ වශයෙන් සහල් ආනයනය කළත්, ශුද්ධ වශයෙන් සහල් අපනයනය කරන රටවල් තිබුණේ 23ක් පමණයි. මෙම රටවල් 23 විසින් සිදු කළ ශුද්ධ සහල් අපනයනය මෙට්‍රික් ටොන් මිලියන 30.2ක් පමණයි. එනම් ලෝක සහල් පරිභෝජනයෙන් 5.8%ක් පමණයි.
පහත තිබෙන්නේ 2023දී ශුද්ධ වශයෙන් සහල් අපනයනය කළ ලෝකයේ ප්‍රධාන රටවල්. එනම්, සහල් අතිරික්තයක් තිබුණු ප්‍රධාන රටවල්.
1. ඉන්දියාව – මෙට්‍රික් ටොන් මිලියන 16.3 (54.1%)
2. තායිලන්තය – මෙට්‍රික් ටොන් මිලියන 7.6 (25.3%)
3. පකිස්ථානය – මෙට්‍රික් ටොන් මිලියන 3.2 (10.7%)
අනෙකුත් සියලුම රටවල් – මෙට්‍රික් ටොන් මිලියන 3.0 (9.9%)
කවර හෝ හේතුවක් නිසා, ශුද්ධ වශයෙන් සහල් අපනයනය කරන ප්‍රධාන රටක් වන වියට්නාමය හා අදාළ සංඛ්‍යාලේඛණ මෙහි ඇතුළත්ව නැහැ. එම ප්‍රමාණයද මෙට්‍රික් ටොන් මිලියන 3-4 අතර ප්‍රමාණයක්. මේ අනුව පැහැදිලි වන පරිදි, ජාත්‍යන්තර සහල් වෙළඳපොළ යනු ඉහත රටවල් තුන සහ වියට්නාමයයි. මෙම රටවල් හතරට අමතරව, සෑම වෙළඳපොළකටම මෙන් කිසියම් බලපෑමක් කරන ඇමරිකා එක්සත් ජනපදයද ලෝක සහල් වෙළඳපොළට යම් බලපෑමක් කළ හැකි රටක්. ඊට හේතුව ශුද්ධ වශයෙන් සහල් අපනයනය කරන්නේ අඩුවෙන් වුවත්, ආනයන හා අපනයන දෙකම සිදු කරන බැවින් ඇමරිකා එක්සත් ජනපදයේ වෙළඳ පරිමාව ඉහළ මට්ටමක පැවතීමයි.
ඉහත රටවල් අතරින් ප්‍රධානම රට වන ඉන්දියාවේ විශේෂත්වය වන්නේ ඉන්දියාව අපනයනය මූලික ඉලක්කය කරගෙන සහල් නිපදවන රටක් නොවීමයි. චීනය වැනි රටවල් මෙන්ම ඉන්දියාව විසින්ද වී වගාව ප්‍රවර්ධනය කරන්නේ ආහාර සුරක්ෂිතතාව තහවුරු කර ගැනීමේ මූලික අරමුණ පෙරදැරිවයි. ඉන්දියානු සහල් අපනයන යනු මෙම අරමුණ කරා යාමේ අතුරු ප්‍රතිඵලයක් පමණයි. ඒ නිසා, විශාල ලෙස සුබසාධනය කිරීම මගින් ආරක්ෂා කෙරෙන ඉන්දියාවේ සහල් කර්මාන්තය එලෙස පවත්වා ගැනීම සඳහා අස්වනු අධික වසර වලදී ඉන්දියාව විසින් අඩු මිලට ජාත්‍යන්තර සහල් වෙළඳපොළට සහල් සපයන (ඩම්ප් කරන) නමුත් අස්වනු සීමා වන වසර වලදී අපනයන පාලනය කිරීමට ඉන්දියාව පැකිලෙන්නේ නැහැ. මෙහි ප්‍රතිඵලය වනුයේ සමස්ත ලෝක සහල් නිෂ්පාදිතයට හා පරිභෝජනයට සාපේක්ෂව කුඩා වෙළඳපොළක් වන ජාත්‍යන්තර සහල් වෙළඳපොළ තුළ මිල ගණන් නිරන්තරයෙන් විශාල ලෙස උච්ඡාවචනය වීමයි.
මතු සම්බන්ධයි.
May be an image of map and text

Similar Posts

Leave a Reply

Your email address will not be published. Required fields are marked *