පළමු මැතිවරණය ජනමත විචාරණයයි

යහපාලන ආණ්ඩුව යටතේ ඉදිරියේදි පවත්වන පළමු මැතිවරණය නව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට අදාළ ජනමත විචාරණය බව සෞඛ්‍ය, පෝෂණ හා දේශීය වෛද්‍ය ඇමැති, රජයේ සම කැබිනට් මාධ්‍ය ප්‍රකාශක වෛද්‍ය රාජිත සේනාරත්න මහතා පවසයි.

නව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට අදාළ ජනමත විචාරණය මේ වසරේදි යහපාලන ආණ්ඩුව මුහුණදෙන පළමුමැතිවරණය බවත් පළාත් පාලන සහ පළාත් සභා මැතිවරණයන්ට පෙර ජනමත විචාරණය පවත්වන බවත් ඇමැතිවරයා අවධාරණය කළේය. නව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට අදාළ ප්‍රතිසංස්කරණ කටයුතු පාර්ලිමේන්තු කමිටු මඟින් අවසන් කළ වහාම පාර්ලිමේන්තුවේ තුනෙන් දෙකක සම්මතයකින් පසු ජනමත විචාරණය පවත්වන්නේ යැයි ද ඇමැතිවරයා පැවැසුවේය.

ඇමැතිවරයා සමඟ සෞඛ්‍ය අමාත්‍යාංශයේදි පැවැති විශේෂ සාකච්ඡාවක දී ඒ බව ප්‍රකාශ කළේය.

අලුත් ව්‍යවස්ථාව ජනමත විචාරණයට ලක් කර ජනතාවගේ පිළිගැනීම අනුව එය ඉදිරි කාලයේදි ක්‍රියාත්මක කිරීමට යහපාලන ආණ්ඩුව අපේක්ෂා කරන බව ද ඇමැතිවරයා පැවැසුවේය. ජනමත විචාරණයකට කිසිසේත් බිය විය යුතු නොවන බවත් ආණ්ඩුවේ සිටින සියලුම දේශපාලන පක්ෂ, විරුද්ධ පක්ෂයේ ද්‍රවිඩ ජාතික සන්ධානය, ජවිපෙ මේ සියලුදෙනා ජනමත විචාරණයේ දී එකම අදහසක් නියෝජනය කිරීම නව ව්‍යවස්ථාව සම්මත වීමේ පෙර සුබ ලකුණක් බවත් ඇමැතිවරයා ප්‍රකාශ කළේය.

මෙරට තිබෙන සියලු දේශපාලන පක්ෂ එක පැත්තකත් මහින්ද රාජපක්ෂ කල්ලිය තව පැත්තකත් සිටියදී ජනමත විචාරණය පැවැත්වීමට සිදු වුවද එහි ජයග්‍රහණය ගැන සැකයක් ඇති කර නොගත යුතු බව ද ඇමැතිවරයා අවධාරණය කළේය.

ජනමත විචාරණය පහසුවෙන් ජයග්‍රහණය කිරීමට යහපාලන ආණ්ඩුවට හැකියාව පවතින්නේ යැයිද අලුත් ව්‍යවස්ථාවක් සඳහා විශාල කැපවීමක් කර සටන් වැදුණු මෛත්‍රීපාල සිරිසේන ජනාධිපතිවරයාට ලැබුණු ජනවරමෙන් ජනතා සුබසිද්ධිය උදෙසා ගත යුතු සියලු තීරණයන් ගැනීමට යහපාලන ආණ්ඩුව පසුබට නොවන්නේ යැයි ද ඇමැතිවරයා පැවැසුවේය.

විධායක ජනාධිපති ධුරය අහෝසි කිරීම සහ මැතිවරණ ක්‍රමය වෙනස් කිරීම එමඟින් සිදු කරන බවත් 1978 සිට මෙරට ජනතාව ඉල්ලූ වෙනස මෙමඟින් ලබාදීම සිදු කරන බවත් ඇමැතිවරයා පැවැසුවේය.

නව ව්‍යවස්ථාව සඳහා වූ ජාතික ව්‍යාපාරය නමින් සංවිධානයක් බිහි කර තිබෙන්නේ යැයි ද ඇමැතිවරයා කීය.

අලුත් ව්‍යවස්ථාවේ තිබෙන සාධනීයම ලක්ෂණයක් වන්නේ බුද්ධාගම රාජ්‍ය ආගම බවට පත් කිරීම බවත් අනෙකුත් සියලු ආගම්වලට සාධාරණත්වය ලබාදීමක් එමඟින් සිදුකරන බවත් ඇමැතිවරයා පැවැසීය.

ඒකීය ආණ්ඩුක්‍රමයක් යටතේ එමඟින් බලය බෙදීමක් සිදු කරන බවත් කිසියම් පළාත් සභාවක් බලය බෙදීමක් ගැන කතා කළොත් එම පළාත් සභාව විසුරුවා හැර මධ්‍යම ආණ්ඩුවට පවරා ගැනීම සම්බන්ධයෙන් වගන්තියක් නව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට ඇතුළත් කරන බවත් ඇමැතිවරයා පැවැසුවේය.

සන්ධ්‍යා කරුණාරත්න

Leave a Reply

Your email address will not be published. Required fields are marked *