|

ආචාර්ය හර්ෂ ද සිල්වා හෙළිකළ සජිත් ප්‍රේමදාස ගේ පලායාම !!! – ජයවීර සෙනෙවිරත්න

රට අමාරුවට වැටුණු මොහොතේ විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා වගකීම් භාර නොගෙන පලාගිය බවට නගන චෝදනාවට පිළිතුරු දීමට සමගි ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී ආචාර්ය හර්ෂ ද සිල්වා මහතා අසාර්ථක උත්සහයක් දරනු දකින්නට ලැබිණි. එසේ වුවත්, ඒ මතතගේ කතාවෙන් සිදු වුයේ සජිත් පලාගිය බව තවත් හොඳින් තහවුරු වීම යි.

මහින්ද රාජපක්ෂ මහතා අගමැති ධුරයෙන් ඉවත්වීමෙන් පසු අගමැති ධුරය භාරගැනීමට ගොටාභය ජනාධිපති සජිත් ප්‍රේමදාස මහතාට ඇරයුම් කළ විට සාකච්ඡාව සඳහා තමන් ඇතුළු සිව් දෙනෙකු ගිය බව හර්ෂ ද සිල්වා මහතා කියයි. ඔහු කියන නම් අතර සජිත් ප්‍රේමදාස නම නැත. ගොටාභය රාජපක්ෂ ජනාධිපති අගමැති ධුරය සඳහා ඇරයුම් කළේ හර්ෂ ද සිල්වා මහතාට නොවේ . සජිත් ප්‍රේමදාස මහතාට ය. ඔහු ඒ සඳහා සාකච්ඡාවට වත් ගියේ නැත. සජිත් කළේ දෙවැනි පෙලේ කණ්ඩායමක් යවා මග හැරීම යි. හර්ෂ ද සිල්වා මහතාගේ කතාවෙන් ම එය තහවුරු වෙයි.

සාකච්ඡාවට ගියේ පක්ෂයේ මහා ලේකම් සහ ආර්ථික විශේෂඥයින් තිදෙනා ලෙස සැලකෙන ආචර්ය හර්ෂ ද සිල්වා , කබීර් හෂීම් සහ එරාන් වික්‍රමරත්න යි. ආර්ථික අර්බුදයට විසඳුම් ගැන කතා කිරීමට අවශ්‍ය බව ගොටාභය ජනාධිපති කියා තිබු නිසා මොවුන් ගියා යැයි කිව හැකි ය. නමුත් ඔවුන් එහි ගොස් ආර්ථික අර්බුදයට විසඳුම් කිසිවක් යෝජනා කොට නැත. ඔවුන් කතා කළේ  අගමැතිකමට පසුව ජනාධිපතිකම සජිත්ට ගන්නා ක්‍රමවේදය පිළිබඳව ය. ඒ කියන්නේ නොකෙරෙන වෙදකමට කෝඳුරු තෙල් අවශ්‍ය බව යි.

වගකීම් භාර ගැනීමට තමන් හෝ සජිත් ප්‍රේමදාස මහතා හෝ කැමති වූ බව ආචාර්ය හර්ෂ ද සිල්වා මහතා නොකියයි. කියන්නේ වගකීම් භාර ගැනීමට කොන්දේසි ඉදිරිපත් කළ  බව යි. යමක් සඳහා කොන්දේසි ඉදිරිපත් කරනවා කියන්නේ එය මග හැරීමේ ක්‍රමයක් ය යන්න මේ රටේ ජනතාව නොදන්නවා නොවේ.

හර්ෂ ද සිල්වා මහතාට මෙතන දී ඇත්තේ තමන් තුළ  ම ඇති වරදකාරී හැගීම සමග ගනුදෙනුවකි. සමගි ජන බලවේගයේ සභාපති ෆීල්ඩ් මාෂල් සරත් ෆොන්සේකා මහතා ඒ දිනවල ම හෙළි කළේ  අගමැති ධුරය භාර ගැනීමට තමා යෝජනා කළත්  පක්ෂයේ ආර්ථික විශේෂඥයින් එයට විරුද්ධ වූ බව යි. ඒ කියන්නේ හර්ෂ ද සිල්වා, එරාන්  වික්‍රමරත්න, සහ කබීර් හසීම් තිදෙනා විරුද්ධ වූ බව යි. අර්බුදයට විසඳුම් දීමට තමන්ට නොහැකි බව ඔවුන් කීවේ යැයි  පළමුවෙන් හෙළි කළේ  සරත් ෆොන්සේකා මහතා යි.

පසුගිය දා අලි සබ්රි ඇමතිවරයා කළේ  එම කතාව තහවුරු කිරීම යි.

දැන් රනිල් වික්‍රමසිංහ මහතා අර්බුදයෙන් රට ගොඩ ගෙන තිබෙන විට මොවුන් කියන්නේ රනිල් කළ  දෙයක් නැති බව සහ මීට වඩා හොඳට සහ ජනතාවට පීඩාවක් නැතිව මෙය කරන්නට තිබුණු බව යි.

තමන් කුහක නැතයි මිනිසුන් නිතර නිතර කියන්නේ තමන්ගේ කුහක  කම තමන් ම දන්නා නිසා ය. වරදක් පිළිගැනීම මොවුන්ගේ ක්‍රමය නොවේ.

කෙසේ වෙතත්, මොවුන් වැරදි වහන්නට ගිය විට සිදුවන්නේ ඒවා තව තවත් තහවුරු වීම පමණකි.නමුත් ඔවුන්ට එය ද තේරෙන්නේ නැත .

ජයවීර සෙනෙවිරත්න

Similar Posts

Leave a Reply

Your email address will not be published. Required fields are marked *